කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම

 

– අජිත් පැරකුම් ජයසිංහ

මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය ඔස්සේ ඔහු ජාතික ලැයිස්තුවට නම් කිරීම හා ඔහු පාර්ලිමේන්තුවට පත් කිරීම ආබාධ සහිත ප්‍රජාව හා විශේෂයෙන් දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන සේවාවක් බව මගේ අදහසයි.

පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ රජය කනා මුට්ටිය බිඳීම යන වචනයේ කනා යන යෙදුම වෙනස් කරන්නට යෝජනා කළ විට බොහෝ දෙනෙකු එයට හිනා වූහ. අන්ධ විද්‍යාලය පිහිටි තැන වන ගොලුමඩම හන්දියට කල්දෙමුල්ල හෝ වෙනත් නමක් භාවිතා කිරීම ද ඇතැම් ප්‍රසිද්ධ මාලිමා ක්‍රියාකාරිකයන් ඇතුළු බොහෝ දෙනාගේ හාස්‍යයට හේතු විය. කනා යන වචනය භාවිතා කරනවාට දෘෂ්‍යාබාධිත ප්‍රජාව කැමතිදැයි දැන් ඔබට ඔහුගෙන් ඇසිය හැකිය.

මීට පෙර ද ආබාධ සහිත ජනයා පාර්ලිමේන්තුව නියෝජනය කළහ. නිදසුනක් ලෙස, අජිත් මාන්නප්පෙරුම මහතා හදිසි අනතුරක් හේතුවෙන් පාදයක් අහිමි වූ අයෙකි.

ලොව පුරා ආසන්න වශයෙන් බිලියනයක ජනතාවක් කිසියම් ආකාරයක ආබාධිත තත්ත්වයක් සහිතව ජීවත් වන අතර ඔවුන් ගෝලීය ජනගහනයෙන් 15% ක් නියෝජනය කරන බව අප මතක තබාගත යුතුය. ශ්‍රී ලංකාවේ 2012 ජන හා නිවාස සංගණනය අනුව, ජනගහනයෙන් 8.7%ක් ආබාධ සහිතව ජීවත්වෙති. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන විසින් පෙන්වා දෙන පරිදි මෙම ප්‍රතිශතය ඊට ඉහළ විය හැකිය. එයට හේතුව වන්නේ ආබාධිතභාවය අනුව වෙන්කරන ලද දත්ත ලබාගැනීමේ ගැටලුය.

ශ්‍රී ලංකා රජය 2016දී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කළේය. ඒ අනුව, 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරන ලදී. එහෙත්, දේශපාලනික, සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේදී ආබාධ සහිත පුද්ගලයන් දෛනිකව මුහුණදෙන බහුවිධ සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා එය ප්‍රමාණවත් නැත. එබැවින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අතපසු වූ හා හදිසි කාර්යයක් තිබේ.

ගොඩනැගිල්ලකට ආබාධ සහිත පුද්ගලයකුට ඇතුළුවීමට පහසු ප්‍රවේශයක් සැපයීමේ සිට අප විසින් කළ යුතුව තිබෙන කාර්ය ප්‍රමාණය අති විශාලයි. උදාහරණයක් ලෙස, අපේ රටේ පොදු ප්‍රවාහනයේ බස්වල, දුම්රියවල ආබාධිත ප්‍රවේශය නම් සිහිනයකි.

සුගත් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ පසු හෝ ආබාධ සහිත ජනයා පිළිබඳ නිසි අවධානයක් යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එතෙක් සිටිය යුතු නැත. ඔබට දැනටමත් කළ හැකි දේ ඇත. පහත දැක්වෙන වචන පාවිච්චි නොකර සිටීම එවැනි ඔබෙන් ආරම්භ කළ හැකි වෙනසකි. වෙනස අපම වෙමු.

භාවිතා කළ යුතු යෙදුම්:භාවිතා නොකළ යුතු යෙදුම්:
ආබාධ සහිත ජනයාවිශේෂ අවශ්‍යතා සහිත අය, ආබාධිතයෝ
ඔහු/ ඇය රෝද පුටුවක් භාවිතා කරයිඔහු/ ඇය රෝද පුටුවට සීමා වී සිටියි.
ආබාධ සහිත ඡන්දදායකයෝආබාධිත/ රෝගී ඡන්දදායකයෝ
ශාරීරික ආබාධ සහිතකොර
ශ්‍රවණ ආබාධ සහිතබිහිරි
දෘෂ්‍ය ආබාධ සහිතඅන්ධ
ඔටිසම් සහිතපිස්සු
බුද්ධිමය ආබාධ සහිතමන්ද බුද්ධික
ඩවුන් සින්ඩ්‍රෝම් සහිතමොංගල්
එච්අයිවී ආසාදිතඒඩ්ස් රෝගී
Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා