මහර බන්ධනාගාරයේදී ඝාතනය කළ කොවිඩ් රෝගීන්ට යුක්තිය කෝ

 

එය මිනීමැරුමක් – මහේස්ත්‍රාත්. නඩුව අවසන් – නීතිපති

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය වුණේ.

මහර බන්ධනාගාරය ගැන එවකට එහි අධිකාරි ජගත් වීරසිංහ කියූ පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. මෙම මරණ සිදුවන විට 3,000ක් පමණ රඳවා සිටියා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරුවන්ට පහසුකම් තිබෙන බන්ධනාගාරවල මේ වන විට තිස්දහසකට වඩා සිරකරුවන් රඳවා තිබෙනවා.

මෙවැනි පරිසරයක් තුළට කොවිඩ්-19 පැතිර ගිය විට එහි සමාජ දුරස්ථභාවය පවත්වාගන්නට බැරි බවත්, රෝගය අධිවේගයෙන් පැතිරෙන බවත්, එයින් බන්ධනාගාර පමණක් නොව, සමස්ත සමාජයම අවදානමට ලක්වන බවත් ඕනෑම කෙනෙකුට වටහාගත හැකියි. එහෙත්, ආණ්ඩුවට මේ කාරණා වැටහෙනවා ද යන්න පැහැදිලි නැහැ. සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ රජයටයි. මහර බන්ධනාගාරයේ උණුසුම් සිදුවීම් නිර්මාණය වුණේ රජයේ අඩුපාඩු නිසායි. සිරකරුවන් ඝාතනය වන තත්වයක් නිර්මාණය කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ.

කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත. විමර්ශන උද්ධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් නිත්‍යානුකූලව කටයතු කර ඇති බව මෙන්ම මෙම අවස්ථාවේ දි නිලධාරීන් සිය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරික්ෂණය වී ඇති බවත් එම නිසාවෙන් නීතිපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතෙහි 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත.  ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම සිද්ධියට සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවත්, දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනක් තිස්සේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණය අවසානයේදී එම මරණ 11 මිනීමැරුම් බව තීරණය කළ  වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවිදාන මහතා අපරාධයට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කළේ මෙම කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා හෝ මානූෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නොමැති බවත් එම මරණකරුවන්ට වෙඩි වැදි ඇති ආකාරය අනුව කලහකාරි අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන්ව විසුරුවා හැරීම වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින්  වෙඩි තැබුවාදැයි සැක මතුවන බවයි. ඒ අනුව මරණකරුවන්ගේ තුවාල පිහිටා ඇත්තේ හිසෙහි පපුවෙහි හා උදරයෙහි යන ආදි ස්ථානවල බවත් ඒ අනුව කලහකාරි ලෙස හැසිරුණ රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබුවායි යන්න තුළින් ගැටලුවක් ඉස්මතු වන බව අවධාරණය කළා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා