මාලිමා දේශපාලකයන් මහජන ආරක්ෂාව සම්බන්ධ තනතුරුවලට පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි


 අජිත් පැරකුම් ජයසිංහ

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට ද, විමර්ශනවලට ද අයහපත් ලෙස බලපානු ඇත.

ශානි අබේසේකර ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ කැපී පෙනෙන චරිතයකි. එහි ප්‍රධානියා වූයේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නය. රවි සෙනෙවිරත්න මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පදවියට පත්කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය හදිසි කටයුත්තක් ලෙස සලකා විභාගයට ගන්නා ලදි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා සැප්තැම්බර් 20දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් කරනු ලබන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.  

දේශපාලන පත්වීම් යටතේ දේශපාලන අභිලාෂයන් සහිතව පවත්වනු ලබන විමර්ශන දේශපාලන පළිගැනීම් ලෙස පහසුවෙන් අර්ථ දැක්විය හැකිය. ශානි අබේසේකර මීට පෙර ද එවැනි මතභේදවලට හේතු වූ අයෙකි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර දරන සමයේදී දේශපාලකයකු වූ රන්ජන් රාමනායක සමග පැවැත්වූ ආචාර ධර්ම විරෝධී පෞද්ගලික දුරකථන සංවාදයක හඩපටය පසු කාලයේදී ප්‍රසිද්ධ විය.

දේශපාලනික බලපෑම් මත පොලිසියේ ඇතැම් පත්වීම් අවලංගු කරන ආකාරය ද දක්නට ලැබිණි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජන්තා රුද්‍රිගු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ නායකයකු වී සිට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයාට සහාය පළ කළ විදර්ශන කන්නන්ගර හා තවත් අය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වන ලද විරෝධය හේතුවෙන් එම පත්වීම අවලංගු කරන ලදි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් නිර්මාණය වන ළබැඳියාවන් සම්බන්ධ ගැටුම ශ්‍රී ලංකාව ඉදිරි කාලයේදී විදේශ රටවල සඟවා ඇති සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීම වැනි කාරණාවලදී දැඩිව බලපානු ඇත.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව තවමත් අසමත් වී ඇත. දේශපාලන අභිප්‍රායන් මත කරනු ලබන විමර්ශන සඳහා ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ නැත.

මෙම තත්වය තුළ සොරුන් යයි චෝදනාවට ලක්වන පුද්ගලයන්ට විදේශගතව එම රටවල දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට පවා අවස්ථාව නිර්මාණය වේ. ශ්‍රී ලංකාවට පැමිණියහොත් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්විය හැකි බව ඔවුන්ට හේතු ලෙස දැක්විය හැකි අතර, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් එවැනි අවස්ථාවලදී එම පුද්ගලයන් පිටමං කරන්නේ නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා