පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්

 

අජිත් පැරකුම් ජයසිංහ

සීරෝ ප්ලාස්ටික් කියන්නෙ ප්‍රායෝගික නැති බොළඳ සංකල්පයක්. ප්ලාස්ටික් කියන්නෙ සංවර්ධිත සමාජයක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට විකල්ප නැහැ. අපි කරන්නට ඕනැ ප්ලාස්ටික්, පොලිතින් කසල නිසි පරිදි කළමනාකරනයයි. ඒ කෙසේ වෙතත්, මේ කැම්පේන් එක ඉතා හොඳ දෙයක්. මේකට ඔබත් සහයෝගය දෙන්න.

ජනාධිපතිවරණෙ දිනුවට පස්සෙ මං හිතුවා ජවිපෙ අර ගෝටා දිනපු වෙලාවෙ තාප්පවල චිත්‍ර ඇන්ද වගේ මේ වගේ වැඩවලට තමන්ගෙ බලවේගය යොමු කරයි කියලා. ඒ වුණාට ඒක වුණේ නැහැ. තැන් තැන්වල ස්වේච්ඡාවෙන් පොඩි පොඩි ශ්‍රමදානයක් දෙකක් කෙරුණා. ඒවට පක්ෂෙන් ප්‍රචාරයක්වත් ලැබුණෙ නැහැ.

ඇත්තෙන්ම, ජවිපෙට ලංකාව සංවර්ධිත රටක් කරන්නට බැහැ. ඒකට රනිල්ගේ වැඩසටහන රනිල්ට වඩා හයියෙන් කරන්නට ඕනැ. කරන්න පුළුවන්ද? ඔය බලවේගය පෞද්ගලිකකරණයට විරුද්ධවනෙ පෙළගැහුවෙ. පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව නොදී ලංකාවට අපනයන මූලික ආර්ථිකයක් ගොඩනගන්නට බැහැ. රාජ්‍ය ව්‍යවසාය තියාගෙන පෞද්ගලික අංශයට සමබිමක්වත් සපයන්නට බැහැ. ඒ නිසා සංවර්ධිත රටක් වීමේ සිහිනයෙන් අවදි වෙන්න. ලංකාව කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ. ඒක ඉල්ලලා ආපහු අරගල කරන්නට හිතන්නත් එපා. හඳ ඉල්ලා ඇඬුවට වැඩක් නැහැ. ලැබෙන්නෙ නැහැ. ඒක ඉවරයි. ආණ්ඩු බලයට ගේන්නයි, ගෙනාපු දවසෙ ඉඳල ඒක පන්නන හැටි කතාකරන්නයි තවදුරටත් බැහැ. ගෙනාපු අයට කරන්නට පුළුවන් දේ කරන්නය කියමු.

මං අදහස් කරන්නෙ නැහැ, ලංකාවෙ සංවර්ධනය ඇණ හිටිනවාය කියලා. ලංකාවට පුළුවන් මේ තියෙන දේ රැකගත හැකි මට්ටමේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න. ධනේශ්වර, ස්වාර්ථකාමී සිහින වෙනුවට පොදුබව, තිරසරබව ගැන හිතන්නට සමාජය යොමු කරන්නට පුළුවන්.

මේ අතරෙ අසල්වැසි ඉන්දියාව ඉතා ඉක්මනින් සංවර්ධනය වෙමින් ලෝකයේ බහුවිධ බල කේන්ද්‍ර අතරින් එකක් බවට පත් වෙනවා. ලංකාවෙ මිනිසුන්ට ඉන්දියාවෙ හා ලෝකයේ වෙනත් රටවල පුහුණු ශ්‍රමික රැකියා ලබාගන්නට පුළුවන් විදියට අපට අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව දියුණු කරන්නට පුළුවන්. අපේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ වැඩි කරගැනීම සංවර්ධනයේ එක් මාවතක්.

ඉන්දියාවෙ, චීනයේ ධනවතුන් අතර ලංකාවෙ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පුළුවන්. ඒකට ලංකාවෙ පරිසරය රැකගෙන, තව තවත් සුන්දර කරන්නට ඕනැ. සංචාරක කර්මාන්තය අපට විදේශ විනිමය ඉපැයිය හැකි ප්‍රධාන මාර්ගයක්. මේ වගේ ව්‍යාපෘති වැදගත් වෙන්නෙ ඒ පසුබිම තුළයි.

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක් හදමු කියලා සමහර මාලිමා ක්‍රියාධරයන් පසුගිය කාලෙ සටන් පාඨයක් ගෙනාවා. ඒක ආයෙම ඉදිරියට ගන්න. ඔය මාලිමාවට ඡන්දය දුන්න බලවේගය තමයි මේ රටේ අවස්ථාවාදීම, කඩාකප්පල්කාරීම ජන ප්‍රජාව. ඒ අයව මෙවැනි දේවලින් විනයගත කිරීම ඉතාම ඵලදායීයි.

අපනයන මූලික කර්මාන්ත සංවර්ධනයක් වුණත් අපට බැරි නැහැ. හැබැයි, පරිසරය රැකගෙන, මානව සම්පත රැකගෙන කළ හැකි ඒවාට පමණයි අපට ඉඩ දෙන්නට පුළුවන්. වත්මන් ආණ්ඩුව නිදහස් වෙළඳ ගිවිසුම්වලටත් විරුද්ධයිනෙ. අපේ කෘෂිකර්මාන්තය, දේශීය කර්මාන්ත රැකගන්නට අවශ්‍යයි කියලනෙ හිතන්නෙ. ඒ නිසා ගෝලීය ආර්ථිකයෙන් අන්ප්ලග් වෙන්න වෙනවා යම් දුරකට.

මම නම් යෝජනා කරන්නෙ අපි ඉතිහාසය තුළ දොයිය ගනිමු. ඒක අනාගතයේදී අපට වාසිදායක වෙයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා