නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම

 

අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය බලය ලබාගත් ජවිපෙට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය දිනා යන්තම් සති දෙකක් යන විට කොල්ලන්, බල්ලන් හැම එකාම ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත්, ඇමතිතුමාටත්, ඊනියා මාලිමාවටත්, ජවිපෙටත් කෝචොක් කරන තත්වයක් ඇති වී තිබෙන්නේ ඇයි?

මෙය එක පැත්තකින් පරාජිතයන්ගේ ප්‍රතිචාරයකි. රටේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් තුනෙන් පංගුවකට වඩා අඩු ඡන්දයකින් බලයට පත් වූ ජනාධිපතිවරයෙකුට එරෙහිව විශාල බලවේගයක් එසේ ප්‍රතිචාර දැක්වීම පුදුම වීමට හේතුවක් නොවේ. ජවිපෙ ආණ්ඩුවට විරුද්ධ පිරිස ස්වාභාවිකවම බහුතරයයි.

ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ, මේ බැක්ෆයර් වන්නේ පසුගිය ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙ චර්යාවයි. ඔවුන් සාමාන්‍යයෙන් කිසිදු පාලකයකුට රටක් පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැත. ඕනෑම නායකයකුට එරෙහිව දුස්තොරතුරු පැතිරවීම, හොරා යයි අවලාද නැගීම, බලය ගත් දා සිට කෝ අරක කළාද මේක කළාද අසමින් කෝචොක් කිරීම, තමන්ගේ බහුජන සංවිධාන හා වෙනත් කඩාකප්පල්කාරීන් යොදවා උද්ඝෝෂණ කිරීම, නඩු දැමීම, මොකෙකු හෝ හාල්පාරුවකු අල්ලාගෙන ඌ බලයට ගෙන ඒම සඳහා උර දීම, බලයට ආ පසු ඌ අතහැර දමා පළා යාම, කරන සෑම සාධනීය කාර්යයකට පහේ විරුද්ධ වීම, ඕනෑම ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් මොකක් හෝ පදයක් හදා විරුද්ධ වීම හා කරන්නට ඉඩ නොදීම ආදිය ජවිපෙ දේශපාලනයේ මූලික ලක්ෂණය විය. එවැනි චර්යාවක් දේශපාලනය කරගත් පක්ෂයකට දැන් එය කෙතරම් පටුද යන්න අවබෝධ වෙමින් තිබේ.

එහෙත්, ජවිපෙ විසින් ඉතිහාසය මුළුල්ලේම කරන ලද වරදක් ප්‍රගතිශීලීන් නොකළ යුතුය. එනම්, රටේ නායකත්වය විනාශ කිරීමයි. ජවිපෙ ඝාතන මගින් ද, බිලි දීම් මගින් ද පමණක් නොව, අවලාද, බොරු චෝදනා මගින් ද, නඩු හා විවිධාකාර කුමන්ත්‍රණ මගින් ද මෙරට නායකත්වය විනාශ කිරීම සඳහා කටයුතු කරන ලදි. රනිල් වික්‍රමසිංහ ආදේශකයක් නැති නායකයකු වන්නේ එම සංදර්භය තුළයි.

ජවිපෙ බලය ලබාගැනීමෙන් පසු ප්‍රදර්ශනය කරන්නේ රාජ්‍ය බලය හා නායකත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ ආධුනිකත්වයයි. විරෝධාකල්ප ප්‍රවර්ධකයකු වීමට වඩා රාජ්‍ය නායකයකු වීම අතිශය දුෂ්කරය. විශේෂයෙන්ම, ලංකාව වැනි අතිශය දූෂිත, දැවැන්ත රාජ්‍ය තන්ත්‍රයක් සහිත රටක රාජ්‍ය පාලනය සඳහා තියුණු බුද්ධියක් අවශ්‍යය. රාජ්‍ය තාන්ත්‍රිකත්වය ගැන නම් කතා කරන්නට දෙයක් නැත. එය දැනට ජවිපෙට බැරිම දෙයකි.

අපගේ වගකීම විය යුත්තේ රටේ නායකත්වය විනාශ කිරීම නොව, නායකයන් ගොඩනගා ගැනීමයි. ඒ සඳහා මුලින්ම නායකයන් ද සෙසු අයට ඉඩ දෙන, තමන් සියල්ල දත් යයි නොසිතන, සෙසු අයට එරෙහිව වෛරය ප්‍රවර්ධනය නොකරන, නායකයන් ගොඩනගා ගැනීම තමන්ගේ ද වගකීම ලෙස සලකන අය විය යුතුය.

මා පෞද්ගලිකව දකින ආකාරයට නම්, ලංකාවේ මේ මොහොතට ගැලපෙන හොඳම නායකයන් සිටියේ පරාජිත ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළය. ඉදිරි මැතිවරණයේදී අලුත් පිරිස් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. 2004 ජවිපෙ රැල්ලෙන් ද විශාල පිරිසක් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පත් වූ මුත්, ඔවුන් අතරින් නායකයන් බිහි වූයේ අල්ප වශයෙනි. එසේ වූයේ ඇයිද යන්න වෙනම පසුව සාකච්ඡා කරමු.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා