සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම

 

අජිත් පැරකුම් ජයසිංහ

සිංහල බෞද්ධයන්ට සුබ වප් පොහෝ දිනයක් වේවා! මේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. මේවා මගේ හිතලුය. හැබැයි, මං ත්‍රස්තවාදය ගැන සහභාගීත්වය ද සහිතව අවුරුදු 40ක අධ්‍යයනයක් ඇති කෙනෙකු බව හොඳින් මතක තබාගෙන මෙම සටහන කියවන්න.

පාස්කු ප්‍රහාරය පූර්ණව දේශපාලනික වශයෙන් විග්‍රහ කළ නොහැකි ආගමික-දේශපාලනික හා මානසික ව්‍යාධිමය ක්‍රියාවකි. එම විග්‍රහය කළ හැක්කේ නවකතාවක් වැනි එකකිනි. මම එසේ කරන්නට සිතාගෙන සිටිමි.

සහරාන්ගේ කල්ලිය ඔය බලු වැඩේ කළහ. ඔච්චරම බලු වැඩක් කරනු ඇතැයි උන් අනුගමනය කළ අයිඑස් ත්‍රස්තවාදීන්වත් හිතන්නට නැත. හේතුව, මුන්ට උන් සමගවත් හරිහමන් සම්බන්ධයක් නොතිබීමයි. මේවා ප්‍රගාමී ප්‍රතිගාමී (proactive backward) ක්‍රියාය.

රාජපක්ෂලා බලයට පැමිණීම සඳහා මෙය සංවිධානය කළා යයි කීම පල් බොරුවකි. එහෙත්, සිද්ධිය වූ පසු රාජපක්ෂලා බලයට පැමිණීම සඳහා එය නියමෙටම පාවිච්චි කළහ.

2019 අප්‍රේල් 21දා ප්‍රහාර එල්ල වන බවට ඔත්තු ලැබී තිබිණි. එහෙත්, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියපු එක හරිය. ගහනවා කියා දැන සිටියත්, ඔච්චරම බලු විදියට ගහනු ඇතැයි සක්කරයාවත් මීට පෙර අනුමාන කර තිබුණේ නැත.

එදා රට මගහැර සිටි සිරිසේනගේ සිට පූජාව මගහැර සිටි කාදිනල් දක්වාම හැමෝම ගහන බව දැන සිටියහ. උන් පවා මෙහෙම ගැහිල්ලක් ගහතැයි සිතා සිටියේ නැත. උන් හැම එකාම කළේ තම තමන්ගේ ආරක්ෂාව බලා ගැනීමයි.

සාමාන්‍ය ප්‍රහාරයක් එල්ල වුණා නම්, ඔය කොයි එකාටත් ඒක අස්සේ සාමාන්‍ය ගේම් ගහන්නට අවස්ථාව තිබුණු බව උන් දැන සිටියහ. එහෙත්, සහරාන් කල්ලිය මහ ගහෙන් දුන් විට උන් හැමෝටමත් උතුර දකුණ මාරු විය.

ඔය ජනතා විමුක්ති පෙරමුණේ ගංකබර හීනමානය නිසා උන්ට ඉංගිරිසි කතා කරන, විදේශ අධ්‍යාපනය ලද කෙනෙකු සෙට් වුණාම අගමැති වෙන්නටත් පුළුවන. සල්ලිකාරයන්ට ජාතික ලැයිස්තුවට එන්නටත් පුළුවන. හොඳ බ්‍රෑන්ඩ්වලින් නායකයන්ට බොන්නට දෙනවා නම් පොල්ලෙලි ගහගෙන එන මේ වගේ කාලවල පවා ඡන්දෙ ඉල්ලන්නට පුළුවන. ඊබ්‍රාහිම් කතාව සිදුවන්නේ එසේය. ඌ සහ උගේ පුතුන් මේ ගංකබරයන්ව මොන වැඩකට පාවිච්චි කළාදැයි විමර්ශන කළ යුතුය. එසේ නොකළහොත් තව ටික කාලයකින් පාස්කු ප්‍රහාරය කළේ මුලින් ජවිපෙ බලයට ගෙන එන්නටය කියා කතන්දරයක් නිර්මාණය කරන්නටත්, තව ටික කාලයකින් කාදිනල්ගෙන් ලෙසටම අසාගන්නටත් පුළුවන.

බුද්ධි අංශ ලෙස ලංකාවේ හඳුන්වන ඔත්තු සේවා ගැන නොදන්නා හාල්පාරුවෝ සොනික් සොනික් සොයා වැළලෙති. ඔත්තු සේවා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම හා ඇතැම් විට ඔවුන්ට අනුග්‍රහ දැක්වීමත් අලුත්ම තත්වයක් නොවේ. ඔවුන් වැඩ කරන්නේ වෙනම සංදර්භවලයි. කෙසේ වෙතත්, අවසානයේදී ඔවුන් ඔත්තුව ලබාදී ඇත. එය විග්‍රහ කර නොගැනීම හා අවශ්‍ය තරමට ආරක්ෂාව නොසැලසීම නායකයන්ගේ ගැටලුවකි.

නායකත්වය ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධය. පල්ලම තියෙන්නේ එතැනය. ඔවුන් අතින් සිදු වූ අඩුපාඩුව මත ඔවුන්ගෙන් පළිගැනීම සීමාවකින් තොරය. දේශපාලන බලපොරය වෙනුවෙන් සිංහල බෞද්ධයෝම තම ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම සඳහා කාදිනල් වැනි බලවේගවලට උඩගෙඩි දෙති.

ඒ අතර, පාස්කු ප්‍රහාරයෙන් හොද්ද බොර කරගන්නට බලා සිටින ඊනියා මාධ්‍යවේදී රෑන පොත් ගහති. කුලියට කඩේ යති.

සජිත්ට සැලියුට් දදා සිටි ඇරියස්කාරයෝ වංගුවක් ගසා අනුරට සෙට් වී තනතුරු පුද ලබති.

ඔයින් මෙයින් සිංහල බෞද්ධ ගොවිගම පිරිමි මූලික ශ්‍රී ලංකා රාජ්‍යය දැනටමත් බිඳවැටී අවසන්ය. තවම එහි සිංහල බෞද්ධ බලය නොනැසී පවතී. පාස්කු නාඩගම තව ටිකක් ඉදිරියට ගෙන ගියහොත් එය ද අවසන් කළ හැකිය. දැනටමත්, රාජ්‍යයේ පොලිසිය, බුද්ධි අංශ ආදිය දක්වාම මෙම පිළිකාව විහිදී හමාරය. කිසිදු පාලකයකුට පාලනය කරගත නොහැකි රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබේ. ආර්ථික අර්බුදයක් සමග මෙය බිඳී විසිරී යාමේ අවදානමක් ද ඇත.

අවසාන වශයෙන් මෙය ද හොඳින් මතක තබාගත යුතුය. සහරාන් කල්ලියේ හෝ එයට කිසියම් ආකාරයකින් සම්බන්ධ වන කිසිවකු දඬුවම් ලබන්නේ නැත. දැනටමත් ඇතැමෙකු නිදහස් කර හමාරය.

සිංහල බෞද්ධ විරෝධීන්ගේ උසිගැන්වීම මත සිංහල බෞද්ධ රාජ්‍යය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් පසුපස එළවීම එකිනෙකා කා කොටාගෙන රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය අවසන් වන තුරු නතර වන්නේ නැත.

රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යයට කෙළවීම හිතසුව පිණිස වේ යයි සිතාගෙන සිටින මාලිමා ප්‍රමුඛ වාමාංශිකයන්ට අබසරණ පතමින් පුන් පොහෝ දින මේ සටහන අවසන් කරමි. රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය විනාශ කළ පමණින් කිසිවක් වෙන්නේ නැත. එසේ කරන්නට ද බැරිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා