ඇල්පිටියේ පණිවුඩය

Adapted from praja.lkඅජිත් පැරකුම් ජයසිංහ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ජාතික ජන බලවේගයට අති විශාල ජයග්‍රහණයක් ලබා දෙනු ඇතැයි බොහෝ අය අනුමාන කළද ඒ වෙනුවට ලැබී තිබෙන්නේ සාමාන්‍ය ජයග්‍රහණයකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක ජයග්‍රහණයෙන් පසු වහාම පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයකදී පාලන පක්ෂයට අති විශාල වාසියක් සිදු විය යුතුය. හේතුව, පළාත් පාලන ඡන්ද බොහෝ විට ජය ගන්නේ පාලක පක්ෂය වීමයි.

පහත දැක්වෙන්නේ 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයයි. එය වත්මන් ප්‍රතිඵලය සමග සන්සන්දනය කර බලන්න.

1 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372 – ප්‍රතිශතය 57% – (ආසන 17)
2 – එක්සත් ජාතික පක්ෂය 10,113 – 24.5% – (ආසන 7)
3 – එක්සත් ජනතා නිදහස් සන්ධානය – ප්‍රතිශතය 12.5% – 5,273 (ආසන 3)
4 – ජනතා විමුක්ති පෙරමුණ (2) 2,435 – ප්‍රතිශතය 5.9% – (ආසන 2)
5 – ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 310 – (ආසන 0)

මෙම ප්‍රතිඵලය සමග ජාතික ජන බලවේගයට ඉඩ දී පසුබැස සිටි විරුද්ධ පක්ෂ තුළ ද ප්‍රබෝධයක් ඇති වී තිබෙන බවක් දැකිය හැකිය. තමන් අපේක්ෂා කළ තරම් ජනතාව මාලිමාව වැළඳ නොගන්නා බව ඔවුන්ට වැටහෙමින් තිබේ. ඒ අනුව, ප්‍රධාන විරුද්ධ පක්ෂ වන සජිත්ගේ හා රනිල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් අතර පමණක් නොව, නාමල් රාජපක්ෂගේ හා දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් අතර පවා දකුණේ ආසන බෙදී යා හැකිය. උතුරු, නැගෙනහිර ප්‍රදේශවල නම් මාලිමාවට එතරම් බලයක් නොලැබෙනු ඇත.

ඇල්පිටිය ඡන්දයේ ප්‍රතිඵලය අනුව, ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 113 තනිව ලබාගැනීමට නොහැකි වීමට ඉඩ තිබේ. මෙය මාලිමාවට වාසිදායක වේද? අවාසිදායක වේද?

ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නම්, තනි බලයකට වඩා යෝග්‍ය වන්නේ සියලු පක්ෂ එකතු කරගෙන සාමූහිකව කටයුතු කිරීමට විවෘත වීමයි. රනිල් වික්‍රමසිංහ දිගටම උත්සාහ කළේ එයටයි. 2022න් පසු 2024 දක්වා ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමට ඔහුට හැකි වූයේ එහෙයිනි. එහෙත්, එවැනි ආණ්ඩුවක් කළමනාකරණය කිරීම පහසු නැත. ඒ සඳහා පුළුල් දැක්මක් හා චින්තනයක් අවශ්‍යය. එසේම, විවිධත්වය ඉවසීමේ හැකියාව ද තිබිය යුතුය.

අනුර කුමාර දිසානායකට නීත්‍යානුකූල මැතිවරණ ජනවරමක් තිබේ. ඉතිරි ටික ගොඩනගා ගැනීම ඔහුගේ දක්ෂතාව මත තීරණය වේ. ස්ථාවර බලයක් ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදයේ නුදුරේම එළඹෙන දුෂ්කරම අවධිය පසුකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා