අශේන් උසාවි ගියොත් කොළඹ දිස්ත්‍රික් මැතිවරණයට මොකක් වෙයිද?

අජිත් පැරකුම් ජයසිංහ

අශේන් කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය තරුණයෙක්. ජනප්‍රිය හැම දේම නිවැරදි නැහැ. අශේන්ගෙ ජනප්‍රියත්වයයි, අනුර කුමාරගේ ජනප්‍රියත්වයයි අතර මං නම් එතරම් වෙනසක් දකින්නෙ නැහැ. දෙකටම පදනම් වෙන්නෙ බොරුව.

අශේන්ගෙ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නෙ ස්වාධීන අපේක්ෂකයකු ලෙස කණ්ඩායම් නායකයා විසින් එය ඉදිරිපත් නොකිරීම නිසාය කියල තමයි අහන්නට ලැබෙන්නෙ. ඒව නීතිද නැතිනම් උපදෙස්ද කියන එක මං දන්නෙ නැහැ. මං නීති විශාරදයෙකු නෙමෙයි.

කෙසේ වෙතත්, මෙවැනි සුළු හේතු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කලින් දුන්න නඩු තීන්දු තියෙනවා.

අශේන් කියන්නෙ වෙනත් කාරණයක්. ඔහු කියන්නෙ මැතිවරණයෙදි තරුණයන්ට තැනක් නැහැ කියන එක. ඒකත් ඇත්ත. නාකි විරෝධයක් නිර්මාණය කරමින්, තරුණයන්ට තැන දෙනවාය කියමින් බලයට පැමිණි මාලිමාවෙ මාතලේ අපේක්ෂක ලැයිස්තුව ගැන පෝස්ට් එකක් මෙහි ෂෙයා කළේ ඒ නිසායි.

අවසන් වරට පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ 2018දී. ඒත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පමණක් පැවැත්වෙන්නේ සෙසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් මාස 20කට පමණ පසුවයි. මෙම මැතිවරණය කල් යාම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් නිසායි. එයට හේතුව, ඉතා කුඩා පක්ෂයක නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත භාරදීම යන කාරණාව මත ප්‍රතික්ෂේප වීමයි. එම ප්‍රතික්ෂේප වීමට එරෙහිව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. විභාගයකින් පසුව අවසානයේදී එම නාමයෝජනාව පිළිගත්තා.

ඒ අනුව, තේරීම් භාර නිලධාරිවරයා සිදු කර ඇත්තේ වරදක් බව ඔප්පු වුණා. එපමණක් නොව, මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ විරෝධතාව ද පදනම් විරහිත එකක්. මෙවැනි සුළු හේතු මත මහා අර්බුද නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැලිගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ද මෙම හේතුව නිසායි. ප්‍රධාන දේශපාලන පක්ෂයක් වුව ද, එම පක්ෂය ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගියේ නැහැ.

එම මැතිවරණයේදී ම මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාව ප්‍රතික්ෂේප වුණේ අපේක්ෂකයන්ගේ ස්ත්‍රී – පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම හේතුවෙනුයි.

සුළු තාක්ෂණික හේතු මත නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මැතිවරණ ඉතිහාසය පුරා මහා අර්බුදවලට හේතු වී තිබේ.

මෙවැනි සුළු හේතු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම වැරදි නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය විය යුතුයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එයයි. ඒ කෙරෙහි මැතිවරණ කොමිෂමේ අවධානය යොමු විය යුතු ය.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා