උදය ගම්මන්පිල පාස්කු ඉරිදා විමර්ශන වාර්තාවක් හෙළි කරයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ බුද්ධි සම්බන්ධීකරණ හා විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳ විමර්ශන කමිටුවේ සොයාගැනීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලදි.

මෙම කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස්ගේ සභාපතිත්වයෙන් 2024 ජුනි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලදී. එහි වාර්තාව 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදි. රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානියා (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් පූර්ව ඔත්තු මත පදනම්ව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න තක්සේරු කිරීම සහ එම ක්‍රියාමාර්ගවල ප්‍රමාණවත් බව ඇගයීම කමිටුවේ විධානයට ඇතුළත් විය.

වාර්තාව හෙළිදරව් කිරීමේදී ගම්මන්පිල මූලිකවම විවේචනය කළේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සෙනෙවිරත්න පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව දැනුවත්ව සිටි බවටත්, පූර්ව අනතුරු ඇඟවීම් කළත්, ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වී තිබේ. සෙනෙවිරත්නගේ නායකත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඛේදවාචකය වැලැක්වීම සඳහා තම වගකීම් ඵලදායී ලෙස ඉටු නොකළ බව වාර්තාව අවධාරණය කරයි.

දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධාන යටතේ නොසැලකිල්ල සම්බන්ධයෙන් සෙනෙවිරත්නට නඩු පැවරිය යුතු බවට කමිටුව නිර්දේශ කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල්-4” චෝදනා විමර්ශනය කළ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා හෙළිදරව් කරන බවට ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රතිඥා දුන්නේය.

“රාජ්‍ය රහස් හෙළි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්” බව පාලක ජාතික ජන බලවේගයේ නීතීඥවරුන්ගේ නායකයෙකු වන ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව විමර්ශනයක් කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක චෝදනා කළේය.

හෙළිදරව් කරන ලද වාර්තාව මෙතැනින්

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා