සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම

 

අජිත් පැරකුම් ජයසිංහ

නඩු තීන්දු සඳහා නීතීඥයන්ගේ සාර්ථක නියෝජනය වැදගත් වේ.

සජිත්ගේත්, කාදිනල්ගේත්, සහරාන්ගේ ගෝලයන්ගේත් නීතීඥයන් ඉතා දක්ෂ අය බව මගේ නිරීක්ෂණයයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්‍රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්‍රියාත්මක කළ, ත්‍රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින දක්ෂ නීතීඥයන්ට සැකකරුවන් නිදහස් කරගැනීම එතරම් දුෂ්කර නොවන්නට පුළුවන.

බෝම්බකරුවන් හා ඔවුන්ට උදව් කළ අයත්, එම බෝම්බකරුවන් සමග සම්බන්ධ අය ළඟින් ඇසුරු කළ, එහෙත්, යහපාලන කාලයේ රජයට සම්බන්ධව සිටිම නිසා විමර්ශනවලට භාජනය නොවූ ඇතැම් අයත් දැන් “කෝ නඩු?” කියා අසන්නට තරම් එඩිතර වී සිටිති.

මේ අතර, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පදනමින් සිංහල-බෞද්ධ-පිරිමි මූලික කොළඹ ආණ්ඩුවේ එවකට සිටි ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් දැඩි දඬුවම් ලැබූහ.

පාස්කු ප්‍රහාර පිටුපස මහ මොළකරුවකු සිටින බවට කතාව සමාජයේ තහවුරු වී හමාරය. ඒ මහමොළකරු කවුරුදැයි සොයන මහා මෙහෙයුමට අවසානයක් නැත. හේතුව, එවැනි මහමොළකරුවකු සිංහල සමාජයේ නැති නිසා විය හැකිය. එහෙත්, සිංහල-බෞද්ධ-ගොවිගම අධිපතිවාදී දේශපාලනය පරාජය කරන තෙක් ඒ මෙහෙයුම ඉදිරියට ගෙන යා හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම අධිපතිවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය නායකයන්, නිලධාරීන් හට දඬුවම් කිරීම හා එම ප්‍රජාව දුර්වල කිරීම සඳහා මේ මහ මොළකරු කතාව දිගටම පාවිච්චි කළ හැකිය.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මානව හිමිකම් නඩුවලදී දක්ෂ ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නීතීඥවරුන් සමත් වූ අතර අධිකරණය ඉතා ස්වාධීන ලෙස ලබාදුන් තීන්දු හේතුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අක්‍රිය කළ හැකි විය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර නිර්මාණය වී තිබෙන තත්වය මත පොලිසිය සම්බන්ධ ගැටලු රැසක් මතු වී තිබේ.

පොලිසිය දුර්වල වීම සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා වෙනත් අපරාධකරුවන්ට වාසිදායකය.

රනිල්ට සහාය දෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හා සමගි ජන බලවේගයේ නීතීඥවරුන් ඉතා දක්ෂ ලෙස තර්ක කළ අතර අධිකරණය ස්වාධීන ලෙස ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි කිරීම අනුමත කළේය.

මේ නීතීඥයෝ අති දක්ෂය.

නිල් පාට බෝඩ් තියෙන, සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක් අය කරන, සාමාන්‍ය බස්වල සේම සෙනග පටවන අර්ධ සුඛෝපභෝගී යයි කියන, එහෙත් සාමාන්‍ය බස්වලින් කිසිදු වෙනසක් නැති බස් සේවය අහෝසි කර ඒවා සාමාන්‍ය සේවා බවට පත් කිරීමට රජය තීරණය කළේය. එම තීරණය 2023 ජුලි 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත වූ අතර බස් හිමියන් එකතු වී අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූහ.

අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30දා අතුරු නියෝගයක් නිකුත් කළේය.

සාමාන්‍ය මගී ජනයා වන අප නියෝජනය කිරීම සඳහා අපට දක්ෂ නීතීඥයන් නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා