රාජපක්ෂ පවුල් දේශපාලනයේ අවසානය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ මේ මොහොත

 

රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පසුගිය සමයේ ආර්ථිකය ගොඩගැනීමට රජය සමත් වීමත් සමග පොහොට්ටුවේ ඇතැම් නායකයන් අතර ඊර්ෂ්‍යාවක් ඇති වී තිබෙන බවයි.

ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට උර දුන් පොහොට්ටුවේ දෙවෙනි පෙළ කණ්ඩායම පසුගිය සමයේ සාර්ථක වීම නාමල් රාජපක්ෂ සිය දේශපාලන අනාගතයට තර්ජනයක් ලෙස සලකනවා විය හැකිය. රාජපක්ෂ පවුලේ මානසිකත්වය අනුව එය සිතාගත නොහැකි තත්වයක් නොවේ. මේ සමග ඇති ඡායාරූපය බලන්න. නාමල් කොලුවා ඔහුටත් වඩා වැඩිමහල් මිනිසකු ලවා වන්දවා ගන්නා කැත බලන්න. ඔවුන්ට අවශ්‍ය එවැනි වහලුන් පිරිසක් සහිත පක්ෂයකි. නිමල් සිරිපාල ද සිල්වා ඔහුට නැගිට්ටේ නැති නිසා ‘ඇයි අංකල් ලබ්බ බැහැලද?’ කියා ඇසූ පරණ කතාවක් ඇත.

ලෙඩා මළත් බඩ සුද්දයි පන්නයේ මෙහෙයුමක් දී පක්ෂ නායකත්වය රැකගැනීමට නාමල් සමත් වී ඇති බව පෙනේ. 2019දී රනිල් වික්‍රමසිංහ ද මේ වර්ගයේ ගේමක් ගැසුවේය. අන්තිමට ඔහු ළඟ ඉතිරි වුණේ රොඩු කෑලි ටිකක් පමණි. එම එක්සත් ජාතික පක්ෂයට කළ හැකි අටමගලයක් නැති බව තේරුම් ගත් ඔහු පසුගිය සමයේ වැඩ කළේ පොහොට්ටුවේ මන්ත්‍රීන් සමගය. රනිල්ගේ සාර්ථකත්වය පසුපස සිටි අයෝමය ශක්තිය ඔවුන්ය.

ඔය වර්ගයේ මෙහෙයුම් සාර්ථක නොවන බව නාමල් රනිල්ගෙන් හෝ උගත යුතුව තිබිණි. දැන් පවතින තත්වය තුළ ඔවුන්ට ධම්මික පෙරේරාව හෝ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළ හැකිද යන්න සැක සහිතය. පක්ෂ සහයෝගයක් නැතුව, ඒඑස්පී පෙරේරා පන්නයේ ජනාධිපති අපේක්ෂකයකු වන්නට ධම්මික පෙරේරා කැමති වේද? රාජපක්ෂලාගේ ආර්ථික වාසි ලබාගත් ධම්මික පෙරේරා වැනි අය දැන් අත ලෙව කෑමට බලාගෙන මී කඩන්නට තමන්ගේ ධනය නාස්ති කරයිද?

ගත් අවදානම අනුව නාමල් රාජපක්ෂටම ජනාධිපතිවරණයට තරග කිරීමට සිදු වනු ඇත. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නාමල්ට දෙන යම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට කඩාගත හැකි වනු ඇත. එය ද නරක නැත. ඇතැම් ඩයිහාඩ් රාජපක්ෂවාදීන් අන්තිමේදී පට්ටල් වී සිටියේ මාලිමාව සමගය. ඔවුන් ආපසු නාමල් රාජපක්ෂගේ අත ඇල්ලීමටත්, මහින්ද රාජපක්ෂ දෙස බලා කඳුළු සැලීමටත් ආපසු පොහොට්ටුවට යන එකේ පාඩුව ප්‍රධාන වශයෙන්ම මාලිමාවටය.

රාජපක්ෂවරුන් ගත් තීරණය එක පැත්තකින් අගය කළ යුතුය. නව දේශපාලන සමාජයක් නිර්මාණය විමට නම් රාජපක්ෂවරුන්ගේ භූමිකාව තීරණාත්මක ලෙස අවසන් විය යුතුය.

නව රාජපක්ෂවාදයක් නිර්මාණය කරමින් සිටින ජවිපෙ සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය. 2009 වන විට ප්‍රභාකරන් හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පැමිණ සිටි ස්ථාවරය මෙහිදී සිහිපත් කළ යුතුය. ජය ගත නොහැකි නම්, අලුත් දේශපාලනයකට නිර්මාණය වීමට ඉඩ දී තමන් ඉවත් විය යුතු බව ඔවුහු තීරණය කළහ. ජවිපෙ ද මේ මෙහෙයුම සිය අවසාන මෙහෙයුම බවට පත් කරගත යුතුය. එක්කෝ ජයගත යුතුය. නැතිනම් අලුත් දේශපාලනයකට ඩ දී ඔවුන් අවසන් විය යුතුය.

ඒ සමග සියලු ගතානුගතික පක්ෂ අවසන් වන අතර, අලුත් දේශපාලනයක් සමග නව නායකත්වයන් බිහි වනු ඇත. එය වර්තමානයේ සිදුවෙමින් පවතින විප්ලවයේම පැතිකඩකි.

Adapted f rom praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා