ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊළඟට ඉන්දියාවද?


 අජිත් පැරකුම් ජයසිංහ

බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටකි. එය 2026 වන විට එක්සත් ජාතීන්ගේ අවම සංවර්ධිත රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී 2031 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් කටයුුතු කරමින් සිටියේය.

ස්ථාවර ආණ්ඩුවක් යනු සංවර්ධනය වෙමින් පවතින රටකට වේගවත් සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අත්‍යවශ්‍ය තත්වයකි. ස්ථාවර ආණ්ඩු බොහෝ විට මර්දනකාරී වේ. බංග්ලාදේශයේ ද එසේ සිදු විය.

2024 වසරේ පැවැත්වුණ මහ මැතිවරණයෙන් ෂේයික් හසීනා නායකත්වය දෙන අවාමි ලීගය හා එහි හවුල්කරුවෝ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාගත්හ. එම ඡන්දය ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් වර්ජනය කරන ලදී. විපක්ෂයට එරෙහිව දැවැන්ත මර්දනයක් එල්ල වී තිබීම එයට හේතුවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රජාතන්ත්‍රවාදය, බටහිර බලපෑම්, දේශීය ආර්ථිකය හා දේශපාලන ස්ථාවරත්වය තුලනය කරගන්නේ අසීරුවෙනි. ඒ සඳහා බොහෝ නායකයන්ට දැඩි අවදානම් ගැනීමට සිදු වේ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පැන ගැසීමට සිදු වනවා මෙන්ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදු වේ. මෙම රටවල රාජ්‍ය පාලනය පහසු නැත.

දකුණු ආසියාව හා විශේෂයෙන්ම ඉන්දියාව නුදුරු අනාගතයේදී ලොව බහුවිධ බල කේන්ද්‍ර අතරින් ප්‍රබල ස්ථානයක් ලෙස මතු වන බව පෙනේ. ඒ ඉන්දියාව මේ වන විට අස්ථාවර රාජ්‍ය පද්ධතියකින් වට කර හමාරය. පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා බුරුමය මෙන්ම නේපාලය ද ඉන්දියාවට හිසරදයන්ය.

ශ්‍රී ලංකාවේ 2022දී තුනෙන් දෙකේ ජනවරමකින් බලයට පත් වූ ජනාධිපතිවරයකු උද්ඝෝෂණ මගින් පළවා හරින අතර, ඒ හා සමාන අන්දමින් බංග්ලාදේශයේ ද තුනෙන් දෙකේ ජනවරමක් හිමි අගමැතිවරයක් මේ දැන් නෙරපා හරින ලදී.

ලංකාවට නම් රනිල් වික්‍රමසිංහ කෙනෙකු සිටි නිසා එය මේ රටට විප්ලවීය අවස්ථාවක් විය. ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රනිල් සමත් විය. බංග්ලාදේශයට රනිල් කෙනෙකු ඉන්නවාදැයි අපි නොදනිමු. එහි හමුදාව අන්තර්වාර පාලනයක් පිහිටුවා තිබේ.

බංග්ලාදේශයේ ඉදිරි කාලයේ කුමක් වෙයිද? දැනටමත් එහි උද්ධමනය 10%කට ආසන්නය. ණය බර ඉහළ යමින් ඇත. විදේශ සංචිත ක්ෂය වෙමින් තිබේ. කොරේ පිටට මරේ සේ ඉදිරියේදී අස්ථාවර ආණ්ඩු සමයක් ද උදා විය හැකිය. බංග්ලාදේශයට තම සිහින සැබෑ කරගැනීමට හැකි වේද?

ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ මේ සිදු වූ අරගල බොහෝ දුරට සමානය. නොඉවසීම හා මොබ් චර්යා එහි ප්‍රධාන ලක්ෂණ වේ. 2022 මැයි 9 ප්‍රචණ්ඩත්වයෙන් පසු අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය අලුත් කර, රට ප්‍රතිසංස්කරණවලට සූදානම් කර තිබියදී ජුලි 9දාවක් උදා විය. අනපේක්ෂිත ලෙස අති විශාල ජනගහනයක් කොළඹට පැමිණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පළා යන්නට වැඩ සිද්ධ කරන ලදී. බංග්ලාදේශයේ ද මූලික ප්‍රශ්නය වන රැකියා කෝටා ප්‍රශ්නය විසඳා තිබියදී දෙවන උද්ඝෝෂණ රැල්ල මතු විය.

මේවා මෙහෙම වන්නේ කෙසේද? ඊළඟ අදියර ලෙස ඉන්දියාවේ මෙය සිදු වන්නේ කවදාද?

එහෙම වුණොත් දකුණු ආසියාවට කුමක් වේද? ලෝක බලවතකු වන ඉන්දියාවේ සිහිනයට කුමක් වේද?

තවත් විස්තර සහිත ඉංග්‍රීසි ලිපියක් 1 කමෙන්ටුවේ

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා