නිවාඩු හා දුම්රිය බලපත්‍ර හොරුන් රැස්වී හොරු ඇල්ලීම ගැන සාකච්ඡා කිරීම

 

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණෙහි රාජපක්ෂ පවුල්වාදී පොහොට්ටුවෙහි ඇති මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැත. එහි තීරණ, තීන්දු ගනු ලබන්නේ ඉහළ නායකත්වය විසින් වන අතර පහළ සාමාජිකයන්ට තිබෙන්නේ එය අනුමත කිරීම පමණි.

මේ බව නිරූපණය කරන අපූරු දර්ශනයක් පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති හෙද සමුළුවේදී දක්නට ලැබිණි. මෙම හෙද සමුළුව ඉතා පැහැදිලිවම අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් විය. එය පවත්වනු ලැබුවේ වාර්ෂික සමුළුවක නමිනි. ඒ ආයතන සංග්‍රහයේ වෘත්තීය සමිති වරප්‍රසාද පාවිච්චි කරමින් වංචනික අයුරින් හෙදියන්ට රාජකාරි නිවාඩු හා දුමරිය බලපත්‍ර ලබාගැනීම සඳහාය.

මෙය එතරම් අලුත් තත්වයක් ද නොවේ. ජවිපෙ වෘත්තීය සමිති ඇතුළු බොහෝ වෘත්තීය සමිති හැමදාමත් මෙම වංචාව කරති. ඒවායේ වාර්ෂික සමුළුවලදී ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් නිලධාරීන් තෝරා පත් කරගැනීමක් නැත. ගමේ මරණාධාර සමිතියක මට්ටමේවත් ප්‍රජාතන්ත්‍රවාදයක් එම සමුළුවල නැති අතර සාමාජිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ වහල් ප්‍රතිචාරයකි.

උදාහරණයක් ලෙස ජවිපෙ ඊනියා වාර්ෂික සමුළුව ආරම්භයේදී ජවිපෙ පක්ෂ ක්‍රියාකාරිකයකු යයි අනුමානය කළ හැකි පුද්ගලයකු ගොත ගසමින් නම් ලැයිස්තුවක් කියවා එම පිරිස නිලධාරි මණ්ඩලයට හා මධ්‍ය කමිටුවකට තෝරාගෙන ඇති බව කියයි. යෝජනාව ස්ථිර කිරීමක් හෝ නැත. අත ඔසවා අනුමත කරන්නැයි කියා සිටින අතර ඉන් පසු එය සභා සම්මත වූ බව කියයි. මෙය අපූරු ප්‍රජාතන්ත්‍රවාදයකි. තනිකරම වංචාවකි.

ඉදිරියේදී ජවිපෙ මෙන්ම තවත් දේශපාලන පක්ෂ ද මෙම වංචනික ක්‍රියාව තවදුරටත් කරනු ඇත. තමන්ට අවශ්‍ය අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා රැස්වීම් පැවැත්වීමට මෙම ඊනියා වාර්ෂික සම්මේලන පවත්වනු ඇත. ඒ වෙනුවෙන් සාමාජිකයන් රාජකාරි නිවාඩු මෙන්ම දුම්රිය බලපත්‍ර ද ලබාගනු ඇත. ඒවා සත්‍ය වශයෙන්ම මූල්‍ය වංචාය. ඒ වෙනුවෙන් නීතියේ සිදුරුවලින් රිංගන ආකාරය ගැන ජවිපෙ ක්‍රියාකාරිකයන් තර්ක කිරීම ද හාස්‍යජනකය.

ලංකාවේ ඊනියා මැතිවරණ නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධාන නායකයන් කොයි තරම් මුග්ධ පිරිසක් ද යත්, ඔවුන් පැමිණිලි කළ බව කියන්නේ සත්‍ය මූල්‍ය වංචාවට එරෙහිව නොව, රජයේ දේපළක් වන නිල ඇඳුම ඇඳගෙන ඒම සම්බන්ධයෙන් පමණි. ඊට වඩා ප්‍රබල මූල්‍ය වංචාව ඔවුන් ද වංචනික ලෙස මගහරිති.

එවැනි වංචාකාරීන් පිරිසක් රැස්වී දූෂණය නැති කරන ආකාරය සාකච්ඡා කිරීම යුගයේ හොරු අල්ලන තාක්ෂණයයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා