ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්

 

ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක, අචල සුරංග ජාගොඩ වැනි අය පවා සිටිනවා. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත රාජපක්ෂ ද මේ වන විට එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්.

මෙවර ජනාධිපතිවරණයට තරග කරන සිරිපාල අමරසිංහ, අනුරුද්ධ පොල්ගම්පල සහ පේමසිරි මානගේ යන තිදෙනාත් 2004දී ජවිපෙ-චන්ද්‍රිකා දීගයේ රැල්ල හරහා පාර්ලිමේන්තුවට පත් වූ අය. ඔවුන් දැන් ජවිපෙ සමග සම්බන්ධ නැහැ.

මේ අතර ජවිපෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමග සන්ධානගතව 2004දී පිහිටුවන ලද ආණ්ඩුවේ ධීවර ඇමති ධුරය දැරූ ගාල්ලේ චන්ද්‍රසේන විජේසිංහ මේ වන විට සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාසටයි.

ජවිපෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පත් වූ විමල් වීරවංශ, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් සහාය දෙන්නේ දිලිත් ජයවීරටයි.

2004දීත් ජවිපෙට වර්තමානයේදී මෙන් රැල්ලක් නිර්මාණය වුණා. එයින් මන්ත්‍රීවරුන් 39ක් පාර්ලිමේන්තුවට පත් වුණා. ඒ 39න් කීදෙනෙකු දැනටත් ජවිපෙ සමග සිටිනවාද? සිටින බව අනුමාන කළ හැකි අය පහත දැක්වේ. ඔවුන්ගෙන් ද ඇතැමෙකු එතරම් ක්‍රියාකාරී නැත:

  1. අනුර කුමාර දිසානායක
  2. විජිත හේරත්
  3. ලාල් කාන්ත
  4. සුනිල් හඳුන්නෙත්ති
  5. වසන්ත සමරසිංහ
  6. නාමල් කරුණාරත්න
  7. සමන්ත විද්‍යාරත්න
  8. නිහාල් ගලප්පත්ති
  9. ලක්ෂ්මන් නිපුණආරච්චි
  10. ජිනදාස කිතුලගොඩ
  11. රාමලිංගම් චන්ද්‍රසේකර්

11දෙනෙකු ඉතිරි වෙද්දී ඉතිරි 28ට සිදු වූයේ කුමක්ද? ඔවුන් ද ජවිපෙ දැන් කියන ආකාරයට ගෙඹි පැනිලි පැන ඇත. උදාහරණයක් ලෙස ජවිපෙ ඉතිහාසය තුළ හිටපු ඇමතිවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වූ චන්ද්‍රසේන විජේසිංහ ජවිපෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පැන, දැන් සමගි ජන බලවේගයට පැන ඇත.

2004 රැල්ලෙන් ජවිපෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ අතට මේ අතට පැන දැන් කොහි සිටිනවාදැයි පවා සොයාගත නොහැකිය. උදාහරණයක් ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පත් වූ ජයන්ත වීරසේකර ජවිපෙන් පෙසපට, ජාතික නිදහස් පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැන දැන් කොහේ ඉන්නවාද දන්නේ නැත.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ද පක්ෂයෙන් එළියට පැන වෙනත් පක්ෂයක් හදා ගත්තේය.

ජවිපෙ කියන්නේ ද හොඳ ගෙඹි පිනුම්කාරයන්ගේ පක්ෂයකි.

පක්ෂ මාරු කළ සැණින් මන්ත්‍රී ධූරය අහිමි වන නීතියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගෙන එන බව පවසන හරිනි අමරසූරිය ද හඳුන්නෙත්ති හා වෙනත් ජවිපෙ පැරැන්නන්ට උඩින් පනිමින් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ කෙනෙකි. ඒ පිම්ම අමුතුම එකකි.

අති පිරිසිදු යයි තමන් ගැන උදම් අනන බොහෝ මාලිමාකාරයෝ ද වාසි පිල බලා අතනින් මෙතනට පැන්න අයයි. නම් කීපයක් සඳහන් කරනවා නම්, එරික් වීරවර්ධන, ලාල් විජේනායක, චමීර පෙරේරා වැනි අය දැක්විය හැකිය.

දේශපාලනයේදී වැදගත් වන්නේ ස්ථාවරයි. ස්ථාවරවලට එළඹෙන්නේ හෘදය සාක්ෂියට අනුකූලව නම් පක්ෂ බදාගෙන සිටින්නට අවශ්‍ය නැත. වාසි බලාගෙන පක්ෂ බදාගෙන සිටින ගෙවල යකුන් වාසි බලාගෙන පනින ගෙම්බන්ට වඩා හොඳ යයි කියන්නට විශේෂ හේතුවක් නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා