බිලියන්, මිලියන් ක්‍රමය හා ලංකාව මෙට්‍රික් ක්‍රමයට ‘හැ’රෙයි

කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින් අයවැය වාර්තාවේ සංඛ්‍යා කියවූ ආකාරය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ගණිතමය සංවාදයක් ඇති වී තිබේ. යම් වැරදි තිබුණත්, රෝසි සේනානායක සංඛ්‍යා කියවූ විද්‍යාව තේරුම් ගැනීම වැදගත් ය.
Sinhala Tamil English Translations and Content Writing
පහත දැක්වෙන්නේ ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් ඉලක්කම් වෙන් නොකර ලියා ඇති ආකාරයයි: 21440000
පැරණි ක්‍රමයට අනුව තිබුණේ දහස්, ලක්ෂ, කෝටි ක්‍රමයකි. ඒ අනුව, මෙම සංඛ්‍යාව ලිවිය යුත්තේ මෙසේ ය: 2,14,40,000. ඒ අනුව ලංකාවේ ජනගහනය අද වන විට දෙකෝටි දාහතර ලක්ෂ හතළිස් දාහකි.
නූතන ක්‍රමයට අනුව, ජනමාධ්‍ය මෙම සංඛ්‍යාව ලියන්නේ මෙසේ ය: 21,440,000 = විසි එක් මිලියන හාරසිය හතළිස් දාහයි.
මෙය ම පාසල්වල ගණිතය උගන්වන විට ඉලක්කම් අතර කොමා දමන්නේ නැත. ඒ අනුව එම සංඛ්‍යාව පාසල් ළමයි ලියන්නේ මෙසේ ය: 21 440 000
2017 තක්සේරුව අනුව ඉන්දියාවේ ජනගහනය ඉලක්කම් වෙන් නොකර මෙසේ ලිවිය හැකි ය: 1324171354
එය පාසල්වල උගන්වන කලාප වෙන් කිරීම අනුව ලිව්වොත් මෙසේ ය: 1 324 171 354
ජනමාධ්‍යවල අප එය සටහන් කරන්නේ මෙසේ ය: 1,324,171,354
එය කියන්නට වන්නේ එක් බිලියන තුන්සිය විසි හතර මිලියන එකසිය හැත්තෑ එක් දහස් තුන්සිය පනස් හතර ලෙසයි.
මෙය ම පැරණි ක්‍රමය අනුව ලියන්නේ මෙසේ ය: 132,41,71,354 = එකසිය තිස්දෙකෝටි හතළිස් එක් ලක්ෂ හැත්තැ එක් දහස් තුන්සිය පනස් හතරයි. 
එක විදියකට ඉලක්කම් වෙන් කර ලියා තව විදියකට කියවීම ඉතා දුෂ්කර ය. එම නිසා අප දැන් පැරණි ක්‍රමය අත්හැර ප්‍රමිතිගත අලුත් ක්‍රමයට හැඩගැසීම අවශ්‍ය ය. බිලියන, මිලියන කෝටි හා දසලක්ෂවලට හරවන්නට කාලය හා ශ්‍රමය අපතේ හැරීම තේරුමක් නැති ක්‍රියාවකි. 
1970 දශකයේදී ශ්‍රී ලංකාව මෙවැනි පරිවර්තනයක් විධිමත් අන්දමින් කරගත්තේ ය. ඒ, කලින් පැවති දිග, බර, පරිමාව මනින මිනුම් එ්කක වෙනුවට මෙට්‍රික් ක්‍රමයට හැරීමයි. 
අප කුඩා කාලයේ දිග මැන්නේ අඟල්, අඩි, යාර හා සැතපුම්වලිනි. ඒවා සෙන්ටිමීටර්, මීටර්, කිලෝමීටර්වලට හැරිණි. 
බර මැන්නේ අවුන්ස, රාත්තල්වලිනි. සේරුව නම් ඒකකයක් ද තිබිණි. අපෙ අම්මා ළඟ එනවා හාල් සේරු දෙක දෙනවා කියා සටන් පාඨයක් ශ්‍රී ලංකාකාරයෝ කී හ. ඒ සිරිමාවෝ බලයට එන එක ගැන ය. සේරුව ධාන්‍ය පරිමාව මනින දේශීය ඒකකයක් වුව ද පසුව එය රාත්තල් දෙක ලෙස නම් කරගෙන තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 77දී දුන් පොරොන්දුව ද ඇට (ධාන්‍ය) රාත්තල් අටකි. මේවා මෙට්‍රික් ක්‍රමයට ග්‍රෑම් හා කිලෝග්‍රෑම් බවට පත් විය.
පරිමාව මැන්නේ බෝතල් හා ගැලුම්වලිනි. ගැලුමට බෝතල් හයකි. එය පසුව මිලි ලීටර්, ලීටර් බවට හැරිණි. 
එහෙත්, තවමත් පැරණි ඒකක මුළුමනින් ම භාවිතයෙන් ගිලිහී ගොස් නැත. උස මනින විට තවමත් භාවිතා කරන්නේ අඩි අඟල් ක්‍රමයයි. 
මේවා සම්බන්ධයෙන් එක ප්‍රමිතියක් රටට හඳුන්වා දීම අධ්‍යාපන හා සංඛ්‍යාන බලධාරීන්ගේ වගකීමකි. 
ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරුණ හැත්තෑව දශකයේ මැදභාගයේදී බොහෝ බස්වල ඇතුළේ පෝස්ටරයක් අලවන ලදී. එහි තිබුණේ ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි කියා ය. කොල්ලෝ එහි හැයන්න කුරුටු ගෑ හ. 
Rosy Ramanayake
Rosy Ramanayake

ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙන කාලේ රෝසි මේ ඡායාරූපයේ ඉන්නවාටත් වඩා පොඩි ය. එතකොට ඇය සේනානායක නොව රාමනායක ය. සේනානායක වුණේ විවාහ වූ පසුව ය.
කවරයේ ඡායාරූපයේ ඇයට වම්පසින් ඉන්නේ සනත් ගුණතිලක ය. දකුණු කෙළවරේ ඉන්නේ ලලිත් ඇතුලත්මුදලි ය. පිටුපසින් සිටින පුද්ගලයා නොහඳුනමි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා