බල පොරයේ ගිරයට අසු වුණ පළාත් සභා පුවක් ගෙඩිය

අජිත් පැරකුම් ජයසිංහ

පළාත් සභා හයක් මේ වන විට තියෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ. පළාත් සභා ක්‍රියාත්මක බස්නාහිර, දකුණ හා ඌව පළාත්වල පමණයි. 2019 වසර තුළදී ඒවායේත් කාලය අවසන් වෙනවා.
Sinhala Tamil English Translations and Content Writing
මේ වනාහි පළාත් සභා මැතිවරණ මෙසේ කල් දමන ලද පළමු අවස්ථාව නොවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති සමයේ ද පළාත් සභා මැතිවරණ කල් දැමුවා. 1998 ජූනි මාසයේදී මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත් සභාවන්හි ධුර කාලය අවසන් වුණා. එවකට මැතිවරණ කොමසාරිස්වරයා වූ දයානන්ද දිශානායක ජූලි 05දා නාමයෝජනා කැඳවන්නටත්, අගෝස්තු 28දා මැතිවරණ පවත්වන්නටත් නියම කළා. තම පක්ෂය පළාත් සභා මැතිවරණය පරාජය වනු ඇතැයි බිය වූ ජනාධිපතිනි චන්ද්‍රිකා හදිසි නීති රෙගුලාසි භාවිත කරමින් එම ජන්ද විමසීම් දින නියමයක් නොමැතිව කල්දැමුවා. එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ව සිටි වරුණ කරුණාතිලක සහ සුනන්ද දේශප්‍රිය මෙම පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ගොනු කළ මූලික හිමිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පුළුල් අර්ථයෙන් ප්‍රකාශනයේ නිදහසට ජන්දය දීමේ අයිතිය ද ඇතුළත් වන බවයි.
සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනකදී පැවැත්වීම සහ පළාත් සභා ඡන්දය කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම අරමුණු කරගෙන 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථක වුණේ එ් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතර කැමැත්ත මෙන් ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නිසායි.
සියලු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීම වියදම් ඉතිරි කරන පියවරක් වුව ද, එය බලය බෙදාගැනීමේ මූලික සංකල්පයට හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පටහැණියි. එසේ වුවහොත්, කිසියම් හේතුවක් මත පළාත් සභාව කල් තබා විසුරුවා හැරියත්, අනෙකුත් පළාත් සභා බලපැවැත්වෙන තාක් කල් එකී පළාත් සභාවට මැතිවරණ පැවැත්විය නොහැකියි. එවැනි අවස්ථාවකදී පළාත් සභාව ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත් වෙනවා. ඌව පළාත් සභාවේ කාලය අවසන් වන්නේ 2019 නොවැම්බරයේයි. ඒ දක්වා පමණක් නොව, එයින් පසුවත් පළාත් සභා මැතිවරණය කල් දමන්නට ආණ්ඩුවට දැන් හැකියාව තිබෙනවා. ඒ සීමා නිර්ණය පාවිච්චි කරමිනුයි.
20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වූ පසු, කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කරන්නට මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගත්තා. මෙහිදී පළාත් සභා මැතිවරණය කල් දමාගැනීම වැඩිපුර ම අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂ බලවේගයේ තර්ජනය හමුවේ පළාත් පාලන මැතිවරණය පරාජය වනු ඇතැයි බියෙන් සිටි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ දේශපාලනඥයන්ටයි. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍ර‍මවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළා. ඔහුගේ පියා ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා වීමත්, මෙවර ද ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළි නොගෙන ඔහු දිගට ම එම තනතුරේ තබාගැනීමත් මෙහිදී මතක් කළ යුතුයි.
කොට්ඨාස ක්‍රමයත් ඇතුළත් මිශ්‍ර‍ ක්‍ර‍මයකට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නම්, අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණයක් කළ යුතු වුණා. එ් වෙනුවෙන් කොමිෂමක් පත් කර, සීමා නිර්ණය කිරීමක් සිදු කළා. එහෙත්, පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පක්ෂත්, මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂයේ පක්ෂත් එක්ව එම සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පරාජය කළා. සීමා නිර්ණ කොමිෂම පත් කළ, ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ඇමතිවරයා පවා සීමා නිර්ණය කොමිෂන් වාර්තාවට විරුද්ධව ඡන්දය දීම හාස්‍යජනකයි. දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එහෙත්, ඒ සඳහා විධිමත් අන්දමින් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ. නැතිනම් පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. මේ දෙකට ම ආණ්ඩුව පමණක් නොවෙයි විපක්ෂය පවා උනන්දුවක් දක්වන්නේ නැහැ.
පළාත් සභාවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම ප්‍ර‍ගතිශීලී පියවරක්. පළාත් පාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ගත් පියවරවලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී පදනමින් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් වීමට අවශ්‍ය පදනම වැටුණා. එය පළාත් සභාවලත් සිදුවීම හොඳ දෙයක්. සීමා නිර්ණය යනු කරගැනීමට බැරි තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. නැත්තේ ඒ සඳහා උනන්දුව පමණයි. ඒ පසුපස තිබෙන්නේ කුමන්ත්‍ර‍ණකාරී අරමුණුයි.
බල අරගලය තුළ පළමුව මහ මැතිවරණයක් දිනාගෙන, එය ජයගෙන ඒ බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරණයත් ජයගැනීම තමයි රාජපක්ෂවාදීන්ගේ මාර්ග සිතියම. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ජනාධිපතිවරණයක් කැඳවාගැනීමයි. හැබැයි මේ බල පොරය මැද ලංකාවේ ජාතික ප්‍ර‍ශ්නය විසඳාගැනීමට මෙතෙක් ඉතිහාසයේ ගත් එක ම සාධනීය පියවර වන පළාත් සභා ක්‍ර‍මය අර්බුදයට ලක් වීම කණගාටුදායක තත්වයක්. ඉල්ලීමකින් තොරව බලය විමධ්‍යගත කළ සෙසු පළාත්වල වගේ නොවෙයි. උතුරු නැගෙනහිර පළාත්වල පළාත් සභා කිසි සේත් ම අක්‍රිය නොවිය යුතුයි.
(2019-01-29 අනිද්දා පුවත්පෙතහි ද පළ විය)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා