පුස්තකාලෙ ඉස්සරහ පාර



පුංචි කුහුඹුවකු
තවත් කුහුඹුවකුට කියන
පොඩි රහස ද



බිළිඳු කිරි දෙතොලක්
කිරිබර පියයුරක තැවරෙන
මිහිරි පහස ද



ළපලු අතරින්
මල් මොටෙයියෙක්
හුස්ම ගන්නා විට
ගොවි වතක පිපි
මඳ සිනාව ද



මාසෙ පඩිපත ගෙන
හංදියේ කඩෙන් බඩු ගෙන
ගෙදර යන
වැඩ කරන මිනිහෙකුගෙ මල්ලක
තෙල් තැවරුණ පත්තර කඩදාසියක
එතූ පොඩි මුලක් බැඳි
හණ නූලක සුවඳ ද
කිසි පොතක ලියැවී නැත

තව බොහෝ දේ සේ


ලෝකය පොතක් නොව
ලෝකයක් ම ය
කොපමණ පොත් පිරුණත්
ලෝකය තවම හිස් ය



ලෝකය කියවන දරුවා
කඩුල්ල පැන පාසල් යයි
ජීවිතය පාර වී
ඔහුට පාවඩ එළයි
පුස්තකාල ළඟින්
පාරවල් අවසන් නොවේ

- අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?