කැන්ගරු දේශයේ අරුම පුදුම දන්සැල
අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද් සරස්වතී විසින් ආරම්භ කරල තියෙන්නේ.
අැතුළු වනවාත් සමඟ ඉන්දියානු ක්‍රමයට ඉතා සුහදව අපව පිළිගත්තා. නොඇසී ඇසෙන ඉතා මිහිරි ඉන්දියානු සාශ්ත්‍රීය සංගීත රාවය සහ හින්දු ආගම සහ සම්බන්ධ වගේම ඉන්දියානු සංස්කෘතිය විදහා දක්වන සංකේත සහ වර්ණ නිසාත්, ප්‍රණීත ඉන්දියානු හරිත අහාර සුවඳ නිසාත් නිසා ඇති වූ සුන්දර හැඟීම වචනයෙන් විස්තර කිරීම අපහසුයි. කුඩා කාලේ ගණිත විෂයට ඉගෙන ගත්ත කුලක පාඩම මතක් වුණා. ඒ විතරක් නෙවේ, ඉන්දියාව සම්බන්ධ අපේ ඉතිහාස කතා අතර “මහ ගෙදර ගියා” වැනි සිතුවිල්ලක්ද මට ඇති වුණා. ආසියානු ජාතිකයෙකු ලෙස මට එසේ දැනුනා නම්, ඉන්දියානු ජාතියෙකුට නම් තම රට ගැන මහා ආඩම්බරයක්, අභිමානයක් ඇතිවනවා නිසැකයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, වසර පුරා ම එහි පැමිණෙන විවිධ ජාතීන්ට අයත් අමුත්තන්ට ඉන්දියානු ක්‍රමයට සැකසූ බත් ඇතුළු තවත් නිර්මාංශ අහාර පාන (තෝසේ, රසම්, මසාල, එළවළු, පලතුරු, අතුරුපස) ඉතා පිරිසිදුව සහ පිළිවෙලට දිවා සහ රාත්‍රී අහාර වලින් නොමිළේ ම සංග්‍රහ කිරීමයි.
(සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේදී එළවලු සමඟ කුඩා බත් පතක් ලංකාවේ මුදලින් අඩුම තරමේ රුපියල් 1500-2000 ක් පමණ වේ.) මෙහිදී තම කැමැත්ත අනුව කීයක් හරි දීම සිදු කළ හැක. එම මුදල් එහි නඩත්තුව සඳහා යොදාගනී. කැමති අයට කැමති පරිදි අනුග්‍රහ දැක්විය හැකියි. පර්ත් නගරයේ ඕනෑම තැනකට ඩොලර් 10කට දිවා ආහාර වේලක් ගෙනගොස් දීමේ සේවාවක් ද එහි ක්‍රියාත්මක වෙනවා. ඒ ආදායමත් මේ දන්සැල සඳහා භාවිතා වෙනවා.
මෙහි අහාර පිසීම ඇතුළු සියලුම දේ ඉටුකරන්නේ ස්වෙච්ඡා සේවකයින් ය. ඉන්දියානුවන් පමණක් නොව විවිධ ජාතීන් තම කැමැත්තෙන් පැමිණ දිනෙන් දින මෙහි සේවය කරනවා. සුදු කළු තලෙළු සියලු මිනිසුන් මෙහි ආහාර ගැනීමට පමණක් නොව ස්වේච්ඡා සේවය සඳහා ද පැමිණේ.
හින්දු දහම අනුව තම ආහාර වේල ගැනීමට පෙර මුලින්ම නිවසට එන අමුත්තෙකුට අහාරපාන දී සතුටු කිරීමේ සම්ප්‍රදායක් ඇත. දෙවියන් ආගන්තුකයාගේ ආකෘතියෙන් පැමිණෙන බවට විශ්වාස කෙරෙන මෙම සංකල්පය “අතිටි දේවෝ භවා” යනුවෙන් හැඳින්වේ. අමුත්තා දෙවියන් ය යන්න එහි අරුතයි. සම්ප්‍රදායට ගරු කරමින් පොදු සුබසාධනය සහ තම සංස්කෘතික අනන්‍යතාව ඉදිරියට ගෙන යාමත්, සියලු ජාතීන්, ආගම් සහ ඇදහිලි අතර සමාජ ඒකාබද්ධතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමත් මෙම සත් ක්‍රියාවේ අරමුණ වී ඇත.
අන්න යනු පෝෂණය හා පැවැත්ම යන අරුතයි. ලක්ෂ්මී දෙවඟන යන අරුත දෙයි. පැවැත්මට අධිපති දෙවඟන අන්නලක්ෂ්මි නම් වේ. පුරාණයේ සිට ම හින්දු ජනයා ආහාර පිසීම හා පිරිනැමීම පූජනීය කාර්යයක් ලෙස සැලකුවා. අන්න දහම යනු කුසගින්න නැති කරමින් මිනිසුන් සතුටු කිරීමයි. එය ද ඉන්දියාවේ ඈත අතීතයේ සිට ම භාවිතාවේ පැවති දෙයකි. අන්නලක්ෂ්මි සූපවේදීන් සම්ප්‍රදාය නම් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලත් අය බව ද ඔවුන්ගේ සූප ශාස්ත්‍ර විධි වසර දහස් ගණනක් පුරා පරපුරෙන් පරපුරට හුවමාරු කරන ලද ඒවා බව ද ඔවුන් උදම් අනනවා.
(කවරයේ ඡායාරූපය: sbs.com.au)
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.