ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂපාතිත්වය ගැන ජනාධිපති සිරිසේනගේ චෝදනාව

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා පැවැත්වූ කතාවේදී ඔහ ව්‍යවස්ථාදායක සභාවත්, එමගින් කරන ලද අධිකරණ පත්වීම් සම්බන්ධයෙනුත් විවේචනය කළා. ඔහු කෙළින් ම නොකීවත් අදහස් කළේ ව්‍යවස්ථාදායක සභාව එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී බවයි.
Sinhala Tamil English Translations and Content Writing
“අධිකරණ ක්‍ෂේත‍්‍රයේ විනිශ්චයකාරවරු පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා මේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට මම පත්වීම් ලබා දෙන්නේ නැහැ කියලා. මම පැහැදිලිව කියන්න ඕන ඒ චෝදනාවට ලක්වී තිබෙන සෑම නමක්ම මම ව්‍යවස්ථා සභාවට යවලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඒවා ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තුළ අධිකරණ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා,” ඔහු පැවසුවා.
ව්‍යවස්ථාදායක සභාව යනු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පත් කරන ලද ආයතනයක්. එහි අරමුණ වුණේ රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් ගලවාගැනීමයි. සෙසු ස්වාධීන කොමිෂන් සභා 11 පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. එහි සාමාජිකයන් 10දෙනෙකු ඉන්නවා. පහත දැක්වෙන්නේ ඒ සාමාජිකයන්ගේ නම් හා ඔවුන් පත් වූ ආකාරයයි.
  • කරු ජයසූරිය, කතානායක – නිල බලයෙන් කොමිෂන් සභාවේ සභාපති
  • රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය – නිල බලයෙන්
  • ආර්. සම්බන්ධන්, විපක්ෂ නායක – නිල බලයෙන්
  • මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී – ජනාධිපති විසින් පත් කරන ලද නියෝජිතයා
  • බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී – පාර්ලිමේන්තුවේ අගමැති හා ජනාධිපති නියෝජනය කරන පක්ෂ නොවන වෙනත් පක්ෂ විසින් තෝරා පත් කරන ලද නියෝජිතයා
  • තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රී 
  • චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී 
  • ජයන්ත ධනපාල, නාගානන්ද සෙල්වකුමාර්, ජාවඩ් යූසුෆ් – ස්වාධීන නියෝජිතයන්. මොවුන් සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති අය විය යුතු බව ව්‍යවස්ථාවෙහි දැක්වෙනවා.
ඉහත රතු අකුරෙන් දක්වන ලද නියෝජිතයන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනුයි. ඔවුන් නම් කරන්නේ අගමැති හා විපක්ෂ නායක විසිනුයි. පත් කරන ලද නියෝජිතයන්ට වසර තුනක කාලයක් එම ධුර දැරිය හැකි අතර ඔවුන් නැවත පත් කරන්නට බැරි ය. නිල බලයෙන් පත් වන අයට කොමිෂන් සභාවේ සාමාජිකත්වය හිමි වන්නේ අදාළ තනතුරු දරන තාක් කල් පමණි. ව්‍යවස්ථාදායක සභාවේ තිබෙන්නේ එක ම එක කාන්තා නියෝජනයක් පමණක් බව ද අවධානයට ලක් විය යුතු කාරණයක්.
ව්‍යවස්ථාදායක සභාවේ මහලේකම්වරයා පත් කරගනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. එම තනතුරේ කාලය වසර පහක් වන අතර කාලය දිගු කරන්නට ද පුළුවන්.
ව්‍යවස්ථාදායක සභාව යටතේ පත් කරනු ලබන ස්වාධීන කොමිෂන් 11 මෙසේයි.
  1. මැතිවරණ කොමිෂන් සභාව
  2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  3. ජාතික පොලිස් කොමිෂන් සභාව
  4. විගණන සේවා කොමිෂන් සභාව
  5. මානව හිමිකම් කොමිෂන් සභාව
  6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
  7. මුල්‍ය කොමිෂන් සභාව
  8. සීමා නිර්ණය කොමිෂන් සභාව
  9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
  10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  11. නිල භාෂා කොමිෂන් සභාව
2010දී සම්මත කරන ලද 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හඳුන්වා දුන් ක්‍රමය ද මෙහිදී සලකා බැලිය යුතුයි. ඔහු ව්‍යවස්ථාදායක සභාව වෙනුවට හඳුන්වා දුන්නේ පාර්ලිමේන්තු සභාවයි. එහි ස්වාධීන නියෝජිතයන්ට අවස්ථාවක් නැහැ. එය සමන්විත වුණේ අගමැති, කතානායක, විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස පස්දෙනෙකුගෙනුයි. ස්වාධීන කොමිෂන් සභා හතකට නියෝජිතයන් නිර්දේශ කිරීමේ හැකියාව මෙම කොමිෂමට තිබුණා. අවසන් පත්කිරීම් සිදු කළේ ජනාධිපතිවරයා විසිනුයි. 
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් නිර්දේශ කිරීමට අමතරව මතු දැක්වෙන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා එවනු ලබන නම් අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට හිමි වෙනවා. එම තනතුරු නම්,
  • අග්‍ර විනිශ්චයකාර සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්
  • අභියාචනාධිකරණයේ සභාපති සහ එහි විනිසුරුවරුන්
  • අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන් (සභාපති හැර)
  • නීතිපති
  • විගණකාධිපති
  • පොලිස්පති
  • ඔම්බුඩ්ස්මන්
  • පාර්ලිමේන්තු ලේකම්
අවසන් පත්කිරීම් කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි.
ජනාධිපතිවරයා ඇතැමුන් ‘ගෙදර යන ගමන්’ කැඳවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් දුන් යුගයක් ද ලංකාවේ තිබුණා. දැන් එහෙම හිතුවක්කාරකම් විධායක ජනාධිපතිවරයාට කරන්නට බැහැ. ඉහළ පෙළේ පත්කිරීම් සම්බන්ධයෙන් යම් විධිමත් ක්‍රමවේදයක් තිබෙනවා.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් ගැන කරන විවේචනය ව්‍යවස්ථාදායක සභාව ඒ අන්දමින් ම කරන ලද පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් නොකරන එක ගැනත් අවධානය යොමු කරන්න. එයට හේතුව පොලිස්පතිවරයා ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී ඔහුට සහාය දීම නොවේ ද? කවුරුන්, කොහොම පත් කළත්, පුද්ගලයන්ට තම කටයුතු කිරීමේදී යම් නිදහසක් හිමි වෙනවා. එහිදී ඔවුන් සිතන, මතන අන්දම ඉතා වැදගත්. 
ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයේ පහත දැක්වෙන කොටස ද ව්‍යවස්ථා විරෝධී බව අපගේ අදහසයි: “විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.” ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එසේ ප්‍රකාශ කරන්නට අයිතියක් නැහැ. 
(ඡායාරූපය: 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස් වූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි.)
  • අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා