වේගයෙන් වෙනස් වන මාධ්‍ය ලෝකයක පුරවැසියා
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය දශක නවයකට වඩා පැරණියි. රූපවාහිනී ඉතිහාසයටත් දැන් හතළිස් වසරක් වෙනවා. කෙසේ වෙතත්, අද වන විට විද්‍යුත් මාධ්‍ය එක පැත්තකින් දැවැන්ත පරිණාමයකටත්, අනෙක් පැත්තෙන් ව්‍යූහාත්මකව දැවැන්ත විපර්යාසයකටත්, තවත් පැත්තකින් පැවැත්ම පැත්තෙන් දරුණු අර්බුදයකටත් මුහුණ දී සිටිනවා.
විද්‍යුත් මාධ්‍ය පවතින්නේ පොදු මහජන දේපලක් වන ගුවන් විදුලි සංඛ්‍යාත පරාසය මතයි. එහෙත්, මෙම පොදු දේපල බදු දී තිබෙන්නේ පාරදෘෂ්‍ය නොවන ආකාරයකට. මෙම සංඛ්‍යාත පරාසය ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත අභියෝගයක් ද ලංකාව හමුවේ පවතිනවා. ඇත්තෙන් ම එය කල් පසුවෙමින් තිබෙන ක්‍රියාවලියක්. මෑතදී පැවැත්වුණ මාධ්‍ය වැඩසටහනකදී ආචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් පෙන්වා දුන් කරුණක් වන්නේ විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නුදුරේදී ම ඇනලොග් උපාංග හිඟයකට මුහුණ දීමට සිදු විය හැකි බවයි. හේතුව, ලෝකය පුරා විද්‍යුත් මාධ්‍ය ඩිජිටල්කරණය වීමත්, පැරණි ඇනලොග් උපාංග නිෂ්පාදනය නතර වීමත්.
මාධ්‍ය නියාමනයක අවශ්‍යතාව පිළිබඳ විද්වත් කතිකාවක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. රංග කලන්සූරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන සමයේ විද්‍යුත් මාධ්‍ය නියාමන පනතක කෙටුම්පතක් සංවාදයට භාජනය කළා. එහෙත්, ලිබරල්වාදීන් පමණක් නොවෙයි වාමාංශික අදහස් දරන අය පවා මාධ්‍ය නියාමනයකට දැඩිව ම විරුද්ධයි. ඔවුන් ස්වයං නියාමනයක් පිළිබඳ වැඩි කැමැත්තක් දක්වනවා. මාධ්‍ය ස්වයං නියාමනයට වුණත් ව්‍යූහයන් අවශ්‍යයි.
මේ පිළිබඳ තවත් පැතිකඩක් වන්නේ දැන් දැන් මාධ්‍යවල ක්‍රියාත්මක වීම ජාතික රාමුව ඉක්මවා යමින් තිබීමයි. උදාහරණයක් ලෙස, වර්තමනයේ යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන විදේශ රටක ජීවත් වන පුද්ගලයකුට වුණත් ලංකාවට දැවැන්ත බලපෑමක් කරන්නට පුළුවන්කම තිබෙනවා. එහිදී ලංකාවේ නියාමන ආයතනවලට ජාතික වශයෙන් කළ හැකකි දේ ඉතා සීමිතයි. ලංකා ඊ නිව්ස් ද මේ සඳහා උදාහරණයක්. ජාතික වශයෙන් ඊ නිව්ස් කර්තෘට වරෙන්තු පවා නිකුත් කර තිබෙනවා. එහෙත්, එයින් සිදු වුණ දෙයක් නැහැ. අවසානයේදී කළේ ඊ නිව්ස් ලංකාවේ සිට බලන්නට බැරි පරිදි ආවරණය කිරීමයි. එය නියාමනයක් නොව වාරණයක්. ජාත්‍යන්තර අවකාශයක ස්ථාපනය වී තිබෙන ජනමාධ්‍ය දේශීය වශයෙන් නියාමනය කරන්නට බැරි බවට ලංකා ඊ නිව්ස් හොඳ උදාහරණයක්.
පුවත්පත් පැමිණිලි කොමිෂම පුවත්පත් කර්මාන්තය තුළින් ම ස්වයං නියාමනය සඳහා ගොඩනැගුණු ආයතනයක් ලෙස සැලකිය හැකියි. කර්තෘ සංසදය විසින් සකස් කරන ලද මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියත්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයත්, වාර්ෂික ජනමාධ්‍ය සම්මාන උළෙලත් පුවත්පත් කර්මාන්තයට සාධනීය දායකත්වයක් සපයන බව කිව හැකියි.
2017 සැප්තැම්බර් 20දා බිහි වුණ විකාශකයින්ගේ සංසදය (Broadcaster’s Guild) විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් මෙතෙක් අඩුපාඩුවක්ව පැවති එවැනි ක්‍රිියාවලියක ආරම්භයක් ලෙස සැලකිය හැකියි.
රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන තමයි එහි ආරම්භක සභාපති වුණේ. ආරම්භක ලේකම් වූයේ දෙරණ ආයතනයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ යි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී කර්මාන්තයේ සමාරම්භකයකු ලෙස ඉතිහාසයේ සටහන් වන Telshan Networks ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ විකාශකයින්ගේ සංසදයේ උපදේශකත්වයට පත් කර ගැනුණා.
විකාශකයන්ගේ සංසදයේ මූලික අරමුණු ලෙස දැක්වුණේ පහත දැක්වෙන කරුණුයි.
01. මාධ්‍ය කර්මාන්තයේ වෘත්තිකභාවය ඉහළ නැංවීම
02. කර්මාන්තයට පොදුවේ බලපාන අභියෝගවලට එක්ව මුහුණදීම
03. ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවලදී එක් අරමුණක් සහිතව ක්‍රියා කිරීම
04. අාචාරධර්ම සුරැකෙන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම
විකාශකයන්ගේ සංසදය හෙමින් නමුත් යම් ගමනක් යමින් තිබෙන බවක් පෙනෙනවා.
සිරස මාධ්‍ය ජාලය විකාශකයන්ගේ සංගමය සමග එක් නොවීම බරපතල අඩුවක් ලෙස දැකිය හැකියි. හේතුව, සිරස මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක් වීමයි. කෙසේ වෙතත්, මෑත වකවානුවේදී ඔවුන්ගේ චර්යාව මාධ්‍ය විශ්ලේෂකයන්ගේ, ක්‍රියාධරයන්ගේ සහ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.
ජඩ මාධ්‍ය නම් යෙදුමත් මේ සමග භාවිතාවට පැමිණියා. මාධ්‍ය දැඩිව විවේචනය වුණා වගේ ම මාධ්‍ය විසින් විවේචකයන්ට එරෙහි වෛරී ප්‍රචාරණයක් ද සිදු වුණා.
මේ පිළිබඳ බොහෝ අය අදහස් දැක්වූවා. මාධ්‍යවලට ම දොස් පැවරීම ජනප්‍රිය වෙද්දී මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන විසින් පළ කරන ලද අදහස ඉතා වැදගත්.
විකාශකයන්ගේ සංසදයේ සාකච්ඡා මණ්ඩපයේදී ඔහු විසින් පළ කරන ලද අදහස ඔහු ට්විටර් පණිවුඩයක් මගින් මෙසේ සංක්ෂිප්ත කර දක්වා තිබුණා. “මාධ්‍යවලට බැනවැදීමෙන් ඇතැමෙකු සතුටට පත් වන්නට පුළුවන්. එහෙත්, එයින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට කිසිවක් සිදු වන්නේ නැහැ. මාධ්‍ය කියන්නේ පුණ්‍ය ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරමය ලෙස හොඳින් පවතින ගමන් ම රූපවාහිනී සහ රේඩියෝ විසින් හොඳ දේ කරන බව තහවුරු කරන්නටත් අවධානය යොමු කරමු. සමාජ වගකීම කියන්නේ කම්මැලි අන්තර්ගතයන් නෙමෙයි.”
මේ වන විට ලෝකයේ මාධ්‍ය කර්මාන්තය දැවැන්ත හා වේගවත් පරිවර්තනයකට ලක් වෙමින් තිබෙනවා. එම පරිවර්තනය හමුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොවෙයි, පුවත්පත් කලාවේදියාගේ පවා පැවැත්ම දැවැන්ත අභියෝගයකට ලක් වී තිබෙනවා. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හේතුවෙන් පුරවැසියා ම පුවත්පත් කලාවේදියාගේ භූමිකාවට හැඩගැසෙමින් තිබෙනවා. එහි හොඳ මෙන් ම නරක ද තිබෙනවා. ප්‍රවෘත්ති හා තොරතුරු සන්නිවේදනය පිළිබඳ මූලධර්ම කෙරෙහි අවධානය යොමු නොකරන, වෘත්තිකමය ජනමාධ්‍යකරුවන් නොවන පිරිසක් බලපෑම් සහිතව තොරතුරු සන්නිවේදනයට මැදිහත් වීම නිසා ඇති වී තිබෙන්නේ අලුත් ම තත්වයක්. එසේ ම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සියවසකට අධික කාලයක් පැවති සංස්කාරක හා ජනමාධ්‍ය හිමිකරුවන්ගේ ආධිපත්‍යය ද ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබෙනවා.
මෙම තත්වය ශ්‍රී ලංකාවට දැනටමත් දැඩි ලෙස බලපා තිබෙනවා. ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යාම දැනටමත් දුෂ්කර තත්වයට පත් වී තිබෙන අතර, වෙනත් ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන් එම ව්‍යාපාරවලින් ලබන ලාභය ජනමාධ්‍යවලට ආයෝජනය කරමින් පටු අරමුණු ඉටු කරගැනීම සඳහා මාධ්‍ය භාවිතා කිරීම අද වන විට ලංකාවේ බරපතල සමාජ දේශපාලනික ගැටලුවක් බවට පත් වී තිබෙනවා.
අද දවසේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන විට තව අවුරුදු පහකින් ලෝකයේ හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවකාශය කෙබඳු විපර්යාසයකට ලක් වී තිබේවිද යන්න සලකා බැලීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ විකාශන සංඛ්‍යාත පරාසය ඩිජිටල්කරණය දැනටමත් පමා වෙලායි තිබෙන්නේ. මේ පිළිබඳ ආචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් පැවසූ කරුණක් වන්නේ විකාශන සංඛ්‍යාත පරාසය පුළුල් වුණත් එහි ද සීමා තිබෙන බවයි. එහෙත්, මේ අතරවාරයේ අන්තර්ජාලය මිනිස් ජීවිතයට සමීප වන තරම නිසා ජනමාධ්‍ය සම්බන්ධයෙන් අද තිබෙන තත්වයට සපුරා වෙනස් තත්වයක් තව අවුරුදු පහකින් දැකිය හැකි වන්නට පුළුවන්. ඉදිරි දශකයේදී අපට කතා කරන්නට සිදු වන මාතෘකාව ඇතැම් විට කෘත්‍රිම බුද්ධිය මාධ්‍ය ක්ෂේත්‍රයේ කරන බලපෑම විය හැකියි.
අප සිතන පරිදි නම්, ජනමාධ්‍ය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ ක්ෂුද්‍ර මට්ටමේ මැදිහත්වීම් ඉතා වැදගත්. අනාගත මාධ්‍ය පරිවර්තනය තුළ ඔබට ස්ථාපිත වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ අද ඔබ කරන අත්හදාබැලීම් මතයි. තාක්ෂණය කොතරම් ඉහළ ගියත්, අන්තර්ගතයේ තිබෙන ගුණයට තිබෙන වැදගත්කම කවදාවත් අඩු වන්නේ නැහැ. පුරවැසි මාධ්‍යකරුවන්ගේ වටිනාකම තාක්ෂණයට වහන්නට බැරි ඒ නිසායි. මාධ්‍ය ප්‍රතිසංස්කරණ, මාධ්‍ය සංවිධාන තරමට ම හෝ ඊටත් වඩා අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඔබ කරන මැදිහත් වීම වැදගත් විය හැකියි. හේතුව, අවසානයේදී මාධ්‍ය හරහා ඔබ අලෙවි කරන, ඉදිරිපත් කරන, ප්‍රචාරය කරන දෙය අන් කිසිවක් නොවෙයි, ඔබේ අදහස්, ආකල්ප හා තොරතුරු ඇතුළත් අන්තර්ගතයන් වීමයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.