ගායක අමල් පෙරේරාට ඩුබායිහිදී ලැබිය හැකි දඬුවම

අජිත් පැරකුම් ජයසිංහ

පාතාල අපරාධකරුවකු සහ කුඩු ජාවාරම්කරුවකු ලෙස කුප්‍රසිද්ධ මාකඳුරේ මධුෂ් සමග ගායක අමල් පෙරේරා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වී තිබේ. ඒ මොහොතේ අමල් පෙරේරා කොකේන් පානය කර සිටි බව මේ වන විට වාර්තා වී තිබේ. ඔහුගේ රුධිර පරීක්ෂණයෙන් ඔහු එසේ කර ඇති බව ඔප්පු වුවහොත් ඔහුට කුමක් සිදු විය හැකි ද යන්න මේ මොහොතේ කාගේත් අවධානය යොමු වී තිබෙන කරුණකි.
Sinhala Tamil English Translations and Content Writing
මෙහිදී ඔවුන් අත්අඩංගුවට පත් වූ ඩුබායි අයත් වන රට හා එහි නීතිය වැදගත් ය. ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය නමින් හැඳින්වෙන රටට අයත් එමීරේටයක් හෙවත් පුරවරයකි. එම රාජ්‍යය එවැනි එමිරේට් 7කින් සමන්විත ය. ඒවා නම්, ඩුබායි, අබුඩාබි, අජ්මාන්, ෂාජා, උම් අල් කුවයින්, රස් අල් ඛයිමා සහ ෆුජයිරා ය.
මෙම එමිරේට්වල ස්වයං පාලනයක් ඇත. ඒවාට වෙන වෙන ම එමිරේට් කොඩි ද තිබේ. එහෙත්, මේ සියල්ල අයත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර එහි ජනාධිපතිවරයා වන්නේ අගනුවර ලෙස සැලකෙන අබුඩාබි එමීර්වරයා ය. අගමැති ධුරය හිමි වන්නේ ඩුබායි එමීර්වරයාට ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටීම පහත සිතියමේ දැක්වේ.
උපුටා ගත්තේ onestep4ward.com
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන රටකි. එහිදී 1995 අංක 14 දරණ නීතිය ඉතා වැදගත්. ඒ අනුව, එරට විසින් තහනම් කර තිබෙන මත්ද්‍රව්‍ය කිසිවක් නිෂ්පාදනය, අපනයනය, ආනයනය, බෙදාහැරීම, අලෙවිය, ළඟ තබාගැනීම, භාවිතය තහනම් ය. ග්‍රෑම් 0.05ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් ළඟ තිබී අසු වුණත් දඬුවම් ලැබිය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති අය සම්බන්ධයෙන් රුධිර පරීක්ෂාවක් සිදු කර අදාළ මත්ද්‍රව්‍යය හඳුනාගනු ලැබේ. මත්ද්‍රව්‍ය පිළිබඳ එරට නීති මෙතැනින් කියවන්න. >>>
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන වෙබ් අඩවි 180කට වඩා බ්ලොක් කර තිබෙනවා. එහෙත්, කොතරම් දැඩි පියවර ගත්තත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ වැඩි වීමකුත් තිබෙනවා.
ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුණු විදියට කොකේන් ශරීරගතව තිබී අසු වූ පළියට එම රාජ්‍යය වැරදිකරුවන් මරණීය දණ්ඩනයට ලක් කරන්නේ හෝ දීර්ඝකාලීනව හිරේ දාන්නේ හෝ නැහැ. එහෙත්, මෑතක් වන තෙක් ම අවම අවුරුදු හතරක සිර දඬුවමක් නියම වුණා. පළමු වරට මෙම වරද කර අසු වූ අයට පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු වීමේ අවස්ථාව ලබාගන්නට ඉඩක් තිබෙනවා. එහිදී රෝගීන් දැඩි පරීක්ෂාවකට ලක් කර, ඔවුන්ට ඖෂධ මෙන් ම මානසික ප්‍රතිකාර ද ලබා දෙනවා. ඔවුන්ගේ ඇබ්බැහි වීම් නැති කිරීම තමයි එම ප්‍රතිකාරවල අරමුණ. එහෙත්, නැවත නැවත මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් හසු වන අයට සහනයක් නැහැ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවාගේ හිමිකාරිත්වයේ බලය පිළිබඳ එරට නීතිය විසින් අවධානය යොමු කරනු ලබනවා. ඒ පිළිබඳ විස්තරයක් මෙතැනින් කියවන්න. >>> මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට නම් මරණීය දණ්ඩනය පවා හිමි වෙනවා. නැතිනම් වසර 10ට වැඩි දඬුවම් හා ඩිරාම් 20,000ට (රු. මිලියනයක් පමණ) වැඩි දඩ ද නියම කෙරෙනවා.
මධුෂ් කෙසේ වෙතත්, අමල් පෙරේරා ලංකාවට ලබාගැනීම නම් එතරම් පහසු වෙන්නේ නැති බවයි දැනට නම් පෙනෙන්නේ. ඒ වෙනුවෙන් විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් කරන්නට සිදු වෙයි. එහෙම කළත්, එම රටවල් ලංකාවේ රජය ගණන් ගන්නේ නැහැ. අසාධාරණ මරණ දඬුවමකට නියම වී සිටි රිසානා නෆීක් නිදහස් කරගැනීමට ය කියා එවකට විදේශ රැකියා පිළිබඳ ඇමති ඩිලාන් පෙරේරා සහ නිලධාරීන් සවුදි අරාබියට ගොස් ආපසු මෙහි පැමිණ ඇය නිදහස් කරගත හැකි බව කීවත්, සවුදිය ලංකාවේ රජය ගණන් ගන්නේ නැතිව ඇගේ හිස ගසා දැමුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඒ වගේ තමයි. මධුෂ් ලංකාවට ලබාගැනීම වුණත් රජයට එතරම් ලෙහෙසි නැහැ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්පැන් තහනම් නැහැ. හැබැයි, මත්පැන් පානය කරන්නට බලපත්‍රයක් ලබාගත යුතුයි. එම බලපත්‍රය ලබා ගත හැක්කේ වයස 21ට වැඩි, මුස්ලිම් ජාතිකයකු නොවන, ඩිරාම් 3000ට වැඩි ආදායමකුත් තිබෙන, පදිංචි වීමට වීසා ඇති අයට පමණයි. ඒ පිළිබඳ තවත් විස්තර මෙතැනින්. >>>
සංචාරකයන්ටත් අවසර ලත් ස්ථානවලදී මත්පැන් මිළ දී ගැනීම, පානය කිරීම කළ හැකියි. පොදු ස්ථානවල මත්පැන් පානය, සේවා ස්ථානයේදී මත්පැන් බීම හා මත්පැන් බී වාහන පැදවීම දැඩි දඬුවම්වලට හේතු වෙනවා.
මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක වන ආකාරයට ඉහත කී කරුණු සම්බන්ධයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා