පෝස්ටර් යුද්ධය, මහනුවර සහ ගාල්ල

අජිත් පැරකුම් ජයසිංහ (කවරයේ ඡායාරූපය ලේඛකයා විසින් කොළඹ තුන්මුල්ල හන්දියේදී ගන්නා ලද්දකි. රැය පුරා විවිධ පුද්ගලයන් විසින් දැන්වීම් පුවරුවක අලවන ලද පෝස්ටර් සනීපාරක්ෂක කම්කරුවකු විසින් ගලවා රැගෙන යන ආකාරය එහි දැක්වේ.)

යුනෙස්කෝ ලෝක උරුමයන් හා සම්බන්ධ මහනුවර සහ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශවල අනවසර ස්ථානවල පෝස්ටර් ඇලවීම, බැනර් සහ කටවුට් දැමීම තහනම් කරන බව බලධාරීන් නිවේදනය කළා. තහනම නොතකා එවැනි දේ ප්‍ර‍දර්ශනය කළහොත්, එම ප්‍ර‍චාරණ මාධ්‍යවල නම සඳහන් අයට විරුද්ධව නීති මගින් ක්‍රියා කරන බවත් නිවේදනය කරනු ලැබුවා.
Sinhala Tamil English Translations and Content Writing
ඡන්ද කාලවලදී තැන, නොතැන නොබලා පෝස්ටර් අලවන දේශපාලකයන් වැනි කපටි පුද්ගලයන් මේ අන්දමින් නීතියේ රැහැනට කොටු කිරීම පහසු නැහැ. තමන්ගේ ඡන්ද දායකයන් මේ අන්දමින් පෝස්ටර් මුද්‍ර‍ණය කර තමන්ට තිබෙන ආදරය නිසා අලවන බවට ඔවුන් තර්ක කරනු ඇති.
නාගරික ප්‍ර‍චාරණය සඳහා අදාළ පළාත් පාලන ආයතනයෙන් මුදල් ගෙවා අවසර ගත යුතු ය. දැන්වීම්කරුගේ, මුද්‍ර‍ණකරුගේ නම සඳහන් නීත්‍යානුකූල පෝස්ටර් අවසර සහිත තැන්වල නොමිළේ ප්‍ර‍දර්ශනය කළ හැකියි. මේ වන විට කොළඹ නගරයේ ප්‍ර‍ධාන වීදි අසල නම් පෝස්ටර් ඇලවීම සඳහා දැන්වීම් පුවරු යම් ප්‍ර‍මාණයක් සවි කර තිබේ.
කෙසේ වෙතත්, අලවනු ලබන පෝස්ටර් බොහොමයක් නීත්‍යානුකූල නැහැ. දේශපාලන පෝස්ටර් පමණක් නොව වෙළඳ පෝස්ටරුත් නීති විරෝධීයි. බොහෝ විට, ඒවා අලවනු ලබන්නේත් අනවසර තැන්වලයි. එමගින් නගර අලංකරණයට හා පුද්ගල නිදහසට බාධා වන බව ඇත්ත.
පරිසරයට ලොකුම හානිය සිදු වන්නේ ඩිජිටල් බැනර්වලින්. ප්ලාස්ටික්, පොලිතින් ආදියෙන් නිෂ්පාදිත මේවා දාන අය මිස ගලවන අය නැහැ. ඒවා නිකම් ම පරිසරයට මුදා හැරෙනවා.
පෝස්ටර් වුණත්, තාප්ප මත ඇලෙව්වා ම ගැලවීම ඉතා අමාරුයි. ඒ වෙනුවෙන් අධි පීඩන ජල විදින යන්ත්‍ර‍ භාවිතා කරනවා.
කෙසේ වෙතත්, පෝස්ටර් වැනි මාධ්‍ය තොරතුරු සන්නිවේදනයේදී හා ප්‍ර‍චාරණයේදී ලොකු වැඩක් කරනවා. විශේෂයෙන් ම පොදු කටයුතු වන දේශපාලන සන්නිවේදනයේදී හා ආදායමට වඩා වටිනාකමක් තිබෙන කලා කටයුතු සන්නිවේදනයේදී පෝස්ටර් යොදාගන්නට සිදු වෙනවා. එයට හේතුව, වඩාත් ම ලාභදායී මාධ්‍යය එය වීමයි.
ඒ නිසා, පෝස්ටර් ඇලවීම සඳහා නීත්‍යානුකූලව අවසර සහිත පුවරු සවි කළ යුතුයි. එහෙම කළත් පෝස්ටර් ඇලවීම කියන්නේ යුද්ධයක්.
කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීම සඳහා සැකසූ පුවරු තිබෙනවා. එබඳු පුවරුවක පැය කීපයක් පෝස්ටරයක් ප්‍ර‍දර්ශනය වීම ඒ පෝස්ටරයේ වාසනාවක්. හේතුව දවස පුරා ම විවිධ අය ඒ මත පෝස්ටර් ඇලවීමයි.
රැකියාවට පෝස්ටර් ඇලවීම කරන අය ඉන්නවා. රාත්‍රියේදී පවා වට කීපයකින් පෝස්ටර් ඇලවෙනවා. අන්තිමට එළි වෙනකොට ඉතුරු වන පෝස්ටරය විතරයි ජයගන්නේ. සමහර වෙලාවට වීදි පිරිසිදු කරන සේවකයන් සති ගානක් තිස්සේ එක මත එක අලවා තිබුණු පෝස්ටර් මිටිය ම ගලවා රෝල් කරගෙන යනවා.
පෝස්ටර් ඇලවීම නිසා මේ රටේ තරුණයන් මරා දමන ලද, සිරගත කරන ලද යුගයක් ද තිබුණා. පෝස්ටරය ජවිපෙ දේශපාලනයේ මූලික ලක්ෂණයක්. එක දවසේ එක ම සටන් පාඨ රට පුරා පෝස්ටර් මගින් ප්‍ර‍දර්ශනය කිරීමේ සම්ප්‍ර‍දායක් ජවිපෙට තිබෙනවා. ජවිපෙ දේශපාලන පෝස්ටර් කලාව ද උඩු යටිකුරු කළා. අච්චු ගහන ලද දේශපාලන පෝස්ටර් වෙනුවට අලුත් අකුරු ශෛලියකින් කළු, රතු, කහ වර්ණ යොදා ගනිමින් අතින් අඳින පෝස්ටර් කලාව හඳුන්වා දුන්නේ ජවිපෙ. දැන් නම් අතින් අඳින පෝස්ටර් භාවිතාව දැකිය හැක්කේ විශ්වවිද්‍යාලවල පමණයි.
පෝස්ටර් අලවන තරමට ඒවා මහජන දෑසට හසු වන්නේ නැහැ. එසේ ඇසට ලක් කරගෙන බලපෑම් සහගත වීම ලේසි නැහැ. සමහර මැතිවරණ අපේක්ෂකයන් දිස්ත්‍රික්කයේ ජනගහනය මෙන් කීප ගුණයක් පෝස්ටර් ගහන්නේ ඒ නිසායි. රැස්වීම්, සංදර්ශන වැනි සමහර අවස්ථා සම්බන්ධයෙන් ප්‍ර‍චාරණය සඳහා අලවන පෝස්ටර් ගණන අනුව බැලුවොත්, පෝස්ටර් 100කට විතර එක් අයෙකු අවස්ථාවට සහභාගි වන බවත් දකින්නට ලැබෙනවා.
1960, 70, 80 දශකවලදී නාට්‍ය කලාවත්, නාට්‍ය පෝස්ටර් කලාවත්, කලාත්මක ලෙස අත්වැල් අල්ලාගෙන සිටියා. ඒ වකවානුවේදී තමයි, තෝමස් තිලකරත්නගේ ටීටූ ආයතනය ස්ක්‍රීන් මුද්‍රිත කලාත්මක පෝස්ටර් නිර්මාණය කළේ. අද නම් වැඩිපුර ම පෝස්ටර් ඇලවෙන්නේ ටියුෂන් වෙනුවෙන් වෙන්නට පුළුවන්.
පෝස්ටරය කියන්නේත් එතරම් ලාභදායී ප්‍ර‍චාරණ මාධ්‍යයක් නොවෙයි. මුද්‍ර‍ණයට හා ඇලවීමට වැය කරන්නට සිදු වන කාලය හා ශ්‍ර‍මය එක්ක බැලුවාම එය සාර්ථක ප්‍ර‍චාරණ මාධ්‍යයක් නෙමෙයි. වර්තමානයේදී සමාජ මාධ්‍ය පෝස්ටරයට වඩා ප්‍ර‍බලයි. හැබැයි, සමාජ මාධ්‍යවලින් පිටමංව සිටින පිරිසකට ආමන්ත්‍ර‍ණය කරන්නට තවමත් පෝස්ටර් අවශ්‍යයි.
කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඇති බිල්බෝර්ඩ් ගැන කළ අවසන් අධ්‍යයනය තමන් දන්නා පරිදි කළේ ප්‍රභානි රොඩ්රිගෝ විසින් ඇගේ මූලික උපාධි නිබන්ධනය වෙනුවෙන් 2007දී බව නගර සැලසුම් විෂයෙහි විද්‍යාර්ථියකු වන ආචාර්ය නදීෂා චන්ද්‍රසේන පවසනවා. “මුලින් කළ යුත්තේ නගරය තුළ දැන්වීම්කරණ අවශ්‍යතාවට සරිලන ලෙස අවසර ලත් පුවරු / ස්ථාන ඇති කිරීමට කටයුතු සම්පාදනයයි. එහෙම නොකර, අනවසර ස්ථාන වල පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම තිතට දෙන්නට යාමෙන් කිසි පලක් නැත,” යි ඇය පවසනවා.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා