සුවිසල් ජංගම ග්‍රහලෝකාගාරයක් හැදූ තරංගගේ කතාව හා ලාංකික තරුණයන්ගේ පොදු කතාව
අජිත් පැරකුම් ජයසිංහ – 2019-01-27 ලංකා පුවත්පතේ ද පළ වේ
පසුගිය දිනෙක මා මතුගම – කලුතර පාරේ දොඩංගොඩ පසු කර යද්දි දුටු දසුනක් නිසා මා එදෙසට ඇදී ගියා. රෙජිනා වත්ත අසල ඇඟලුම් කම්හල ඉදිරිපිට පිට්ටනියේ අළු පාට, ගෝලාකාර කූඩාරමක් මද්දහන් අව්වේ බැබලෙමින් තිබුණා. එය ජංගම ග්‍රහලෝකාගාරයක්.
පිට්ටනිය අසල ශබ්ද විකාශන සවි කරන ලද ත්‍රිරෝද රියක තරුණයන් කීපදෙනෙකු සිටියා. “කවුද මේක කරන්නෙ, පුතා?” මං මා හඳුන්වා දෙමින් ඇහුවා.
“අපි තමයි කරන්නෙ. අපේ අයියා තමයි හැදුවෙ. අයියා ත්‍රීවීල් එක ඇතුළෙ ඉන්නවා. කතා කරන්නද?”
ප්‍රිය මනාප තරුණයෙක් ප්‍රචාරණ වටයක් යාම සඳහා සූදානම් කර තිබුණු ත්‍රිරෝද රියේ පසුපසින් පිටතට ඇදුණා.
ඔහු කපුගේ තරංග කුසුම්සිරි බණ්ඩාර. වයස අවුරුදු 31යි. ගම බදුරලියේ ලත්පඳුර.
“මේක තමයි ලංකාවේ ලොකුම ජංගම ග්‍රහලෝකාගාරය. පාදමේ වෘත්තයේ විෂ්කම්භය අඩි 60ක්. වර්ග අඩි 5650කට වැඩි ඇතුළත අවකාශයේ 300 දෙනෙකුට අසුන් ගන්නට පුළුවන්. ” ඔහු ග්‍රහලෝකාගාරය පෙන්නන්නට අප එක්කගෙන යන අතර කිව්වා. “ඇතුළට යන්නට කලින් බ්ලෝවර් ටික ක්‍රියාත්මක කරන්නට ඕනැ. ටික වෙලාවකින් රස්නෙ නැතුව යනවා.”
ඇතුළත උණුසුම අඩු වෙමින් යනවා දැනුණා. හාත්පස ඝනාන්ධකාරයි. කූඩාරමේ ඇතුළත ගෝලය තමයි අහස. එහි විදුලි පරිපථයකින් තරු රාශි නිර්මාණය කර තිබෙනවා. ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙකක් භාවිතා කරමින් තමයි දෙපැයක් පුරා පැවැත්වෙන වැඩසටහන පෙන්වන්නේ.
“මම ඉගෙන ගත්තෙ කඹුරාවල මහා විද්‍යාලයේ. මගේ තාත්තා වඩු කාර්මිකයෙක්. අම්මා ගෘහණියක්. මට අක්කා කෙනෙකුත්, මල්ලී කෙනෙකුත් ඉන්නවා. පොඩි කාලේ ඉඳන් ම අභ්‍යවකාශය, විශ්වය ගැන ලොකු උනන්දුවක් තිබුණා. අටේ පන්තියෙ ඉඳන් පාසලේ පොඩි පොඩි ග්‍රහලෝකාගාර හැදුවා. එහෙම ග්‍රහලෝකාගාර අටක් විතර හැදුවා. ප්‍රදර්ශනවලටත් තිබ්බා. කවදා හරි මේ වගේ ජංගම ග්‍රහලෝකාගාරයක් හදන්නට සිහින දැක්කා. හැබැයි මං උසස් පෙළ හැදෑරුවේ වානිජ විෂයන්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, පිළියන්ද තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යයන මධ්‍යස්ථානය වැනි තැන්වලින් තාරකා විද්‍යාව ඉගෙන ගත්තා. විසි වතාවක් විතර ග්‍රහලෝකාගාරය බලන්නට යන්න ඇති. මේ වන විට මං තාරකා විද්‍යාව ගැන පොත් හතරක් ලියා ගොඩගේ ආයතනය හරහා පළ කර තිබෙනවා. පාසලෙන් පසු ටික කාලයක් මාධ්‍යවලට සම්බන්ධව වැඩ කළා. ඉන් පසු සිංගප්පූරුවේ මීඩියා කෝ කියන ආයතනයේ කුඩා රැකියාවක් කළා. එයින් ඉතිරි කරගත් මුදලින් තමයි මේ ජංගම ග්‍රහලෝකාගාරය හැදුවේ. ඒ වෙනුවෙන් ලක්ෂ 20කට වඩා වැය කළා. මම තමයි සැලසුම හදලා නිර්මාණය කළේ. මේක අවුරුදු පහක් විතර කල් පවත්වාගත හැකියි.”
තරංගගේ ජංගම ග්‍රහලෝකාගාරය මුල්වරට ප්‍රදර්ශනය කළේ බදුරලිය ක්‍රීඩාංගනයේයි. ඉන් පසු අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශනය කරන ලද එය මෙම තුන්වන දර්ශනයෙන් පසු සිව්වන දැක්ම සඳහා හොරණට යාමට නියමිතව තිබුණා.
“මුලින් අපි මේක හැදුවෙ එක ලොරියක සියලු කොටස් ගෙන යා හැකි විදියට. ඒත් ශක්තිමත්කම මදි නිසා අමතර යකඩ එකතු කළා. දැන් අඩි 20 ලොරි පහක් ඕනැ මෙය තැනකින් තැනකට ගෙන යන්නට. අගලවත්තෙ සිට මෙතනට ගෙනැවිත් සවි කරන්නටත් රුපියල් ලක්ෂයකට වඩා වැය වුණා. අධ්‍යාපනික වැඩක් නිසා අනුග්‍රහයක් විදියට දොඩංගොඩ ප්‍රාදේශීය සභාව පිට්ටනිය නොමිළේ දුන්නා. දවස් 25ට විදුලි බිල රු. 25,000කට වඩා යනවා. සවස හතරට හා හතට සංදර්ශන දෙකක් පවත්වනවා. ළමයින්ට ප්‍රවේශ පත්‍රය රු. 80යි. වැඩිහිටියන්ට රු. 120යි. 10%ක් විනෝද බදු ගෙවනවා. මේ වෙනකොට 4000ක් පමණ දෙනා අපේ ජංගම ග්‍රහලෝකාගාරයේ වැඩසටහන බලා තිබෙනවා.”
තරංගගේ අනාගත සැලසුම් වන්නේ ස්ටාර්බෝල් වර්ගයේ ග්‍රහලෝකාගාර සඳහා සුදුසු ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලබා ගැනීම හා ජංගම ග්‍රහලෝකාගාරය වායු සමනය කිරීමයි. ඔහුගේ ෆේස්බුක් පිටුවට ගිහින් බැලූ අපට තවත් නිර්මානාත්මක අලුත් අදහස්, සිහින සැලසුම් ගැන දැනගන්නට ලැබුණා. “ඈත අභ්‍යවකාශයේ තියෙන ග්‍රහකයක් මුහුදට කඩා වැටිල ඇති වෙන මහා සුනාමිය බලන්න ඕනද? ඇස් ඉදිරිපිටම වෙන මහා විනාශය සජීවීව බලන්න පුලුවන් වැඩි කල් යන්න කලින්. මගේ වැඩක්,” යි එහි සටහන් කර තිබුණා.
ඉතින් මේ සටහන ලිව්වේ හුදු කියවා රස විඳින විස්තරයක් ලෙස නෙමෙයි. මේ වගේ තරුණයන්ගේ සමාජ වැදගත්කම පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 23%ක් වයස අවුරුදු 15-29 අතර තරුණයන්. ශ්‍රී ලංකා රජය නම් වයස අවුරුදු 35 දක්වා ම පුද්ගලයන් තරුණයන් ලෙස සලකනවා. රජයේ ප්‍රධාන ම තරුණ ව්‍යූහය තමයි ජාතික තරුණ සේවා සභාව.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයේ දත්ත මගින් හෙළිදරව් වන්නේ වයස අවුරුදු 15-24 තරුණ ජනයා අතරින් 20%ක් පමණ රැකියා නොකරන බවයි. ඔවුන් තවමත් පාසල් යමින් හෝ වෘත්තීය පුහුණුව ලබමින් සිටීම එයට හේතුවක් වන්නට පුළුවන්. උසස් පෙළ හමාර වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නට අවුරුද්දකට වඩා කාලයක් බලා සිටින්නට සිදු වෙනවා. විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් පහෙන් එකක් පමණ වන නිසා ඔවුන් විකල්ප උසස් අධ්‍යාපන ක්‍රම හා වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා ක්‍රම සොයාගන්නටත් කාලය ගත කරනවා. මේ පමාවන් නිසා වයස අවුරුදු 25-29 තරුණ ජනයා අතර පවා විරැකියා අනුපාතිකය 8%ට වැඩියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයේදී මෙම තරුණ විරැකියාව බාධාකාරීයි.
රැකියා වෙළපොළට පිවිසෙන්නන්ගේ අපේක්ෂාවන් හා රැකියා වෙළඳපොළේ තිබෙන රැකියා අතර නො ගැලපීමක් තිබෙනවා. රැකියා පුරප්පාඩු ඇතත්, තරුණයන්ට ඒ සඳහා අවශ්‍ය කුසලතා නැහැ. තිබෙන රැකියා අවස්ථාවලට තරුණයන් කැමැත්තක් දක්වන්නේ නැහැ. තරුණයන් වැඩි කැමැත්තක් දක්වන රැකියා ක්ෂේත්‍රවල අවස්ථා ප්‍රමාණය අඩුයි. විශ්වවිද්‍යාලවලින් හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලින් සුදුසුකම් ලබා පිට වන විට ප්‍රමාණවත් තරම් වෘත්තීය නිපුණතා සංවර්ධනය වී නො තිබීම නිසාත් විරැකියාව වර්ධනය වෙනවා. ලංකාවේ රැකියා ස්ථානවල අභ්‍යන්තර පුහුණුවීම් අවස්ථා ප්‍රමාණවත් නැහැ.
ලංකාවේ තරුණයන් අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුවත් ප්‍රමාණවත් නැහැ. ඇත්තෙන් ම, රටේ සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේ ජනගහනයෙන් 30%ක් පමණ ව්‍යවසායකයෝයි. ලංකාවේ රජය පැත්තෙන් ගත්තත් වැඩි පෙළඹවීමක් ඇති කරන්නේ ව්‍යවසායකත්වයට නොවෙයි, රැකියා කිරීමටයි. රැකියා කරන අයට වඩා බෙහෙවින් අඩු ආදායමකදීත් කුඩා ව්‍යාපාර කරන අය රජයට බදු ගෙවිය යුතුයි.
තරුණයන් වෙනුවෙන් ආයෝජනය කිරීම ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පියවරක්. තරංග බණ්ඩාර වැනි දක්ෂ තරුණයන්ට අධ්‍යාපනයේදී, වෘත්තීන් තෝරාගැනීමේදී, ව්‍යවසායකත්ව කටයුතුවලදී මග පෙන්වීමක් අවශ්‍යයි. එවැනි මගපෙන්වීම් ප්‍රමාණවත් නැති බවටත්, එහෙම තිබියදීත් මඩේ පිපෙන නෙළුම් වැනි මෙවැනි තරුණයන් සිටින බවත් අප අමතක නොකළ යුතුයි. තරංග බණ්ඩාරට තරම් ස්ව ශක්තියක් නැති අනෙකුත් තරුණයන්ට නැඟී සිටීමට අත දීම සමාජ වගකීමක් නොවේ ද?
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.