මහින්දට යළි බලය දෙන්නට නම්

මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය. 

ඔහු කළ බව කියා උදම් අනන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි අසාර්ථක ව්‍යාපෘතිවලින් ණය ගෙවීමට තබා පොළී ගෙවීමටවත් ආදායම් උපදින්නේ නැත. 

වත්මන් ආණ්ඩුව ගත් ණය ගැන කියන විට ඔහු මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ඒ ණය ගත්තේ ප්‍රධාන වශයෙන් ම ඔහුගේ කාලයේ ගත් ණය ගෙවන්නට බව ඔහු මතක තබා ගත යුතු ය. 

අනාගත පරම්පරා ගණනාවක් උගස් තබා ගත් මේ ණයවලින් වැඩි ප්‍රමාණයක් මහින්ද හා ඔහුගේ අන්තේවාසිකයන් පිල්ලි ගැසූ බව නො රහසකි. වත්මන් ආණ්ඩුව මහින්දලාට එරෙහිව ප්‍රමාණවත් පියවර නො ගත්තා ය කියා මේ ඇත්ත බොරු වන්නේ නැත. 

එහෙත්, මහින්ද විසින් මවන ලද සංවර්ධන මායාව ගිල ගත් විශාල ජනගහණයක් මේ රටේ සිටිති. 

මහින්ද දෙමළ ජාතිවාදී කැරැල්ල පරදවා සිංහල ජාතිවාදීන්ට සිවිල් යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කර දෙන්නට ගත් පියවර හේතුවෙන් ද ඔහු සිංහල ජනතාව අතර ජනප්‍රිය ය. ඔහුගේ ජන ඝාතක යුද්ධය ඔහුටත් ඔහුගේ ආධාරකරුවන්ටත් මහා දෙයකි. හැමදාමත් යුද විරෝධීන් වූ අපි එය පිළි නො ගනිමු. 

එහෙත්, යුද්ධය සම්බන්ධ සුසමාදර්ශීය වෙනස නිර්මානය කළ පාලකයා මහින්ද බව අප අවිවාදයෙන් පිළි ගත යුතු ය. එම සුසමාදර්ශීය වෙනස දේශපාලනික ඉතිහාසය තුළ අතිශය වැදගත් ය. කිසිවෙකුට එය නො තකා හැරිය නො හැකි ය. 

මහින්ද රාජපක්ෂ යනු කාටත් නො තකා හළ නො හැකි නායකයකු වන්නේ එම සංදර්භය තුළයි. එහෙත්, යුද්ධය නිමාවෙන් පසු ඔහුගේ වසර පහමාරක පාලනය තුළ ඔහු අසාර්ථක නායකයෙකි. 

ජාතීන් අතර සංහිඳියාව නිර්මානය කිරීම, සාමය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර සහජීවනය, ආර්ථිකය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි කිසිදු වගකීමකදී ඔහු සාර්ථක වූයේ නැත. රාජ්‍ය බලය හා සම්පත් මුළුමනින් ම තමන්ගේ වාසියට යොදාගෙන පවත්වන ලද ජනාධිපතිවරණයකින් පවා ඔහු පරදින්නේ ඒ නිසා ය. 

ඔහුගෙන් පසු වසරක පමණ කාලය තුළ අපි නිදහස භුක්ති වින්දෙමු. 

තමන් කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට දණ්ඩනයට ලක්ව සිටිය යුතු මහින්ද රාජපක්ෂ යළි ජනතාව ඉදිරියට පැමිණ පපුවට ගසා ගනිමින් යළි බලය තමාට දෙන්නැයි කියන්නේ ඒ නිදහස වල් බූරු නිදහසක් තරම් දුර දිග ගොස් ඇති නිසා ය. 

හරි. ඔහු ඉල්ලන නිසා අප යළි ඔහුට බලය දිය යුතු යයි සිතමු. ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ඔහුට රාජ්‍ය බලය ලබා ගත නො හැකි ය. ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රීන් වැඩි පිරිසකගේ සහයෝගය ඔහුට ලබා ගැනීමයි. 

ඒ සඳහා ඔහු වහා පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණිය යුතු ය. පන්සල්වලදී, උසාවි ළඟදී, රැස්වීම්වලදී ඔහු කියන කතා කියන්නට නියම තැන පාර්ලිමේන්තුව ය. තමන්ගේ කාලයේ කළ කී දේ ගැන ප්‍රශ්නවලට නිල අන්දමින් පිළිතුරු දෙන්නට ඔහුට පුළුවන. එසේම, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නට තමන්ට ඇති සැලසුම් ද ඔහුට සවිස්තරව හෙළිදරව් කළ හැකි ය. 

එහෙම නැතිව පපුවට ගසා ගත්තා ය කියා ඔහුට නැවත මේ රටේ පාලන බලය ලැබෙන්නේ නැත. රැස්වීමකට සෙනග ආවා ය කියා ආණ්ඩු පෙරළෙන විප්ලව සිදු වන්නේ නැත. 

දේශපාලන අවබෝධයක් ඇති කිසිවෙක් ඒවායින් සැලෙන්නේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෝ අර පක්‍ෂ ලේකම් ගේ කතාව විතරයි වැඩ නෑ නේද?
    මං හිතුවේ මේ වෙනකොට නිදහසට කරුණු විමසලා පක්‍ෂේ තහනම් කරලා තියේවි කියලයි!

    ReplyDelete
  2. "ඔහුගේ ජන ඝාතක යුද්ධය ඔහුටත් ඔහුගේ ආධාරකරුවන්ටත් මහා දෙයකි. හැමදාමත් යුද විරෝධීන් වූ අපි එය පිළි නො ගනිමු" යුද්ධය අවසන් වීම සැනසිල්ලට කරුණක් ලෙස දැනෙන්නේ නැතිද?...අඩුම තරමේ ඒ වෙනුවෙන් විනාශවන්නට නියමිතව තිබූ ජීවිත ආරක්ෂා ආරක්ෂා වීම සම්බන්දව ඔබට සතුටක් දැනෙන්නේ නැතිද?මෙතනදී මා මහින්ද වාදියෙකු ලෙස නොසලකන ලෙස ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. යුද්ධය අවසන් වීම නිසා දේශපාලන සුසමාදර්ශීය වෙනසක් සිදු වූ බව මා මෙහි සඳහන් කර තිබේ.

      යුද්ධය අවසන් වීම නිසා ඝාතන අඩු විය. ඒ ගැන සතුටු වෙමු. එහෙත් යුද්ධය වෙනුවෙන් විශාල ජන ඝාතනයක් කරන ලදී. එයට මහින්ද, ප්‍රභාකරන් මෙන් ම දෙපැත්තේ ම ජාතිවාදී ආධාරකරුවෝ වග කිව යුතු ය.

      Delete
    2. එතකොට අර විචාරක නමැති ලියන්නා 88/89 කාලයේ එළිපිටම ඔහු සැකකාර මිනිසුන් දෙමෝදර සමනල පාලමෙන් වෙඩි තියලා මිනි මරලා පල්ලෙහාට දැම්මා කියල කියන කොට මොකද හිතෙන්නේ

      Delete
    3. මොනා හිතන්නද බන් ඒවා ඌ මැරෙනකොට අරන් යයි. ලොක්කගෙ අණට කීකරු වූ හුඟක් එවුන්ට අන්තිමට මරණ මංචකයේ සැනසීම තමා ඉතුරු වෙන්නෙ.

      Delete
    4. රනිලුත් ඖරුද්දක් යුදිදෙ නවත්ත ගෙන හිය ......

      Delete
  3. චන්දදායෙක් වශයෙන් මා ඉතාමත් කලකිරීමට පත්ව සිටිමි. දිවි ඇතිතෙක් චන්දය දීමට මින්පසු නොයමි.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම හිතාගෙන හිටි කාලයක් තිබ්බා, ඒත් උණුසුම ඉහල යනකොට ...

      Delete
  4. මෛත්‍රී මහින්දට බයයි.....

    ReplyDelete
    Replies
    1. මයිත්‍රී මහින්දට විතරක් නෙවෙයි ,
      චන්ද්‍රිකාට
      රනිල්ට
      රාජිත ට
      දුමින්ද සිල්වා ට
      වෙල්ගමට
      වගේ හුඟ දෙනෙකුට බයයි.

      Delete
  5. ජාතීන් අතර සංහිඳියාව නිර්මානය කිරීම, සාමය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර සහජීවනය, ආර්ථිකය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි කිසිදු වගකීමකදී ඔහු සාර්ථක වූයේ නැත.

    මෙහි ලා මහින්ද අසාර්ථක වූ බව අපද පිලිගනිමු. එහෙත් ඒ මහින්ද ගේ වැරැද්ද විතරද ? සහජීවනය යනු ඒකපාර්ශිකව ඇතිකල හැකි දෙයක් නොවේ. අනෙක් පාර්ශවයෙන් ඒ සඳහා කිසියම්ම හෝ පියවරක් ගත්තා ද ? ද්‍රවිඩ දේශපාලකයින්ටත්, ඩයස්පෝරාවටත් අවශ්‍ය වූයේ මහිදගෙන් පළිගැනීමයි. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය වූයේ යුධ අපරාධ සිදූ වූ බව තහවුරු කීරීමටයි. මොවුන් කිසිවෙකුත් ජාතික සංහිදියාවක් ඇතිකිරීමේ කිසිදු අභිලාශයක් මේ වන තෙක් පෙන්වා තිබෙනවා ද ? මේ ආණ්ඩුව යටතේවත් එහෙම දෙයක් සිදුවන බවක් පේනවාද ?. අදටත් සිදුවන්නේ ඩයස්පෝරාව සැනසීමට එක දේකුත්, දකුනේ චන්ද ටික පරිස්සම් කර ගැනීමට දකුණට තව දේකුත් කීමේ පරන සෙල්ලමම නොවේ ද ?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයෙහි ඇත්තක් තිබේ. එහෙත් යුද්ධයෙන් ජයග්‍රහණය කළ පාර්ශ්වය හා පරාජිත පාර්ශ්වය සම තත්වයෙහි ලා සැලකිය යුතු වන්නේ නැත.

      මහින්ද කිසිවක් මුලපිරුවේ නැත. ඒ නිසා දෙමළ පාර්ශ්වයට දොස් කියා වැඩක් නැත.

      Delete
    2. උතුරු නැගෙනහිර මැතිවරණ නිසි වෙලාවට පවත්වලා ජනමතයට ඉඩ දීම සාධනීය ආරම්භයක් නොවේ ද ?. ඒත් පත් වෙච්ච ජනාතා නියෝජිතයෝ මොනවද කලේ ? අද මොනවද කරමින් සිටිනේ? මහින්දට හැම එකටම දොස් කියන එක ලේසියි. ඒත් කරන්න ගියහම නේ වැඩේ. මේ ආණ්ඩුව නාගෙන ඉන්නෙත් ඒකනේ.

      Delete
    3. උතුරු නැගෙනහිර තිබුණු ප්‍රශ්නය මැතිවරණ නො පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එතන තිබුණේ ජාතික සමානාත්මතාව පිළිබඳ ප්‍රශ්නයක්. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක්. උතුරු පළාත් සභාවේ පාලකයන් අසාර්ථක වීම වෙනම කාරණයක්. එහෙත් වඩා සාධනීය ප්‍රවේශයක් අනුගමනය කළ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ ධාරාව එක්ක මහින්ද මොනවද කළේ?

      Delete
    4. Nipuna WanninayakeMarch 21, 2016 at 7:01 AM

      //සහජීවනය යනු ඒකපාර්ශිකව ඇතිකල හැකි දෙයක් නොවේ. අනෙක් පාර්ශවයෙන් ඒ සඳහා කිසියම්ම හෝ පියවරක් ගත්තා ද ?//

      යුධ මුක්ත කලාපයෙ හිටපු දාස් ගානක් බෝම්බ, ශෙල්වෙඩි ගහල මරල තව රටපුරා හිටපු ද්‍රවිඩයො හත්සිය ගානක් සුදුවෑන් වලින් පැහැරගෙන ගියපු මරාට මහින්දට දෙමලු ඇවිත් තිලක තියයි කියලද හිතාගෙන හිටියේ?

      //ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය වූයේ යුධ අපරාධ සිදූ වූ බව තහවුරු කීරීමටයි. //

      යුධ අපරාද ගනයේ සැලකිය හැකි සිදුවීම් උනා... ඒක මුලු හමුදාවම කලා කියලා කියන්න බෑ.. නමුත් ඔබලා වැනි එහෙම දෙයක් හමුදාවේ සමහර කොටස් අතරින් උනා කියන එකවත් පිලිගන්න බැරි සිංහලජාතිකවාදීන් ද්‍රවිඩයාගෙන් සහජීවනය පැතීම විහිලුවක්...

      //මේ ආණ්ඩුව යටතේවත් එහෙම දෙයක් සිදුවන බවක් පේනවාද //

      මරා ගේ කාලයට වඩා වඩා 100 ගුනයක් එහෙම සිදුවෙලා තියෙනවා... ජාතික ගීය දෙමලෙන් ගැයීම, උතුරට සිවිල් ආන්ඩු කාරවරයෙක් පත්කිරීම, හමුදාව ද්‍රවිඩ ජාතිකයින්ගෙන් අල්ලාගෙන සිටින ඉඩම් ආපසු දීම, හමුදාවේ සමහර කොටස් අතින් යුධ අපරාද සිදුවීමට ඉඩ ඇතිබව හමුදාපති වරයාම පිලි ගැනීම, එ.ජා. සන්විධානයට හයිබ්‍රිඩ් අධිකරනයකින් ඒවා ගැන සෙවීමට එකගවීම ආදිය ඉතා වැදගත් ඉදිරිගාමී කාරනා...

      //අදටත් සිදුවන්නේ ඩයස්පෝරාව සැනසීමට එක දේකුත්, දකුනේ චන්ද ටික පරිස්සම් කර ගැනීමට දකුණට තව දේකුත් //

      අටපාස් වීරවන්සගේ කතා මාධ්‍යෙන් ඇසෙනා බැවින් ඒවා මෙතැන කෝට් කිරීමෙන් ඔබේ කොමන්ටුවට අමුතු වටිනාකමක් නොලැබේ

      Delete
    5. Nipuna Wanninayake! ඔබේ ප්‍රකාශයන් හා සියයට සියයක් එකඟ වෙමි.

      Delete
    6. Nipuna,

      ජාතික සංහිදියාව යනු උතුර පමණක් සැනසීම නොවේ. උතුරේ විතරද ජනයා මිය ගියේ? දකුණේ බෝම්බ පිපිරවීම්, මායිම ගම්මාන වල සම්මුලඝාතනවලින් මිය ගියේ මිනිසුන් නෙවෙයි ද ?
      උතුර පමණක් සැනසීමට යාමෙන් සිදු වන්නේ ප්‍රශ්ණය තවත් අවුල්වීම විතරයි.

      ඉඩම් ආපසු බෙදා දීම ගැන ආණ්ඩුව දකුණට කියන්නේ මොනව ද ? මේ ක්‍රියාවලිය පටන් ගත්තේ මහින්ද කියල. මහින්ද තමයි ඉස්සෙල්ලාම හමුදා කඳවුරු වහන්න ක්‍රියාමර්ග ගත්තේ කියලා. හැබැයි ඒ එක්කම අනිත් පැත්තට කියනවා මහින්ද කිසිම සාධනීය පියවරක් ගත්තේ නෑ කියලා. ජාතික ගීය ගැනත් එච්චරයි. දකුණට කියන්නේ මේක 48ත් දෙමලින් ගායනා කරල තියෙනවා. එක නිසා මේක අළුත් දෙයක් නෙවෙයි කියලා.

      ආණ්ඩුව උතුර කරන දේ ගැන දකුණටත්, දකුනේ කියන දෙවල් ගැන උතුරටත්, නිරවුල්ව පැහැදිලි කල යුතුයි. නැත්නම් වෙන්නේ, දෙපැත්තේම අවිශ්වසය ගොඩ නැගෙන එක විතරයි.

      Delete
    7. Ajith,

      දැන් ඉන්නේ මහින්ද නෙවෙයිනේ, දැන් අවුරුද්දකට වැඩි කාලයක් රට පාලනය කරන්නේ, යහපාලන ආණ්ඩුවනේ. ඉතින් මොනවද ද්‍රවිඩ ජාතික සංධානය කරන්නේ ?. බලය පිළිබඳව කේවල් කිරීමත්, ඡන්ඳ ටික ගන්නට ප්‍රබාකරන්ගේ මිනියට හුලං ගැසීමත්, හැම එකටම ඉන්ංදියාව මැදිහත් කරගැනීමට දැඟලීමත් ඇරුනහම ජාතික සංහිඳියාව වෙනුවෙන් ඔවුන් මොනවද කරලා තියෙන්නෙ ?

      Delete
    8. Nipuna WanninayakeMarch 21, 2016 at 1:14 PM

      //දකුණේ බෝම්බ පිපිරවීම්, මායිම ගම්මාන වල සම්මුලඝාතනවලින් මිය ගියේ මිනිසුන් නෙවෙයි ද ? //
      ත්‍රස්ථවාදී සංවිධානයක් කල දේ පෙන්වලා හමුදාවේ සමහරක් කල දේ සාධාරනීකරනය කල හැකි නෑ..

      //ජාතික ගීය ගැනත් එච්චරයි. දකුණට කියන්නේ මේක 48ත් දෙමලින් ගායනා කරල තියෙනවා.//

      මහින්ද ඒක 2013 හෝ 14 දී තහනම් කලා.. ජාතික ගීය නෙමේ උතුරේ ද්‍රවිඩයින්ට කොලඹ වැඩමුලුවක් කරන්න වත් ඉඩදුන්නේ නෑ.. ගෝටාගේ මැර සිවුරු හමුදා යොදා ඒවා කඩාකප්පල් කලා... තව ටිකක් කල් හිටියානම් මුස්ලිම් ජනතාවටත් සබ්බුව දෙනවා..

      Delete
    9. 1.ත්‍රස්ථවාදය එරෙහි සටනක්, සාම්ප්‍රදායික යුධ නීති රකිමින් කරන්නට බෑ. එසේ කර ඇති රටක් ඇත්නම් පෙන්වන්න.

      2. මහින්ද ජාතික ගීය දෙමලින් ගැයීම තහනම් කලේ මොන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ? මා ඒ ගැන දැනුවත් නෑ.

      3. ඝෝථාගේ සිවුරු හමුදාව කියනවාට වඩා ගැලපෙන්නේ පාඨලීගේ සිවුරු හමුදාව කියන එකයි. ඔවුන් පොංගුතමිල් උලෙළට පහර දුන් හැටි මීට කලින් පැරා ලියා තිබෙනවා

      Delete
    10. අසංග ඔයා හොඳට පටන් ගත්තා, ඒත් පල්ලෙහාට එන්න එන්න චා වෙනවනේ, මේ බලන්න /ජාතික ගීය දෙමලින් ගැයීම තහනම් කලේ මොන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ?/

      Delete
    11. Nut,

      මා ඇත්තටම ඒ ගැන නොදන්නා නිසයි ඇහුවේ. ජාතික ගීය දෙමලින් ගැයීම ගැන මගේ කිසි විරුද්ධත්වයක් නැත.

      Delete
  6. පැරා,
    //වත්මන් ආණ්ඩුව මහින්දලාට එරෙහිව ප්‍රමාණවත් පියවර නො ගත්තා ය කියා මේ ඇත්ත බොරු වන්නේ නැත. //
    එහෙම පියවර නොගන්නේ තමනුත් එවැනිම වංචා කිරීමේ පරම බලාපොරොත්තුව නිසයි.

    //ඔහුගේ ජන ඝාතක යුද්ධය ඔහුටත් ඔහුගේ ආධාරකරුවන්ටත් මහා දෙයකි. //
    පැරා ඔබ දන්නේ නැත්ද ජන ඝාතක සාමයක් තිබුන බව ? ඔබ හරි ආසයි නේ මේ ජන ඝාතක සාමයට.
    ඔබට මතකද මිනීමරු කොටි නැවත නැවතත් සාම සාකච්චා උවමනාවෙන් උල්ලංගනය කරනවා. පැරා මිනිස්සු මැරිලා ඉපදිලා නෑ.

    //සුසමාදර්ශීය වෙනස නිර්මානය කළ// මේ වාමන්ශිකයෝ මේවගේ ලොකු වචන පාවිට්ච්චි කරනවා ජනතාව ගේ ඔලුව කොලොප්පම් කිරීමට මට මතකයි වාසුදේව නානයක්කාර් වරක් කිව්වා මෙ “පරස්තුතය තුල” වැනි බරබර වචන, ඔවුන් මේ හිස්වචන පාවිට්ච්චි කරන්නේ තම කුහක පරමාර්ථය සාදාරනය කරන ගමන් යමක් තේරෙන මිනිසුන්ට “ඔව් ඉතින් මේකෙන් හොදක් උනා තමයි “ වැනි අදහසක් ලබාදීමට.
    තෙරෙන බාශාවෙන් කිව්වනම් ඉවරයිනේ පැරා “මහින්ද මොනතරම් වැරදි කලත් මේ කාලකන්නි මිනීමරුවන් රැල විශාල පිරිසක් විනාසකර ඉතිරි වුන් අත්අඩංගුවට ගෙන රටේ සිංගල දමිල මුස්ලිම් අයට බය නැතිව පාරේ බැහැල යන්න තත්වය ඇති කළා කියල.”

    // රාජ්‍ය බලය හා සම්පත් මුළුමනින් ම තමන්ගේ වාසියට යොදාගෙන පවත්වන ලද ජනාධිපතිවරණයකින් පවා ඔහු පරදින්නේ ඒ නිසා ය. //
    ඔව් එනිසා තමයි මේවිදියට ගියොත් රනිල් ලොක්කටත් වෙන්නේ එක තමයි.


    //වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නට තමන්ට ඇති සැලසුම් ද ඔහුට සවිස්තරව හෙළිදරව් කළ හැකි ය.//
    ඇයි හතිලව්වේ ඔබතුමාත්, මමත් ඇතුළු දහස්ගණන් අය පසුගිය කාලේ කිව්වනේද PAYPAL ගැන කෝ මේ කාලකන්නි මුකුත් කරනවා.
    මම හර්ෂ සිල්වාගේ මුනුපොතේ නැවත නැවත සදහන් කළා නමුත් නො කතා, උන්නැහැ ප්‍රේම වන්තයෝන්ගේ ප්‍රශ්න විසදනවා, උන්දැට දෙන්න තිබුනේ අර මනෝගනේෂන් තුමාට දුන්නවගේ සංවාස ඇමතිකමක්.
    මේ ගොන් කතා වලින් වැඩක් නෑ රටේ අපනයන වැඩිකරන විදියක් කලේ නැත්තනම් දුක්විදින්න වෙන්නේ අපටයි.

    ReplyDelete
    Replies
    1. ඔය 'ඔක්කොම එකයි' කියන මෝඩ කතාව කියලා ආයිත් මහින්දට වක්‍රාකාරව කඩේ යන්න එපා ඕයි.. කඩේ යනවනම් කොන්ද් පණ ඇති විදිහට කෙලින්ම කඩේ යනව... 2030 දක්වා මේ රටේ තියෙන්නේ යූඑන්පී ආන්ඩුවක්... ඔබට බටහිර, ඉන්දියාව, රනිල්, යූඑන්පිය එක්ක මෝඩ ඇරියස් එකක් තිබුනට 2030 දක්වා බටහිරින්, ඉන්දියාවෙන් සහය අරගෙන රනිල්ගේ නායකත්වයෙන් යුතු එජාප ආන්ඩුවක් යටතේ රට ගෙනියන බව පිලිගන්න නිහතමානී වෙන්න....
      ඔබ මුග්ධ බටහිර විරෝදයක් කරපින්නාගත් යූඑන්පී විරෝදියෙක් පමනයි

      Delete
    2. මේ ඔයි, // 2030 දක්වා මේ රටේ තියෙන්නේ යූඑන්පී ආන්ඩුවක්//
      ලෝකයේ කිසිම විදියකින් විනාසකර්න්න බෑ කියපු LTTE එක
      https://www.youtube.com/watch?v=kVRvfeErbq4
      මහාච්ර්යවරු සුද්දගේ පස්ස දිවෙන් පිහිදදා කියන කොට, මෙරටේ යුද්දයක් කරලා දිනුව.

      එහෙම දිනපු මිනිහටත් තිබුනේ ඔයවගේ මෝඩ අආතල් එකක් තමයි 2030 වෙනකම් ඉන්න, අවුරුදු 5ත පස්සේ අද බල්ලෙක් වගේ ගෙදර ඉන්නවා, එහෙව් එකේ හරියට අයවැයක් ඉදිරිපත් කරන්න බැරි මෝඩ රනිල් 2030 නෙමෙයි තව අවුරුදු 2ක් හිටියොත් ඇති.

      ඔයි මේ මේ ආණ්ඩුවට මමත් චන්දය දිල තියනවා, තමුසෙලා වගේ කකුල් දෙකේ මිහරක් තමයි 2004 දි රනිල්ට කෙලියෙත් 2015 දී මහින්දට කෙලියේත්.

      මොලේ උඩ වාඩිවෙන්න හෝද නෑ යාළුවා

      Delete
    3. අනේ ගොන්බිජ්ජො... මිනිස්සු මෘග මරාව එලෙව්වෙ බඩට කීයක් හරි දාගන්න වත් උබට පේපැල් අරන් දෙන්න වත් නෙමේ.. 2005-15 කාලෙ තිබ්බ වනචාරී, ප්‍රජාතන්ත්‍ර විරෝදී, ජාතිවාදී, මැර දූෂිත භීෂන සමය නවත්වන්න...
      ඒක සෑහෙන දුරකට වෙමින් තියෙනවා..
      ඇයි රනිල්ව එලවල ඔහේව බලයට ගෙනෙයි කියලද හිතාගෙන ඉන්නෙ... 2020 වෙනකොට මෙගාපොලිස් සුරපුරය හැදෙන්න පටන්ගෙන, පිටරටින් ආයෝජන ගලාගෙන එනකොත මිනිස්සු රනිල්ගෙ ෆොටෝ එක ගෙදර ගහගෙන වදින්න පටන් ගනියි...
      ඔය මහින්ද ආයෙත් එයි කියන සිගිති බලාපොරොත්තුව අත හැරල චූ කරල නිදාගනින්... 2030 වෙනකොත රනිල්ගේ ආන්ඩුව ගොඩනගන ලන්කාව කියන ආකලමන්දාව දකින්න ඔහෙල පින්කරල තියෙන්න ඔනෙ

      Delete
    4. Anonymous (MAX)

      //ඒක සෑහෙන දුරකට වෙමින් තියෙනවා..//

      දවල්ද ?

      Delete
  7. තමන් කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට දණ්ඩනයට ලක්ව සිටිය යුතු මහින්ද රාජපක්ෂ .....

    එහෙමනම් ඉති ඔය යහ පාලන ආණ්ඩුවේ අගමැතිගේ, චන්ද්‍රිකා ගේ ඉන්දලා පහලට ඔය සෙට් එකම මහින්දක් එක්ක දණ්ඩනයට ලක්වෙලා ඉන්න ඕනේ නේ.

    ReplyDelete
  8. පැරා. මෛත්‍රී වත් රනිල් වත් කවදාවත් මහින්දට විරුද්දව කිසි දෙයක් කරන්නෙ නෑ. ඔය යෝෂිත ඇතුලට දාල පොඩි ෂෝ එකක් විතරයි. දැක්කනෙ මහින්ද ගේම ඉල්ලනහැටි. හරියට ඌ බලය ඉල්ලන්නේ ඌ හරියට නිකන් දීල ගියා වගේ. මුන් ඔක්කොම එකයි. ජනමනයට අබ සරණයි..!!

    ReplyDelete
    Replies
    1. ඕව වම්මුන්ගෙ ගොබ්බ මත.. පාලකයො ශාපේක්ෂයි.. උදාහරනයකට තමන්ට විරුද්ධව කාටූන් එකක් ඇන්ද එක්නැලිගොඩ උස්සල මරපු මහින්දට වඩා දෙරනෙ චතුරව එලිපිට පාර්ලිමේන්තුවෙ විවේචනය කරපු රනිල් හොදයි..
      රතුපස්වල වතුර ඉල්ලනකොට වෙඩිතියල මිනීමරපු මහින්දට වඩා තමන් මරන්න ආපු කොටියටත් සමාව දුන්න් මෛත්‍රී හොදයි.
      ප්‍රකෝටි ගනන් කොමිස් ගහපු මහින්ද/බැසිල්/නාමල් පවුලට වඩා එකක හදාගෙන යම්තාක් දුරට හෝ ඒවා හොයන්න හදන ආන්ඩුව හොදයි..


      Delete
    2. අවුල තියෙන්නේ Max ගේ සාපේක්ෂතාවදය 2005 න් පස්සේ පටන් ගන්න එකයි. ඕක 1980 විතර පටන් ගත්තනම් මෙහෙමයි කියවෙන්නේ,

      කලු ජූලියක් ගෙනල්ලා අහස් ගනන් අහිංසක දෙමල මිනිස්සු පුච්චලා මරලා, ඊලම් අරගලයට සුජාතභවයක් ගෙනාපු එක්සත් ජාතික පක්ෂ රජයට වඩා.........

      බටලන්දේ වධකාගරය පවත්වාගෙන ගිය රනිල්ට වඩා...........

      මිනීමරු ප්‍රා සංවිධානය පවත්වාගේන් ගිය රාජිතට වඩා....

      රිචර්ඩ් ඩි සොයිසා මරා දාපු එජාපෙට වඩා......

      තේවිස් ගුරුගේලා, ප්‍රේම කීර්තිලා මරපු ජවිපේට වඩා......

      එයාර් ලංකා, තවක්කාල් වලින් කෝටි ගනන් හොරා කාපු චන්දිරිකාලට වඩා.........

      Delete
  9. //එහෙම නැතිව පපුවට ගසා ගත්තා ය කියා ඔහුට නැවත මේ රටේ පාලන බලය ලැබෙන්නේ නැත. රැස්වීමකට සෙනග ආවා ය කියා ආණ්ඩු පෙරළෙන විප්ලව සිදු වන්නේ නැත.

    දේශපාලන අවබෝධයක් ඇති කිසිවෙක් ඒවායින් සැලෙන්නේ නැත. //

    මෙන්න මේ ප්‍රකාශය හරියට වටිනව. සත්‍යය එයයි...නමුත් ඉක්මණ් කට්ටියට මේක අවබෝධ කර ගැනීමට ටිකක් අපහසුයි. ඒ වසර නවයක් පුරා සිදුවූ"Brain wash" එක නිසා වෙන්න ඇති.

    ReplyDelete
  10. I think I hit the nail on the head.

    ReplyDelete
    Replies
    1. sahathika atha

      Delete
    2. sahathika atha

      Delete
    3. එකෝමත් එක කාලෙක ඔලුවලට literally ඇන ගහපු අයත් හිටපු බව මතක තිබුනොත් හොඳයි.

      Delete
  11. I exposed what w3lanka is up to and now that comment has been removed - the w3lanka's version of yahapalanaya allows the administrator to delete comments without providing any justification - governance without accountability.

    There is little point in arguing with w3lanka because even he does not believe in what he says. He is being paid to propagate some pro-yahapalana ideas and w3lanka, who is not a gifted analyst, is compelled to cut a sorry figure by publishing some incoherent outpourings in his blog.

    If w3lanka genuinely believes that he can sway the Mahinda's mind to deliver his speeches in the Parliament instead frequenting temples, etc. and convince the later that the Parliament is a more advantageous battle ground to capture power, w3lanka must be a real idiot. But I like to believe that w3lanka is publishing these nonsense at the expense of his self respect because that is how he is earning his bread and butter.

    ReplyDelete
    Replies
    1. Para, delete this muthafaka's stupid comment please.

      Delete
  12. අජිත් පැරකුම් ජයසිංහ තමන් යුදවිරෝදියෙකු බව බව කියාගන්නට කැමැතිය.
    ඔහු අපුරූ වර්ගයක යුද විරෝදීයෙකි.
    තමන් යුද විරෝදී යැයි කයිවාරු කෙලින ගමන් ම ඔහු මහින්ද රාජපක්ෂගේ ජන සංහාරක යුද්ධයේ ප්‍රතිඵල සුසමාදර්ශී යැයි කියයි. සුසමාදර්ශී ප්‍රතිප‍ල ලබා දුන් යුද්ධයකටවිරුද්ධ වුනේ මතුගම පැරකුම් ජයසිංහගේ මොළේ කොළොප්පං වුන නිසාද? යුද්ධයට අවංකව විරුද්ධ වුන මිනිසුන්ගේත් යුද්ධයට ආවැඩුවන්ගේත් දෙපැත්තම ෂේප් කරගන්න දරන මේ වෑයම කැත සහ නින්දිතය. පැරා වැනි අවස්ථවාදීන්ට වඩා දෙමළ සංහාරයට පසුව කිරිබත් කෑ එවුන් අවංකය.

    ReplyDelete
    Replies
    1. යුද්ධය අවසන් වීම නිසා paradigm shift එකක් ඇති වූවායි කීම බොරුවක් නො වේ. එය ඉතිහාසයේ සලකුණු වූවකි. ඉතින් එහෙම එකක් වූවා යයි කීම වරදක් වන්නේ කෙසේ ද?

      දෙවන ලෝක යුද්ධය නිසා ද ජර්මනිය හා ජපානය වැනි රටවල් සුසමාදර්ශීය වෙනසකට භාජනය වූ බව පැහැදිලි ය. එහෙම වුණා ය කියා කවුරුවත් හිට්ලර් වර්ණනා කරන්නට යන්නේ නැත.

      ඔබට තිබෙන ප්‍රශ්නය වචනවලට වන්දනා කිරීම බව පෙනේ. වචනවලට වඳින්නේ නැතිව තේරුම වටහා ගන්න.

      අමනෝඥ අදහස් ඇනොනිමස් පළ කිරීම තරමක් දුරට මනෝඥ ය.

      Delete
    2. පැරා,

      //දෙවන ලෝක යුද්ධය නිසා ද ජර්මනිය හා ජපානය වැනි රටවල් සුසමාදර්ශීය වෙනසකට භාජනය වූ බව පැහැදිලි ය. එහෙම වුණා ය කියා කවුරුවත් හිට්ලර් වර්ණනා කරන්නට යන්නේ නැත. //
      හිට්ලර් වර්ණනා නොකරට වින්ස්ටන් චර්චිල් වර්ණනා කරති පිරපාහරන් වර්ණනා නොකලට මහින්ද රාජපක්ෂ වර්ණනා කරති (යුද්දයෙන් පසු හොරාකෑම ඇත්ත උනත් )

      Delete
  13. පැරකුම්!
    ඔබ යුද්ධයට විරුද්ධ වුනා යැයි පවසයි. එයට බල පෑ හේතු මොනවාද?
    ඔබ මහින්ද සුසමාදර්ශී වෙනසක් ඇති කළ බව පවසයි.මගේ ප්‍රශ්නය ඔබ යුද්ධයට විරුද්ධ වූයේ මහින්ද සුසමාදර්ශී වෙනසක් ඇති කරන්නට යන බව නොදැනද?
    යමෙකු තම අවස්ථාවාදී දේශපාලන ස්ථාවරයන් වසංකිරීමට වචන සමග ක්‍රීඩා කරන විට ඔවුන් භාවිතා කරන වචන යෙදෙන සංදර්භය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටීම ස්වාභාවිකය.වචනවල එල්ලීම ගැන ඔබ කරන චෝදනාව ඔබගේ බුද්ධි මට්ටම හෙළිකරයි. ඔබ යොදාගනු ලබන වචන සහ එහි සමස්තය විසින් ප්‍රකාශවන නිශ්චිත දේශපාලන අර්ථය මිසෙක ඔබ ගේ අවිඥාන යේ ඇතිඅප්‍රකාශිත අදහස් තේරුම් ගැනීමට මට පරසිත් දක්නා නුවණ නැත.ඔබ පවසන දෙයෙහි ගැටළ සහගත සහ අතාර්කික තැන් ප්‍රශ්න කිරීමට මට අවශ්‍ය විය. 89 දී රන්ජන් විජේරත්න සහ ප්‍රේමදාස සිදුකළේ සුසමාදර්ශි වෙනසක්ද? ඔබ ජිවිතය ගලවා ගැනීමට සමත් වූ හෙයින් ඔබට එසේ පැවසිය හැකිය.එහෙත් ඔබ මෙන් ජිවත් වීමට වාසනාව නැති වූ නමුත් දහස් ගණනක මරණය විසින් අත්කරදුන් ප්‍රතිඵලය ඔබට සුසමාදර්ශී ද?ඔබ මෙන් දියණිවරුන්ගේ හුරතල් බැලීමට ඔවුන් ජීවත් නොවීම ඔබට සුසමාදර්ශිද?
    ඔබ පැරඩයිම් ෂිෆ්ට් එකක් ගැන දැන් පවසයි. පැරඩයිම් ෂිෆ්ට් එකක් යුද්ධයෙන්පසු ඇතිව තිබීම විවාදයක් නැත. එහෙත් එම පැරඩයිම් ෂිෆ්ට් එන සුසමාදර්ශී යැයි පැවසීමට ඔබට බලපාන හේතු මොනවාද? සෑම පැරඩයිම් ෂිෆ්ට් එකක්ම සුසමාදර්ශිද? පීඩකයාට සුසමාදර්ශි වන දෙය පීඩිතයාටට එසේම විය හැකිද?
    කරුණාකර සුසමාදර්ශි යන වනය ඔබ භාවිතා කරන අර්ථය පැහැදිලි කරන්න.
    සෙසු ජාතින්ගේ භූමි ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඔවුන් සංහාරය කළ හිට්ලර් සහ තම ජනතාවට එරෙහි පීඩනයට විරුද්ධව සටන්වැදුනු ගරිල්ලා නායකයෙකු සන්සන්දනය කරන්නට යාමෙන් ප්‍රදර්ශනය වනුයේ ඔබගේ අමනකම නොව කපටිි කමය.
    ඔබ හිර වන සෑම තැනකදීම ඔබ අදහස්පළ කරන්නන්ගේ ඇනොනිමස් බව හුවා දක්වා සරදම් කොට පළා යයි.එහෙත් බ්ලොග් එකක සත්කාරකයා ලෙස ඇනොනිමස් භාවිතයට සරදම් කිරීම තරම් නොවේ,ඔබ එයට අකැමැති නම් එම විකල්පය ඉවත් කරන්න.ඔබ කිසි විටෙකත් ඔබට එරෙහිව මත දක්වන්නවුන්ගේ මිසෙක ඔබගේ පිට කසන කොමෙන්ට්වල ඇනොනිමස්භාවය ප්‍රශ්න කර නැත.

    ReplyDelete
    Replies
    1. Paradigm shift යන්නට සිංහල භාෂාවේ භාවිතා වන පරිවර්තනය සුසමාදර්ශීය වෙනස යන්නයි. මෙහි නිරුක්තිය මම නො දනිමි. එහෙත් මෙය මෑතකදී හැදුණු වචනයකි. එම පරිවර්තනය නුසුදුසු යයි හැඟේ නම් වෙනත් එකක් ඉදිරිපත් කරන්න. මට නම් ඔය වචනවල වන්දනීය අරුත් නැත.

      කලකට ඉහතදී ලංකා ඊ නිව්ස් සංස්කාරක සඳරුවන් සේනාධීර කොටි සටන්කරුවන් වෙනුවෙන් rebel යන වදන භාවිතා නො කරන ප්‍රතිපත්තියක සිටියේ ය. එකල මම එහි ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කළෙමි. ඔහු සිතාගෙන සිටින අන්දමේ මහ ලොකු අරුතක් ඒ වචනයට නැත.

      මේකත් ඒ වගේ ය.

      Delete
    2. වහරනු සෙරෙන් සපයා යි සිදත් සඟරා කතුවරයා කියා ඇති කියුමේ අර්ථය වටහා ගැනීමෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකි ය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා