සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු!

ගත් අල්ලසක මුදල් ගනිද්දී අතට ම අසු වූ උදේනි අතුකෝරළ. රාජපක්ෂවාදී විපක්ෂයේ ප්‍රබල සංකේතයක් 
මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය. 

රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව ගත් විදේශ ණය මෙන් තුන්ගුණයකටත් වඩා ණය රාජපක්ෂලාගේ දස අවුරුදු පාලනය තුළ අරගෙන තිබේ. ගත් ණයවල වාරික හා පොළී ගෙවන්නට රජයේ සමස්ත වාර්ෂික ආදායම ම ප්‍රමාණවත් නැත. 

මේ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කළ යුතු ය. 

මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හිරේ දමාගෙන කන්න දෙන එක රටට තවත් පාඩුවක් පමණි.

මේ සහනය භාර ගන්නට අකැමැති මහජන දේපල සොරකම් කළ සියලු සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු ය. පිටරට යැවූ මුදල් ආපසු ගත යුතු ය. නැවත මෙවැනි දේ නො කරන්නට මිනිසුන්ට පාඩමක් ලෙස මොවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු ය. 

ජාතික ආර්ථිකයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීති අලුතින් සම්පාදනය කළ යුතු ය. 

අනෙක් පැත්තෙන් මේ අවස්ථාවේදී මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගන්නට ජනතාව රජයට උදව් කළ යුතුව තිබේ. විපක්ෂ දේශපාලනයක් නො කළ යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. 

ආණ්ඩුවට සිය ජන වරම අනුව පාලනය ගෙන යන්නට ඉඩ දී විවේචනාත්මක සහයෝගය ලබා දිය යුතු ය. රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තත්වයන් නැවත ඇති නො වන්නට පුරවැසි බලවේග ලෙස දැඩි පරීක්ෂාවක් පවත්වාගෙන යා යුතු ය. 

මෙම අර්බුදය මැද බලය ගන්නට උත්සාහ කිරීම නො කළ යුත්තකි. බලය ගත්තා ය කියා කිසිවෙකුට මෙම අර්බුදයට විසඳුම් දෙන්නටත් බැරි ය. විපක්ෂයේ කිසිදු දේශපාලන බලවේගයකට තත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත්තේ ද නැත. ෆැන්ටසි මත පදනම් වූ ජාතිවාදීන්ට හා වාමාංශික අන්තවාදීන්ට කළ හැකි හොඳම දෙය ඉවසා බලා සිටීම ය.  

 ඒ අතර, සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් මුලපිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් ය. 

මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන විපක්ෂ දේශපාලනය වනාහි එක්තරා ආකාරයක ලෝක විනාශවාදී හදිසියකින් යුතුව කරන්නකි. එය මූලිකව නියාමනය වන්නේ පසුගිය කාලයේ කළ සොරකම් හා වෙනත් අපරාධ නිසා සිරගත වන්නට සිදු වන එක වළක්වා ගන්නට කරන මෙහෙයුමකිනි. බිම් මට්ටමෙන් ගැඹුරු ජාතිවාදයක් ඇවිස්සීම එහි මූලික ලක්ෂණයකි. මෙය ආණ්ඩුව හා සිවිල් සමාජය විසින් හරි හැටි අවබෝධ කරගෙන ද නැත. ඒ ගැන වෙන ම සටහනක් පසුව තබමි. එහෙත් එය ඉතා හදිසි තත්වයක් බව අප වටහා ගත යුතු ය.

සැබෑ විපක්ෂ දේශපාලනයක් යනු රාජපක්ෂ පන්නයේ දේශපාලනයක් නො වේ. එය ඉවසිලිවන්ත, බලලෝභී නො වන, එහෙත් උන්නතිකාමී, දීර්ඝකාලීන ව්‍යාපාරයක් විය යුතු ය. ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීම හා ජාතිවාදයට යට නො වීම එහි මූලික කොන්දේසියක් විය යුතු ම ය. 

එසේම, නිර්මානය වී තිබෙන විපක්ෂ දේශපාලනයේ රික්තය පිරවීම සඳහා නැවුම් පෞරුෂයන් දේශපාලනයට කැඳවිය යුතු ය. එය අද අප මුහුණ දී සිටින නායකත්ව අර්බුදයට පිළියමක් ද විය හැකි ය.

මා යෝජනා කරන්නේ පුරවැසි බලවේග ලෙස අප කළ යුතුව තිබෙන්නේ මේ සඳහා පහසුකාරිත්ව භූමිකාවක් බවයි. පක්ෂ හා පෙරමුණු නියාමනය කිරීමකි. මග පෙන්වීමකි. 

මීළඟ පරම්පරාවේ දේශපාලනය හැඩගස්වන විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් අපි යමක් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආසයි අන්න එහෙම දේශපාලකයෝ ටිකක් දකින්න..

    ReplyDelete
    Replies
    1. //පාර්ලිමේන්තු මන්ත්රීලවරුන් සියලු දෙනාට ඇ.ඩො.62,500 බැගින් වූ වාහන පර්මිට් ලබාදී ඇති බවත්, එම වාහන පර්මිට් මේ වනවිට රු.ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බවත් %අද^ ට වාර්තා වේ.
      ශ්රීව ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීුවරුන් 225 දෙනා වෙතම පසුගිය සතියේ සිට මෙම වාහන පර්මිට් ලබාදීම අරඹා ඇති අතර, මේ වනවිට සියලු මන්ත්රී5වරුන් එම වාහන පර්මිට් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
      ඇ.ඩො.62,500 ක් වූ වාහන පර්මිට් එක සඳහා එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වරාය හා ගුවන්තොටුපළ ගාස්තු පමණක් ගෙවිය යුතු වෙයි. මෙම වාහන පර්මිට් යොදාගෙන ඕනෑම මාදිලියක වාහනයක් ආනයනය කිරීමේ හැකියාව පවතින අතර, එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද පවතී.
      එමෙන්ම, ගෙන්වන වාහනයේ එන්ජින් ධාරිතාවයේද සීමාවක් නොමැති අතර, එය ඩීසල් හෝ පෙට්ර,ල් මාදිලියේ ඕනෑම වාහනයක් සඳහා වලංගු වේ.
      මෙම බලපත්රටය යොදාගෙන වැඩි වශයෙන් අධි සුඛෝපභෝගී විශාල ඩීසල් වාහන ගෙන්වීමේ ප්ර‍වණතාවක් පවතින අතර, දැනටමත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්රීමවරුන් මෙම වාහන පර්මිට් රු.ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට විකිණීම අරඹා තිබේ. ඇතැම් අවස්ථාවල මෙම වාහන පර්මිට් රු.ලක්ෂ 225 දක්වා වූ මිල ගණන්වලටද විකිණෙන බවද කියැවෙයි.
      මෙම වාහන පර්මිට්වලට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී.වරුන් 225 දෙනාටම රජයේ වියදමින් එක් වාහනය බැගින් එකම මාදිලියක වාහනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද කතාබහ කෙරී ඇති බව %අද^ ට වැඩිදුරටත් වාර්තා වේ.
      ඩොලර් 62,500 යි. මේකට ගෙවන්න ඕනෙ වැට් එක 12 යි, ජාතිය ගොඩ නැගීමේ බද්ද 2යි. පෝට් ඇන්ඩ් ඒවියේෂන් ලෙවි 5෴ යි. වරාය හා ගුවන්තොටුපොළ ගාස්තු ගෙවන්න වෙනවා.
      ඕනෑම කෙනෙකුට පැවරීමේ හැකියාව පවතී. වාහනය ගෙනාවාම ඕනම කෙනෙකුට විකුණන්න පුළුවන්. එන්ජින් ධාරිතාවයේ සීමාවක් නෑ. ඩීසල්ද පෙට්ර්ල්ද සීමාවක් නෑ. 225 දෙනාටම දීලා තියෙන්නෙ.
      ගොඩක් ඒවා විකුණනන් තියෙනවා.
      මේක 225 ටත් යන්න පුළුවන්. මේවට ලොකු ලොකු වාහන තමයි ගෙන්වන්නෙ. දැනට සාමාන්යවයේන යන්නෙ 180 - 200 ට
      ඒකාබද්ධ විපක්ෂය කිසිම කෑ ගැහැලිලක් නැහැනෙ. ඒකා බද්ධ විපක්ෂය, රටේ විපක්ෂය වාහන බලපත්රක දීමේදි ඇයි නිහඬ.
      මීට අමතරව, මේ 225 දෙනාටම කොමන් වාහනයක් රජයේ වියදමින් අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 200ක් කියන්නෙ කොහොම හම්බ කරන්නද? // courtesy: Ada 2016/3/15
      ඇ.ඩො.62,500 යි
      එන්ජින් ධාරිතාවයේ සීමාවක් නැහැ. ඕනෑම වාහනයක් ගෙන්වීමේ හැකියාව පවතී. ඕනෑම අයෙකුට පැවරිය හැකියි. 225 දෙනාමට දුන්නා. ලක්ෂ 200 යි ගාණ මේ වනවිට තියෙනවා.
      පසුගිය බදාදා ඉඳල තමයි දීල තියෙන්නෙ.
      ඒකාබද්ධ විපක්ෂයවත්, විපක්ෂයවත් මෙහිදී මුනිවත රකින්නේ ජනතාව වෙනුවෙන් සිතා විය හැකි බව අපේ හැඟීමයි.

      Delete
  2. එහෙම එවුන් නැහැ. හදන්න ඕනැ.

    ReplyDelete
  3. මහජන දේපල සොරකම් කළ සියලු සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු ය

    ReplyDelete
  4. මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය.

    මොන සමාව දුන්නත් එක කෙනෙක් හරි තම කැමැත්තෙන් ඉදිරිපත්වෙයිද ?මේක බස් එකේ නින්ද යනකොට දකින හීනයක් පරා අඩුම ගාන සුරංගනා කතාවකවත් අහලා තියනවද මේවගේ ඉදිරි පත්වීම්

    ReplyDelete
  5. සැබෑ විපක්‍ෂ දේශපාලනය කියන්නේ කවදාකවත් බලයට එන්න නොව විපක්‍ෂයේම ඉන්න කරන දේශපාලනයක් නේද?

    ReplyDelete
    Replies
    1. දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ පළමු කොන්දේසිය ගොන් ප්‍රශ්න අසන අපතයන් දුරස් කර තැබීමයි.

      Delete
    2. ආනේ ඇත්තද?

      මං හිතුවේ ජනතාව දැනුවත් කරලා ඔවුන්ට තමන් ගේ පැත්තට නම්මා ගැනීම මේ සැබෑ විපක්‍ෂ දේශපාලනයේ අනිවාර්ය කොටසක් කියලනේ.

      එහෙනං ඉතිං ඔය ත්‍රිරෝද රථයේ ම දිගටම යන්න මෙච්චර කල් ගිය විදියටම!

      ;-)

      Delete
    3. ජන සහභාගීත්වය අත්‍යාවශ්‍යවුවද ජනසහභාගීත්වයේ තරම අනුව සමාජ ව්‍යාපාර වල සාර්ථක අසාර්ථක බව මැනීම එතරම් සුදුසු නැත. ආගමික ව්‍යාපාර ගත්තොත් ඒවාට කෝටි ගණනින් ජනයා සහභාගී වෙති. ත්‍රීවීලර් චෝදනාව එල්ලවන ආගමික ව්‍යාපාර එකක්වත් මේ ලොකයේ ඇතැයි මම නොසිතමි. එහෙත් එවායින් ලෝකයට සිදුවන යහපතක් නොමැති වෙයි. විප්ලවය සඳහා ජනයා අවශ්‍යය. එහෙත් මොක්කු මොක්කු හරි නොවේ. අවශ්‍යවන්නේ දියුණු ජනයාය.

      Delete
  6. Nipuna WanninayakeMarch 13, 2016 at 7:10 AM

    //මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. //
    ඕක යුක්තියේ මූලධර්මවලටත් පටහැනියි පැරා... සුලු ගනනක් වංචා කරල අසුවීම නිසා රස්සාවෙන් දොට්ට දැමූ රාජ්‍ය සේවකයො, තමට සත්‍ය වශයෙන්ම වුනු අතපසුවීමක් නිසා මුදල් වැඩිපුර ගනදෙනුකරුවෙකුට දීලා ඒ පාඩුව පියවන්න බැරුව හිරේ ගියපු බැන්කු සේවිකාවො ඉන්නව... ඒ අයටවත් නොලැබෙන සමාවක් බිලියන ගානක් ගහපු කාලකන්නියන්ට දෙන්න? මුන්ට දඩුවම් කල යුතුයි... හිරේ දැමීම මුදල් නාස්තියක්නම් මුන්ගේ දේපල සියල්ලම ඇදිවත පමනක් ඉතුරුවෙන ගනනට රාජසන්තක කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.

      Delete
    2. ඒක මාත් පිළිගන්නවා. නමුත් ලංකාවෙ සමාජ එහෙම සමානාත්මතාවක් ක්‍රියාත්මක කරන්න බැරි තරම් දුරයි. බලන්න මේ සොරුන් වෙනුවෙන් පණ දීගෙන ඉන්න මිනිසුන් කවුරුද කියලා. උන් මේ එකක්වත් පිළිගන්නෙ නැහැ. මොන සාක්කි ඇතුව ඉදිරිපත් කළත් බොරු කියනවා. හැබැය තමන්ගෙ අල්ලපු ගෙදර මිනිහා ගැන සැක කරනවා.

      දැන් මේ ගනින්නාන්සෙලාගේ ප්‍රශ්නය ගන්න. උන් තමන් අපරාධකාරයන් ය කියා හිතන්නේවත් නැහැ වගේ. අලි පැටියෙක් පන්සලක තියාගෙන කන්න බොන්න දීල ආදරෙන් හැදුවාම මොකද අහන්නෙ ඇතින්න මරපු බව, ඒ අලි පැටවුන් දම්වැල්වලින් බැඳලා තියාගෙන ඉන්න බව අමතක කරලා. ඒවාට අලගු තියන විශාල සමාජ තීරයකුත් ලංකාවේ ඉන්නවා.

      ලංකාවේ ගැටලුවේ වැඩි කොටසක් තියෙන්නේ සමාජයේ, විශේෂයෙන් ම පහළ පංතිකයන් අතර. ඔවුන්ට මූලික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අධ්‍යාපනයක් නැහැ. ලංකාවේ පාසල්වලින් හදන්නේ පංතිය අතුගාන ගෑනිටත් වඳින කොන්ද බිඳපු වහල් පරපුරක්.(අතුගාන එකීට තියා ගුරුවරීටවත් වඳින්න ඕනැ නැහැ. වඳිනවා නම් පඩි ගෙවන්න ඕනැ නැහැ.)

      මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන එක දීර්ඝකාලීන වැඩක්.

      Delete
  7. මොකද කියන්නේ පැරා.... පක්ෂයක් හදමුද.....?

    ReplyDelete
    Replies
    1. පක්ෂයක් හදන එක නරක වැඩක් නෙමෙයි. හැබැයි පක්ෂය හදන්න මුල පිරුවා ය කියලා තමන්ට අනිවාර්යයෙන් ම සදාකාලික තනතුරක් ඕනෑ ය, තමන්ට තැනක් නැතිනම් ඒ පක්ෂය විනාශ කරන්න ඕනෑ ය, අපි වැඩ කරන්න ඕනෑ අපට පාලනය කර ගන්න පුළුවන් මිනිසුන් එක්ක විතර ය වගේ නො හිතන මිනිස්සු එක්ක එකතු වෙලා වැඩ කරන්න නම් මාත් කැමතියි.

      Delete
    2. ඉස්සෙල්ලම පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන.... ඇමරිකාවේ ඊශ්‍රායලයේ වගේ....

      Delete
    3. මාත් එනවා තනතුරක් නැතුව වැඩ කරන්න..

      Delete
    4. දැන් ඕන අලුත් පක්ෂ නෙමේ, තියෙන පක්ෂයකට එඩිතර සහ නිවැරදි නායකත්වයක්. මහින්දලා වගේ කුහක නායකයෝ වෙනුවට මහත්මා විකල්ප නායකයොයි අවශ්‍යය.Aru

      Delete
  8. "වාමාංශික අන්තවාදීන්ට කළ හැකි හොඳම දෙය ඉවසා බලා සිටීම ය." යූ. එන්. එකෙන් ද කිව්වෙ, ඔහොම කියන්න කියලා; නැතිනම් දැන් අධිරාජ්‍යවාදී බලවතුන්ට ඉස්සර වගේ හයිය හත්තිය නෑ කියලා?

    ReplyDelete
  9. // මෙම අර්බුදය මැද බලය ගන්නට උත්සාහ කිරීම නො කළ යුත්තකි. බලය ගත්තා ය කියා කිසිවෙකුට මෙම අර්බුදයට විසඳුම් දෙන්නටත් බැරි ය. විපක්ෂයේ කිසිදු දේශපාලන බලවේගයකට තත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත්තේ ද නැත. //

    තමන් බලයේ සිටින විට හැමෝම විපක්ස්යට පැල් කවි ගායනා කොරති!

    අලේ ගන්න නොවේ නම් මැල්ලුම් කන්නද බතල හිටවන්නේ?
    බලේ ගන්න උස්සහ නොකරනවානම් කජ්ජට ද පොලිටික්ස් කොරන්නේ?

    ReplyDelete
    Replies
    1. බලය ගන්නට දේශපාලනය කිරීමේ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, මේ අර්බුදය මැද්දට බල අරගල තල්ලු නො කර ආණ්ඩුවට ලැබුණු ජනවරම අනුව කටයුතු කරන්නට ඉඩ දිය යුතු ය. බලය ගැනීමට ඊළඟ මැතිවරණය තෙක් බලා සිටින්නට බැරි ඇයි? අනෙක බලය ගත යුත්තේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට හෝ බලය රස විඳීමට නො වේ.

      Delete
    2. // බලය ගැනීමට ඊළඟ මැතිවරණය තෙක් බලා සිටින්නට බැරි ඇයි? //

      විපක්සේ බලය ප්‍රතම වරට පෙන්වන්නේ සෝ කෝල්ඩ් පලාත් පාලන මැතිවරන කල්යැවීම ට විරුද්දව බව නොදන්නේද?

      Delete
    3. දැන් කරගෙන යන්නේ රාජපක්ෂවාදි බලු පොරයක් හැර අන් වෙන කිසිවක් නොවන බව පාර්ලිමේන්තුවත්, ඉන් පිටතත් සිදුවෙන දේ තුලින් වැටහෙනවා.Aru

      Delete
    4. ඒකෙන් පැරදුණාම සෝ කෝල්ඩ් මහරජාණන්ට මොකක්ද වෙන්නෙ?

      Delete
    5. අවුරුදු පහක් කොහොම ඉවසන්නද පැරා.... හොරකම දූෂණය වඤාව ඇට මිදුලු වලට කා වැදිලා තියෙන්නේ.... කුඩු කාරයෝ වගේ...

      Delete
    6. අවුරුදු පහක් යනකම් මේ පාලනය වට්ටන්න බැහැ කියන එක තමයි ඇත්ත තත්වය. එය බිඳ වැට්ටවිය යුතු නැහැ. මේ තියෙන ආර්තික අපායෙන් ගොඩ එන්නට ක්ෂනික විසඳුම් සක්කරයාටත් හොයාගන්න බැහැ. ඒ නිසාම තව කාලයකට දේශපාලකයන්ට හැර අන් අයට සාපෙක්ෂ කට්ටක් කන්න වෙයි. එතනින් පසු පරම්පරාවට යම් ස්ථාවරයක් ගොඩා නගා ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් හදාගන්න නම් මේ සහණාධාර කප්පාදු, බදු බර යනාදියට අකමැත්තෙන් හෝ යටත්වෙනවා හැර වෙන විකල්පයක් නැති බව මගේ විශ්වාසයි. මේ සියල්ලට වග කිව යුතු රාජ්පක්ෂගේ ආත්මාර්ථ්කාමි පාලනයේ හිටපු කටු ලෙවකන්නන්ම අද හොර පොල් ගෙඩියට මුල් තැනදී රටේ අනාගතයම ගලේ ගැසීම ගෝත්‍රීක සංකල්පයක් හැර අන් කවරක්ද? ජවිපෙ විරෝධය මීට වඩා යථාර්තවාදී තලයකට නොගෙනාවහොත්, ඒ ඔවුන්ගේ දේශපාලන මළගම විය හැකියි. රාජපක්ෂ සට්ටැඹියන්ගේ විරෝධය හොරුන් නඩත්තු කිරීමේ ඒකායන අරමුණ ලෙයට බද්ධ කරගත් තුච්ඡ මගෝඩියක් බව ඔලු රාත්තකලට බුද්ධිය අවුන්සයක් හෝ තියෙන ජනතාව වටහාගෙන අවසන්. මේ ආර්ථික ගොහොරුවෙන් එලියට ඇවිත් හුස්ම පොදක් ගන්න වෙන්නේ 2020න් පසුව පමනයි. මේ ආන්ඩුවට කලහැකි සහ කල යුතු එකම වැඩ කොටස වෙන්නේත් ඒ හුස්ම පොද ලබා දීම පමනයි. එය ඒ තරමටම වටී. වෙන කල හැකි කිසිවක් ඉතිරිව නැති බව මගේ වැටහීමයි. මේ තිත ඇත්තට කසාය බොනවා හැර වෙන ප්ලාස්ටර් හෝ ඔපරේශන් නැත. තුවාලයට පනුවෝ ගසා තිබේ. තුවාලය කුනු කෙරූ මහ පනුවෝ අද දෙවියන් සමග රමණයේ යෙදෙති. අපි බලා සිටිමු.Aru

      Delete
    7. ඔහෙලා මොන සිල්ලර තර්ක ගෙනාවත් යහපාලනේ පලාත් පාලන චන්දේ කල් දමමින් සිටිනා බව වසන් කරන්න බැහැ....
      චන්දෙ තියන්න... එතකොට තේරේවි....

      Delete
    8. දකුනේ සිංහලයින්ගෙන් බහුතරය ස-රස වගේ ආන්ඩුවෙන් මොනවාහරි නිකන් දෙනකන් බලාඉන්න රාජපක්ෂවාදී ගොන්බිජ්ජො නිසා මෘග චෞර මරාව බලයට ගේන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒනිසා පලාත් සභා චන්දය තව මාස 6 වත් කල් දැමිය යුතුයි

      Delete
    9. // දකුනේ සිංහලයින්ගෙන් බහුතරය ස-රස වගේ ආන්ඩුවෙන් මොනවාහරි නිකන් දෙනකන් බලාඉන්න රාජපක්ෂවාදී ගොන්බිජ්ජො නිසා මෘග චෞර මරාව බලයට ගේන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒනිසා පලාත් සභා චන්දය තව මාස 6 වත් කල් දැමිය යුතුයි //

      ලයිට් නැහැ ඕයි!

      Delete
    10. ඇයි තොට මරාගෙන් හම්බ වෙච්ච ලකේ පුයිට් නැද්ද

      Delete
    11. උඹේ රජා දෙපාරක්ම හොම්බෙන් ගියා නේද ? ඇයි දැන් සරමක් අන්දලා ඔලුවෙන් හිට්ටවනන්නද ?

      Delete
  10. හොඳ දැක්මක් තියෙන මිනිස්සුත් ඉන්නවා. ඔවුන්ට අවංක උවමනාවක් තියෙන බවත් පේනවා. හැබැයි ඔවුන්ව පෙලගස්වන වැඩ පිලිවෙලක් හා විශ්වාසකල හැකි නායකත්වයක් නැහැ.Aru

    ReplyDelete
  11. me sadaha ekaana paramarthayakin wedakalauthuy , sahena kalayk gathawewi but uthsahaya ath nohariyauthui. jaya.

    ReplyDelete
  12. //මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හිරේ දමාගෙන කන්න දෙන එක රටට තවත් පාඩුවක් පමණි.//
    සම්පුර්නයෙන්ම විරුද්ධයි. මෙවුන්ට දඪුවම් දෙන්න ඕනෑ තරම් සාක්‍ෂි ඇත. මොවුන් වත්කම් සොයාගත් ආකාරය පරීක්‍ෂාකරීමම මදිද ? . උදාහරණය වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු !

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අතරමැදි සමාවකින් කර ගත යුතු උවමනාවක් තිබේ. නමුත් එය ස්ථිරසාර අවසානයක් නොවිය යුතුය. අවසානයේ වැරදිකරු නීතියේ රැහනට හසුකලේ නැත්නම් නීතිය ජෝකරයෙක් බවටත්, ජෝකරයින් නීතිය බවට පත්වීමත් වැලක්විය නොහැක. එතනින් පසු නීතිය අරාජික විය හැක. අප රාජ්‍යයම බාබේරියන් මානසිකත්වයේ ගොදුරක් විය හැක. නමුත් මුන්ගෙන් තාවකාලික හෝ චූන් එකක් ගැනීම රජයේ අභිලාශයද යැයි කීමට නොදනිමි. රන්ජන් රාමනායක නම්වූ ආන්ඩුවේ හාදයාගෙන් එවැනි ඉඟියක් ලාවට කටින් පැන්නේ ඊයේ පෙරේදා ගොන් චූන් ටීවි පොලිටිකල් සාකච්ඡාවකදීය. (හිරු සලකුණ )Aru

      Delete
  13. ජනවාරි 8 ට පෙර කුලියට මිනී මැරූ අයට රජයේ සාක්ෂි කරුවන් වීමට ඉඩ දිය යුතුය, ජනවාරි 8 ට පෙර මහජන දේපළ සොරකම් කළ යට රජයේ සාක්ෂි කරුවන් වීමට ඉද දිය යුතුය, ආදී යෝජනවාලට මුල් වන්නේ ජනවාරි 8 මෙව්වා එකක් සිදු වුනාය, එම නිසා ජනවාරි 8 මෙව්වා එකෙන් පසු මේ රටේ යළි අපරාධ සිදුවන්නේ නැත, මහ බැංකුවේ සිදුවුනාට කියන බැඳුම්කර මගඩිය විපක්ෂයේ බොරු චෝදනාවක් මිස ඇත්තක් නොවේය, ජනවාරි 8න් පසු මේ රටේ අපරාධ සිදු නොවන නිසා, මේ රටේ අපරාධ කාරයෝ කියා පිරිසක් සිටිනවානම් ඒ ජනවාරි 8 ට පෙර අපරාධ කළ අය පමණය, එම නිසා අපරාධකාරයන්ට ලබාදෙන සහන, අළුත් අපරාධ සිදු කිරීමට හේතුවන්නේ නැත යන විශ්වාසයයි. මේ විශ්වාසය මත පදනම් වී විවිධ යෝජනා ඉදිරිපත් කරන අතරේ, මේ විශ්වාසය සනාථ කිරීමටත්, කරුණු ඉදිරිපත් කරනවා නම් එය ප්‍රයෝජනවත්ය.

    ReplyDelete
  14. [මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හිරේ දමාගෙන කන්න දෙන එක රටට තවත් පාඩුවක් පමණි. ]

    මේ මට්ටමේ බුද්ධිමත් කතාවක් අහන්න පැරා ගාවටම එන්න ඕනේ, හැක හැක,,,,,
    අනේ අම්මපා ඔහේ ළමයින්ට උගන්නපු ගුරෙක්ලු නේද, උන්ගේ අනාගතේ තව දුරටත් අඳුරු නොකර ගුරු රස්සාවෙන් අස්වෙච්ච එකම ලොකු පිණක්

    මහින්ද ඇතුළු සියල්ලෝම හොරුනම් සහ උන් හම්බු කරගෙන තියෙන සබ්බ සකළමනාවම හම්බු කර ගත්තේ හොරෙන්නම්, උන්ම ඉදිරිපත් වෙලා ඒ හොරෙන් හම්බු කරපු සල්ලි ඔක්කොම ආපහු ආණ්ඩුවට ගෙව්වට පස්සේ ව්‍යාපාර කරගෙන ආර්ථිකයට දායක වෙන්න ඉඩ දෙන්න අවස්තාව දිය යුතුලු
    ඔක්කොම තියෙනේ හොරකං කරපු සල්ලිනම් ඒවා ආපහු ආණ්ඩුවට දුන්නට පස්සේ අහවල් එකෙන්ද උන් ව්‍යාපාර කරන්නේ
    ලංකාවේ ගුරුවරු බහුතරයක් උගත් නැති නිසා පැරාගෙන් මීට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද

    \සැබෑ විපක්ෂ දේශපාලනයක් යනු රාජපක්ෂ පන්නයේ දේශපාලනයක් නො වේ. එය ඉවසිලිවන්ත, බලලෝභී නො වන, එහෙත් උන්නතිකාමී, දීර්ඝකාලීන ව්‍යාපාරයක් විය යුතු ය./

    ලෝකේ කරන්න තියෙන සක්කිලි වැඩ ඔක්කොම කරලා බලය ගත්තු විපක්ෂෙකට කඩේ යන ඔහේ මේවා කියන්නේ රටේ මිනිස්සු හරක් කියල හිතාගෙනද, රෙදි ඇඳගෙන කියන්න ඇහැකි කතාවක්ද මේ

    ReplyDelete
    Replies
    1. මිස්ටර් හැක හැක, ඔයා ප්‍රොෆයිල් එකෙන් ගිහිල්ලත් ඔය හැක හැක එක දාපු තැන් තියෙනවා. කමක් නැහැ, මගේ ඉස්සරහ නමින් පෙනී ඉන්න බැරි එක මං මට කරන ගෞරවයක් ලෙස භාර ගන්නම්. මං කොහොමත් උගතෙක් නෙමෙයි, සාමාන්‍ය අර්ථයෙන්. මට මුල් උපාධියක්වත් නැහැ. හැබැයි මං බුද්ධිමතෙක්.

      ඔයාගේ අදහස් දැක්වීමේ මුල තියෙන්නෙ එකක්. අග තව එකක්. උගතෙක් නොවුණට කමක් නැහැ, මං කියන දේ අහන්න. මේකට කියන්නෙ ධාරණාවක් නැතිකම කියලායි.

      කොහොම වුණත් මේ දේත් කියන්න ඕනැ. ඔය දූෂණය කියන එක මහින්ද රාජපක්ෂ හා ඔහුගේ අනුගාමිකයන් විතරක් කළ දෙයක් නෙමෙයි. හොඳට පරීක්ෂා කරලා බලන්න, ලංකාවේ කීදෙනෙක් ළඟ විවිධ මට්ටමෙන් අයථා ලෙස උපයා ගත් මුදල් තිබෙනවා ද කියලා. බොරු ක්ලේම් එකක් දාලා සල්ලි ගත්තත් හොරකමක් තමයි. පොඩි ය ලොකු ය කියලා වෙනසක් නැහැ. හොරකම හොරකම ම තමයි.

      නූගත් ගුරුවරයෙක් වශයෙන් මං දන්න දෙයක් කියන්නම්. ඉස්කෝලේ හරියට උගන්නන්නේ නැතිව ළමයින්ව හා දෙමව්පියන්ව බියපත් කර ටියුෂන් පංතියට ළමයින් ගෙන්වා ගන්න ගුරුවරුන් හොරු නෙමෙයි ද?

      දැන් අල්ලන්න ඕනැ ලොකු හොරු විතරක් නෙමෙයි. අනෙක අල්ලන්න ගියා ම මේක කොහෙන් පටන් අරගෙන කොහෙන් කෙළවර කරන්න ද?

      දැන් වුණත් අහුවෙන්නේ ලොකු හොරුන්ගෙන් වගේ ම පොඩි හොරුන්ගෙනුත් කොටසක් විතරයි. බහුතරය බේරිලා යනවා.

      Delete
  15. මට හිතෙනවා මෙහෙම දෙයක්. අපි දුශණය නීතිගත කරණ පක්‍ෂයක් හදමු. නීත්‍යානුකුල ලෙස සාධාරන කොමිෂන් එකක් (සම් තිං එක) ගන්න පළුවන් කියල. 10% හෝ ඊට අඩු ගානක්. ඒක බෙදිල යන්න ඕන විදියත් කියමු. ඇමතිට 5%, අමාත්‍යංශ ලේඛම්ට 3 ඉතිරිය සෙසු ලක්‍ෂනිලධාරීන්ට. දැන් ඔය කස්ටම් එකේ ගහන දඩ මුදලෙන් සීයට ගානක් අදාල නිලධාරීන්ට ගෙවන්න පටන් ගත්තෙත් දුශණය අඩු කරන්න ලු නේ

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ මේක වඩා ප්‍රායෝගික විසඳුමක් කියල තමයි. කවුරු කොහොම කිව්වත් ප්‍රායෝගිව දූශණ මර්දනය කරන්න වෙන්නෙ මේවගේ ක්‍රමයකින්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා