මහජන මුදලින් දුන් පොහොර හා වෙනත් සේවාවලින් ගොවීන් රටට දී ඇත්තේ කුමක් ද?
අමුඩය ගැසූ පමණින් යමකු ගොවියකු වන්නේ නැත. |
ගොවි සංවිධානයේ සභාපති ඉන්නේ අපේ ගේ ළඟ ය. ඔහු වවන කිසි දෙයක් නැත. ඔහු කිසි දිනෙක වෘත්තීය ගොවියෙක් වූයේ ද නැත. එහෙත් වෘත්තීය මට්ටමෙන් ගොවි සංවිධාන නිලධාරියෙක් වුණේ ය. ලේකම් නම් වෘත්තීය ගොවියෙකි. ඉස්සර කුඹුරු ගොවිතැන් කළේ ය. දැන් තේ වවනවා ය. පසුගිය කාලයේ මේ කට්ටිය හතරවරං ගසා ඇති බවත්, එබැවින් තනතුරුවලින් ඉවත් කරන බවත් ගොවි නියාමක කියයි.
අපේ ගමේ කුඹුරු එකින් එක පුරන් වෙනවා ය. සමහරු කුඹුරු ඉඩම් හොරෙන් ගොඩ කර ගෙවල් හදනවා ය. කුඹුරු ගොවිතැන යම් දුරකට කරන්නේ ට්‍රැක්ටර් හිමියෝ දෙතුන් දෙනෙක් පමණි. මන්ද, කුඹුරු කෙරුවාවෙන් ජීවත් වන්නේ ඔවුන් පමණි.
ප්‍රධාන වශයෙන් රජයේ රැකියා වැනි වෘත්තීන්වල නියුතු පහළ මධ්‍යම පංතිකයෝ අමතර ආදායම් සඳහා විධිමත් අන්දමින් විවිධ වගා කරති. තේ, රබර් වගා නම් දැන් හාන්සි ය. ඒවාට විදේශ වෙළඳපොළවල ඉල්ලුමක් නැත. ආණ්ඩුවෙන් උපදෙස් නො ලැබුණත්, දැන් දැන් මිනිස්සු ගම්මිරිස්, කුරුඳු ආදී වෙනත් බෝග ද වවමින් බෝග විවිධාංගීකරණය කර ගන්නට උත්සාහ කරති.
ගොවිතැනින් පමණක් ජීවත් වන්නේ ඉතා ම සුළු පිරිසකි. ගොවිතැන් කරන අය වෙනත් විවිධ ප්‍රධාන රැකියා කරති. සමහරුන් ගොවිතැන් කරන්නේ ආණ්ඩුව පොහොර සහනාධාර දෙන නිසා ය. නැතිනම්, කුඹුරු ඉඩම් රජයට පවරා ගනු ඇතැයි බිය නිසා ය. මේ අතරවාරයේ කුඹුරු ගොවිතැන වැඩකට නැති නිසා කිසිවෙක් කුඹුරේ කන්කුන් පාත්තියක් දැම්මොත් පෙත්සම් ගසා එය නවත්වන අයත් සිටිති.
මේ අතර ග්‍රාමීය දිළින්දෝ පිරිසක් ගම්වල සිටිති. ඔවුන් අතරින් ඇතැමෙක් අලසයෝ ය. නැතිනම් බේබද්දෝ ය. නූගත්තු ය. හැබැයි කතා කළොත් උන් සියල්ල දත් ය. කාගෙන්වත් ඉගෙන ගන්නට දෙයක් නැත. විප්ලවවාදී ය. ගම්වල ඕනෑ තරම් කුලී වැඩ තිබේ. ඒ නිසා මොවුහු බැරි ම විට කුලී වැඩට යති.
ඔවුන් බලා සිටින්නේ ආණ්ඩුවෙන් නිකම් දෙන දෙයක් අරගන්නට ය. නිකම් මොනවා හරි දෙන බව ආරංචි වුණොත් සියලු වැඩ නවත්තා ඒක ගන්නට පෝලිමේ සිටිති. මේ පවුල්වල ගැහැනු ගමට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවලින් අවුරුද්දට සීයට හතළිස් අට, හැට පොළියට ණය ගනිති. ගමේ පොලියෙස්ටර්ලාගෙන් ණය ගන්නේ ඇතැම් විට අවුරුද්දට සීයට එකසිය විස්සේ පොළියටයි. ඔවුහු ඒවායින් කොටහළු මගුල් කති. මොබයිල් ෆෝන්, ටීවී, ප්ලාස්ටික් පුටු, මෝටර් සයිකල්, ත්‍රීවීල් ගනිති. මේ පවුල්වල තරුණ ළමයි මුල් කාලේ බයික්වලින් එහෙ මෙහෙ යමින් සිට පසුව ඈනුම් අරිමින් ත්‍රීවීල් පාක්වල වේලෙති.
ගම්වල වඩු වැඩකට, මේසන් වැඩකට මිනිහෙක් හොයා ගන්නට නැත. පොල් කැඩීම වැනි දේ නම් කරන්නට කිසිවෙක් නැති තරම් ය. කුඹුරුවල, තේ හා රබර් වතුවල බරපතල ශ්‍රම හිඟයක් තිබේ. එහෙත් සුදුසුකමකුත් නැතිව, රස්සාත් නැතිව දේශපාලකයන්ට පෝස්ටර් ගහන්නට දත මැදගෙන සිටින තරුණ බලකායක් ගම්වල සිටිති. මොළේ තියෙන එවුන් කෙසේ හෝ කොරියාවට පැන ගනිති. ගිය ඇතැමෙක් ගල් වෙති.
ලංකාවේ ඇතැම් පුද්ගලයෝ හා සංවිධාන ග්‍රාමීය දිළින්දන් ද අර මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු බව කියන ගොවීන් ලෙස සලකති. මන්ද, වෙන කිසිවක් කරන්නට නො දත් හැම එකා ම තමන් හඳුන්වන්නේ ගොවියන් ලෙසටයි. එහෙම ගොවිතැන් කරන්නට බැරි බව ද, ගොවිතැන යනු දක්ෂ කර්මාන්තයක් බව ද එය සැබැවින් කරන්නෝ දනිිති.
ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම සඳහා බරපතල සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය ය. ග්රාමීය දිළිඳුකම යනු හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක් නො වේ.
රටේ ආහාර නිෂ්පාදනය කරන ගොවියන්ට රජය උපකාර කළ යුතු ය මන්ද, ඔවුන් කරන්නේ අතිශය වැදගත් කාර්යභාරයකි. රජය හෙවත් සමාජය ගොවියන්ට සලකන්නේ නැතැයි කියන්නට බැරි ය. සමාජය ඇත්තෙන් ම ඔවුන් වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දරයි. ගොවියන්ට වාරි ක්‍රම සකසා දෙන්නටත්, ඒවා නඩත්තු කරන්නටත්, පොහොර සහනාධාර දෙන්නටත්, වී මිළ දී ගන්නටත්, ඉන්පසු ඒ ගත් වීවලින් කොටසක් විනාශ කරන්නටත් වැය කරන්නේ මහජන මුදල් ය. ගොවියන් නො වන ජනතාව ඒ වෙනුවෙන් සෑහෙන්න බදු බරට උර දෙති. එපමණක් නොව, ලංකාවට අඩු මිළට පිටරටින් ආනයනය කළ හැකි බෝග වැඩි මිළට ලංකාවෙන් ම මිළ දී ගන්නේ ද ගොවියන් වෙනුවෙනි.
ගොවියන් අපට මෙසේ කරති. බෝංචි කරල අග්ගිස්සෙන් වෑස්සෙන තරමට කෘමි නාශක ගසා නිසි කල ඉක්ම යන්නටත් පෙර කඩා අපට එවති. සුනාමි මැෂිම ආ විට වල් නාශක පාරක් ගසා ගොයම නවාගෙන කපා ගනිති. මඤ්ඤොක්කා අලය ගලවන්නට පෙර පස බුරුල් වන්නට වල් නාශක ගසති. මහජන මුදලින් දෙන පෝර ටික නාස්ති කර දමති. මේ බලු වැඩ කරන්නට ගොස් තමන් ද වස විෂ කා වකුගඩු ලෙඩ ද හදා ගනිති.
ඇතැම් ගොවිතැන් සඳහා අධික ලෙස විදේශ යෙදවුම් යොදා ගැනේ. හාන ට්‍රැක්ටරය හා එයට ගහන ඉන්ධන පමණක් නොව උදැල්ල පවා ආනයනය කරන ඒවා ය. පොහොර හා කෘෂි රසායනික ආනයනය කරන ඒවා ය. දේශීයව යොදවන්නේ හිරු එළිය, ජලය හා ශ්‍රමය පමණි.
මේ සියල්ල මැද අතිශය සාර්ථක ලෙස අපනයනයට පවා කෘෂි බෝග නිෂ්පාදනය කරන සාර්ථක ගොවි ව්‍යාපාරිකයෝ ද සිටිති. නියම ගොවීන් කියන්නේ ඔවුන් මිස ග්‍රාමීය දිළින්දන් නො වේ.
ගොවිතැන හා ගොවියා යනු සංකීර්ණ ප්‍රපංචයකි. එහෙත්, ඇතැමෙක් ගොවියා යනු අමුඩ ගසන, බුලත් විට කන, සීපද කියන හාදයෙකැයි මිථ්‍යා ප්‍රතිරූපයක් රටේ පතුරුවමින්, පහේ ශිෂ්‍යත්ව පංතියේ සිටින ළමයින් රවටමින්, තමන් ද දැන දැන රැවටී, රට ම රවටන්නට උත්සාහ කරති.
කෘෂිකර්මාන්තය ඵලදායිතාව ඉලක්ක කරගෙන විප්ලවීය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ සඳහා සංවාදයක් ගොඩනැගිය යුතු ය. කෘෂිකර්මාන්තයේ යෙදෙන අය මෙන් ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් දෙනු ලබන බදු සහන හා වරප්‍රසාද ආදියට උර දෙන ජනතාව ද මේ සංවාදයට සහභාගි විය යුතු ය.
කෘෂිකර්මාන්තයේ ගැටලු බොහොමයක් තිබේ. එකම ගැටලුව නාස්ති කරන්නට තරම් පොහොර මහජන මුදලින් ලබා නො දීම පමණක් නො වේ. මෙතෙක් කල් මහජන මුදලින් දුන් පොහොරවලින්, මහජන මුදලින් සපයන ලද සේවාවලින් ගොවීන් රටට කර තිබෙන්නේ කුමක්දැයි ඇසීම ද කෘෂිකර්මාන්තයේ ම ගැටලුවකි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ගෙවතු වගා යනු අප දන්නා පරිදිම මානසික සුවයක් ගෙන දෙන විනෝදාංශයක් පමණි. එය ලාබදායී වෙන්නේ අපේ ශ්‍රමයට මිලක් නොගෙවන නිසාය. සම්පත් ඵලදායීතාව සඳහා විශාල පරිමානයේ ගොවිතැන් කර්මාන්තයක් ලෙස කිරීම අවශ්‍ය වේ.
ReplyDeleteගමේ කෙසෙල් වගාව නැද්ද පැරා?
ඡායාරූපයේ වම් පස ඉන්නේ පැරා ද මන්දා?
අර කන්නාඩි දාලා ඉන්න එක්කෙනාද නෑ නෑ ඒ අර තට්ට කන්නාඩි පොළඟා
Deleteඅපි කෙසෙල් වගාව ද කරමු. කෙසෙල් වර්ග හයක් හතක් වවා තිබේ. සාත්තු කිරීම අවම ය. මේ පළාතේ කෝලිකුට්ටු වගාව සාර්ථක නැත. කෙසෙල්වලට රිලවුන්ගෙන් කරදර ය.
Deleteවස විස නැතුව කන එකෙන් ලැබෙන පරමලාභය
Deleteමමත් ජීවත් වෙන්නේ ගමක නිසා පැරාගේ ගම ගැන විස්තරය හරියටම හරි බව දන්නවා. දැන් ගමක් යනු කවියන් ලේඛකයන් මවන රොමැන්තික ගමක් නොවන බව ඉතාම පැහැදිලියි. හොඳින් උගැන්මක් ලත් කිහිප දෙනා හැර, අනිත් ගැමියන්ට අනාගතයක් නැහැ. ගම වල ගොවිතැනක් හරියට කෙරෙන්නේ කලාතුරකින්. සියල්ල වෙනස් කළහැකි දේශපාලන නායකත්වයක් (Transformational Leadership) කවදා හෝ මතුවී එනතුරු, ගමටත් ගොවිතැනත් අනාගතයක් නැහැ.
ReplyDelete//අමුඩය ගැසූ පමණින් යමකු ගොවියකු වන්නේ නැත.//
ReplyDeleteඑකඟයි. හැරිසන්ගේ තට්ටම් පරීක්ෂණය මඟින්ද මොවුන් සැබෑ ගොවීන් නොවන බවට ඔප්පු කළ හැක.
//ගොවියන් අපට මෙසේ කරති. බෝංචි කරල අග්ගිස්සෙන් වෑස්සෙන තරමට කෘමි නාශක ගසා නිසි කල ඉක්ම යන්නටත් පෙර කඩා අපට එවති. සුනාමි මැෂිම ආ විට වල් නාශක පාරක් ගසා ගොයම නවාගෙන කපා ගනිති. මඤ්ඤොක්කා අලය ගලවන්නට පෙර පස බුරුල් වන්නට වල් නාශක ගසති. මහජන මුදලින් දෙන පෝර ටික නාස්ති කර දමති. මේ බලු වැඩ කරන්නට ගොස් තමන් ද වස විෂ කා වකුගඩු ලෙඩ ද හදා ගනිති.// බුදු අම්මෝ..
ReplyDelete// මේ අතර ග්‍රාමීය දිළින්දෝ පිරිසක් ගම්වල සිටිති. ....... මොළේ තියෙන එවුන් කෙසේ හෝ කොරියාවට පැන ගනිති. ගිය ඇතැමෙක් ගල් වෙති.// (ඔබගේ ලිපියේ ජේද අංක 6, 7, 8)
ReplyDeleteඑහි විස්තරකර ඇති ජනතාවගේ ජිවන තත්වය එලෙසවී ඇත්තේ එම ජනතාවගේම අඩුපාඩුවක් හෝ වැරද්දක් නිසාම පමණක් යනුවෙන් ඔබ විශ්වාස කරනවාද...?
// ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම සඳහා බරපතල සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය ය. //
// කෘෂිකර්මාන්තය ඵලදායිතාව ඉලක්ක කරගෙන විප්ලවීය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ සඳහා සංවාදයක් ගොඩනැගිය යුතු ය. //
මෙය සිදුකර ගන්නේ රනිල්ගේ ආණ්ඩුවෙන් හෝ පවතින සමාජ ක්‍රියාකාරකම්වල දිගුවක් ලෙසමද? නැතහොත් මේවැනි මැදිහත්වීමක් කල යුත්තේ කවුද?
ඔබ උත්සහ කරමින් සිටින්නේ එවැනි සංවාදයක් ඇති කිරීමටද?
අප දැනටමත් ඇති කර තිබෙන්නේ ඒ සංවාදයයි. රනිල්ගේ ආණ්ඩුව යනු පවතින සමාජ ක්‍රියාකාරකම්වල ම ප්‍රතිඵලයකි. සමාජ ක්‍රියාකාරකම් එතනින් අවසන් වන්නේ නැත.
Deleteලංකාවේ ජනතාව මාර අහිංසක කට්ටියක් නො වේ. ඔවුන් ද දේශපාලකයන් තරමට ම දූෂිත ය. මේ දූෂිත ආණ්ඩු පත් කර ගන්නේ හා මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්නේ ඔවුන් විසිනි.
ලංකාවේ සියලු දේශපාලන ව්‍යාපාර මේ දූෂිත ජනයාගේ පදයට නටමින් තමන් ද දූෂණය වී හමාර ය. ඒ සියල්ලෙන් පරිබාහිර පරම පිරිසිදු අලුත් ඒවා හදනවා කියන එක ද බොරු ය. එවැනි බොරුකාරයන්ට තවදුරටත් රැවටිය යුතු නැත.
පුරවැසි දේශපාලනය යනු පවතින තත්වයන්ට මැදිහත් වී කළ හැකි වෙනස්කම් වෙනුවෙන් බලපෑම් කිරීමයි. අප මේ කරන්නේ එයයි.
//ලංකාවේ ජනතාව මාර අහිංසක කට්ටියක් නො වේ. ඔවුන් ද දේශපාලකයන් තරමට ම දූෂිත ය. මේ දූෂිත ආණ්ඩු පත් කර ගන්නේ හා මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්නේ ඔවුන් විසිනි. //
Deleteලංකාවේ ජනතාව අහිංසක කට්ටියක් නොවේය, ඔවුන් පට්ට ගේම් කාරයෝය, ඔවුන් වෙනස් කරවා ගැනිමකින් තොරව පවතින තත්වයන් වෙනස් කිරීමට නොහැකිය.
ලංකාවේ දේශපාලන ව්‍යාපාර බොහෝමයක්ද පවතින සමාජ තත්වයට අවශෝෂනය වී ඇති බවද බැලු බැල්මට පෙනෙන්නට ඇත. ඔවුන්ද එදිනදා ඇතිවන ගැටලුවලට ක්ෂණික ක්‍රියාමාර්ග ගනිම්න් මිනිසුන් තමන්ගේ සංවිධානතුලට ගැනීමට දගලනවාට වැඩිය ඔවුන් සිතන ආකාරය වෙනස් කිරිමට දගලන්නේ නැතිය.
පුරවැසි දේශපාලනය කියමින් දගලන බොහෝ දෙනෙක්ද තමන්ගේ සිවිල් බලයන් ආරක්ෂාකර ගැනීමට මිස සිවිල් බලයන් දියකර හරිමින් සමාජය, පුරවැසියන් ශක්තිමත් කරන්නට කටයුතු කරන්නේ නැත.
මම නම් ඉස්සර ඉඳලා කියන්නේ මේ හිඟන්නන්ට සමෘධිය හරි මක්කා හරි දීලා.. මිනිස්සුන්ට අඩු මිලට අහාර ගෙනත් දෙන්න කියලා...
ReplyDeleteඉඩම ආන්ඩුවෙන් දෙන්න ඕන නොමිළේ
වතුර ආන්ඩුවෙන් නොමිලේ..
බිත්තර වී ආන්ඩුවෙන් නොමිලේ..
පෝර ටික නිමිලේ..
උපදෙස් නිමිලේ..
අන්තීමට වී ටික ගන්න ඕනත් රජය...
මොන විකාරයක්ද මේ...
ආන්ඩුවේ හොබී එකක් වගේනේ මේ විකාරේ...
මෙවැනි තත්වයක් ගොවින්ට ඇතිකිරිම පිලිබදව ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ තමන්ගේ බලය පවත්වාගෙන යෑමට, කෘෂිකර්මය දියුණු කිරිමට අවශ්‍ය කටයුතු සිදු නොකර සහ ඒ වෙනුවෙන්වන පෙළඹවීමක් සිදුනොකර තමන්ගේ චන්ද ආරක්ෂාකර ගැනීමට කටයුතුකල UNP සහ UNP විරෝධීන්ය.
Deleteදැන් පොහොර සහනාධාරය වෙනුවට රු 25000ක් දෙන්නට ආණ්ඩුව කටයුතු කරන්නේද , රු 25000 එපා පොහොර දෙන්න කියා ඉල්ලා උද්ගොෂණ කරන්නේද කෘෂිකර්මය සංවර්ධනය කිරීමේ අරමුණින් හෝ රසායනික පොහොර වලින් ඇතිකර තිබෙන ප්‍රශ්නයකට උත්තරයක් ලෙස නොවේය.
මම අහන්නේ එහෙම නොමිලේ දෙන්නේ අහවල් එකටද කියලා... මේක මහා හිඟන රටක්... ඔක්කෝම නොමිලේ ඕන.... එහෙම නම් කරන්න තියෙන්නේ රජයෙන් සියල්ල දීලා, අරුන්ට කන්න වී මල්ලක් දෙකක් දීලා, අස්වැන්න භාන්ඩාගරයට ගන්න එක, රජ කාළේ වගේ.. අහවල් එකටෙයි තව සල්ලි දීලා ගන්නේ...
Deleteප්‍රශ්නය තියෙන්නේ ගොවින්ට (ජනතාවට) සහනාධාර ලබාදීම හෝ ලබා නොදීම පිලිබදව නෙමෙයි, සහනාධාර ලබා දෙන්නේ ඇයි?, මොනව කරන්නද?, මොකටද? එයින් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?, සහනාධාර ලබාදීම ක්‍රමානුකූලව වෙනස් කරන්නේ කෙහොමද කියල හිත්නනේ බලන්නේ නැතුව , පාලනය ගෙනයන පුද්ගලයින් තමන්ගේ වෘත්තිය ආරක්ෂාකර ගැනීමට චන්ද බලාගෙන සහනාධාර ලබාදීමයි.
Deleteජනතාව අලුත උපන් දරුවන් සේ පවිත්‍ර ය, ඔවුන්ගේ ඔලු කුරුවල් කරන්නේ දේශපාලකයෝ ය කියා සිතන එක අවසන් කළ යුතු ය. ජනතාව එක එකා ලවා කුරුවල් විය යුතු නැත. තමන් බලවත් විය යුතු ය. ඔක්කොට ම කලින් ජනතාව ගැන ඔය රොමැන්ටික් මාක්ස්වාදී අදහස් අතහැර දැමිය යුතු ය. සමාජය වෙනස් කරන්නට අවශ්‍ය නම් මුග්ධ ජනතාවක් හා ඔවුන්ට ගැලපෙන දේශපාලකයන් පිරිසක් පසුපස ගොස් හරි යන්නේ නැත. පුරවැසියන් ලෙස නායකත්වය අප සමාජ නායකත්වය අතට ගත යුතු ය.
ReplyDeleteWell said. 100% agree with u.
Deleteදේශපාලකයින්යනු ජනතාවගේ අවශ්‍යතාවයට අනුව බිහිවන වෘත්තිකයින් කොටසක්ය. සතිපතා පවත්වන දේශපාලකයින්ගේ මහජන හමුවලට ගොස් ලියුම් ගන්නා ජනතාව ප්‍රසිද්ධියේ දේශපාලකයින්ට බැනිමෙන් වැඩක් වෙන්නේ නැතිය.
Delete//ජනතාව ගැන ඔය රොමැන්ටික් මාක්ස්වාදී අදහස්// ඒ මොනවද කියල ටිකක් කියන්න පුලුවන්නම් වඩාත් හොදය...... නැත්නම් මොනව ගැනද කියන්නේ කියල තේරෙන්නේ නැතිය
ජනතාව ගැන රොමැන්ටික් මාක්ස්වාදී අදහස් කීපයක්:
Deleteජනතාව මාර ය.
පරමාධිපත්‍යය ජනතාව සතු ය.
ජනතාව බුද්ධිමත් ය.
ජනතාව අවසානයේ සියල්ල විනිශ්චය කරනු ඇත.
ජනතාව අවසානයේ සත්‍යය ජයග්‍රහණය කරා ගෙන යනු ඇත.
එහෙත් ජනතාවගෙන් කොටසක් නොමග ගොස් ඇත.
ඔවුන්ගේ මනස විකෘති කර ඇත්තේ ධනවාදී අධ්‍යාපනය හා මාධ්‍ය විසිනි.
ඔවුන් මාක්ස්වාදී පෙරටුගාමී පක්ෂය පසුපස නො වැටෙන්නේ දැනුවත් නැති නිසා ය.
දැනුවත් වූ දවසට ඔවුන් අනිවාර්යයෙන් එනවා ය.
ජනතාව දූෂණය කරන්නේ නැත. දූෂණය කරන්නේ දේශපාලකයන් විතර ය.
ජනතාවට සියල්ල නිකම් දිය යුතු ය.
ජනතාව රාජ්‍ය පාලනයේ වගකීම් නො ගත යුතු ය. බලය ගත්තා නම් දේශපාලකයන් දැන් ඉතින් පුළුවන් විදියට කළ යුතු ය.
ජනතාව ඉන්නේ කොරන්නට නොව විරුද්ධ වන්නට ය.
ජනතාව වීදි බැස උද්ඝෝෂණ කරන විට සෙසු ජනතාවට කරදර වුණාට කමක් නැත.
එවිට විරෝධය පළ කරන පිරිස පමණක් ජනතාව වන අතර අනෙක් සියල්ලෝ ධනපති හා ධනපති නියෝජිතයෝ ය.
තව ඕනැ ද?
සහ
Deleteජනතාව ඇන්දවිම සහ දැක්කීම අපගේ ඓතිහාසික කාර්යභාරය වේ.
වාමාංශික දේශපාලන පක්ෂතුල සිටින පුද්ගලයින් ජනතාව පිලිබදව සිතන්නේ ඔබ ප්‍රකාශකර ඇති ආකාරයයැයි මමනම් සිතන්නේ නැතිය. සමහරවිට ඔවුන් කටයුතුකරන ආකාරය අනුව ඔවුන් සිතනු ඇත්තේ මේ ආකාරයටයැයි කියා වෙනත් කෙනෙකුට (ඔබට) උපකල්පනය කල හැකිය.
Deleteවාමාංශික පක්ෂවල සිටින අවංක පහළ සාමාජිකයෝ එසේ සිතති. නායකයන් සිතන්නේ “ජනතාව කියන්නේ හරක්. අපේ සාමාජිකයන් කියන්නේ මී හරක්" කියා ය.
Deleteජනතාව මුග්ධයින්, අමනයින් කියා බැන්නාට වැඩක් වන්නේ නැතිය. ඔවුන් දැන් තොරාගෙන තිබෙන්නේ ඔවුන්ට ඇති වඩාත්ම වාසිදායක විකල්පයයි. එබැවින් ඔවුන් තමන්ට වාසී දායකයැයි තෝරාගෙන සිටින දෙයට වඩා වෙනත් විකල්ප තිබෙන බවත් එයින් තමන්ට සහ අනෙක් අයට වඩාත් වාසියක් අත්වේයැයි සිතන තත්වයක් සහ ඒවා පිලිබදව විශ්වාසයක් බහුතරයක්තුල ඇතිකිරීමට කටයුතු කිරීමට උත්සහ කිරීමක් කල යුතුයැයි මම සිතමි. ඒ සදහා දැනට ඇති හොදම විකල්පය වාමාංශික දේශපාලනයක් බව මම විශ්වාස කරමි.
Deleteසාමාන්‍ය මිනිසුන් තෝරාගෙන තියෙන්නේ වාමාංශිකයින් කියන දේවල් නොවේය. එබැවින් වාමාංශික හරකුන්ට බනින්නේ නැතුව ඔබගේ සමාජ ව්‍යාපාරය ස්වාධිනව ගොඩ නගන්න. එයට බාධාවක් වී තියෙන්නේ අතලොස්සක්වන වාමාංශිකයින් හෝ වාමාංශික සංවිධානයන් කියමින් තමන්ගේ අඩුපාඩු පිලිබද වැරදි විනිශ්චයකට පැමිණිම ඔබගේ ගමනට බාධාවක් වනු ඇත.
එබැවින් වාමාංශිකයින් ජනතාව පිලිබදව සිතන ආකාරය අමතකකර ඉදිරියට යන්න. ඔබගේ දියුණුවට වාමාංශිකයින් බාධාවක් කර නොගන්න.......
නැතහොත් අපි සියල්ල දන්නවාය, එබැවින් “අප සමාජ නායකත්වය අතට ගත යුතු ය“ කියුවාට සමාජ නායකත්වය ගන්නා පුරවැසියන් මොණරු කිහිප දෙනෙක් වැඩිපුර ලැබෙනවායැයි පෙන්නුකල ඔය සියල්ල අතහැර යනු ඇත.
.
ජනතාව මාරයි කියා හුරතල් කරලාත් වැඩක් නැත. ඔවුන් තෝරා ගන්නා විකල්ප හැම විට ම නිවැරදි ද නැත. ජනතාව විසින් තෝරා ගන්නා ලද නිසා අප ඒවා විවේචනය නො කර සිටිය යුතු ද නැත.
Deleteමිනිස්සු වාමාංශිකයන් බලයට තෝරා නො ගත්තත්, ඔවුන් කියන බොහෝ වැරදි දේ භාවිතයට ගනිති. උදාහරණයක් ලෙස මා විස්තර කර තිබෙන ගොවි ගැටලුව ම ගන්න. වාමාංශිකයන් ගොවීන්ට කරන්නේ බොරුවයි. ගොවීන් අද පත් වී ඇති තත්වයට පාලකයන් මෙන් ම වාමාංශිකයන් ද වග කිව යුතු ය. ඊටත් වඩා ගොවීන් වග කිව යුතු ය.
වාමාංශික පක්ෂ හෝ සංවිධාන අපේ දේශපාලනයට ගැටලුවක් නො වේ. අප කරන්නේ පොදුවේ දේශපාලනය ගැන කතා කිරීමයි. අප ගොඩනැගුණු ධාරාව ගැන අප වැඩිපුර කතා කරනවා විය හැකි ය. එය අපේ අයිතියකි. අප කරන විවේචනය සාධනීය ලෙස ගැනීම වාමාංශික පක්ෂවල වගකීමකි. ආගමික විශ්වාස අතහැර දමා තමන්ගේ ව්‍යාපාරය ප්‍රශ්න කරනවා නම් දියුණු වන්නට පුළුවන.
ඔය මොනර කතාව මේ සමාජයේ ඔබටත්, මටත් කාටත් අදාළ ය. එහෙත්, ඔබට මගේ වසර 30ක දේශපාලන අතීතය තුළ ඔය මොනර කොළ කතාව ඔප්පු කළ හැකි සාධකයක් සොයා ඉදිරිපත් කරන්නැයි මම අභියෝග කරමි.
මා මෙහි ඔබ සම්බන්ධයෙන් මොණරකොළ කතාවක් කියා නොමැතිය. මා පැවසුයේ සමාජ නායකත්වය ගන්නා පුද්ගලයින් තමන්ට දෙයක් වැඩිපුර ලැබෙනකල නායකත්වය අතහැර දමා යැ හැකි බවය. එබැන් ඔබගේ අභියෝගය භාර ගැනිමේ අවශ්‍යතාවයක් මා වෙත නොමැත. ඔබ සිදුකරන දෙය මාගේ කාර්ය කරගෙන යෑමට පහසුවක් මිස බාධාවක් නොවන බැවින ඔබගේ පෞද්ගලික තත්වයන් සෙවිමේ අවශ්‍යතාවයක් මා වෙත නැත.
Deleteපැරා,
ReplyDeleteමට නම් ඔබට වගේ අක්කර ගණන් නෑ කොළඹ නගරයේ ජිවත් වන මට ප්පර්චස් 40ක පමණ ඉඩමේ පලතුරු කීපයක් සහ එළවලු කීපයක් රසායනික පොහොර නොදමා වවල තියනවා. මෙවර රතන හමුරුදුවන්ගේ ප්‍රදර්ශනයෙන් මට දේශීය බිජ ලබාගන්න පුළුවන් උනා, ඒවා වගා කලාම ප්‍රතිපල පෙන්වන්නම්.
මම හිතන්නේ දේශීය බිජ කරදයරකින් තොරව වගා කල හැකියි, මම වෙළද පොලේ ඇති බොහෝදෙන්නා නොදන්නා මොන්සේන්ටෝ සමාගමේ බිජ වැවීම පහසු නෑ පොර නොදමා.
දැන් කලක සිට වෙළදපොලෙන් පලතුරු මිලදී ගැනීම මම නම් සම්පුර්ණයෙන් අඩු කරලයි තියෙන්නේ.
මිට හේතුව GMO ක්‍රමයට (ජාන වැඩිදියුණු කර ) කරන භෝග පිළිබද කරන ලද පර්යේෂණ කීපයක් මට දකින්න පුළුවන් වීම.
කෙසේ වෙතත් ඔබේ වගාවට ජය.
ලංකාවේ වගා කෙරෙන / අලෙවි කෙරෙන මොන්සාටෝ බිජ වර්ග මොනවා දැයි දැන ගැනීමට කුතුහලයක් ඇති වුනා, බෝගය සහ වෙළඳ නාමය.
Deletehttp://www.monsanto.com/products/pages/default.aspx
Deleteමාත,ලාංකික මම අවුරුදු 2ට පෙර වියලි තලාපයේ සහනාධාර ඉල්ලන්නේ නැතිව වාණිජ බෝග වගා කෙරෙන ප්‍රදේශ ගොඩක ගොවි බිම් වලට ගිහින් තියනවා. මා දන්නා තරමින් මොන්සැන්ටෝ කොම්පැණියේ බීජ හදන ප්‍රසිද්ධ බෝග වර්ග වලින් ලංකාවේ වානිජව වගා කෙරෙන්නේ, සෝයා, සහ ඉරිඟු පමණයි, ගොවීන් භාවිත කරන රසායනික සහ බීජ වර්ග ගැන මගේ කුතුහලයක් තියනවා, විශේෂයෙන් මොන්සැන්ටෝ බීජ ඇත්දැයි මම විමසිලිමත් වුනා,හමුවූ බොහොමයක් හිස් කවර බොහොමයක් තායි කොම්පැණිවල, මොන්සැන්ටෝ බඩු වෙනත් නම් වලින් රීබ්‍රෑන්ඩ් කර එවනවාදැයි යන්නයි මගේ කුතුහලය.
Deleteමොන්සේන්ටෝ සමාගම විවිද අතුරු නාමයන් යොදා සමාගමට අයිති සමාගම් ජාලයක් මගිනුයි මෙය කරන්නේ, ඔවුන් ඉන්දියාවේ පවා වියාපර තියනවා, මොන්සේන්ටෝ නම බිජ සදහා ප්‍රසිද්ද නැති වීමට හේතුව මොන්සන්ටෝ සමාගමට ඇති අපකීර්තිමත් නාමය විය හැකියි, කෙසේ වෙතත් මෙය කරන්නේ මොන්සේන්ටෝ විතරක් නෙමෙයි.
Deleteමේ උවදුරින් දැනට යම්තරමකට වත් බේරී සිටින්නේ ඔස්ට්‍රේලියාව බවයි මම සොයපු දේ වලින් දැනගත හැකි උනේ මෝකද ඕස්ට්‍රේලියාවේ GMO ලේබල් කිරීමට එහි නීතියක් තියනවා.
නමුත් මේ දේ සිද්දවෙලා ශ්‍රී ලංකාවේ තියෙන්නේ 1970 වේ අග බාගයේදි පමණයි 1985 පමණ වනවිට මොන්සන්ටෝ බිජ ශ්‍රී ලංකාව පාවිහ්ච්චි කර කාලයක් ගිහිල්ල නමුත් ප්ර්හ්ස්නය ඇත්තේ නව GMO (ජාන දියුණු කල ) බිජ නිසයි මෙය පසුගිය වසර 10 ත් 15 ත් අතර වර්දනය වූ දෙයක්.
ජාන වැඩිදියුනු කල බීජ වලින් හානියක් නැහැය කියන එක මීට දශක 2කට විතර කලින් තහවුරු කල මතයක්....
DeleteGM බීජ කියන්නේ ලෝකය සාගතයෙන් බේරාගන්න කල වැදගත් සොයාගැනීමක්...
හැබැයි සමහ මෝඩ බහුජාතික සමාගම් විරෝදියො තවම ඒවා නරකය කියන මතයේ එල්බගෙන සිටිනවා...
Anonymous,
DeleteThis will answer your question
Part 01. https://www.youtube.com/watch?v=94d-KVorSHM
Part 02. https://www.youtube.com/watch?v=710tmYMxsyY
Part 03. https://www.youtube.com/watch?v=ggtAzd8HMj0
Part 04. https://www.youtube.com/watch?v=Eyzu5NEWCTE
Part 05. https://www.youtube.com/watch?v=ElKHbNAETME
Part 06. https://www.youtube.com/watch?v=j4UmYU7cCkE
//ගොවියන් අපට මෙසේ කරති. බෝංචි කරල අග්ගිස්සෙන් වෑස්සෙන තරමට කෘමි නාශක ගසා නිසි කල ඉක්ම යන්නටත් පෙර කඩා අපට එවති. සුනාමි මැෂිම ආ විට වල් නාශක පාරක් ගසා ගොයම නවාගෙන කපා ගනිති. මඤ්ඤොක්කා අලය ගලවන්නට පෙර පස බුරුල් වන්නට වල් නාශක ගසති. මහජන මුදලින් දෙන පෝර ටික නාස්ති කර දමති. මේ බලු වැඩ කරන්නට ගොස් තමන් ද වස විෂ කා වකුගඩු ලෙඩ ද හදා ගනිති.//
ReplyDeleteරටේ සියලුදෙනාටම බලපාන ලොකුම ඛේදවාචකයක්
ගොවියා මෙතැනට ගෙනැත් දැම්මෙත් මේ රටම තමා......... දැන් එක පාරට ම රජයට මේකෙන් අයින් වෙන්න බැහැ.... හැබැයි හරි පාරකට මේක ගේන්නට රජය උත්සහ කරන්නෙත් නැහැ.. එදා වේල ටුවර්ස් තමා යන්නේ..... ඉතින් කවදාවත් මේ ගැටලුවට උත්තර ලැබෙන්නෙත් නැහැ....... මේ පෙන්වා දෙන වැරැද්ද ඇත්තක් තමා...... හැබැයි ඒකට පදනම් වුණ තවත් කතාවක් මේක පිටිපස්සේ තියෙනවා පැරා අයියේ......
ReplyDeleteමගුලක් කතා කරනවා.. මහා ලොකු කෘෂිකාර්මික රට.. පොඩි එහෙකුට කන්න දෙන්න බෙහෙත් ගහපු නැති අඹ ගෙඩියක්, කෙහෙල් ගෙඩියක් ගස්ලබු ගෙඩියක් කඩේකින් ගන්න නෑ.. අම්මගේ රෙද්දේ කෘෂි කරුමේ... සහනාධාර නෙවෙයි මුන්ට නඩු දාන්න ප්‍රතිපාදනගෙන්න ඕනි මිනිස්සුන්ට ගිනි ගානට වස කවනවට..
ReplyDeleteසමූහ ගොවිපොල සංකල්පය
ReplyDeleteපැරාගේ වැදගත් ලිපියක්. තිත්ත ඇත්ත ලියලා තියෙනවා. ඒත් සමහර කරුණු අසම්පුර්ණ නිසා ගෙඩිය පිටින්ම ගොවියාට විතරක් දොස් කියල වැඩක් නැහැ.නිලධාරියෝ, දේශපාලනඥයෝ ඔක්කොම දෙනා එකතුවෙලා බහු ජාතික සමාගම් වල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් දේශීය වගාව සහ දේශීය ගොවියා වල පල්ලට යවනවා.
ReplyDeleteලෝකෙ හැම රටකම කෘෂි කර්මාන්තය දියුණු වන්නේ රජයෙන් දෙන සහනාධාරය උඩය. ඒක ඇමරිකාවෙත් කරනවා.ඉන්දියාවේත් කරනවා. මාතලන් මේ මොකවත් ගැන හොයා නොබලා නිකම් දෙන්නෙ මොන කෙන් ගෙඩියටද කියලා අහනවා.අදටත් ඇමරිකාවේ,එංගලන්තයේ, මෙන්ම ආසියාවේ ජපානයේ,ඉන්දියාවේ සුළු ගොවියන් තම නිෂ්පාදන සාර්ථක කරගනිමින් තම ජිවන තත්වය උසස් කරගෙන ඉන්නෙ ඔවුන් සමුපකාරය මත සංවිධානය වීම නිසයි.
අපේ රටේ ගොවිතැන ගැන ඇති සමස්ථ ප්‍රශ්නයේ උපත අපේ රටේ සමුපකාර කෘෂිකර්මයෙන් ඉවත් කරලා බඩු බෙදීමට පටන් ගත් 1971 සමුපකාර ප්‍රතිසන්විධානයයි. ඊට කලින් සාර්ථකව ක්‍රියාත්මකව තිබු ගොවිද්‍රව්‍ය නිපදවීමේ හා අලවි කිරීමේ සමිති ඒකෙන් ඉවත්වීම සිදුකලා. විවීධ සේවා සමුපකාරයේ මුදුන් මල්කඩ වුනු සඳලංකාව සමුපකාරය විනාශ කළා. 13 වන ව්‍යස්ථාවට පිං සිද්ද වෙන්න සමුපකාරයේ ඉතිරි ටිකත් විනාශ උනා. අද වන විට මධ්‍යම රජයේ සමුපකාර අමාත්‍යාංශයක් වත් නැහැ. සමුපකාර අමාතංශය අයත් විය යුත්තේ කෘෂිකර්ම ඇමතිට මිසක් වෙළඳ ඇමතිට නෙමෙයි. අපේ රටේ හැර ලෝකෙ අන් කිසිදු රටක සමුපකාර අමාත්‍යංශය වෙළඳ ඇමතිට භාරදී නැහැ.
මමත් ගොවිතැන කරනවා. ගොවියාගේ මුලික ගැටලුව බිජ හා පොහොර වල මිල අධික විමයි. දැන් දැන් කුලියට ගන්නා ශ්‍රමයේ මිලද වැඩියි. ඊට අමතරව ආහාරපාන වලට අමතරව බොන්න දෙන්නත් වෙලා තියෙනවා. හැබැයි අස්වැන්නට මිල ලැබෙන තෙක් ගාන ෂුවර් නැහැ. මෙනිසා අතට එන ගණන වැදී කරගන්න ගොවියා විවිධ වංචනික වැඩ කරනවා. කුඹුරු හිමියාට වංචා කරනවා. වෙළෙන්දාට වංචා කරනවා. පැරකුම් මේවා ප්‍රශ කියල දැක්කට මේවා ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න වලින් පන නැගුනු ලක්ෂණයි. ප්‍රශ්නය නම් සමුපකාරය පන ඇදීමයි .
සමරසේකර
Can some one know the breakeven harvest per acre of paddy to get enough return to cover subsidies and what is the average harvest. This is very useful info for every one. Sorry for the language.
ReplyDeleteතමන් වගේම අනිත් මිනිසාත් මිනිසෙක්ය. තමන්ගේ දරුවන් වගේම අනිත් දරුවනුත් දරුවන්ය. යැයි සිතන්නට පුරුදු පුහුණු කල ගොවියන් අතින් එළවලු පලතුරු ඉදවන්න කෘමි නාශක වදින එකක් නැහැ.. උඩින් කවුරු හරි කිව්වා වගේ මෙහි වැරැද්ද ගොවියාගේ පමණක්ම නොවේ. ඒ තත්ත්වයට සිතන්නට ( හොදින් හෝ නරකින් මුදල් හොයන්නට ) ඔවුන් යොමුකළ සමාජ වටපිටාවයි.
ReplyDelete