ජනාධිපති සිරිසේන පිලිපීනයෙන් ලංකාවට ගේන ඝාතන ප්‍රතිපත්තිය මෙන්න

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේ වරද්ද වරද්දා කීමයි. ජනාධිපති උපදේශකයන් ආදී විශාල කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් අති විශාල මහජන මුදල් කන්දරාවක් වැය කරමිනුත්, රට වෙනුවෙන් කතාවක් පැවැත්වීම වැනි දෙයක්වත් හරියට කරගන්නට ජනාධිපතිවරයකුට බැරි වීම බරපතල වරදක්.
මේ චාරිකාවට ආණ්ඩු විරෝධී විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක් සහභාගි වී සිටිනවා. ආණ්ඩුව නියෝජනය නොකරන මෙම පිරිස මහජන මුදල් වැය කරමින් මෙම චාරිකාවට සහභාගි වන්නේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැහැ.
පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ කියන්නේ ඔහුගේ මිනීමරු ප්‍රතිපත්ති නිසා ලෝකයේ කොන් වී සිටින රාජ්‍ය නායකයෙක්. මෙවැනි චාරිකාවකින් ඔහුට අවධානයක් හිමි වෙනවා වගේ ම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයෙන් පසු ජාත්‍යන්තර දේශපාලනයේ තම තත්වය අහිමි කරගෙන සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටත් නිල චාරිකාවක් යාමට යම් රටක් ලැබී තිබෙනවා. මානව හිමිකම් ගරු කරන, ලොව ගෞරවනීය පාලනයන් සහිත රටවලින් දැන් ඔහුට ආරාධනා ලැබෙන්නේ නැති බවක් පෙනෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන ජනාධිපතිවරයාගේ ඝාතන ප්‍රතිපත්තිය ලොවට ආදර්ශයක් බව පැවසීම විදෙස් මාධ්‍යවල පිළිකුල් සහගත ස්වරයකින් වාර්තා වුණා. ඩුටර්ටේගේ ප්‍රතිපත්ති තමන්ට පෞද්ගලිකව ම ආදර්ශයක් බවත්, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී තිබෙන ශ්‍රී ලංකාවේ එම අවදානම පාලනය කිරීම සඳහා තමන් ඔහු අනුගමනය කළ යුතු යයි හැඟෙන බවත් සිරිසේන පැවසුවා.
මෑත කාලයේදී පිලිපීනය ලෝක අවධානයට ලක් වන්නට හේතුව තමයි, එරට ජනාධිපති රොඩ්‍රිගෝ (ඩිගොං) ඩුටර්ටේ විසින් දියත් කර තිබෙන මත්ද්‍ර‍ව්‍යවලට එරෙහි යුද්ධය. මේ වන විට මෙම ව්‍යාපාරය විසින් නිල වශයෙන් 5000කට වඩා ජනයා මරා දමා තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට අනුව නම්, මරා දමන ලද මිනිසුන් සංඛ්‍යාව 20,000 ඉක්මවන බව කියවෙනවා. ජනාධිපතිවරයා ම පවසන පරිදි රට පුරා මිලියන් තුනක මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවෝ සිටිති. පිලිපීනය මිලියන 98ක් ජනගහණය සිටින රටක්. මිලියන තුනක් යුදෙව්වන් මරා දැමූ හිට්ලර් මෙන් තමන් ද මෙම මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවන් මිලියන තුන මරා දැමීමට කැමති බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍ර‍සිද්ධියේ ම පැවසී ය. මෙම ප්‍ර‍ශ්නය දැන් විසඳීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු දෙයක් බව ඔහු පවසයි. 
ඩුටර්ටේ පැවත එන්නේ දේශපාලනික පවුලකිනි. ඔහුගේ පියා පිලිපීනයේ හිටපු ආණ්ඩුකාරයෙක්. එසේම, ඔහුගේ පවුල පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්චිනන්ඩ් මාකෝස් පළවා හැරීමේ විප්ලවයෙහි ද ක්‍රියාකාරී වුණා. වෘත්තියෙන් නීතිඥයකු වන ඩුටර්ටේ ඩවාඕ නගරයේ හිටපු පුරපතිවරයායි. වසර 22ක් තිස්සේ ඔහු එම ධුරයේ තුන් වරක් ම කටයුතු කළා. පුරපති සමයේත් ඔහු අසම්මත දේශපාලනඥයෙකි. අපරාධ සුලබ ඩවාඕ ඔහු විසින් වාසයට ප්‍රිය ස්ථානයක් ලෙසත්, ආර්ථික වශයෙනුත් සංවර්ධනය කරන ලද බවට පිළිගැනීමක් එරට තිබෙනවා. ඔහු පුරපති සමයේදීත් මත්ද්‍ර‍ව්‍ය, මත්පැන්, දුම්වැටි ආදියට එරෙහිව දැඩි පියවර ගත්තා. එසේම, ඔහු එසමයේදීත් අපරාධකරුවන් ඝාතනය අනුමත කළ කෙනෙක්. මත්ද්‍ර‍ව්‍ය සමග සම්බන්ධ වූවන් හා අපරාධකරුවන් යයි නම් කළ පුද්ගලයන් ඝාතනය කළ ඩවාඕ මරණීය සාමූහිකය (ඩවාඕ ඩෙත් ස්කොඩ්) සමග ඔහුගේ අනියම් සම්බන්ධකම් කුප්‍ර‍කටයි. මුලදී ඔහු මේ බව ප්‍ර‍තික්ෂේප කළත්, පසු කලෙක ඔහු ප්‍ර‍සිද්ධ රූපවාහිනී සාකච්ඡාවකදී එය පිළිගත්තා. ඔහුට එරට භාවිතා වන ටැගලොග් බසින් පටබැඳී තිබෙන ඩිගොං යන නමේ අරුත දඬුවම් කරන්නා යන්නයි. තමන් පුරපති සමයේ අපරාධකරුවන් 1200කට වග කියූ බවට ඔහු පුරසාරම් දොඩවනවා. ඩුටර්ටේ හිටපු ජනාධිපති ග්ලෝරියා අක්විනෝගේ අපරාධ මර්දන උපදේශක ලෙසත් කාලයක් සේවය කළා. 
තමන් ජනාධිපති වුවහොත් අපරාධකරුවන් ලක්ෂයක් මරා දමන බව ඩූටර්ට් ජනාධිපති වීමට කලින් ම ප්‍ර‍කාශ කළා. “මත්ද්‍ර‍ව්‍ය සමග සම්බන්ධ බැල්ලිගේ පුතාලා, තොපි දැනගනියව්, මම තොපව ඉතුරු කරන්නේ නැහැ,” යි ප්‍ර‍සිද්ධ රැස්වීම්වල කියූ ජනාධිපති අපේක්ෂකයකුට 2016 අප්‍රේල් ජනාධිපතිවරණයේදී දැවැන්ත ජයග්‍ර‍හණයක් ලබා දීමට පිලිපීන ජනතාව කටයුතු කළා.
ජනාධිපතිවරණය ජය ගත් පසු සිය හෙංචයියකු වූ රොනල්ඩ් ඩෙලා රෝසා පොලිස් ප්‍ර‍ධානියා ලෙස පත් කළ ඔහු මත්ද්‍ර‍ව්‍ය වෙළෙන්දන් හා ඇබ්බැහි වූවන් දහස් ගණනින් මරා දමන ලෙසත්, එහිදී තමන් ඔවුන් ආරක්ෂා කරන බවත් පොලිසියට පැවසුවා. ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දිනයේ මත්ද්‍ර‍ව්‍යවලට සම්බන්ධ අය මරා දමන ලෙස ඔහු ජනතාවගෙන් විවෘතව ම ඉල්ලා සිටියා. ඝාතන රැල්ල ඒ සමග ම ආරම්භ වුණා. මෙම ඝාතන රැල්ල මෙහෙයවන්නට පිලිපීන පොලිසියට වැඩි පහසුකම් ලබා දීම වෙනුවෙන් ඩූටර්ට් එරට සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් 25%ක් කපා හැරියා. එසේම, ජනාධිපති වැය ශීර්ෂයත් ඉහළ නංවා ගත්තා.
මේ අතර මත්ද්‍ර‍ව්‍ය සමග විවිධාකාරයෙන් සම්බන්ධ ලක්ෂ පහකට වැඩි පිරිසක් පළමු වටයේ ම රජයට භාර වුණා. පිලිපීනයේ පොලිසියටත් වඩා ඝාතන ‘අවදියෙන් සිටින පිරිස්’ ලෙස හැඳින්වෙන ඝාතකයන් විසින් සිදු කළා. මේ අතරවාරයේ මත්ද්‍ර‍ව්‍ය පාවිච්චි කරන අහිංසකයන්, පෞද්ගලික එදිරිවාදීන් ආදියත් ඝාතනය වෙනවා. මත්ද්‍ර‍ව්‍ය කල්ලිත් සිය තරගකරුවන් මරා දමන්නට මේ අවස්ථාව භාවිතා කරනවා.
ඩුටර්ටේ විවෘතව ම හැසිරෙන්නේ මිලිටරි ඒකාධිපතියකුගේ ස්වරූපයෙනුයි. 2016 අගෝස්තුවේදී ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහු මත්ද්‍ර‍්‍ය ජාවාරම් සමග සම්බන්ධ යයි ඔහු කියන විනිසුරුවරුන්, දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් 159කගේ නම් ලැයිස්තුවක් කියවා ඔවුන්ට එරෙහි පියවර ද දැනුම් දුන්නා. සාක්කි රහිත මෙම ලැයිස්තුවේ අවුරුදු අටකට පෙර මිය ගිය විනිසුරුවරයකුගේ නම ද තිබුණා.
නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් යුද නීතිය ප්‍ර‍කාශයට පත් කරන බවට ඩුටර්ටේ තර්ජනය කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ක්‍රියාවලිය විවේචනය කළ විට පිලිපීනය එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බවට ඔහු තර්ජනය කළා. ඔහු පිලිපීනය සමග ඓතිහාසිකව ම සම්බන්ධකම් ඇති ඇමරිකා එක්සත් ජනපදය සමගත් දැඩි මතභේද ඇති කරගත්තා. ඔහුගේ වැඩසටහනට එරෙහිව කතා කරන දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය හා පුද්ගලයන් ඕනෑ කෙනෙකු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ගෙන් යැපෙන අය ලෙස හඳුන්වන්නට ඩුටර්ටේ හා ඔහුගේ ආධාරකරුවන් කටයුතු කරනවා. තමන් මානව හිමිකම් ගණන් නො ගන්නා බව ඔහු විවෘතව ම පවසනවා. 
මෙම ඝාතන නීති විරෝධී ඝාතන ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයක් පැවැත්වෙනවා.
ඩුටර්ටේ වැනි කෙනෙකු තෝරාගන්නට පිලිපීනය පෙළඹුණේ ඇයි ද ඊළඟ ලිපියෙන්

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා