2013-12-05

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි
කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි.

කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ. 

කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේපොළගේ පවුල ම‍රා දැමීම පවා සිදු වන්නේ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ය.

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මැරූ පුද්ගලයෝ සිව්දෙනාම මිය ගිය ආකාරය ගැන කටවල් අඹර අඹරා ලස්සන කතා හදා කියන්නට පුළුවන. එහෙත් සිදු වන්නේ කුමක් ද යන්න සියල්ලෝ ම දනිති. 

කඹුරුපිටිය ගම්වාසීන් ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට කිරිබත් උයා කෑවේ මේ වනචාරිත්වය අනුමත කිරීමට ය. අංගුලිමාලගේ අම්මා ගැන බණ අසන සමාජයේ මිනිස්සු කැටයම් චින්තක ජීවත් වූ දිළිඳු නිවස ගිනි තබා ඇය මහ මගට ඇද දමා ලොකු ආතල් එකක් ගත් හ.

කැටයම් චින්තකත් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන්ට ද අසන්නට ලැබෙන්නේ සිය පියාගේ බිහිසුණු මරණයයි. සමාජය ඒ මරණය සමරන ප්‍රීතියයි. 

කැටයම් චින්තක බෞද්ධයකු බව දැන ගන්නට තිබේ. ඔහුගේ පාංසකූලයට කිසිදු හාමුදුරු නමක් පැමිණ නැත. පැමිණියේ නම්, අනතුරට ලක් වන්නට ඉඩ තිබුණු නිසා ද විය හැකි ය. 

කැටයම් චින්තක ද ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියා ජීවත් වූ ගමේ ම ජීවත් වූ අයෙකි. ඔහු මැරවරයකු වන්නට පුළුවන. මෙම මිනීමැරුම කළා වන්නට ද පුළුවන. එහෙත්, ඔහුට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකි ය. 

කැටයම් චින්තක යනු ජනමාධ්‍යවලට නම් අති භයානක, කෲර මිනීමරුවෙකි. එහෙත්, ඇත්තම කියනවා නම්, ඒ පැත්තේ වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන දන්නේ කොළඹ ජනමාධ්‍යවලින් ඔහු ගැන කී දේ පමණි. 

මේ අන්දමින් ඔබ දන්නා ඕනෑම කලහකාරී පුද්ගලයෙක් යක්ෂයකු බවට පත් කර සමාජ වෛරයට ලක් කරන්නට ජනමාධ්‍යවලට පුළුවන. අවශ්‍ය වන්නේ යම් සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් පමණි. 

මෙහි භයානක ම තත්වය වන්නේ මානව හිමිකම් සංවිධාන පවා මෙම තත්වය පිළිබඳ මුනිවත රැකීමයි. 

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි. 

ශිෂ්ට සමාජයක් දණ්ඩනය භාවිතා කරන්නේ නිවැරදි කිරීම පිණිස ය. සතුටු වීම පිණිස නො වේ.

හෙට ඔබේ අතින් හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කෙනෙකු අතින් යම් වරදක් සිදු විය හැකි ය. ඔබව විනිශ්චය කිරීම ජනප්‍රිය මතයට භාර දෙනවා ද නැතිනම් අධිකරණයට භාර දෙනවා ද යන්න ඔබ තීරණය කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com