කලා මාෆියාවෙන් මිදෙන්න කලාව ගැන කතා කිරීම හා ඉංගිරි‍සියෙන් ලිවීම

ටික දිනකට පෙර කියවූ අලුත් නවකතාවකින් විඳි රසය ගැන කතා කළ යුතු යයි සිතා ලියන්නට මුල පිරුවෙමි. එය දේශපාලනික කාර්යයක් ලෙස ද සලකමි. එහෙත්, එය ගැන පසුව ලියන්නට තබා ඊට පෙර මෙම සඳහන් කරමි. මෙය අගක් මුලක් නැති වැල්වටාරමක් විය හැකි ය.

සාහිත්‍යය හා කලාව තුළින් නිරූපිත ජීවිතය ගැන කතා කිරීම අද දවසේ අතිශය දේශපාලනික කාර්යයකි. මන්ද, කලාව යනු මිනිසුන් සමාජ දේශපාලන සංවාදය සමග සම්බන්ධ වන ප්‍රධාන හා ගැඹුරු අවස්ථාවක් වන හෙයිනි. ඒ අරුතින් ගත් කල නවකතාව පවත්නා දේශපාලනයට වඩා දේශපාලනික වේ. 

පසුගිය කාල‍යේ මම නවකතා හා වෙනත් කලා කෘති ගණනාවකින් මා විඳි රසය ගැන ලියුවෙමි. එහෙත් මට ලියන්නට අවශ්‍ය වූ කෘති දෙකක් ගැන මට ලියන්නට බැරි විය. එකක් අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ නවකතාවයි. මා සිතන පරිදි මෑත කාලීන නවකතා අතරින් විශිෂ්ට ම කෘතිය එයයි. 

අප ලාංකීය සාහිත්‍ය ‍මාෆියාවේ සීමා මායිම් ඉක්මවා ලෝකය වෙත යා යුතු යයි මම සිතමි. විශ්ව සාහිත්‍යය වෙත තිලිණ කරන්නට තරම් වැදගත්කමක් ඇති සිංහල සාහිත්‍ය කෘති ගැන සිතන විට මට මේ මොහොතේදී මුලින් ම සිහිපත් වන්නේ අනුරසිරි හෙට්ටිගේගේ කළුවරයි පුරහඳ කෘතියයි. ජනක ඉනිමංකඩ සහෝදරයා පසුගිය දිනෙක නිස්සංක විජේමාන්න‍ගේ කෙටිකතා ටිකක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ යුතු ය යන අදහ‍සක් සාකච්ඡා කළේ ය. සයිමන් නවගත්තේගමගේ නවකතා ද විශ්වීය ලක්ෂණවලින් යුක්ත ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා ඉංග්‍රීසියට පරිවර්තනය වී පළ වන්නට ඇතැයි සිතමි. එහෙත් ඒවා එතරම් ජාත්‍යන්තර අවධානයට ලක් නො වූයේ ඇයි?

1965දී හේමරත්න ලියනආරච්චි ලියූ පාදඩයකුගෙන් කෘතිය ද විශ්ව සාහිත්‍ය ලක්ෂණ අඩංගු විශිෂ්ට නවකතාවකි. මේ නවකතා දෙක ම ලංකාවේ මහ ලොකු සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ඒවා නො වේ. කළුවරයි පුරහඳ සම්මාන සඳහා නිර්දේශ විය. මෙවැනි කෘතිවලට සම්මාන නො ලැබී බාල ගණයේ නිර්මානවලට සම්මාන ලැබෙන්නට හේතුව කුමක් ද? 

මා සිතන පරිදි ලංකාවේ සාහිත්‍ය මාෆියාව ද පාතාල ලෝකයට නො දෙවෙනි එකකි. සාහිත්‍යයෙන් ගොඩ යන්නට නම් සම්මාන හිමි විය යුතු ය. ඒ අතරින් ස්වර්ණ පුස්තකය වීම අතිශය වැදගත් ය. මන්ද, ඒ සමග ලොකු තෑග්ගක් ලැබේ. සම්මාන ලැබුණා ම ඒ පොත් හොඳින් විකිණේ. ඒ ලේඛකයෝ නැවත පොත් ලියති. මෙහි ඇති නරක පැත්ත වන්නේ කියන්නට වැදගත් කතාවක් නැති, නො ලියා ඉන්නවා නම් ඇත්තට ම එය ම සාහිත්‍යයට කළ හැකි විශිෂ්ට ම සේවාව වන ඇතැම් ලේඛකයෝ ද මේ සම්මානවලින් ඔද වැඩී දිගින් දිගට ම පොත් ලියති.

කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් අපට කළ හැකි වැදගත් කාර්යයන් දෙකක් තිබේ. එකක් සාහිත්‍යය ගැන කතා කිරීමයි. අනෙක පරිවර්තනයයි. සාහිත්‍ය කෘති ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කර පළ කිරීම මේ වන විට ලංකාවේ ජුගුප්සාජනක ව්‍යාපාරයක් වී තිබේ. පොත් පරිවර්තනය නො කරන කෙනෙක් නැති තරම් ය. සමහරුන්ට පරිවර්තනය කරනවා ය කියන්නේ කියවීමයි. තමන්ට තේරෙන අන්දමට පරිවර්තනය කළ දේ ඔවුහු පළ කරති. පරිවර්තනය සඳහා මුල් කෘතිය ලියූ ලේඛකයන්ගෙන් අවසර ගැනීමක් හෝ සිදු වන්නේ නැති තරම් ය. පරිවර්තකයෝත්, ප්‍රකාශකයෝත් අමු අමුවේ ම විදෙස් ලේඛකයන්ගේ ප්‍රකාශන හිමිකම් කොල්ල කති.

මා පරිවර්තනය ලෙස හඳුන්වන්නේ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. නැතිනම් ඉංග්‍රීසියෙන් ලිවීමයි. අප ලංකාවේ සාහිත්‍ය සීම‍ාව ඉක්මවා ලෝක සාහිත්‍ය කෙත ස්පර්ශ කිරීමට උත්සාහ කළ යුතු යයි මම සිතමි. එය එක් පැත්තකින් සිංහල සාහිත්‍ය මාෆියාව පරාජය කිරීමේ ද මාර්ගයකි.

මා ශාස්තෘ නවකතාව ලියුවේ දේශපාලන කැරැලි, සිරගෙවල්, වධකාගාර, යුද්ධය, මායිම් ගම්මාන, කොළඹ වාම කණ්ඩායම්, ජාතීන්ගේ ප්‍රශ්නය, පිටුවහල ආදී සිදුවීම් රැසක් ඔස්සේ මා එක් රැස් කර ගත් කතන්දර රැසක් කියන්නට මුල පුරන්නට ය. එහෙත්, එය විකුණා ගැනීම මා මුහුණ දුන් බරපතලම ප්‍රශ්නයයි. පොත පිට වූ දිනට පසු දා ම ටැබූ සබ්ජෙක්ට්ස් තැබූ සටහනත්, කතන්දර ලියූ සටහනත්, නිශාන්ත කුලරත්න හා ජයසිරි අලවත්ත ලියූ විචාරත් හැර කිසිවක් ලියවුණේ නැති තරම් ‍ය. පොත කියවූ බොහෝ අය මට දුරකථනයෙන් තමන් විඳි රසය ගැන කියුවත්, කිසිදු සාහිත්‍ය ප්‍රභූවරයකුගේ අවධානය ඒ කෙරෙහි යොමු කර ගැනීමට දුෂ්කර විය. රාජ්‍ය සාහිත්‍ය උළෙලේ අවසන් වටයේ තිබුණු පොත් අතර එය තිබුණු බව විනිශ්චය මණ්ඩලයේ සිටි සුන්දර නිහතමාන ද මැල් මා සමග කීවේ ය. එහෙත්, ඒ බව පළ වුණේ ද නැත. වෙනත් කිසිදු සම්මාන උළෙලකට එය නිර්දේශ වූයේ ද නැත. මා ලියුවේ සම්මාන බලාගෙන නො වූව ද සම්මාන කෙතරම් වැදගත් ද යන්න මට තේරුණේ මුද්‍රණය කර ගත් පොත් මිටි රැසක් මගේ කාම‍රයේ ඉඩකඩ අවුරමින් ගොඩගැසී තිබෙන ආකාරය දකින විට ය. ඇත්තම කියනවා නම් එය නො මිළේවත් දෙන්නට කෙනෙක් නැති තරම් ය. පුස්තකාල සේවා මණ්ඩලයේ පොත් මිළ දී ගැනීමේ ව්‍යාපෘතියට ඉදිරිපත් කළ කල එය මිළ දී ගැනීමට හෝ සුදුසු පොතක් නො වන බව දැනුම් දෙන ලදී. ඇතැම් වාමාංශිකයෝ නම් එය කියවන්නට බැරි පොතක් ය කියා ද මා සමග කී හ.

එක් සාහිත්‍ය ප්‍රභූවරයකුට පමණක් මගේ බිරිඳ ශාස්තෘ ගැන ලියන්නැයි ඉල්ලීමක් කළා ය. ඔහු එය හොඳ පොතක් බව වෙනත් කෙනෙකුට නිර්දේශ කර තිබුණ මුත්, වචනයකුදු සඳහන් කළේ නැත.

ශාස්තෘ මා සිංහලෙන් ලියූ පළමු මෙන් ම අවසන් ද නවකතාවයි. වලක වැටීම මොළයට ලාභයකැයි මාඕ සේතුං කියූ කියමන අනුව යමින් මම දිගින් දිගට ම මගේ ඉංගිරිසිය දියුණු කර ගනිමින් සිටියෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය පරිවර්තකයකු ලෙස මගේ ආදායම ද වර්ධනය විය. එහෙත් කාර්ය බහුලත්වය විසින් මගේ ලිවීම ගිල දමා තිබේ. 

ඉංග්‍රීසියෙන් ලිවීම ගැන උනන්දුවක් සිරිමල් විජේසිංහට ද තිබේ. සිංහල ලේඛකයන් ඉංග්‍රීසියෙන් ලිවීම ගැන සිතීම හොඳ ප්‍රවණතාවකැයි මට සිතේ. වීදියෙන් ආ අප වැනි මිනිසුන් ඉංග්‍රීසියෙන් ලිවීම ලංකාවේ නිර්මානශීලිත්වයෙන් තොර ඊනියා ඉංග්‍රීසි සාහිත්‍ය අවකාශයට ගැටලුවක් වන්නට ඉඩ තිබේ. 

කෙසේ වෙතත්, මේ වැල්වටාරම යම් අදහසකට නාභිගත කරන්නේ නම් මා ඉදිරිපත් කරන අදහස් වන්නේ මේවායි. 

  1. කලා, සාහිත්‍ය කෘතිවලින් විඳ ගත් රසය ගැන කතා කිරීම හා ඒවායින් මතු කරන සංවාද ඉදිරියට ගෙන යාම දේශපාලනික කාර්යයකි. සල්ලිවලට, යාලුකමට, මාරුවෙන් මාරුවට පිට කසා ගැනීමට, සල්ලි නො දී කලා කෘති රස විඳීමට, විනිශ්චය මණ්ඩලවලට පත් වීමට යොදා ගැනෙන සිංහල විචාර කලාව වෙනුවට  විඳ ගත් රසය බෙදා හදා ගන්නා ලිවීමක් අවශ්‍යයි. එය දේශපාලනිකයි. ඒ නිසයි අපි මේ බ්ලොගයේ අප රස විඳි නිර්මාන ගැන ලියන්නේ. ඒවායේ කර්තෘලා අපේ විශේෂ යාලුවෝ නෙමෙයි. ඒ ඇතැමෙක් ලොක්කෝ ය. අපි ඔවුන්ගේ නිර්මාන ගැන ලියූ බව දැන ගත්තත්, ඔවුන් අඩු ගණනේ තමන්ට නොමිළේ දෙන ප්‍රචාරයට ස්තුති කරන්නේවත් නැහැ. ඒත්, ඒක ප්‍රශ්නයක් නැහැ. සල්ලි දීලා පොත්, චිත්‍රපට, නාට්‍ය බලලා, හොඳ නම්, තමන් විඳි රසය ප්‍රසිද්ධියේ බෙදා ගන්න දේශපාලන සංස්කෘතියක් අප ගොඩ නගා ගත යුතුයි. මේ සාහිත්‍ය විනිශ්චය මාෆියාව පරාජය කරන්න එහෙම මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ මැදිහත්වීම නො කළොත් ලංකාවේ කලාව ඔය ස්වර්ණ පුස්තක, ගොඩගේ, සරසවි, අරව මේව රාජ්‍ය සම්මාන ආදී මට්ටමෙන් ඉහළට අඟලක්වත් එසවෙන්නේ නැහැ.
  2. ලංකාවේ කලා මාෆියාවෙන් මිදී ලෝකයට යන එකත් අපට කළ හැකි තවත් කාර්යයක්. ශ්‍යාම් සෙල්වදොරේ වගේ ලේඛකයෙක් ලංකාවේ ඉඳන් සිංහල හෝ දෙමළ බසින් ලිව්වා නම් කවදාවත්, කාගේවත් අවධානයට ලක් වෙන්නේ නැහැ. කළුවරයි පුරහඳ හා පාදඩයකුගෙන් වැනි කෘති ඉංග්‍රීසියෙන් ලියවුණා නම්, ඒවායේ තිබෙන විශ්වීය අගය මතු වෙනවා.

අප ලියූ රස වින්දන කීපයක්:

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දරම පෙම් පුරාවත

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය' 

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක් 

මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය 

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය 

මටත් ඕනෙ රැප් කරන්න; පොරක් වෙන්න; ෆේමස් වෙන්න - කලාවේ රෙද්ද කඩාගෙන උපන් කලාව

 මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන 

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)