ජනාධිපතිවරණ දූෂණයට වසරයි

(2011 ජනවාරි 26, W3Lankaමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන අදට වසරකි. එසේ ම, ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දඩයමි කිරීම ආරම්භ වන්නේ ද වසරකට පෙර අද වැනි දිනෙකයි. 


එසේ ම, වසරකට පෙර අද වැනි දිනක් උදා වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී තිබියදී ය. 


වසරකට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය බොහෝ දෙනෙක් සැක කළ හ. දිනුවත්, දිනුවේ ලක්ෂ 18ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ද යන්න රාජපක්ෂ පිලේ අයගේ පවා සැකයට භාජනය විය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල බලය හා රාජ්‍ය දේපල භාවිතා කරමින් කළ ප්‍රජාතන්ත්‍ර හා සදාචාර විරෝධී එකකි. එවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී පවා තරගය තියුණු මට්ටමක තිබිණි. ජනවාරි 26 වන දින පස්වරු 1.30ට පමණ රාජ්‍ය ජනමාධ්‍ය විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී නැති බැවින් ඔහු දිනුවත් ජනාධිපති ධුරයේ දිවුරුම් දිය නො හැකි බවට මතයක් ගොඩනැඟුවේ පැවති අවිනිශ්චිත තත්වය නිසා ය.  


ඡන්ද විමසීම අවසන් වන්නට ආසන්නව තිබියදී ප.ව. 3.30 සිට පසුදින ප.ව. 4.45 දක්වා කාලය තුළ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තම කාර්යාලයේ නොසිටියේ යයි ද ආණ්ඩුවේ බලවත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහු කැඳවාගෙන ගිය බව හා ඔහු ද බිරිඳ ද සිටියේ තම නිවසේ හෝ කාර්යාලයේ හෝ නො වන බව ද නීතිඥ එල්මෝ ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ අභියෝග කරයි. 


පසුදින ප.ව. 4.45ට ඔහු ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළේ අතිශය අසහනතාරී ස්වභාවයක් පළ කරමිනි. 


එතැන් පටන් දයානන්ද දිශානායක අතිශය නිහඬ ස්වරූපයකින් කටයුතු කරයි. 2010 ජනවාරි 26දාට පෙර ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ ය. එහෙත්, දැන් ඔහු ජනමාධ්‍ය හමුවට එන්නේ නැති තරම් ය. ඔහු වැඩිපුර දිවයිනේ රැ‍ඳෙන්නේ ද නැති බව වාර්තා වේ. 


කෙසේ වෙතත්, ජනාධිපතිවරණය පිළිබඳ මෙම කරුණු කිසිවක් පිළි ගත හැකි ආකාරයට සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට විපක්ෂය අසමත් විය. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් පවා තමන් ම කියූ 'කොම්පියුටර් ජිල්මාට්' කතාව විශ්වාස නො කළ බව දැන ගන්නට තිබේ. 


ජනාධිපතිවරණයේ සත්‍ය ප්‍රතිඵලය මෙය ම වුණ ද, පූර්ව මැතිවරණ යුගයේ පැවති අසීමිත දූෂිත ස්වභාවය හේතුවෙන් මෙම මැතිවරණය සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී එකකැයි කිසි සේත් ම පිළිගත නො හැක. 


අත්අඩංගුවට ගනු ලැබූ සරත් ෆොන්සේකා යුද අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලහි ලහියේ සිරගත කරන ලදී. ඔහුව ජීවිතාන්තය දක්වා ම සිරගත කර තැබීම සඳහා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි සිතිය හැකි ය. 


ජනාධීපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා මෙල්ල කිරීමට ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුවට අතිශය වාසිදායක විය. විපක්ෂයට සටන්කාමී නායකත්වයක් ‍දීමේ හැකියාව තිබුණු ෆොන්සේකා අද වන විට ඔහු ඔසවා තැබූ බලවේග විසින් ම හුදකලා කර දමා තිබේ. 


තමන් විසින් ම මහා දූෂණයකැයි හඳුන්වා දෙන ලද ජනාධිපතිවරණයට වසරක් පිරෙන දිනයේ එයට විරුද්ධව උද්ඝෝෂණයක් තරන්නට පවා විපක්ෂය අසමත් වී තිබේ. 


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිළිබඳ ආණ්ඩුව ඇඟිල්ල දිගු කළේ එක්නැලිගොඩට ම ය. ඔහු ස්වේච්ඡාවෙන් සැඟවී සිටින බව ආණ්ඩු ගැති මාධ්‍යකරුවකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම ලියුවේ ය. වසරක් ගෙවී ඇතත්, ආණ්ඩුව ඔහු 'සැඟවී සිටින ආකාරය' ගැන හෝ කිසිවක් සොයා ගැනීමට අසමත් වී තිබේ. 


ප්‍රගීත් යුදමය ඉලක්කයක් නො වූ බව හා පසුගිය කාලයේ ඝාතනයට හා මර්දනයට ලක් වූ (විශේෂයෙන් ම සිංහල) මාධ්‍යකරුවන් යුදමය ඉලක්ක වී සිටි බව අපේ අදහසයි. එහෙත්, ප්‍රගීත් අතුරුදහන් වී වසරක් ගත වන විටත්, ඔහු පිළිබඳ තොරතුරක් හෙළිදරව් නො වීමත් සමග ආණ්ඩුව දෙස එල්ල වන ඇඟිල්ල සාධාරණ වේ. 


කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන වසරක් ගෙවී යන විට, මර්දනය තුළ ප්‍රජාතාන්ත්‍රික විරෝධය මුළුමනින් ම පාහේ දිය වී ‍ගොසිනි.  අවසාන වශයෙන් උද්ඝෝෂණයක් කරන්නට ඉතිරි වී සිටි මාධ්‍ය සංවිධාන පවා නිහඬ වී හමාර ය.


ඒ ඇයි? මහා කුණාටුවකට පෙර මුහුද බෙහෙවින් නිසල බව අපි අසා ඇත්තෙමු. මේ එවැනි තත්වයක් ද? 


Bookmark and Share

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)