රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි.
රටක රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණය කිරීම එකී ඝාතකයාගේ හා ඔහුට ගොදුරු වන්නට සිටි රාජ්‍ය නායකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. එය රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙයින් මෙවැනි කරුණු දෙන්නා කතා කර සමථ කර ගැනීම කෙතරම් ආචාර ධාර්මික ද යන්න ගැටලුවකි. එහෙම වන්නේ කෙසේද යන්න රජය පැහැදිලි කර දිය යුතු ය. නැතිනම් සිදු වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය මුළුමනින් ම පළුදු වී යාමයි.
මොහු අනෙකෙකු නොව වත්මන් වෙළඳ හා පාරිභෝගික ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමති වන ජනාධිපතිවරයා ම විසින් සම්බාධා කර ඇති බව හා නිතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය.
රහස් පොලිසිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු හැර පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් ම කරන ලද පැමිණිල්ලක් අනුවයි.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අය අතර දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා දැන් රටින් පිට ඊලාම් පාරජාතික පාලනයේ සම්බන්ධීකාරක ජයනන්ද මූර්තිගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඔහුගේ බෑණා වන නඩරාජසිංහම් සුභාෂ් ද වේ.
මැලේසියාවේ සිටින රාජන් නමැත්තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
මේ රටේ දැන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ පැවසීමට සුදුසු වචනය 'අද්භූත' යන්න යි අපට සිතේ.

You may also like to read our English blog Lanka Polity