කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය

කුෂාන් ශාලික හේරත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන තරුණ ගුරුවරයෙක්.

ෆේස්බුක් සමාජ ජාලයෙහි කවියක් ලියූ වරදට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට දඬුවම් මාරුවකට ලක් කර තිබේ.

එහෙත්, එම ගුරුවරයාට එරෙහිව කරන ලද විමර්ශනයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නො හැකි වූ නිසා දඬුවම් මාරුව කරන්නේ සේවා අවශ්‍යතාවට ආවරණය වෙමිනි. 

ඒ විකාර සහගත ස්ථාන මාරු ලිපිය පහත දැක්වේ.

ඊට පෙර කුෂාන් ශාලිකගේ මෙම කවිය කියවන්න.

කවියක් ලිවීම නිසා ගුරුවරයකුට ස්ථාන මාරුවක් දෙන මෙම අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වීම කෙතරම් විහිළුවක් ද? යල් පැන ගිය ආයතන සංග්‍රහ, රෙගුලාසි ආදිය නො වෙනස්ව දෘඪ ලෙස පවතිද්දී සමාජය, මාධ්‍යකරණය හා අදහස් ප්‍රකාශනයේ නිදහස නව මාන තුළට පිවිස ඇත. 

මෙම යථාර්ථයන් තේරුම් ගන්නට බැරි නිලධාරීන් පිරිසක් විසින් හසුරුවනු ලබන ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන ඔබේත්, මගේත් දරුවාගේ අනාගතය කුමක් වනු ඇද්ද? 

සොයුර, ඔබට දිරි පතමු. 

අධ්‍යාපන බලධාරීනි, මේ ලැජ්ජා සහගත මුග්ධ ස්ථාන මාරුව අවලංගු කරන්න. 

අයිලයේ තැන් තැන් වල
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද....?

කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං

මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව

වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි

පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ

කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය

කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න

අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කවියටමද මාරුව

    ReplyDelete
  2. රජයේ නිලධාරීන් බය පක්ෂපාතිත්වය දැක්විය යුත්තේ රජයටයි, එසේ නොමැති නිලධාරීන් රජයේ සේවයෙන් ඉවත්කර දැමීම සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. Then the politician should be loyal to his country, not to his pocket.

      Delete
    2. මූ ආණ්ඩුවට ගොට්ට අල්ලලා ජොබ් හොයා ගත්තු එකෙක්ද කොහෙද?තොපි වගේ කාලකණ්ණි ඉන්නකම් මේ රට කොහොම හදන්නද?

      Delete
    3. මොකක්.
      රජයත්,රජයේ සේවකයාත් , සාමන්‍ය පුරවසියා යන කුලකයෙහි උප කුලකවෙති.
      එනයින් මෙහි දැක්වෙන්නෙ සාමන්‍ය පුරවැසියාට අයත් මතයක් දැරීමෙ අයිතිවාසිකමයි.

      Delete
    4. රජය කියන්නේ ආණ්ඩුව නෙමෙයි...ඒකවත් දන්නේ නැති ඔල මොට්ටලයෙක්

      Delete
  3. පුදුමයක් නෙවෙයි. මුලින්ම (1999දී) ළමයින්ගේ අත් අකුරින් ලියූ "හොරයිසන්" පුවත්පත උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පිළිගැන්වූ විට මිනිහා මගේ ඇඟට කඩා පැන්නේ පුවත්පත් පලකිරීම ගුරුවරුන්ට අයිති නැති බවත්, වැඩතහනම් කරගැනීමට අවශ්‍යනම් පමණක් එය පලකිරීම දිගටම කරගෙන යන ලෙසත් පවසමිනි. :-)

    ReplyDelete
    Replies
    1. ලොක්කන්ට දෙන්න ගිය එක තමයි එක අවුලක්!

      Delete
    2. ලොක්කන්ට දෙන්න ගිය එකක් නෙවේ නේ රසික මෙතන වෙලා තියෙන්නේ! මේ දුෂ්කර පළාතක ළමයි ඉංග්‍රීසියෙන් පත්තරයක් කළාම ඒක ලොකු අචීව්මන්ට් එකක් - ඒ වගේ දෙයක් අධ්‍යාපන සේවයේ ඉහළ නිලධාරියෙක් මඟින් අගය කිරීමක් තිබේ නම් ඒ ළමයි තවත් උද්යෝගිමත් වන නිසා මෙසේ පිළිගැන්වීමේ කිසිම අවුලක් නෑ - අනික ‍මේ දේශපාලුවෙක්ද නොවේ - තවත් රජයේ සේවකයෙක්. පැහැදිලිවම දුෂ්කර පළාත්වල ළමයි ඉංග්‍රීසි ඉගෙනගැනීම ගැන (බොහෝ දුරට තමන්ට ද ඉංගිරිසි බැරි කලා උපාධිදරයෙක් වීමේ සම්භාවිතාවක් ඇති) කලාප අධ්‍යක්ෂකගේ ඉරිසියාව නිසා මේ වගේ හැසිරීමක් පෙන්නුවා විය හැකියි.
      වන්නිගේ හොරයිසන් පාසල ගැන එකල විජය පරිගණක සඟරාව මඟින් (2002 දී පමණ) දැනගත් බවද මෙහිදී සඳහන් කරන්න කැමතියි

      Delete
    3. ඒක ම තමයි මං කිව්වේ.

      ලොක්කන්ට දෙන්න ගිය එක තමයි එක අවුලක්.

      Delete
    4. මේ පාසල ගැන අපත් දැන සිටියා ඒ ගුරුවරයා( Nanda Wanninayaka ) හාස්කමක් කරමින් දරුවන් ඉගෙන ගන්නා හැටි සහ ගුරුවරයෙක් දරුවන්ට මග පෙන්වන හැටි කියා දුන් අධ්‍යාපනඥයෙක් වුන බව මාත් දැන සිටියා.මෙවැනි විද්වතුන් විශාල පිරිසක් කිසිදු හඬක් නොමැතිව තවමත් සේවයේ යෙදෙන බව පැරාගේ මේ ලිපියෙන් ද පෙන්වා දෙනවා

      Delete
  4. පිංතූරය ගැන යමක්
    ------------------
    ඇමති තැන
    සිටී හරියට
    තෑගි දෙන විලසට
    දහම් පාසැල් ගුරුනට

    ReplyDelete
  5. අාකල්ප ෙවනස් කරන්න ති ෙයන් ෙන කා ෙගද? දිරි ගන්න ගුරු ෙසායුර දරුවන්ට ඔබව අත්‍යවශ්‍යයි

    ReplyDelete
  6. #මාරු_වීමකට_මාරු_කළ_නොහැකි_ජීවිත
    _____________________________________________
    කාලෙක ඉදන්
    එන්නට තැත කාපු
    ට්‍රාන්සර් එක ඇවිත්
    මම මග බලාපු
    චෙක් එකක් වෙන්නැති හිතං
    කවරෙ කඩාපු
    අම්මට ඇඩිල බං
    ඒක කියවාපු
    කටවල් වලින් ගලන්නෙ නම්
    ලොකුම මානව දයාව
    කොඳු නමං ලොකු උන් ලග
    දාල නිවට පනාව
    හෙණ ගැහුව පොළවක් මේක
    හදන්න බෑ මලාට
    සත්තුත් එක්ක කරන්නෙ කොහොමද
    මේ උතුම් කලාව
    කපල අත්තටු දෙකම
    උඹේ බලතල කතුරෙන්
    දැන් හේරො උඹ ඇත්තෙ
    මමයි පොර ගැම්මෙන්
    බදාගෙන මේ ලියුම
    ආදරේ පිරුණු දෑතින්
    මේ අපායෙන් නික්මෙන්නෙ
    මම නම් මචන් සතුටින්
    ගල් වංගුවෙන් පහලට බැහැල
    නාරම්මල දිහාට
    වංකගිරියට පොඩ්ඩක් මෙහා
    ට්‍රාන්සර් එක එහාට
    ඔහෙන් හුළගක්වත් එන්නෙ නැති හිංද
    ගොඩක් සනීපයි මෙහාට
    පනස් පහ උනත් මචං
    ආයෙ එන්නෑ ඔහාට
    | කුෂාන් ශාලික

    ReplyDelete
    Replies
    1. Realy.Proud you.Good Luck

      Delete
    2. I don't know who you are Machan. Appreciate your ability. But the actual reason is unclear. If your poem is the reason for the immediate transfer, I cant imagine how much of bullshit within their swollen heads.

      Delete
    3. කුෂාන්ගේ දෙකම ලස්සනයි.

      හිතට වදිනවා මොකක්දෝ සීතල තෙතමනයක් එක්ක.
      මම ආසයි ඒ හැගීමට.

      Delete
  7. ඌරන්ට මොන සවුක්කය ද?

    සොසීටත් ස්ථාන මාරුවක් එයි ද මන්දා බ්ලොග් ලියලා!

    ReplyDelete
  8. මට හිතෙන්නෙ මේ ගුරුවරයා
    තමන්ගෙ මාරුව හදා ගන්න
    ෆේස්බුක් එක භාවිතා කරන්න
    උත්සාහ ගන්නවා.

    ඔහු මාරු කරන්න හේතුවක්
    ලිපියෙ කොතනකවත් නෑ.
    ඒ වගේම කවියෙත් හේතුවක් නෑ..

    කවිය ලස්සණයි.

    ReplyDelete
    Replies
    1. @ අතුල,

      ස්ථාන මාරුවීම් ලිපියක, විනයානුකූල කටයුතු සම්බන්ධ නම් හේතුව ලෙස දක්වන්නේ "සේවා අවශ්‍යතාවය මත" කියන එක.
      පස්සෙ විමර්ශන අනම් මනම් කරලා තමයි නිශ්චිතවම හේතුවක් දානවනම් දාන්නේ. කොහොමත් නිශ්චිතවම හේතුවක් දාන්න බැරි වුනාමත් දාන වචනයක් තමයි "සේවා අවශ්‍යතාව".
      ඒක නිසා ස්ථාන මාරුවට හේතුව කවිය නොවෙයිමයි කියන්න බෑ.
      හැබැයි ඔහු ස්ථාන මාරුව හදාගන්න ෆේස්බුක් එක භාවිතා කරනවද නැද් කියන එකනම් හරියටම කියන්න අමාරුයි.

      Delete
  9. ගෞරවනීය ගුරු වෘත්තිය කෙළෙසන මෙවැනි අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව අපප වඩවඩාත් හඬ නැගිය යුතුය.

    ReplyDelete
  10. It is much better to be in Narammala than Kuliyapitiya.Please settle in Narammala well. You Have a Very Good Future in Narammala.

    ReplyDelete
  11. ඇත්ත නොදැන වෙනත් චිත්‍රයක් මැවෙන ආකාරයට post පල කරන එක වැරදියි. පාසලේ විනය පිරිහෙන ආකාරයට කටයුතු කරමින්, පාසලේ සoවර්දනයට බාදාවක් වෙමින් කටයුතු කිරීම නිසා පාසලේ ආදි ශිශ්‍යන් වන අප විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ පුද්ගලයාට ස්තාන මාරුවක් ලැබුනු බව දන්වා සිටීමට කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි... .!!!


      ඉස්කෝලේ අයිතිකාරයින් ඇවිල්ලා.

      Delete
    2. http://www.lankaenews.com/news/5911/si

      "ඇත්තටම මුල් ගුරු තුමාගේ කෝපයට හේතු වී ඇත්තේ මේ නිසඳැස් පැළැල්ලේ එකම කවියක්වත් නොවේ. මුල් ගුරුතුමා ලබා දෙන කාල සටහන් අනුව මේ තරුණයා වැඩ නොකිරීම ය. කිහිප වතාවක් අවවාද කිරීමෙන් පළක් නොවූ තැන මුල් ගුරුතුමා ඉහළ බලධාරීන්ට ඒ ගැන කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු තරුණයා මාරු කර තිබිණ."

      Delete
  12. Aththa Kawiya,
    Principle kalin army eke. Adinne sudu aduma. dan theeranaya karanna sadarana mokakda kiyala

    #සුදු_කෝට්_හාමිගේ_කතා_වස්තුව
    _____________________________________
    යටි පතුල් ලෙව කකා තනතුරක් ලබා ගෙන
    උස් බවක් යැයි සිතා හිස් බවක් දරාගෙන
    විස්කමක් සේ සුදු කෝට් බෑ පොරෝගෙන
    දස්කමක් වගේ කට පුක වගේ විරෝගෙන
    ආමි එක ගැන කියන ගොන් කතා දැන් තිත්ත
    ඌ ගැනම ඌ බොරු පිඹිනවා වගෙ ඇත්ත
    පනින රිලවෙකුට උස ඉණි මගකි බැද ගත්ත
    බයිනොකිලර් එකෙන් බලාපන් පස්ස පැත්ත
    වචන දහයකට වචන අට බැගින් ඇමති වන්දනා
    චණ්ඩිකම තමයි එකම පොඩි උන්ට ගොරවනා
    නිවටකම මැකෙන්නෑ උඹෙ බැල්මකට ඔරවනා
    ගොං කතා අහං මගෙ යටි බඩත් කොර උනා
    සාස්තර් බල බලා කරන බොරු බේගල්
    යස් සර් කිය කියා වදින උන් ආතල්
    චාන්සලර් පවා ජපුරෙ හරි කේවල්
    ට්‍රාන්සර් කියන්නෙ බං අපිට හුරු දේවල්
    මැම්බර් ට වැද වැද ලග දෙකට නැවීගෙන
    පොඩි උන්ට දාන ගැම්බර් අපි ඉන්නෙ දරාගෙන
    නොවැම්බර් මාසෙ කෙම්මුර වැඩී පුතෝ බලාගෙන
    නොම්බර් එකේ වීරයොත් ගියේ අපෙන් කෙලෝගෙන
    | කුෂාන් ශාලික

    ReplyDelete
  13. අගනා කවි පන්තියක්. ලස්සනට ලියා තිබේ.

    "කැහැටු පොප්ලර් අතු ටික, අපි හැර කවුරුවත් නාඳුනන අයිලයට වුනත් මොකටද? කඩදාසි කලහැකිනම් ඒ ගස් දෙකත් නුඹ ගන්න."

    ReplyDelete
  14. අප සියලූම දෙනා විසින් ගෙවා දැමුවාවු පසු ගිය අතීතය තුල දුල්ශේන් කොහෙද හිටියේ හිතා ගන්නවත් බෑ. කොටින්ම මෙහෙම ප්‍රලාපයක් ලියා ගන්නවත් නොහැක. දැන් දුල්ශේන් ඇවිදින් .ගොඩාක් වැරදි තියෙනවා හදාගන්න. ඉතින් සැබැ දුල්ශේන්ලා තමන්ගේ සේවය මේ රටේ කොතැනකට ලබාදීමට රජය කටයුතු කලත් ඒ භූමීය වෙනුවෙන් සිය යුතුකම ඉටුකීරීමය. එවිට පොප්ලර් ගස් මල්වලින් බරවී සිටිනු ඇත. සැබෑ වසන්තය වෙනුවෙන් කැපවෙන්න. එම කැපවීම තුල තමා සේවය පිරිනැමිය යුතු ආයතනයේ තීරණ විවෙචනය නොකල යුතුයි.

    ReplyDelete
  15. මෙතන තියෙන්නෙ කතාවෙන් බොහොම ටිකයි. මාරුවට හේතු වුනු කවිය ඔය කවිය නෙමේ නේ. කවි ගොඩක් සහ සිද්ධියක්. මට මතකයි ඒ ගැන සත්හඬ පත්තරේ දයා වෙත්තසිංහ ලියල තිබ්බා.

    ReplyDelete
  16. කවියගෙ වෙලාවටද කොහෙද අධ්‍යාපන ඇමති කුලියපිටියෙ ඉන්නෙ. එයැයිට කයිය කියවපුවහම කිචි කිචි වගේ එන්න ඇති. අර ඇමති පස්සෙන් ගිහින් සිදාදියකට මාරුවක් හදං කියන කෑල්ල විතරක් කවුරු හරි ගස්ගොබ්බ අධ්‍යක්සක කෙනෙක් රාමු කරල ඇමතිට දීල ලකුණු දාගන්න ඇති. අනේ කුශාන් ඕකුන්ට කුද ගහගන්න කියල මයුර පාදෙන් ඔය සුන්දර අදහස් දහස්ගුණයෙන් දල්වන්න. එතන කවි සාගරයක් කරන්න. ඔය දඩුවම් මාරුව සුන්දර ජීවිතයක් කරගන්න. කවියගෙ පන්නරේ වැඩි කරන් තව කවියො බිහිකරන්න. කොටන කුකුළට කොයි කොටුවත් එකයි කියනවනෙ...

    ReplyDelete
  17. කොළඹ කොම්පැනිවල
    හත අට වෙනනකම්ම හැමදාම
    සෙනසුරාද වරුවක් ඔටී නැතුව
    එක්සේකටිවූ කම

    කැම්පස් කැන්ටිම එහා දැන් කඩ කෑම
    හුස්ම ගන්නත් වෙන්නේ ඩීසල් දුම එක්ක
    ක්ලෝරීන් රහ දැනෙන අපායෙන් එන වතුර
    හිතෙනවා දැන් යන්න වපුරන්න මහ කුඹුර

    මහින්දගේ දහ දාහේ ඇට බෙදන්නට වුනත්
    ලේස්ති වෙලා හිටියේ පෙන්ෂන් එක හින්ද
    ලැබුණ උපගුරු පත්වීම
    පරණ පිනකට ඇදුන

    එකහමාරට යන්න පුළුවන් දැන් ගෙදර
    පිනට කරන්නත් ඒත් බෑ ටියුෂන් වලට නෑනේ අපි
    සමජවාදෙටත් ධනවාදෙටත් මැද්දේ
    දෙකටම නැති එවුන්

    දුයිශේන්ලා ඉන්නේ දැන්
    හිත්වල විතරයි පරණ පොත් බලපු උන්ගේ
    මුණ දෙන්න ඇත්තට විහිලු නොකර ලෝකෙට
    නොමිලේ දෙන අධ්‍යාපනේ
    උන්ට මිස නෙවෙයි අපිට
    දුයිශේන්ලා ගල්පිළිම නෙවෙයි දැන් බොල්පිළිම

    ReplyDelete
  18. මාරු කරලා තිබෙන්නේ තවත් පාසලකටනේ නැතිව දුම්රිය ස්ථානයකට නොවෙයිනේ. ඒ පාසලෙත් ඉන්නේ අර වගේම ළමයි. ලොක්කට මේ ගුරුතුමාව මාරු කරන්න පුළුවන් උනාට කවදාවත් බැහැනේ කවියෙක් වෙන්න. ඒත් මේ ගුරුතුමාට පුළුවන් කවද හෝ ලොක්කෙක් වෙන්න. ඒ වගේම තමා මේ මාරු කිරීම නිසා මේ ගුරුතුමා කවදාවත් කවි ලියන එක අත් හරින එකක් නැහැ. මේ ගුරු මාරුවත් තවත් කවියකට විෂය වේවි. Tissa Gunawardana

    ReplyDelete
  19. ලෙනින් නුඹ ඒදා දුන් අාදර්ශ අද නැත
    තැනින් තැන ඉන්නවා ඉටි පහන් සිරාවට
    ගුරැ කමද ජොබ් ඒකද ඒ්ක වටහා ගන්න
    ගුරෙක් නැත ගුරැකමට දුන්නෙ ඒ වටනාකම
    මිළට මුදළට අද විකිණෙද්දි ඉෙගනුම
    කවුරැන්ද පණ පෙව්වෙ මැරෙන අධ්‍යාපනෙට
    බඩවියත රැක ගන්න වෙර දරණ අතර තුර
    මමත් ලීවෙමි කවක් හොදින් මෙය අහගන්න

    නොහැකිනම් දෙන්නට තැනක් කවි කලාවට
    හැකිද උන් හට කෙදින ජයගන්න වෙලාවට
    බොරැ බයිල අැද බාල ගුරැන් අැද දමන්නට
    වෙර දරණ අැමතියොත් ඉිදි අපට පේන්නට

    ReplyDelete
  20. Para. I know this an irrelevant comment. But I make it here to get your attention. They (I don't know whether the officials or the politicians) are forcing people in refugee camps in Eheliyagoda area to evacuate the camps.They have nowhere to go and most have lost the family members and the houses. Can you please suggest something. I can open a petition and prooted it but will that do? None of my family is affected but I feel we must do something.

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. “තම පුද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලිවිම නිසා ස්ථාන මාරුවීමකට ලක්වූ ගුරුවරයෙකු” පිළිබඳ මුද්‍රිත මාධ්‍ය සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවී ඇති වාර්තාව සහ අධ්‍යාපන වෘත්තීය සමිතිවල ප්‍රකාශ සම්බන්ධවයි.

    මෙම මාධ්‍ය වාර්තා හුදෙක් වැරදි තොරතුරු පදනම් කරගනිමින් පළකර ඇති වාර්තාවන් ලෙස පළමු කොටම ප්‍රකාශ කරමි.

    අදාළ පුවත් වාර්තා සඳහන් කර ඇති පරිදි කිසිදු ලෙසකින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ෆේස්බුක් පිටුවේ කවි ලිවීම සම්බන්ධව පමණක් විමර්ශනයක් සිදුකර නොමැති බව වගකීමෙන් යුක්තව සඳහන් කරමි.

    පාසලේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දී එම පාසල තුළම සිටින ගුරුවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා බාධා මතුකරන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ඇතැම් ගුරුවරුන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පාසල් පරිපාලනය සහ විදුහල්පතිවරයා විවේචනය කරන බවට චෝදනා කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබිණි.එම පරීක්ෂණය මේ වන විට අවසන්ව ඇති අතර අදාළ ගුරුවරයා එම චෝදනාවලින් නිදහස් කර ඇත.

    මෙම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට සිදුවුයේ විනය කඩකිරීමේ චෝදනාවකට නාරම්මල මයුරපාද විදුහලේ ගුරුවරුන් හත් දෙනෙකු ස්ථාන මාරු කිරීමට සිදුවීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමට වන අතර, මෙම ස්ථාන මාරුව අදාළ ගුරුවරයා සම්බන්ධව සිදුකෙරෙමින් පැවති විනය පරීක්ෂණය හා කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැත. එම ගුරුවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව එක් ජාතික පාසලකින් තවත් ජාතික පාසලක් වෙත සිදුකළ එකක් නිසා කිසි ලෙසකින් එම ගුරුවරයාට අසාධාරණයක් නොවන ආකාරයට ය. තවද නාරම්මල මයුරපාද විදුහලේ අනපේක්ෂිතව ඇතිවූ ගුරු පුරප්පාඩුව පිරවීමේ දී ජාතික පාසල්වලින් ගුරු මාරුවීම් සදහා ඉල්ලුම්කර ඇති ගුරුවරුන් සදහා ප්‍රමුඛතාව ලබාදී ඇති අතර, ඊට අමතර වශයෙන් ආසන්නයේ ඇති පාසල්වල අතිරික්ත ගුරුවරුන් ඒ සදහා අනුයුක්ත කිරීමක් සිදු කරන ලදී. මෙම ගුරුමාරු කිරීම් සිදුකර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැවරී ඇති පරිපාලනමය බලතල ප්‍රකාරව වන අතර එම මාරු කිරීමේ තීරණ හුදෙක් පාසල්වල පවතින ගුරු ඌනතා හා අතිරික්තතා සමනය කිරීම සදහා ගනුලබන තීරණ අනුව වේ.
    තවද ඇතැම් වෙබ් අඩවිවල පළ වී තිබු අදාළ ගුරුවරයාට නිකුත්කළ 06-06-2017 දිනැති ස්ථාන මාරුවීම දැනුම් දෙන ලිපියේ අවසාන උපදේශය ප්‍රකාරව ලිපිය ලැබී සති දෙකක් තුළ අදාළ ස්ථාන මාරුවීම පිළිබඳ යම්කිසි විරෝධතාවයක් ඇතොත් දන්වන ලෙස දන්වා ඇති නමුත්, මෙම මාධ්‍ය ප්‍රකාශය සකස් කරන මොහොත වන තුරුත් අදාළ ගුරුවරයාගෙන් කිසිදු විරෝධතාවක් හෝ අභියාචනාවක් ඉදිරිපත්ව නැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. තවද එම ලිපියේ ම සඳහන් උපදෙස් පරිදි ඔහුගේ නව සේවා ස්ථානය වෙත වාර්තා කර, රාජකාරි භාරගත් බව නාරම්මල මයුරපාද විද්‍යාලයේ විදුහල්පතිතුමා අධ්‍යාපන අමාත්‍යංශයට වාර්තාකර ඇත.

    සාවද්‍ය තොරතුරු ඇසුරෙන් සකස් කරන්නාවූ මෙවැනි සංවේදී මාධ්‍ය වාර්තා නිසා විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව අධ්‍යාපන බලධාරීන්ද අපහසුතාවට අතර එමගින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ම විශාල අපකීර්තියකට ලක්වන බව ඔබගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි. පරිපාලනමය ක්‍රමවේදයන් අනුව අදාළ ගුරුවරයා විසින් මෙම ස්ථාන මාරුව සම්බන්ධ අභියාචනාවක් හෝ සිදුකර නොමැත. එවැනි අවස්ථාවක පරිපාලනය සහ නීතිය පිළිබඳ දැනදැනත් ලංකා ගුරු සංගමය වැනි වෘත්තීය සමිති මේ සිදුකරන්නේ සාවද්‍ය කරුණු මත මාධ්‍ය නිවේදන නිකුත් කරමින් හුදු මාධ්‍ය ප්‍රචාරණයත්, ජනප්‍රියත්වයත් තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම මිස මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීමක් නොවන බව පැහැදිලි වේ.

    ReplyDelete
  23. "ගුරු ගීතය" වර්තමානයට අලලා අපූරුවට ලියවුනු පද පෙළකට නිර්මණ හැකියාව අගයමින් රජයෙන් ලැබුනු ඉහලම තිළිණය මෙය බව බව තහවුරුවේ. තත්වය ශෝචනීයයි. අධ්‍යාපන ඇමැතිව නැවත පාසල් යැවීමට මේ කාලයයි.

    ReplyDelete
  24. Ajith, ....
    June 15, 2017 at 9:53 දා තමින් Ministry of Education නමින් කමෙන්ටුවක් ඉහත පල වී ඇත. මෙය නිල අධ්‍යාපන අමාත්යංශය මගින් පල කරන ලද්දක්ද? ඔබට එය සනාත කර ගත හැකි යයි සිතමි.
    එම කමෙන්ටුවේ ලියා ඇති කරුනු සහ ලියා ඇති ආකාරය අනුව නම්, අමාත්‍යංශයේ බව සිතා ගත හැකියි. ඔවුන් blog එකකට පැමිණ මෙසේ පිළිතුරු සැපයීම ඉතා හොඳ, දියුණු තත්වයකි. ඒ ගැන ප්‍රසංශා කල යුතුය. එසේම ඔබේ මුල් ලිපියේ සමහර කරුණු නිවැරදි නොවන බවට දක්වා ඇති කරුණු පිළිබඳව ද ඔබේ අදහස් දැක්වීම සුදුසු යයි යෝජනා කරමි. එසේම මෙලෙස රජයේ නිල ආයතනයකින් ප්‍රතිචාර දැක්වීමේදී, එම ප්‍රතිචාරය ලියන පුද්ගාලයා ගේ නාමය / නිල තනතුර දැක්වීම ද අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දීම සුදුසු ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා