රාජපක්ෂලාගේ ඉරණම සංකේතවත් කරන ඉරිදා පුවත්පතේ සිද්ධිය

ඩ්‍රෝන් එකෙන් බාපු පත්තරේ 
පසුගිය මැයි මාසයේදී මහා සද්දයක් දමමින්, ඩ්‍රෝන්වලින් පත්තර බාමින්, වෝටර්ස් එජ්හි දැවැන්ත මගුලක් කා දියත් කරන ලද ඉරිදා පුවත්පත වසා දමා ඇති බව වාර්තා වේ. 

මූලික හේතුව අන් කිසිවක් නොව, එය අලෙවි කර ගන්නට බැරි වූ දැවැන්ත සුදු අලියකු වීමයි. 

ඉරිදා පුවත්පත වසා දැමීම රාජපක්ෂ කඳවුරේ දේශපාලනික ඉරණම සංකේතවත් කරන සිද්ධියකි. මහින්දව පුම්බන්නට අච්චු ගැසූ පුවත්පත මිළ දී ගන්නට පාඨකයන් නැති වීම ගැන මහින්ද නැවත කල්පනා කළ යුතු ය. ලංකා පුවත්පත කෙසේ හෝ පවත්වාගෙන යන්නට ජවිපෙ සමත්ව තිබෙන සංදර්භය තුළ ඉරිදා ජනහඬ සති කීපයකින් අභාවප්‍රාප්ත වීම දැවැන්ත පරාජයක් සලකුණු කරයි. 

මා සිතන පරිදි ඉරිදා වනාහි ඉතා ම කෙටි කලකින් වසා දමන ලද ජාතික පුවත්පතයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්ෂලාගේ මාධ්‍ය නඩය විසිනි. එහි කර්තෘ ධුරය දැරුවේ රාජපක්ෂවරුන්ට බැලමෙහෙ කිරීමෙන් මාධ්‍යකරුවකු වූ සුදර්මන් රදලියගොඩයි. ඔහුගේ පටන් පුවත්පතේ කළමනාකරණයට සම්බන්ධ වූ බොහෝ පිරිස් වනාහි රාජපක්ෂ පාලනය සමයේ දූෂණයේ ගිලී කුණු වී සිටි අයයි. 

පුවත්පත වැසෙන්නට ගිය කෙටි කාලය දෙස බලන විට දැකිය හැකි පැහැදිලි කරුණක් වන්නේ ව්‍යවසායක් ලෙස එය කෙතරම් අසාර්ථක ද යන්නයි. පුවත්පත් වෙළඳපොළේ යථාර්ථය වටහා ගනු වෙනුවට මොවුන් කළේ මහින්ද රාජපක්ෂලාගේ කළු සල්ලි බලාපොරොත්තුවෙන් දැවැන්ත නාස්තිකාර සමාගමක් ගොඩනගා ගැනීමයි. පුවත්පතට බඳවා ගත් මාධ්‍යකරුවන්ට ද ඉහළ වැටුප් ගෙවන බවට පොරොන්දු වී තිබේ. ඇතැමුන් එම සමාගමට බැඳී ඇත්තේ කරමින් සිටි රැකියා අතහැර දමා ය. 

මහජන මුදල් සීමාන්තික ලෙස කාබාසිනියා කරමින් දැවැන්ත වැටුප් සමග සුඛෝපභෝගී ජීවිතවලට හුරු වී සිටි මෙම මාධ්‍ය නඩයට විපක්ෂ දේශපාලනයට හුරු වන එක ලෙහෙසි නැත. 

ඔවුන් බලාපොරොත්තු වූ පරිදි රාජපක්ෂ පවුල හෝ ඔවුන්ගෙන් උපකාර ගත් ධනවත්තු මේ පුවත්පතට සල්ලි පොම්ප කර නැත. නැතිනම්, පොම්ප කළ මුදල් ද ආරම්භයේ සිට ම ගසා කෑම නිසා කරාම වැසී ගොස් ඇත. පුදුම වෙන්නට දෙයක් නැත. සුදර්මන් රදලියගොඩගේ සිට මේ කාගෙ කාගේත් කැරැට්ටුව කවුරුත් දනිති. 

දැන් මෙම පුවත්පත වසා දැමීමේ සිද්ධිය ගැන රාජපක්ෂ හිතවාදීන් කියන්නේ ඒ පසුපස එජාප කුමන්ත්‍ර‍ණයක් තිබූ බවයි. ඒකත් එහෙම නම් ඉතින් රාජපක්ෂට අබ සරණ ය. වැඩේ ගොඩදාගන්නට හදා ගත්ත පත්තර කොම්පැනිය ඇතුළටත් කඩාකප්පල්කාරයකු දමන්නට තරම් යූඇන්පියට හැකි වී තිබේ ය කීමෙන් රාජපක්ෂ ගෝලයෝ මහින්දව තව තවත් හෑල්ලු කර ගනිති. 

මෙම සිද්ධියේ දේශපාලනය පැත්තක තබමින් පුවත්පත් වැසී යාම පිළිබඳ ශාස්ත්‍රීය සාකච්ඡාවකට මුල පිරීමක් සිදු වී තිබේ. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු ය.
දොට්ට වැඩ්ඩ දවස 
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕන් කුක්කු falls ගෙ තර්ජනේට බය වෙලා බොරු සිංහ හම අයින කරලා මෙන්න පැරා බුරනෝ....

    ReplyDelete
  2. දැන් ඒ සුදර්මන් රදලියගොඩට තියෙනවා ය කියූ යකඩ නඩුවට මොකද වුණේ?

    ReplyDelete
    Replies
    1. යකඩ සිද්ධියට වරෙන්තු තිබුණා ය කියා කිව්වාට ඒ සම්බන්ධයෙන් නම් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු වුණේ නැහැ.

      Delete
    2. යකඩ මලකඩ කාල,ඒ හන්ද නඩුවත මලකඩ කාල.

      Delete
  3. මහින්ද එක්ක යන උන් පත්තර කියවනව කියා සිතීමත් එහෙම පත්තර නොවිකුනා කියා මහින්දට රටේ පිලිගැනීමක් නැතැයි සිතීමත් මම හිතන්නෙ අවතක්සේරුවක් කියල. මොකද රටේ අවිදිනකොට හිතෙන්නෙ අදටත් ප්‍රාදෙශීය සභා ඡන්දෙ තිබුනොත්. මහින්දට ලොකු කුට්ටියක් කඩගන්න පුලුවන් පදනමක් තියෙනව ආණ්ඩුව කරන ගොන්වැඩත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ බලවේගය පරාජය කළ යුතුව තිබෙන්නේ. මොකද, ඔවුන් ඉතා අතාර්කික ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒක එක්තරා ආකාරයක උන්මාදයක්.

      Delete
    2. // ඒක තමයි මේ බලවේගය පරාජය කළ යුතුව තිබෙන්නේ. //

      ටිකක් වෙලා යයි!

      Delete
  4. ඉරිදා ඉතරක් නෙමෙයි.... ලංකාදීපේ ඇර අනික් ඔක්කොම බංකොලොත්ය කියලා, මනෝරමයා බුකියේ පෝස්ට් එකක් දාලා තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. 'ඉරිදා' පත්තරෙත් හාන්සියි.. අලුතෙන් පත්තරයක් හෝ දෙකක් වෙනත් අය විසින් එළි දක්වනව ඉදිරි මාසය තුළ. ඒවගෙනුත් පැවැත්ම ෂුවර් නෑ. 'සත්හඬ' සේල්ස් නෑ. ඒකට ඉතින් මුදල් පොම්පයක් තියෙන නිසා අමාරුවෙන් ඇදගෙන යනව වහන්නෙ නැතුව.. මව්බිම ලඟදි බිම වැටෙන්න හෝ හොම්බෙන් යන්න ඉඩකුත් තියෙනවා. ලංකාදීප හැරුණම අනික් සියල්ලගේම අලෙවිය සිනහ දනවන සුළුයි. ඉංගිරිසි පත්තරත් ඒ සන්තෑසියමයි.

      ලංකාවේ පත්තර කලාව සක්කිලි කලාවක් කළේ ඔය තැන්වලින් එහෙට මෙහෙට පැන පැන මාධ්‍යකාරයෝ විදියට පෙන්නපු අය. උන් ඇත්තට ඇඟ වික්ක නං ඊට නම්බුයි. ආණ්ඩුවෙ පත්තර මහගෙදරින් ඇහෙන නිව්ස් වලට හිනාවෙන තැන හොයාගන්න බෑ! ඒකෙත් ඉන්නෙ බහුතරේ වැඩබැරිදාස ල. උන්ට පත්තරයක් විකුණගන්න විදියට කරන්න උවමනාවක් නෑ. දිවයින,රිවිර වගේ පත්තර ගැන කතාකරන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ලක්බිම පත්තරේ උඳුපියලිය න්‍යායට වැඩ නිසා වැටෙන්නෑ.. නගින්නෙත් නෑ!

      වැදගත්ම දේ මාධ්‍ය ආයතන වල ගෙවන වැටුප්. ඒවා ඉතාම ලැජ්ජාසහගතයි. මූලික වැටුප ඉතාම අඩුයි. දීමනා ලෙස ඉතුරුවා එල්ලල. ඒ නිසා අර ඊ.පී.එෆ් යන්නේ අඩුවෙන්. අලුත් කොල්ලො කෙල්ලො සොච්චං පඩියට වැඩකරන නිසා ඒක ඒ අයට හොදයි. ඉස්සර ‘මාධ්‍ය හැදුනුම්පතට‘ සෑහෙන තැනක් තිබ්බා. මුකුත් ඕන්නෑ පොලිසියෙන් ඇල්ලුවාම යන්නවත් දුන්නා!!! දැන් පඩේකට ගණං ගන්නෑ ඒකත්. අලුත් පත්තර වල විශාල වැටුප් ගෙවන බවට පොරොන්දුව පිටයි ගත්තෙ. උන්ට පඩි ගෙවලත් නෑ කියපු විදියට. ලේක්හවුස් එකේ ඉස්සර ‘බෝනස්‘ කීයක් දුන්නද? දැන් කොහොමද? ඒ වගේමයි ලියන එව්වටත් ගෙවන්න මාධ්‍ය ආයතන හොරයි. පිනට ගන්න බලන්නේ. මොකද සමහරු හිතනව පත්තරේ නම යන එක හෙන ලොකු දෙයක් කියල. නමුත් ඒක ෆේස්බුක් විසින් සුද්නද්ධූලි කරා.

      අනේ දෙයියනේ ඉස්සර පත්තරයක් ගත්තාම කොච්චර කියවන්න දේ තිබ්බද? අලුත් දෙ තිබුණද? හොඳ සංවාද විවාද තිබුණා. දේශපාලනේ තියෙද්දිත් පත්තර වල වැදගත් දේ තිබුණා කියවන්න.. අද පුක පිහින්න තරම්වත් දෙයක් ඒවගේ නෑ. විදෙස් පිටු, විද්‍යා පිටු තනිකරම ගිරවා ඉන්ටනෙට්! ෆේස්බුක් එකේ ඉන්නවා අජරාමර චරිත. උන් විසිදෙනෙක් එකතුකරල පත්තරයක් කරා නං විජය නිව්ස්පේපර්ස් වලට පවා ඇටෑක් කරන්න පුලුවන්.. නමුත් ආයෝජකයො නැහැ. මොකද මේ රස්සාව දැන් ගර්හිත වෘත්තියක් කරල ඇතැම් මාධ්‍ය ඔස්තාද් ලා... ඉස්සර පත්තරකාරයෙක් කියන්නෙ බහුශ්‍රැතයෙක්.. දැන් ඉන්නෙ ඉන්ටනෙට් බහුශ්‍රැතයො. උන්ගාව දැනුම තිබ්බට 'ආර්ට්' එක නැහැ..!!!

      - Manorama Weerasinghe -

      Delete
    2. ඉරිදා ලංකාදීප සහ Sunday Times වට්ටන්න ලේසි නැහැ...
      ඒකට හේතුව "ලහිපිට" සහ "Hit add" එක...
      අදටත් නෙට් එකේ යන ඇඩ් වලට වඩා යමක් ඒ දෙකෙන් හොයා ගන්න ලේසියි...
      විකුණගන්න ගියහමත් ඒ සෙතේම තමයි...

      Delete
  5. ඔන්න ඒ ගමන පැරා තමන්ට සුදුසුකම් හා අත්දැකීම් තිබෙන දෙයක් ගැන ලියලා. වාමාංශික ලෝකයට ආලෝකයත් ශකියත් සැපයූ විමුක්ති අරගලයකට ජීව ප්‍රාණය සැපයූ පත්තරයක් නැති භංගස්ථාන කළ එකෙකුට ඉරිදා වගේ ආගමික පත්තරයක් නතර වීම ගැන විග්‍රහ කරන එක මහ ලොකු දෙයක් යැ.

    පැරා උඹ අර ලංකා ගැන සටහන් කරන විට මතක් වුණේ නැති ද දහසක් අමාරුකම් මැද හරය පත්තරයත් සෑහෙන කාලයක් ඇදන් ආ බව?

    ReplyDelete
    Replies
    1. යකෝ හිරු පත්තරේ නැති බංගස්තාන කළේ මං ය කියන එක අදයි ඇහුවෙ. ඒ කියන්නෙ උන්ට ඒක තව දුරටත් කරගෙන යන්න බැරි වුණේ මං කර්තෘකමින් ඉල්ලා අස් වුණ නිසාය කියන එක වෙන්න ඇති. සත පහක පඩියක් නො ගෙන, අතිනුත් වියදම් කරගෙන ඒ වගේ කට්ටක් කන්න කැමති තව එවුන් හොයා ගන්න බැහැ තමයි. ඒ වුණාට වාමාංශිකයන් එහෙම එවුන්ට කැමති නැහැ. මේකත් කියන්න ඕනැ. මං මේ බ්ලොග් එක කරන්නෙත් ඒ ස්පිරිට් එකෙන් ම තමයි.

      හරය ගැන මං කතා කරන්නෙ නැතිව ඉන්න එක ගැන සතුටු වීම වඩා හොඳයි.

      Delete
    2. අනේ පැරා කලබල වෙන්න එපා බං. හිරු දුටු කදෝ පැණියෙක් වගේ වෙන්න එපා. අප අදහස් කළේ නැහැ උඹ නැති ව බැරි වුණ බවක්.

      මෙහෙමයි පැරා. අපි අවංක ව කතා කරමු. උඹ කැපවීමෙන් වැඩ කරන උනන්දුවා බව අප අනිවාර්යයෙන් පිළිගන්නවා. ඩබ්ලිව් තුන ලංකා එක උඹ කරගෙන යන පිළිවෙළින් වුණත් ඒක පේනවා. ඒ වගේ ම මෙන්න මේ ටිකත් උඹ පිළිගන්න ඕන මචං. උඹේ CV එකේ අදටත් තිබෙන වැදගත් ම දෙය හිරු පත්තරයේ අගසකසුකම බව හංගන්න අවශ්‍ය නැහැ නේ ද මචං? උඹේ CV එකේ ඒ entry එක දැක්ක ගමන් උඹට ඕනෑ ම පත්තරයක දොර ඇරෙනවා. හරි උඹ ඒක නැහැ යි කියනව ද? උඹේ වාසනාවට (අපේ අවාසනාව ද මන්දා!!!) උඹ හිරු කණ්ඩායමට එකතු වුණා. එසේ නො වෙන්න අජිත් පැරකුම් ජයසිංහ පාසැලකට යි ටියුශන් පංතියකට යි සීමා වුණු හිටපු කැරලිකාරයෙක් විතර යි. ඒ වාක්‍යට මේ ටිකත් එකතු කරන්න පුළුවන්: “සැලකිය යුතු දක්ෂතා සමුදායක් ද නිර්මාණාත්මක හා විප්ලවීය විභවයක් ද පිහිටා තිබූ දුලබ මිනිසෙකු වුවත් අසූව දශකයේ දී නොමඟ ගොස් අනාගතය අඳුරු කර ගත් අජිත් පැරකුම් ජයසිංහ”. දැන් උඹේ මේ ඩබ්ලිව් තුන ලංකා එක මිලියන් හතරක් හිට් වෙන්නෙත් උඹ එදා හිරු පත්තරයෙන් ගොඩනඟා ගත්ත අජිත් පැරකුම් ජයසිංහ නම නිසා බව අමතක කරන්න එපා. උඹට සැක නම් අර බොරැල්ලේ YMBA එක ළඟ තිබුණ පත්තර කඩෙන් අසා බලපං (දැන් ඒක එතන තියෙනව ද බං?) උදේට නැගිට්ට ම ජර්මනිය පැත්තට හැරිලා ඔන්න ඔය කාරණය මතක් කරනවා නම් උඹ අතින් වැරදි දේවල් ලියවෙන එකක් නැහැ පැරා.

      හරය නිසා මතක් වුණ දෙයක් කියන්න ඕන. පැරා මචං අප බාහු සහෝදරයා වෙනුවෙන් යමක් කරන්න ඕන. වාම සමසමාජයට කැඩී ආ දා පටන් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකු යම් කාලයක් හෝ බාහු සහෝදරයා ළඟ නතර වී වාම පන්නරය ලබා තිබෙනවා. සුමනේ සැලකුවත්, සිරිතුංග සැලකුවත්, කුසල් සැලකුවත් ඔය කවුරුත් එතන ඉඳලා තියෙනවා. ඇයි බං උඹත් කාලයක් කිව් රොඩ් එකේ කැරකි කැරකි හිටිය නේ ද? අපගේ ගුරු දේවයන් සමඟ කීර්ති බාලසූරිය සහෝදරයාගේ මඟට එළඹි යුගයේ අපගෙනුත් නො කිව යුතු, නො ලිය යුතු දේ බාහුවාදය ගැන කිය වුණු, ලිය වුණු බව ඇත්තක්. ඒක ඇත්තෙන් ම පැබ්ලෝවාදය එක්ක වුණු ගැටීමක් මිසක් බාහු සහෝදරය එක්ක ගැටීමක් නො වේ.

      ඉතිං මොකද කියන්නේ පැරා? වැඩසටහනක් සංවිධානය කරමු ද? උඹ අපත් සමඟ මේ ආරවුල්වලට මුල් පියවර තැබූ ශාස්තෘ සටහනේ දී (පොතේ දී නො වේ) බාහු සහෝදරයා ගැන විචක්ෂණ කියවීමක් කළේ නැහැ. උඹට කීර්ති බාලසූරිය සහෝදරයා සම්පූර්ණයෙන් මඟ හැරුණු බවත් කියන්න ඕන. කොහෙද ඉතිං, අප ලියූ ඒ කරුණු ඇතුලත් ආලෝචනය උඹ එදා උඹේ වාරණයේ අයෝමය පාදපාවට යට කළා නො වැ.

      හැබැයි ගොයියෝ එක දෙයක් කියන්නම්. මොන වැඩසටහනක් සංවිධානය කළත් උඹ අර සරත් ප්‍රනාන්දු සහෝදරයගේ පොත නිකුත් කළ දවසේ කළ කතාව වගේ කතා එහෙම කරන්න එපා. ඔන්න කල් තියා කිව්වා. මචං, උඹ ගම කෑවා එදා. මට සරත්ගේ පොත දකින සෑම මොහොතක ම මතක් වෙනවා උඹේ කතාව. කඩුගන්නාවේ දි පහළට පනින්න හිතුණු කතාවක් ඒක. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තිබෙනවා නම් ඒක පළ කළොත් නරක ද මචං? උඹ අපදාන කෘති සංස්කරණය ගැන කිව්ව සමහර අදහස් සාධනීය යි. දේශන පවත්වන්නේ නැති ව උඹ දිගට ම ලියන එක හොඳ යි පැරා. උඹ කට නො අරින තාක් කල් හොඳ තැම්පත් එකා. (අර ආණ්ඩුවේ හොරණෑවේ සුදර්ශන යි කල්‍යා යි එක්ක සංවාදයට ගිහිං බෝ පැළයක් වගේ හිටියේ නම් උඹ නො වෙ යි!)

      Delete
    3. Why do I feel the above 'anonymous' comment is made by Bhashana or Wediwardana? :))) (Funny, we too are aware of the Hiru saga but never knew Ajith Parakum was responsible for it! )

      Delete
    4. ඔය කුල කියන එක නම් මහ හිඟන වැඩක් බං. හිරු එකට එනකොටත් මට නමක් නො තිබුණා නෙමෙයි. මං ඔය ගොන් කතාවලට සම්බන්ධ වෙන්න කැමති නැහැ. උඹලා ඕනැ එකක් කියාගෙන සතුටු වෙයල්ලා.

      අනෙක, උඹලා හිතන් ඉන්න තරමට ඔය හිරු කර්තෘකම මට ආර්ථික වශයෙන් වාසිදායක වෙලා නැහැ. මම උත්සාහ කළ ඇතැම් රැකියා මට නො ලැබුණේ ඒක නිසා වෙන්න පුළුවන්.

      බාහු සහෝදරයාව පළාත් සභාවට පත් කරන්න අපි බැහැලා වැඩ කළා. හැබැයි ඒක එපා වුණේ මෙන්න මේ හේතුව නිසායි. ඒ දවස්වල උදේ හවස අපි එක්ක කතා කරපු බාහුගේ ගෝලයින් වැඩේ ඉවර වුණාට පස්සෙ ඊළඟට කතා කළේ ඊළඟ ඡන්දෙ වෙලාවේ ඒකට උදව් කරනවා ද කියා අහන්න විතරයි. බාහුගේ සිට ඔහුගේ සියලු අනුගාමිකයන්ට ද වාමාංශිකයන් පිළිබඳ අප කරන පොදු විවේචනය අදාළයි. ඔවුන් සාමාන්‍ය මානුෂික හැසිරීම් පැත්තෙන් පහත් මට්ටමක සිටින අය බව කිව යුතුයි. ඔහු සම්බන්ධයෙන් මං කරන උපරිම දෙය ඔහු ගැන කතා නො කර සිටින එකයි. උඹලාගේ යෝජනාව නිසායි මං මේ ටිකවත් කිව්වේ. මඩේ ගිලිච්ච ඇතෙකු වන ඔහුව ගොඩගන්න මඩේ ම ඉන්න උඹලට බැහැ බං.

      අනෙක උඹලගේ ආලෝචන ද මොනවද ඒවා මං කපල නැහැ බං. මේ මොන අඬෝඇඬියාවක් ද? ඔය කැපුවා ය කියන ඒවා එවපල්ලා. මං ඒක වෙනම පෝස්ට් එකක් විදියට දාන්නම්.

      සරත් ප්‍රනාන්දුගේ පොත පරිවර්තනය කළේ මමයි. ඒක තවම පළ වුණේ නැහැ. පොත ගැන මගේ කියවීම ගොඩක් ගැඹුරු වන්නේ ඒකේ පරිවර්තකයා මම නිසායි. මම දොරට වැඩුමෙදි කිව්වේ සරත් ප්‍රනාන්දු චරිතය මේ පොතට වඩා බොහෝ පුළුල් එකක් බවත්, මට අනුව නම් පොත මදි බවත් ය. ඒක උඹලාට වාර්තා කරපු වාර්තාකාරයෝ ඒවා අහන් ඉන්නේ උන්ගේ කණ්වලට ෆිල්ටර් දාගෙනනේ. ප්‍රශ්නෙ ඒකයි.

      කීර්ති බාලසූරිය ගැන මං දන්නෙ නැහැ. අනෙක ඒ ඉවැන්ජලික මාක්ස්වාදී කල්ලිය ගැන මගේ කිසිම මෙව්වා එකකුත් නැහැ. මගේ විනෝදාංශය රතු පාට පොත් එකතු කරන එක නෙමෙයි.

      Delete
    5. //Why do I feel the above 'anonymous' comment is made by Bhashana or Wediwardana? //

      Regarding Wediwardana, I must say this, please don't think that he was active in Hiru Group in the time the group was very active. I mean the period from 2001 to 2005 in which time I was in Hiru Group.

      I don't know what he did before that and after that. During the time I was the editor of Hiru, Manjula was a real joke who had promised to work but failed and put us in trouble due to his bohemian life style.

      He is a good poet but bad journalist.

      Delete
    6. මංජුලලා, භාෂණලාත් කරන්නේ ඇරියස් කවර් කර ගැනීමක් ද?

      Delete
    7. //සරත් ප්‍රනාන්දුගේ පොත පරිවර්තනය කළේ මමයි.//

      අනේ අනේ පැරා. උඹ ඒ වැඩේ ප්‍රසිද්ධියේ ඉල්ලලා ගත්තා නේ ද එහෙනම්? බලාගෙන යනකොට උඹ එදා කතා කරලා තිබෙන්නේ ලොකු අනාගත ආයෝජනයක් විධියට යි. සම්පූර්ණ කතාවේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක උඹ ළඟ නැති ද?

      කොහොම වුණත් පැරාගේ පරිවර්තන හැකියාව සම්පරීක්ෂා කළ හැකි පරිවර්තනයක් ළඟ දී ම පිටවන එක හොඳ යි.

      Delete
    8. මගේ හැකියාවන් සම්පරීක්ෂා කරන්න ඕනැ එවුන් ඒවා කරගෙන උන්ගේ වැඩ මා ලවා කර ගන්නවා.

      අනෙක, මං ඔය උඹලා පරිවර්තකයන් ය කියන අනුන්ගේ පොත් හොරෙන් පරිවර්තනය කරලා අච්චු ගහලා විකුණන කට්ටිය කරන වැඩේ කරන්න බලාපොරොත්තුවක් නැහැ. මං පරිවර්තන කරන්නේ මුදලට මිස කීර්තියට නෙමෙයි. සරත් ප්‍ර‍නාන්දුගේ පොත පරිවර්තනය කිරීම වෙනුවෙනුත් මට සාධාරණ අන්දමින් ගෙවීම් කළා. මුදල් ගෙවලා පරිවර්තන කරන අය ඉල්ල ඉල්ලා පස්සෙන් යන එවුන්ට වැඩ දෙන්නෙ නැහැ.

      මගේ රස්සාව මං කරන්නේ අභිමානෙන්. මගේ මිළ තීරණය කරන්නත්, මං කැමති වැඩ විතරක් කරන්නත් අවශ්‍ය පදනම මට දැනට තිබෙනවා. උදාහරණයක් විදියට මං ගිය සතියෙත් ඇනුවල් රිපෝට් එකක් පරිවර්තනය කරන්න බැහැ කිව්වා. හේතුව, සල්ලි ලැබුණත්, ඒ පරිවර්තනයෙන් මට දැනුමක් නො ලැබෙන නිසා.

      මේ වගේ ගොන් කතා කිය කියා ඉන්නේ නැතිව නවීන කම්කරුවෙක් වැඩ කරන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරපල්ලා. ඒක දේශපාලනයට වැදගත් වේවි.

      Delete
    9. පැරා මචං, මේක පොඩි private chat එකක්.

      මාස තුනකට පමණ පෙර ලංකාවේ මූල්‍ය ආයතනයක ප්‍රියමනාප ලලනාවක් අපගෙන් විමසුවා එම ආයතනයේ වාර්ෂික වාර්තාව ඉංගිරිසියෙන් සිංහලයට පරිවර්තන කර ගන්න නිවරද ඉංගිරිසියත් සිංහලයත් දන්න කෙනෙකු නිර්දේශ කරන්නට හැකි ද කියා. එම ආයතනයේ නිර්මාතෘවරයා වූ ඇයගේ පියා අපගේ පරම්පරාවේ කෙනෙක්. ඇය සිංහලය ද ඉංගිරිසිය ද මැනවින් දත් ලලනාවක්.

      ලංකාවේ සමකාලීන පරිවර්තකයන්ගේ විසුළු මෙවලම් පරිවර්තන ගැන දන්නා අප ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ පරිස්සමෙන්.

      බම්බලපිටියේ සුප්‍රකට ප්‍රකාශන හා වෘත්තීය ලේඛන සේවා ආයතනයක වෘත්තීය පරිවර්තිකාවක වූ හිතවතියක එකල අපගෙන් “හොඳ” සිංහල වචන විමසන්නට පුරුදු ව සිටියා (ඒත් ඉතිං එයාට සිංහල වචන දහයක් දුන්නොත් ඒවායෙන් අටක් නවයක් “බර වැඩි යි” කියලා “සිංහල වචචනයක් දෙන්නකො” කියනවා!!!). එහෙම හිතවත් කෙනෙකු ද නො සලකා අප අර ආයතන ප්‍රධානී ලලනාවට යෝජනා කළේ මෙන්න මෙහෙම කෙනෙකු:

      “................. (ඇයගේ නම), නිර්දේශ කරන්න තරම් කෙනෙකු නම් නැහැ. ඒත් අජිත් පැරකුම් ජයසිංහ කියලා හාදයෙක් ඉන්නවා මතුගම පැත්තේ. මා එයාගේ ලිපි කියවා තිබෙනවා. වියරණය යි, අක්ෂර වින්‍යාසය යි, පද බෙදීම යි හොඳ මට්ටමක තියෙනවා. වචනවලට අමතර ව ඉංගිරිසි අදහසක් සිංහලයට නඟන්න එයාට පුළුවන් කියලා හිතෙනවා. මා ඔබට ඔහුගේ චෙබ් සයිට් ලින්ක් එක එවන්නම්.”

      මෙන්න මේක යි ඇගේ පිළිතුර වුණේ:

      “ආහ්! එයා ගැන වෙන්න ඕන අපේ එඩිටර් කිව්වේ. හැබැ යි එයා එක්ක වැඩ කරන්න අමාරුයි ලු නේ ද? අපට ඕන දේ නො වෙ යි එයාට ඕන දේ ලු එයා කරන්නේ. එයා JVP කාරයෙක් ද කොහෙ ද”

      ඔන්න දැක්කනේ පැරා? උඹට සල්ලි දීලා උඹට ඕන දේවල් ලියවා ගන්න කව්රු ද කැමති? වෘත්තීය ලේඛන සේවා කියන්නේ කුලී වැඩක්. උඹ ඒක දන්නවා ඇති. ඒත් අර outsourcing girl ට උඹ දීලා තිබුණ ටෝක් එක පල් කතාවක් බං.

      පැරා, අප පැවසූ මූල්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව පිටු 293 ක් විතර තිබුණා. පිටුවකට ගෙවීම රුපියල් 500-1000 දක්වා කරන්න ඒ අය කැමති වී සිටියා. මේ සිදුවීම වුණේ මාස තුනකට විතර පෙර. සති දෙකක් ඇතුලත අවසන් කළ යුතු ව තිබුණා. අන්තිමට කැරකිලා කැරකිලා ඒක ද උඹට ඔය මාස තුනකට පස්සේ ආවේ??? ඉංගිරිසි pdf ඒක අප දුටුවා. ඒක උඹ වගේ කෙනෙකුට පහසුවෙන් කළ හැකි පරිවර්තනයක්, හොඳ සහයකයෙකුත් එකතු කර ගත්තා නම්. උඹ යටතේ කීප දෙනෙකු සිටිනවා නේ ද දැන්?

      (පැරා, මෙම කතාබහට අදාළ ආලෝචන අප දෙදෙනාගේ එකඟතාව මත අවසානයේ දී මකා දමමු)

      Delete
    10. මං හැම තිස්සෙම කැමතියි මට යමක් ඉගෙන ගන්න ලැබෙන පරිවර්තනයක් කරන්න. සල්ලි ලැබෙන පලියට ඔය හැම රෙද්දම භාර ගන්නෙ නැහැ මම. ඔය ගාන දුන්නත්, මං ඒවා කරන්නෙ නැහැ.

      උඹලාට ඉතින් මට බනින අය කියන ඒවා බුදු බණ වගේ ඇති. ඒකනේ ඒකෙන් චූන් වුණේ. අනෙක මට ඔය කාගේවත් චරිත සහතික වැදගත් නැහැ. මා එක්ක වැඩ කරලා තියෙන අය මා ගැන දන්නවා. කවුරුත් කැමතියි දෙකයි පනහට වැඩ කරවා ගන්න. ඒ සෙල්ලංවලට ඔට්ටු නැති අයට ජේවීපීකාරයෝ ය කියන එක පරණ කතාවක් නේ.

      තියෙන වැඩ ප්‍ර‍මාණයේ හැටියට තෝරගෙන කරන්න පුළුවන් තරම් වැඩ තියෙනවා. මේක කුලී වැඩක් තමයි. කුලී වැඩ කියන්නේ වැඩි වගකීම් නැති ගිවිසුම් නේ. කුලී වැඩ කරන්න දන ගාගෙන යන්න ඕනැ නැහැනේ.

      අපි කම්කරුවෝ මිස සේල්ස් රෙප්ලා නෙමෙයි. ඒ නිසා ටයි දාගෙන හිනා වෙවී රඟන්න ඕනැ නැහැ. වැඩ දන්නා එකා ගාවට වැඩ එනවා.

      Delete
  6. ලංකාවේ මිනිස්සු පත්තරගන්නේ බත් ඔතන්න නේ, ඕකෙන් බත් එතුවත් මාට්ටු.

    ReplyDelete
  7. පාද(ඩ) යාත්‍රාව යනු මහින්දගේ දේශපාලන හංස ගීතයයි.

    ReplyDelete
  8. මගේ යාලුවෙක් පත්තර කියවලා පිස්සු හැදිලා මලා.

    ReplyDelete
  9. මම දන්න තරමින් ලංකාවේ කෙටිම කලකින් ප්‍රකාශයන නවතා දැමූ පුවත්පත පහුගිය පෙබරවාරි මාසයේ පටන් අරගෙන සති තුනකින් වහලා දාපු “මුල්පිටුව“ පත්තරේ. හරී මීඩියා එකට නඩු වැටෙනකොට පත්තරේ වැහුණා.

    ඉරිදා පත්තරේ අරමුණ වුණු මහින්ද පිම්බීම සහ ඒකාබද්ධ විපක්ෂය ෆෝම් කිරීම කියන දෙකම ඉෂ්ට වීම පැත්තක තියලා පත්තරේ වහලා දාන්න විජිත පබ්ලිකේෂන් එකට සිද්ධ වෙච්ච කාරණා කිහිපයක්ම තියනවා.
    1. මහින්ද පිම්බීම වෙනුවට බොරු මධ්‍යස්ථ බවක් පෙන්වන්නට යාම (මේක නිසා මහින්දවාදීන් පවා මේ පත්තරේ ගන්න පෙලඹුනේ නෑ, රෙදි නැතිවම මහින්දට කඩේ ගියානම් ඇත්තටම කැත නැතුව ලංකාවේ පිටපත් 20000 කට වඩා විකුණගන්න තිබුණා සතියකට)

    2. කර්තෘ මණ්ඩලය පත්තර ගණනාවකින් අහුලාගත් විවිධ මතධාරීන් පිරිසක් වීම සහ බහුතරයක් මහින්ද විරෝධීන්වීම (මේ පිරිස පත්තරේට එකතුවෙන්නේ අවුරුදු 5 කොන්ත්‍රාත්තු සිහිනය සහ වැඩි වැටුප කියන කාරණය එක්ක)

    3. පරිපාලනය තනිකරම එක් කල්ලියක් වටා ගොනුව තිබීම, රදලියගොඩ ඇතුළු කල්ලිය පසුගිය කාලයේ රාජ්‍ය දේපලවලට (විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනියේ) කරපු දෙයම ඉරිදා පත්තරයටත් කලා.

    4. මොහාන් සමරනායක දක්ෂ කර්තෘවරයෙකු නොවීම, මොහාන් දක්ෂ විදෙස් සිදුවීම් විශ්ලේෂකයෙක් වුනත් ප්‍රතිභාපූර්ණ පත්තරකාරයෙක් නොවීම බරපතල අඩුවක්.

    5.අන්තර්ගතය අතින් පුවත්පත හිටියේ බොහොම පහළ මට්ටමක. විශේෂාංග ලිපි ඉතාම අඩුයි, එක එක ටොම්පචෝරිස්ලා එක්ක කරපු සාකච්ඡා ඇරෙන්න පත්තරේ ගන්න දෙයක් තිබුණේ නෑ, ඒත් ජනිත විපුලගුණ සංස්කරණය කරපු කුරුබිලියේ ගතයුතු වෙනස්යමක් තිබුණා.ඒ ඇරෙන්න පුවත් අතින් පවා තිබුණේ දුර්වල තත්ත්වයක.

    6. ලොකු ලොකු මිල ගණන් යටතේ ලොකු ලොකු චරිත පොඩි පොඩි වැඩවලට යොදාගැනීම.

    ReplyDelete
    Replies
    1. ඉරිදා පත්තරේ මරා කල්ලියේ තකතීරු කම් වල සංකේතයක් කියන (සම්පූර්ණ ඇත්ත) දේ ඇරුනම පැරා ගේ ලිපියේ hot air මිසක් substance එකක් නැහැ. පැරෝ මතුපිට අත ගාන්නේ නැතුව සෙන්ටිමීටරයක් වත් ඩීප් යන්නේ කොහොමද කියල මේ කමෙන්ට් එක බලල වත් ඉගෙන ගනින්.

      Delete
    2. ඉතින් මං ම ඒක ලියන්න ඕනැ ද? වෙන කෙනෙක් ලිව්වාම මොකද? ඔහු ඒක මෙතන ලිව්වෙ මම විවෘත කරපු අවකාශය නිසා නේ.

      අනෙක, ඉරිදා පත්තරේ මම කියෙව්වේ මංගල කලාපය විතරයි. නැවත මිළ දී ගන්න තරම් කිසිදු විශේෂත්වයක් එහි තිබුණේ නැහැ. එහි අභ්‍යන්තරය ගැන මෙම සටහන තැබූ පුද්ගලයා දන්නා දේ මං දන්නෙ නැහැ. ඒවා දැන ගත යුතු ම දේවලුත් නෙමෙයි නේ.

      කොහොම වුණත්, මං කියන්න උත්සාහ කළ දේ මේ කරුණුවලින් නිශේධනය වෙන්නේ නැති බවයි මගේ අදහස.

      Delete
    3. @ ප්‍රොෆයිල් ඇනෝ
      පැරාගේ මේ පෝස්ට් එකේ මේ ටික බලන්න
      ////පුවත්පත වැසෙන්නට ගිය කෙටි කාලය දෙස බලන විට දැකිය හැකි පැහැදිලි කරුණක් වන්නේ ව්‍යවසායක් ලෙස එය කෙතරම් අසාර්ථක ද යන්නයි. පුවත්පත් වෙළඳපොළේ යථාර්ථය වටහා ගනු වෙනුවට මොවුන් කළේ මහින්ද රාජපක්ෂලාගේ කළු සල්ලි බලාපොරොත්තුවෙන් දැවැන්ත නාස්තිකාර සමාගමක් ගොඩනගා ගැනීමයි. පුවත්පතට බඳවා ගත් මාධ්‍යකරුවන්ට ද ඉහළ වැටුප් ගෙවන බවට පොරොන්දු වී තිබේ. ඇතැමුන් එම සමාගමට බැඳී ඇත්තේ කරමින් සිටි රැකියා අතහැර දමා ය. ////

      මේ ඡේදයේ තියෙන ටික, උඩ දේවසුරේන්ද්‍රගේ කතාවෙම සාරාංශයක් (කරුණු තරමක් මඳ වුනත්) නේද?

      පැරා මරා ට බනින තරමටම රවි ට බනින්නෙ නැති එක ගැන තියන තරහටම පැරාට නෙලනවද මන්ද?

      Delete
    4. Anonymous July 29, 2016 at 3:29 PM,

      මා ඔය ටික දුටුවා. නමුත් මාද්‍ය කරුවන්ට ඉහල වැටුප් ගෙවන්නට පොරොන්දු වීමත්, සමහරු කරන රැකියා අතහැර දැමීමත් කියන (ප්‍රසිද්ද සහ මවුබිම වගේ ගොඩක් පත්තර වලටත් පොදු) කරුණු දෙකට අමතරව, ඔතන තියන අනික් ටික කොහොමත් රාජපක්ෂලා ගෑවුණු ඕනේ දෙකට කියන "කළු සල්ලි", "නාස්තිකාර" වගේ හාන්සිපුටු කරුණු. ඒ කියන්නේ අමුතුවෙන් හොයා නොබලා (අර දිවයිනේ "පිටකොටුවේ ගණිකාවන් සමග රැයක්" ලියනවා වගේ) හාන්සි පුටුවක් උඩ ඉඳන් හිතලත් ලියන්න පුළුවන් දේවල්. මොකුත් උදාහරණයක් වත් දීලා නැහැ.

      පැරා කී දේ ඒකෙන් බොරු වෙන්නේ නැහැ.

      // පැරා මරා ට බනින තරමටම රවි ට බනින්නෙ නැති එක ගැන තියන තරහටම පැරාට නෙලනවද මන්ද? //

      පැරා එක්ක මට තරහක් නැත.

      Delete
  10. Dewasurendra, your analysis is excellent. It is a robust penetration into the aetiology of the catastrophic finale of Irida, based on meticulous reading of the case. Para should learn a lesson from the Dewasurendra approach how to analyse a case vignette objectively. Well done bloke!

    ReplyDelete
  11. ලංකාව වගේ පොඩි වෙළඳ පොළකට මේ තියෙන පත්තර රේඩියෝ ස්ටේෂන් ටීවී චැනල් ප්‍රමාණය හොඳටම වැඩියි.මේ බලු පොරය නිසාම මළ මිනී හරි විකුණලා ලාභ හොයන ජඩමාධ්‍ය සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා.අනික ලංකාවේ කොහෙද නිදහස් මාධ්‍යයක් බේරෙ ගෙදර ලියන්නේ ආණ්ඩුවට උවමනා විදිහට සිරස වැඩ කරන්නෙ මහරාජාගේ න්‍යාය පත්‍රයට දෙරණ වැඩ කරන්නේ රාජපක්ෂ සට්ටැඹි දිලිත් ජයවීරට උවමනා විදිහට ලක්බිම කරන්නෙ සුමතිපාලට ඕනි රෙදි හෝදන එක මේ විදිහට හැම මාධ්‍යයක්ම තමුන්ට සල්ලි පොම්ප කරන තැනට උවමනා විදිහට බුරනව.අනික මේ වෙළඳ පොළ ඇතුලෙ මුද්‍රිත මාධ්‍ය කියන්නෙ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් නෙමෙයි. ලංකාවෙ ගොඩක් පත්තර හාම්පුතාගේ පොලිටිකල්/බිස්නස් ප්‍රොපගැන්ඩා එකේ පාර්ට් එකක් නැත්නම් කලු සල්ලි සුදු කරන්න පාවිච්චි කරන මෙවලමක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා