තුන්වරක් පෙරුමෙන් පසුව මීගහතැන්නෙන් බල්ලාට යන ලංකාවේ අකිල අධ්‍යාපනය

මීගහතැන්න ප්‍රාථමික පාසලට බලෙන් දරුවන් 9දෙනෙකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම, ළමයින්ගේ අම්මලා ඇතුළු 13දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

මෙම සිදුවීමෙහිදී තවම අහිංසක එකී දරුවන් පිරිස හැර අන් සියලු දෙනා වැරදි ය. 

මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ආසනවල බොහෝ ප්‍රදේශවල මධ්‍යස්ථානය මතුගමයි. මෙම ප්‍රදේශයේ මව්පියන් තම දරුවන් ඇතුළත් කරන්නට වැඩියෙන් ම පොරකන්නේ මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයටයි. දෙවන ස්ථානය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ද, තුන්වන ස්ථානය මතුගම ශාන්ත මේරි විද්‍යාලයට ද හිමි වේ. මේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නට බැරි වූ විට සමහරු මතුගම අදිකාරම් හා ඇතුලත්මුදලි කණිෂ්ට විද්‍යාලවලට ළමයින් ඇතුළත් කරගෙන එතැන් සිට අර කී පාසල්වලට ළමයින් රිංගවා ගැනීමට මාන බලති. 

මේ ප්‍රධාන පාසල් තුන ම ළමයින්ගෙන් පිරී ඉතිරී ගිය, ප්‍රමාණවත් පහසුකම් නොමැති, හොඳ මානව සම්පත් ද නැති, හොඳ අධ්‍යාපනයක් ද නො ලැබෙන, ඒ තරම් ලොකු නමක් ද නැති පාසල් ය. මේවායේ ආදි ශිෂ්‍ය සංගම් ගැන ද වෙන ම කතා කළ යුතු ය. ඒවා අමු ම අමු මාෆියා වේ. මේ පාසල්වල වැදගත් ආදි ශිෂ්‍යයන් සිටියත් එවැන්නෙකුට මේ රැස්වීමකටවත් එන්නට පුළුවන් තත්වයක් නැත.

එහෙත් අගලවත්ත, බදුරලිය, කලවාන, මීගහතැන්න, පැලවත්ත, වලල්ලාවිට, දොඩංගොඩ, නෑබඩ, වරකාගොඩ, බුලත්සිංහල වැනි පැතිවල මව්පියන් හැකි නම් තම ළමයින් එවන්නේ මේ මතුගම නගරයේ පාසල්වලටයි. ඒ මදි අය තවත් ටිකක් එහායින් පිහිටි හොරණ, කලුතර, පානදුර, කොළඹ පාසල්වලට ළමයින් යවති. ගම්වල පාසල්වලට ළමයින් යවන්නේ එහෙම යවාගන්නට බැරි වුණොත් පමණි. 

මීගහතැන්න මතුගමින් කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටි සුන්දර ගම් පෙදෙසකි. එහි පිහිටා තිබෙන මෙරිල් කාරියවසම් මහා විද්‍යාලයේ මෑතදී අති නවීන ශ්‍රවණාගාරයක් විවෘත කරන ලදී. අර්බුදයට තුඩු දී තිබෙන මීගහතැන්න ප්‍රාථමික පාසල මේ පාසලේ ප්‍රාථමික අංශයයි. පසුගිය වසරක මෙම පාසලේ සිසුවියක ශිෂ්‍යත්ව විභාගයෙන් රටේ ම දෙවෙනි තැන ගත්තා ය. 

පාසලේ අනුමත සමාන්තර පංති ගණන තුනකි. එය අනවසරයෙන් හතරක් කිරීම නිසා මෙම පාසලේ කලින් සිටි විදුහල්පතිවරයකු වැඩ තහනමට පවා ලක් වූයේ ය. 

තුන දැන් හතර වෙලා කියලා ලොතරැයි දැන්වීමක් ඇත. තුන හතර වුණාම වෙන ප්‍රශ්නය හතර වටේ පොඩි පොඩි පාසල්වලට එකේ පංතියට ළමයින් අඩු වීමයි. ඒවායේ තිබෙන අලස ස්වරූපය නිසා ඉතිරි දෙමව්පියෝ ද තම දරුවන් වඩා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන්නට උත්සාහ කරති. එතකොට ගමේ පාසල් වැසී යන්නට පටන් ගනියි. එවිට සිදු වන්නේ කිසිවක් කර කියා ගත නො හැකි හෝ එහෙම කර කියා ගන්නට උවමනාවක් නොමැති හෝ දිළිඳු, නූගත් පවුල්වල දරුවන් පාසල්වලින් ගිලිහී යාමයි. 

ගම්වල පාසල් පවත්වාගෙන යනවාට වඩා නගරයේ පාසල් කරා යාමට ගම්වල ළමයින්ට නොමිළේ ප්‍රවාහන පහසුකම් සැපයීම ආණ්ඩුවට ලාභදායක ය. පාසලක් පවත්වාගෙන යාමට ගොඩනැගිලි, පිට්ටනි ආදිය අවශ්‍ය ය. ඇමතිලා, අධ්‍යක්ෂකලාට, විදුහල්පතිලාට, ගුරුවරුන් ආදී හැටහුටහමාරකට පඩි ගෙවිය යුතු ය. මං කියන වැඩේ කරනවා නම් නඩත්තු කළ යුත්තේ බස් රථයක් පමණි. පඩි ගෙවිය යුත්තේ රියදුරුට, කොන්දොස්තරට හා මැකෑනික්ට ය. 

ඒ වුණාට, මේ ගැමි දුප්පත් ළමයින් ලොකු පාසල්වලට එනවාට එවායේ ළමයි, මව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු, ආදි ශිෂ්‍යයෝ කැමති නැත. උදාහරණයක් ලෙස මතුගම ශාන්ත මේරි විද්‍යාලයට අනුබද්ධ ප්‍රාථමික පාසල් වන බදුගම ධම්මානන්ද හා නාරාවිල ප්‍රාථමික පාසලෙන් දරුවන් ඒ පාසලට එනවාට අර කියන කට්ටිය කැමති නැත. මේ මං කියන්නේ ඒ ඉස්කෝලේ උගන්නා ලැබූ අත්දැකීම් ය. ඒ දිළිඳු ළමයි අළු ගසා දමන තෙක් පිළිවෙලකට අඳින්නේ නැත. අපිරිසිදු ය. ඔලුවේ උකුණෝ ය. ඉස්කෝලවලට ඕවා බලන්නට වෙලාවක් නැත. තරග විභාග තිබේ. මේ ළමයින් ශාන්ත මේරියට ගන්නට එපා යයි ආදි ශිෂ්‍ය මාෆියාවේ ඉල්ලීමක් තිබේ. 

මීගහතැන්න පාසලට බලෙන් ඇතුළත් කළ දරුවන් නමදෙනා වනාහි සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රමවේදය අනුව සුදුසුකම් නො ලැබූ අයයි. මේ අයට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් වෙනත් පාසල් ලබා දී තිබේ. එසේ දී නැත්නම් එයට හේතුව වෙනත් පාසල් ඉල්ලා නො සිටීමයි. වෙනත් පාසල් දුන්නත් ඔවුන් යන්නේ නැත. මෙසේ පාසල්වලට අයදුම් කර, සුදුසුකම් නො ලැබීම නිසා පාසල්වලට ඇතුළත් කර නො ගන්නා ලද දරුවන් දස දහස් ගණනක් ලංකාවේ සිටිති. දැන් ඉතින් ඔවුන්ටත් මේ ක්‍රමය අනුගමනය කර තමන්ට අවශ්‍ය පාසලට දරුවා ඇතුළත් කර ගන්නට බැරි නැති බව පෙනේ. 

ඉතා උන්නතිකාමී මව්පියෝ දරුවන් වෙනත් පාසල්වලට ඇතුළත් නො කර මාස ගණන් ගෙවල්වල තබා ගනිමින් දේශපාලකයන් පසුපස යති. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියෙහිදී පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට ලකුණු නැති තාත්තා කෙනෙක් ඊයේ බසයේ එද්දී කියූ අදහසක් මට සිහිපත් වේ. “මම නම් මාස හයක් ගෙදර තියාගෙන ඉඳලා හරි කොහොම හරි දාගන්නවා. වෙන එකකට දාන්නෙ නැහැ."

බ්‍රේක් නැති වාහනයක් වන පාලිත තෙවරප්පෙරුම ගිහින් කර ගැහුවේ එහෙම කේස් එකකට ය. පාලිත වනාහි තරමක් හිත හොඳ මෝඩයෙකි. එහෙත් ඔහු කපටියෙක් නො වේ. අනෙක් දේශපාලකයන්ට සාපේක්ෂව අවංක ය. මතුගම පැත්තෙන් ඡන්දෙ ඉල්ලූ කුමාර වෙල්ගම, මහින්ද සමරසිංහ, ජගත් විතාන, නලින්ද ජයතිස්ස වැනි අයට වඩා පාලිත  මහජනතාවට සමීප ය. හැබැයි ඔහුට උපදෙස් දෙන්නට යන්නට තරම් මෝඩයින් මතුගම නැත. මේ ළඟදී පාලිත බලන්නට රෝහලට ගිය තිස්ස අත්තනායකට පාලිත කියා ඇත්තේ ඔහු වැනි අය එජාපයේ හිටියා නම් පාලිතට මෙහෙම නො වන බව ය. එහෙම කියන්නේ තිස්ස අත්තනායක ය. ඒ වුණාට පාලිත රනිල්ට ගහන්නට ගියේ තිස්ස හිටපු කාලේ ය. මා නම් හිතන්නේ පාලිත වැනි අයට මග පෙන්වන්නට පුළුවන් එකා එක්කෝ මැරිලා ය. නැතිනම් තවම ඉපදී නැත.  

ජාතිවාදී කෝලාහලවලදී අනතුරු දරාගෙන සුළු ජාතීන් බේරා ගන්නට ඉදිරිපත් වූ දේශපාලකයන් අපට වමේ ව්‍යාපාරයෙන්වත් හමු වන්නේ නැත. (හිටියා නම් කියන්න.) ඒ වෙනුවෙන් මම පාලිතට මනාපයක් දුන්නෙමි. එහෙත්, පාලිත මේ රටට මහා කරදරයක් වී තිබේ. ඔහුට එරෙහිව මතුගම කලාපයේ ගුරුවරු පාසල් වේලාව තුළ පසුගිය සඳුදා මතුගම නගරයේ වීදිවල පෙළපාලි ගිය හ. 

මීගහතැන්න ප්‍රාථමික පාසලට බලෙන් කඩා පැන, විදුහල්පතිට තර්ජනය කර, සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කර, විදුහල්පතිවරයා මත අවනීතික බලයක් පාවිච්චි කර, නීති විරෝධී ලෙස දරුවන් නවදෙනෙකු පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවට සම්බන්ධ වූ සියලු දෙනාට තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. එසේ නීතිය ක්‍රියාත්මක නො වන්නේ නම් එය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇත. 

ඒ ගමන් මේකත් කිව යුතු ය. ලංකාවේ අධ්‍යාපනය යනු අකිල විරාජ් කාරියවසම් වැනි පුංචි මොළයකට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ විකාරයක් බව දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පෙන්නුම් කර තිබේ. මේ අවුරුදු එකහමාර තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නට පියවර ගැනීමට සූදානම් එඩිතර නායකත්වයක් තබා හරවත් යෝජනාවක්වත් මේ අධ්‍යාපන ඇමතිගේ පැත්තෙන් ඉදිරිපත් වී නැත. 

එසේම මෙයත් කිව යුතු ය. ලංකාවේ මහජනතාව ද ඉතා අහිංසක, සාන්ත, දාන්ත, තීන්ත කූඩු නො වේ. ඉපදුණේ කොයි කොදෙව්වේ වුණත් මේ හැම එකාගේ ම ආසාව රෝයල් එකට ළමයින් දමා ගැනීම ය, (ළමයා ගැහැනු ළමයකු වුණත් ඉස්කෝලෙ නම් රෝයල් එක ය.) හැමෝට ම අවශ්‍ය ළමයින් දොස්තර කරන්නට ය. හැමෝට ම අවශ්‍ය ජපානේ හැදූ හයිබ්‍රිඩ් කාර් ය. දෙව්, මිනිස් සැප කෙළවර අවසානයේදී බලාපොරොත්තු වන්නේ අමාමහ බටහිර යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට පැන ගැනීමට ය. හැබැයි ඉතින් ඒ ගියාට පසුවත් ලෝකෙන් උතුම් රට නම් ලංකාව ම තමා ය.

ඒ අතරවාරයේ දෙමළා හා මුසල්මානයාගේ විනාශය පතමින් බුදුන් සරණ යති. බටහිර යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, නවසීලන්තයෙන් වීසා ඉල්ලමින් එට්කාවලට විරුද්ධ වෙති. ජාතිවාදීන්ගේ හා වාමාංශිකයන්ගේ බටහිර කුමන්ත්‍රණ න්‍යාය ගිලිති. තමන්ට බැරි වූ දොස්තරකම හෙවත් සල්ලි අතගෑමේ ආසාව ළමයින් ලවා හෝ සපුරා ගන්නට ළමයින් පංති ඇදන් දුවමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පෙත්සම් අත්සන් කරති. බදු මුදලින් නිකම් ඉඳිමින් පඩි හා පැන්ෂන් ගන්නට රජයේ රස්සා ඉල්ලමින් වැට් බද්දට එරෙහිව කඩ වසති. 

මෙවැනි දෙපිටකාට්ටු ජනතාවක් එක්ක හැරෙන්නටවත් අකිල විරාජ් වැනි අතදරුවන්ට බැරි ය. ඒ නිසා හොඳම වැඩේ සූප්පුවත් කටේ ගහගෙන වෙන මොකක් හෝ කර ගන්නා එක ය. අධ්‍යාපනයට ඇමතියෙක් ඕනෑ නැත. එහෙම නැතිව වුණත් මේක මෙහෙම පවතිනු ඇත. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දෙගුරුන් විසින් තම
    දරුවන්ට දෙන නොමඳ දන නම්
    වියතුන් සභා මැද
    ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි!

    ReplyDelete
  2. අකිල විරාජ්, කිසිසේත්, අධ්‍යාපන මැති ධුරය වැනි වගකීමක් දරන්නට සුදුසු පුද්ගලයකු නොවන බව, ඉතා පැහැදිලිය. උපාධියක් තිබීම, ඕනෑම ඇමතිකමක්, මන්ත්‍රී කමක්, දැරීමට සුදුසුකමක් නොවේ. අධ්‍යාපනය නමැති විෂයය, පුළුල් දැක්මක් තුළ, ජාත්‍යන්තර ප්‍රමිතියකින් ක්‍රියාත්මක කිරීමට නම්, එම ක්‍ෂේත්‍රයේ අද්දැකීම් බහුල පුද්ගලයකු අවශ්‍ය වෙයි. අවම වශයෙන් පරිපාලනය ගැන යම් අද්දැකීමක් ඇති, සරත් අමුණුගම වැනි කෙනෙකු සෑහෙයි.

    පාලිත තෙවරප්පෙරුම, දේශපාලන වට්ටෝරු වෙදෙකි. ප්‍රශ්නය අවබෝධ නොකරගෙන, ඒ වෙලාවට පිළියම් යොදන මෙවැනි පුද්ගලයන්, දේශපාලනමය වශයෙන් කල් ඉකුත්වී ඇති බව, ඔවුනට නොවැටහීම, ලොකුම අවාසනාවකි.

    වීදි සටන් මගින්, ජනප්‍රිය දේශපාලනය කරන අමනයන්ට, ඡන්දය දෙන එවැනිම අමන පිරිසක්, මේ සමාජයේ තවදුරටත් දකින්නට ලැබීම, ජාතියේම අවාසනාවකි.

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍යය නම් මට වෙන්න ඇති කියන්න ඇත්තේ. ඒ අනුව බැලුවොත් ජවිපෙට, පෙසපට, හෙළ උරුමයට, පොදු විපක්ෂයට, ශ්‍රීලනිපයට, එජාපට ඡන්දෙ දෙන්න බැහැ. දෙන්න වෙන්නෙ ලිබරල් පක්ෂෙට. ඒගොල්ලෝ නම් කවදාවත් වීදි තියා මොන ම ආකාරයකවත් සටනක් කරලා නැහැ.

      Delete
    2. අන්තිම වාක්‍යය කිසිසේත් ඔබට එල්ල කල එකක් නොවේ. ඒකාබද්ධ සරණාගත ආඬි රැල, තෙවරප්පෙරුම, මර්වින් සිල්වා, රන්ජන් රාමනායක, අර ගුරුවරිය දනගැස්වූ පුඟුලා, වර්ගයේ අයටයි එල්ල කලේ. නමුත් එය වාමාංශික ස්ටන්කාරී දේශපාලනයේ යෙදෙන අයටත් වදින්නට ඉඩ තිබෙන බව දැන් පෙනෙනවා.

      Delete
    3. විචාරක,

      ඔබගේ මුල් කමෙන්ටුව මුල් කොටස් දෙක සමග එකඟයි. හුදෙක් අවස්ථාවාදී බොරු සෝබන දමන කාලකණ්ණි දේශපාලන අපතයින් පිටු දැකිය යුතුය. ක්‍රමයෙන් සමාජය දියුණුව කරායාමේදී මෙබඳු පුඟුලන් කෙමෙන් ඉවත්වනු ඇත.

      නමුත් වීදි සටන් නිසි පරිදි කළොත් ජනතාවට කණ් නොදෙන කාලකණ්ණි ආණ්ඩුවලට/ පාලකයන්ට/ බලධාරීන්ට එරෙහි ඉතා විශිෂ්ට අවියකි.

      කණගාටුයි, ඔබගේ දෙවෙනි කම්න්ටුව හා කිසිස්සේත්ම එකඟවිය නොහැක.

      //ඒකාබද්ධ සරණාගත ආඬි රැල// - මෙම කණ්ඩායමේ සිටින බහුතරයක් කුප්‍රකට චෝදනාලාභී දූෂිත පිරිසක් බව සැබෑය. නමුත් එපමණටම දූෂිතයෝ ඕනෑතරම් එ.ජා.ප. ඇතුළු යහපාලන හවුල් ආණ්ඩුවේ නිරුපද්‍රිතව දූෂණ ක්‍රියාවල රිසිසේ යෙදෙමින් සිටිති. එබැවින් ඔවුන්ට පමණක් චෝදනා කිරීම විසුළු සහගතය. ඔබ කිවූ නම් කිහිපයක ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. එමෙන්ම මෑතදී ඉතාම නීච ලෙස ලාංකීය මැතිවරණ නීතියේ ඇති බරපතල අඩුපාඩු වල පිහිටෙන් (හොර පාරෙන්) පාර්ලිමේන්තුවට රිංගූ හිටපු කුප්‍රකට හමුදා නිලධාරියාද සඳහන් කළ යුතුමය. අද අගමැතිවරයා මොහු ලවා රිලා නැටුම් බඳු වූ අමුතු කලවැදි නැටුම් නටවා මහත් විගඩමක් කරනු දැකිය හැකිය. බහුතර උගත් ජනයා මෙම මල කෝලම මහත් ජුගුප්සාජනක ලෙස පිළිකෙව් කරනු දැකිය හැක. මෙබඳු ඔලමොට්ටලයන් මහජන බුදල් බිලියන ගණනින් වනසා දමමින් තව සුඛෝපබෝගී වාහන ද ඉල්ලා ඊට විලිලැජ්ජා සහගත සාධාරණීකරණයන් ඉදිරිපත් කරමින් අපගේ ලේ කුපිත කරති. බොහෝ දුරට මෙබඳු විගඩම් කාරයින්ගෙන් විශාල පිරිසක් ඉදිරි මැතිවරණ වලදී කුජීත වී යාම අපගේ එකම පැතුමයි.

      Delete
  3. ලංකාවෙ ඉන්න 'ජනතාව' කියන උන්දැලගෙන් බහුතරය කුහක, දෙපිටකාට්ටු, අනෙකාට හෙන ගැහැව්වත් තමන්ගේ වැඩය කරගැනීම ගැන පමනක් හිතන කාලකන්නියො ටිකක් තමා...
    කරන්න ඔනෑ පාසැල් වලට ලමයි ගන්න එක දැඩි නීතිමය රාමුවකට යටත් කරන එක... තමුන්ගේ ගමේ ඉස්කෝලෙන් එහාට 5 ශිෂ්‍යත්වයෙන් ඇරෙන්න කොයිම විදිහකින්වත් ලමයින්ව දාගන්න බෑ කියල තේරෙනවනම් ගමේ ඉස්කෝලෙ පහසුකම් වෙනුවෙන් මුන් අරගල කරයි...

    ReplyDelete
  4. අකිල විරාජ්ට අධ්‍යාපන ඇමතිකම ලැබුනේ විපක්ෂයේ ඉන්න කොට "පාර්ලිමේන්තුවේ අධ්‍යාපන කාරක සභාවේ" නියෝජිතයෙක් ලෙස හිටපු නිසා වෙන්න ඕන.මහා බැංකුවේ අධිපතිකමට "අර්ජුන් මහේන්ද්‍රන්" හැර වෙනත් සුදුස්සෝ ඉන්නවා වගේ අධ්‍යාපන ඇමතිකමටත් ඒවැනි සුදුස්සෝ ඕන තරම් ඇති.

    අකිලගේ "ලගම පාසල හොඳම පාසල"කියන සංකල්පය හොඳ එකක් වුනත් එක ක්‍රියාත්මක කිරීමේ ගැටළු තියෙනවා වගේ.ඒ වගේම මේ ගැටලුවට පළත් සභාවේ අධ්‍යාපන ඇමතිත් කිසිවක් කල බවක් පේන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ළඟම පාසල හොඳම පාසල කරන්න නම් ජනප්‍රිය නැති පාසල්වලට හොඳ පහසුකම්, ගුරුවරු දෙන්න ඕනැ. සංකල්ප කන්නයැ. ඕනැ කරන්නෙ වැඩ.

      Delete
    2. A good analysis by Perakum. In this issue the main problem lies in neglected education system over 2-3 decades. Not enough good schools in country. Parents try everything to get their child to better school in the region. This minister Palitha try to solve this issue in his way.

      'Hondama pasaa langama pasala' is one of initiative that needs attention to overcome this problem. It takes time and full attention to be successful. This is not difficult as getting foreign investors to bring in FDI and setup industries in Sri Lanka. What it requires is government attention and getting school facilities improved, getting good teacher training institutions get teacher trained, and give incentives to teachers to work remote schools. This is not rocket science but a basic project management issue.

      If Grero single handedly can run a successful private schools system I don't think this is a difficult task for a government. What it needs is some good managers make 'Hondama pasaa langama pasala' succeeds. Hope government put efforts make this concept implemented.

      Delete
  5. ලංකාවේ සමාජ ස්ථර රාශියක් ජීවත් වෙනවා. ඒ පිළිබඳ දැණුමත් නැති, දැණුමක් තිබුනත් ඒක පිලිගන්න කැමති නැති මිනිස්සු මොනවා කිව්වත්. සරදියෙල් වගේම, මර්වින් සිල්වා, තෙවරප්පෙරුම විතරක් නෙමෙයි මේ රටේ ළොකුම හොරා උන මහින්ද රාජපක්ෂත් වීරයෝ කර ගත්ත පිරිස් ඉන්නවා. ජනතාව ඒ මිනිස්සුන්ට ආදරෙයි. ඒවා කාටවත් නවත්තන්න බෑ. අනික කවුරු මොන බයිලා ගැහුවත් තෙවරප්පෙරුම කරපු දේ වැරදියි කියනවා නම් ඒ යකා මිනිස් අයිතිවාසිකම් පයිසෙකට මායිම් නොකරන තිරිසනෙක් වෙන්න ඕන.

    දැන් තියෙන ප්‍රශ්ණය ඒක නෙමෙයි තෙවරප්පෙරුමගෙන පලි ගන්න පාසලක් අහිමි උන දරුවන්ට තම අම්මලාවත් අහිමි කිරීම. ඒ විනිසුරා එක්කෝ පිස්සෙක් නැත්නම් ඒත් පිස්සෙක්. මිනිස්සු අධිකරණයකින් බලාපොරොත්තු වෙන්නේ මේවද? අනික මේ රටේ අජාඅපන අමති කෙනෙක් නැද්ද? එක නොයොගයයි නේ දෙන්න ඕන.

    මම දැක්කා අකිල කියලා තියෙනවා ආදි ශිෂ්‍ය සංගම් දරුවන් පාසලට ඇතුලත් කිරීමේ කටයුත්තෙන් ඉවත් කරනවා කියලා. මාත් යාව ජීව සමාජිකයෙක් උනත්, ඒකට නම් සම්පූර්ණයෙන් එකඟයි. ඒක එකම මාෆියාවක්. කොයිතරම් හොඳ විදුහල්පති කෙනෙක් ආවත්. ඒ මිනිහා පැය 24ක් යන්න කලින් විනාශ කරනවා.


    ReplyDelete
    Replies
    1. ඔය ඕල්ඩ් බෝයි මාෆියාව නම් තියෙන්නෙ ලංකාවෙ විතරමයි මයෙ හිතෙ

      Delete
    2. ඇයි ‘ඕල්ඩ් බොයිස්‘ කියන්නේ ‘පාස්ට් පියුපිල්ස්‘ නොකිය.

      Delete
  6. හැබැයි ඉතින් ඒ ගියාට පසුවත් ලෝකෙන් උතුම් රට නම් ලංකාව ම තමා ය.++++++++

    ඒ අතරවාරයේ දෙමළා හා මුසල්මානයාගේ විනාශය පතමින් බුදුන් සරණ යති.++++++++

    Exactly right.

    ReplyDelete
    Replies
    1. Austraila is the best for me! Aussi Aussi Aussi oi oi oi......

      Delete
  7. අනුරාධපුර පැත්තේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු කලකට පෙර ගුරුවරියක දන ගැස්සුවේය.එයට හේතුව වුයේ දේශපාලකයාගේ දුවගේ ගවුම කොට වැඩි නිසා වාටිය ලියන්නට කී නිසාය.මීගහතැන්නේ විදුහල්පතිගේ බෙල්ල පාලිත මිරිකුවේ නීති විරෝධී ලෙස දරුවන් ගන්නට බෑ නිසාය.
    පාලිත කලින් ආණ්ඩුව යටතේ වරක් රිමාන්ඩ් කළේය. ඒ ගොරියකට ගොස්ය. මේ ආණ්ඩුව යටතේ දෙවන වරටත් දැන් රිමාන්ඩ් එකෙය.
    රනිල් පාලිතට නියෝජ්‍ය ඇමති කමක් දුන්නේ ඔහු මහින්දට එකතුවනු ඇතැයි තිබෙන බිය නිසා විය යුතුය.ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකු පාලිතගේ ක්‍රියාව හෙලා නොදැක්කේ ඔහු එන තුරු ඔවුන් බලා සිටින නිසා විය යුතුය.

    ReplyDelete
  8. /ගම්වල පාසල් පවත්වාගෙන යනවාට වඩා නගරයේ පාසල් කරා යාමට ගම්වල ළමයින්ට නොමිළේ ප්‍රවාහන පහසුකම් සැපයීම ආණ්ඩුවට ලාභදායක ය. පාසලක් පවත්වාගෙන යාමට ගොඩනැගිලි, පිට්ටනි ආදිය අවශ්‍ය ය. ඇමතිලා, අධ්‍යක්ෂකලාට, විදුහල්පතිලාට, ගුරුවරුන් ආදී හැටහුටහමාරකට පඩි ගෙවිය යුතු ය. මං කියන වැඩේ කරනවා නම් නඩත්තු කළ යුත්තේ බස් රථයක් පමණි. පඩි ගෙවිය යුත්තේ රියදුරුට, කොන්දොස්තරට හා මැකෑනික්ට ය. / පැරා මේක නියමායි, ප්‍රමෝට් කරමු.

    ඒ පාසල් බස් එකේ කොන්දොස්තර වැඩේ දෙන්න ඕන මහජන අධ්‍යාපනේ /සෞඛ්‍ය වගේ දේවල් පුහුණු කරපු කෙනෙකුට ඒ බස් එකේ එන ළමයි යහපත් අය කරන වගකීමත් බාර දීලා, මගේ පුතා ගේ මොන්ටිසෝරි වැන් එකේ ඔයි ජොබ් එක කළ ටීචර් කෙනෙක් හිටියා.

    ReplyDelete
    Replies
    1. නගරේ පාසල් ගමටම ගෙනියන්න පුළුවන්නම් වඩා හොඳවෙයි, නඟරේ ප්‍ර‍ශ්න ගණනාවක් විසඳෙන අතරේ ඉස්කොලේ අවට පුංචි වාණිජ මධ්‍යස්තානෙකුත් හැදෙයි, විසඳෙන්න පුළුවන් යයි උපකල්පනය කළ හැකි එක් කරුණක් වෙන්නේ ළමයි ඉස්කොලේ දාන්න / ගන්න / ගෙදර බස්සන්න නිළරියෙන්ම යන විධායක නිළධාරින්ව කාර්යාලයේ වැඩිපුර රැදී සිටීමට ඉස්පාසුවක් ලැබීම.

      Delete
    2. Eka thama karanna onni. Nagaraye pasal wala 5 n pahala panthi nathi karanna onni

      Delete
    3. Eka thama karanna onni. Nagaraye pasal wala 5 n pahala panthi nathi karanna onni

      Delete
  9. අද කාලෙ අධ්‍යාපනේත් නිකං වට්ටෝරු වෙදකම වගෙයි.....

    ReplyDelete
    Replies
    1. ටීචර්ලා තමයි ඕවා දන්නේ...

      Delete
  10. පාසල්වලින් විදුලි පංකා ඉවත් කල යුතුය.

    ReplyDelete
  11. අද කාලේ බහුතරයක් ගුරුවරුත් වට්ටෝරු වෙද්දු තමයි හොදයි නැද්ද?

    ReplyDelete
  12. මොන තරම් ලොකුයි කියා ගන්න විශ්ලේෂණ , විචාර දැම්මත් ඉපදෙන්න ඉන්න සහ වයස අවුරුදු 6 දක්වා දරුවෙක් සිටින ඕනම දෙමවුපියෙක් ගේ හිතේ වදදෙන්නේ තමාගේ දරුවට හොඳ පාසලක් ලබා දෙන්න මහන්සි වෙන්නයි.. එහෙම නොවන දෙමවු පියෙක් නම් ඒ අලස කම... හෝ පවු කාරකම ...හෝ එ සෙත් නැත්නම් පෙර පින නිසා ළඟ හොඳ පාසලක් ළඟ පරම්පරාවෙන් ආපු ගෙයක් හිමි කෙනෙක්...හෝ එහෙම ගෙයක් සින්නකරේට ගන්න සල්ලි තියෙන කෙනෙක්...හෝ තමන් OG /OB ඉන්නවා නම් ( එත් තවත් මහන්සි වෙන්න ඕන පාසලට මොනවා හරි උදවු කරලා )

    ඉහත කියන මොනම විදියකින් හරි හොඳ පාසලකට තමනුත් ගිහින් , තමන්ගේ ළමයිනුත් දා ගත්තට පස්සේ බොහොමයක් දෙනාට ලොකු ලොකු අවවාද දෙන්න හැකියාවක් පහල වෙනවා ......අනේ අනිච්චන් ...

    ReplyDelete
    Replies
    1. ඔබට නො තේරෙන කරුණ වන්නේ අප මේ කතා කරන්නේ වෙන වෙනම පුද්ගලයන් ගැන නො වන වගයි. අප කතා කරන්නේ පොදු ප්‍ර‍ශ්නයකට විසඳුම බව තේරුම් ගන්නට ඔබට නො හැකි වීම අවාසනාවක්. ඔබගේ තර්කය අනුව පෙනෙන්නේ ඔබට අවශ්‍ය මෙම ක්‍ර‍මය මෙපරිද්දෙන් ම දිගටම පවත්වාගෙන යන්නට බවයි.

      මතක තබා ගන්න, මේ මොන දේ කළත්, රටේ විශාල පිරිසකට තමන් අපේක්ෂා කරන විදියේ පාසලකට දරුවන් ඇතුළත් කර ගන්නට බැරි බව.

      ඒකට විසඳුම මේ ජනප්‍රිය පාසල් තරගය නැති කිරීම හා සියලු ප්‍රාථමික දරුවන්ට තමන්ගේ නිවස අසල හොඳ පාසලක් ලබා දීමයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා