ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-26

පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, දූෂණ විරෝධී පෙරමුණ ආදී විවිධ නම්වලින් ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ දේශපාලනය 2015 ජනවාරි 8 විපර්යාසය වෙනුවෙන් මෙන් ම අද දවසේ ද ලංකාවේ දේශපාලනය කෙරෙහි සාධනීය බලපෑමක් කරමින් සිටින බවට විවාදයක් නැත.

එම දේශපාලනය විසින් අරමුණු කරනු ලබන්නේ පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවදි වන ආකාරයෙන් පොදු මහජන කටයුතු පිළිබඳ සංවාදය ශක්තිමත් කිරීමයි. දේශපාලන පක්ෂ හා දේශපාලන කාඩර්වරුන් ගොඩනැගීමේ අදහසක් හෝ ජනතාව අතර ජනප්‍රිය පදනම් ගොඩනගා ගැනීමේ උවමනාවක් එම ව්‍යාපාරවලට ඇති බවක් නො පෙනේ.

පුරවැසි දේශපාලනය ලෙස අප හඳුන්වන මෙම සිවිල් සමාජ දේශපාලනයේ සාධනීය මෙන් ම නිෂේධනීය සීමාවන් ද සලකුණු වන්නේ එතැන ය.

ලංකාවේ පක්ෂ දේශපාලනය මේ වන විට අන්තයට ම පිරිහී තිබේ. ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලන පක්ෂ ගොනුවීම් වන එජාප, ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍ර‍සය, ජනතා විමුක්ති පෙරමුණ වැනි සියලු පක්ෂ මේ වන විට එක් නිශ්චිත ස්වරූපයක් අත් කරගෙන තිබේ. ඒවා දේශපාලනයේ යෙදෙන්නේ මැතිවරණවලදී සිය බලය ගොඩනගා ගැනීම එකම අරමුණ කරගෙන ය. ඔවුන් ජනතාව වෙත සමීප වීම, සංවාද ගොඩනැගීම,ජනතාව අතර සංවිධාන කටයුතුවල නියැලීම හා බලමුළුගැන්වීම සිදු වන්නේ එකී අරමුණ වෙනුවෙන් පමණි. මෙම පක්ෂ කිසිවකට මනා ලෙස නඩත්තු කරනු ලබන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයක් නැත. තිබෙන යාන්ත්‍ර‍ණයන් ද බිම් මට්ටම දක්වා විහිදීමක් සිදු වන්නේ නැත. යහපත් දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමේ උවමනාවක් කිසිවෙකු තුළ නැත.

ජනසන්නිවේදනයේ දියුණුවත් සමග දේශපාලන පක්ෂ ද වැඩි වැඩියෙන් ජනමාධ්‍ය වෙත ඇදී ගියේ ය. අද වන විට ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවල මූලික ම කාර්යය වී තිබෙන්නේ මාධ්‍ය සමග අන්තර්ක්‍රියාකාරිත්වයයි. සරළව කිවහොත්, දේශපාලනය වී තිබෙන්නේ මාධ්‍යවලට ප්‍ර‍කාශ නිකුත් කිරීම, සංවාද, විවාද ආදියයි. මෙම සංදර්භය තුළ මාධ්‍යවල බලය අධික ලෙස වර්ධනය වී තිබේ. රටේ දේශපාලනය තීරණය වන්නේ මාධ්‍යවල අවශ්‍යතාව අනුව ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. එක්තරා පුවත්පත් ආයතනයක් චම්පික රණවක පිළිබඳ වාර්තා නො කරන ප්‍ර‍තිපත්තියක් අනුගමනය කරයි. එම පුවත්පත් චම්පික රණවකගේ මෝටර් රථය හා සම්බන්ධ සිද්ධිය වාර්තා කරද්දී ඔහුගේ පාර්ශ්වයේ පැහැදිලි කිරීම් හිතාමතා ම මගහරිමින් ඔහුට විරුද්ධව අදහස් පළ කරන අයට සෑහෙන ප්‍ර‍සිද්ධියක් ලබා දුන්නේ ය.

මාධ්‍යවලට ලැබී තිබෙන මෙම අසීමිත බලය හමුවේ මාධ්‍ය විසින් දේශපාලකයන් නටවන ආකාරය දකින විට සිහි වන්නේ වලිගය විසින් බල්ලා නැටවීම ගැන ප්‍ර‍කට උපහැරණයයි. දේශපාලකයන් ජනතාව පසුපස යන්නේ අවුරුදු පහකට පමණ වරක් එළඹෙන මැතිවරණවලදී පමණි. 2015 අගෝස්තු මාසයේදී පැවැති මහ මැතිවරණය සමයේ මනාප හිඟමින් ජනතාව වෙත පැමිණි දේශපාලකයෝ දැන් කොහි ද?

මාධ්‍ය මත යැපීමේ ව්‍යාධිය පුරවැසි දේශපාලනය තුළ ද ඔඩු දුවා තිබේ. සිවිල් සමාජ නායකයන් දකින්නට ද හැක්කේ ජනමාධ්‍ය ඔස්සේ පමණි. ක්‍රියාකාරකම් ද බොහෝ දුරට අගනුවරට සීමා වී තිබේ. දේශපාලකයන්ට නම් අඩු තරමේ බලය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව හෝ තිබේ. එහෙත්, සිවිල් සමාජ නායකයන් මාධ්‍ය ආවරණය වැනි සරළ දේවලින් තෘප්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට දේශපාලනික බිම් මට්ටමක් නැත. ඇත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වන දේශපාලන ඉහළ තලයක් හා බිම් මට්ටම දක්වා විහිදුණු රජයකි. රාජ්‍ය යාන්ත්‍ර‍ණය ඉතා ශක්තිමත් එකකි. එය ගමේ ග්‍ර‍ාමසේවා නිලධාරියා දක්වා ද, ආරක්ෂක කමිටු, ගොවි සංවිධාන ආදී ප්‍ර‍ජා සංවිධාන හරහා ඉන් පහළට ද විහිදේ. බිම් මට්ටමේදී රජයේ කටයුතු සුපුරුදු ඕලාරික ස්වභාවයෙන් සිදු වෙයි. රාජ්‍ය අංශය ඉතා අකාර්යක්ෂම ය. මහජන ප්‍ර‍ශ්නවලට විසඳුම් ලබා ගැනීම අතිශය දුෂ්කර තත්වයක පවතී. රජයේ සේවකයන්ට ලබා දුන් දැවැන්ත වැටුප් වැඩි කිරීමත් සමග රජය දැඩි ආර්ථික පීඩනයකට ද මුහුණ දී සිටියි. එහෙත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍ර‍යකින් හෝ ඉහළ ගොස් ඇති බවට සාධක දැකිය නො හැකි ය.

දේශපාලනය බිම් මට්ටම දක්වා ගෙන යාම යනු දේශපාලන නායකයන් බිම් මට්ටම දක්වා හැම දෙයකට ම ඇඟිලි ගැසීම නො වේ. එහෙත්, බිම් මට්ටමේ දේශපාලනය ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම බලපායි. විශේෂයෙන් ම රාජ්‍ය අංශය කෙරෙහි එහි ඇති බලපෑම අති මහත් ය. දැවැන්ත රාජ්‍ය අංශයක් හා දුර්වල ආර්ථිකයක් ඇති ලංකාවේ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා බිම් මට්ටමේ බලමුළුගැන්වීම් ඉතා වැදගත් වේ.

එහෙත්, අද වන විට ප්‍ර‍ධාන, අප්‍ර‍ධාන දේශපාලන පක්ෂ සියල්ල බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම් අතහැර දමා තිබේ. පුරවැසි ව්‍යාපාර සම්බන්ධයෙන් ද තත්වය එයයි. සරළව කිවහොත්, දේශපාලනිකව සවිඥානක ජනතාවට වුව බිම් මට්ටමේදී යමක් කරන්නට තිබෙන අවස්ථාව ඉතා සීමිත ය. හේතුව, ඒ වෙනුවෙන් වගකීම් භාර ගන්නා නායකත්වයක් නැතිකමයි.

රජය කෙතරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ සිදු කළත්, බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම්වලින් තොරව ඒවායේ ප්‍ර‍තිඵල අත් කර ගත නො හැකි ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටු දැකීමේ පනත ලංකාවේ බලාත්මක කර දැන් වසර 10කට වැඩි ය. එහෙත්, ලංකාවේ දැනට සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව පවා ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වී රෝහල් ගත වෙයි. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි නීති ඇති බව ලංකාවේ පවුල් වෙත සන්නිවේදනය වී තිබේ ද? ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීමේ මහජන ප්‍ර‍යත්නයක් පවුල් මට්ටමෙන් තිබේ ද? නැත. හේතුව එකී කාරණය සම්බන්ධයෙන් ද මහජන බලමුළුගැන්වීමක් නැති වීමයි.

තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත වැනි අතිශය ඉදිරිගාමී පනත් සම්මත කර ගත්තත්, ඒවායින් පල නෙළා ගත හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් මාධ්‍යවලට සීමා වී පවතින අතර මහජනතාව අතර බිම් මට්ටමේ සක්‍රිය වී තිබෙන්නේ කුමන බලවේග ද? මෙම ලැයිස්තුවට ඔබගේ අත්දැකීම් මත තවත් බොහෝ දේ එකතු කර ගත හැකි වනු ඇත.


  • සෙසු ආගම් හා ජාතීන් කෙරෙහි වෛරය ප්‍ර‍වර්ධනය කරන නොගැඹුරු ආගමික දර්ශන හා ක්‍රියාකාරකම්
  • ජ්‍යෝතිෂය හා කට්ටඩිකම්
  • ටියුෂන් අධ්‍යාපනය
  • ලෙඩුන් ගසා කන සුදුසුකම් ලත් හා නොලත් වෙද්දු
  • ගිනි පොළීකාරයෝ
  • ක්ෂණික සල්ලි ගැන සිහින විකුණන පිරමිඩ් ජාවාරම්කාරයෝ


මහජන තලයේ ඇති දුෂ්ට, ප්‍ර‍තිගාමී බලවේගවලට එරෙහිව සටන් වදින්නට ජනතාව බලමුළුගන්වන දේශපාලනයක දැඩි අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටු දැකීමේ පනත ලංකාවේ බලාත්මක කර දැන් වසර 10කට වැඩි ය. එහෙත්, ලංකාවේ දැනට සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව පවා ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වී රෝහල් ගත වෙයි.//

    ඒකට ලන්කාවෙ එකම වෘත්තීමය බ්ලොග්කරු... ගෑනි එනකොට ඇඳයට.... කලිසමේ බොක...

    අන්න සන්නිවේදන ප්‍රගතියේ අනිත් කොන....

    ReplyDelete
    Replies
    1. මෙයා ඔය කියන ලිපිය මේකනේ සමථකරණය හා ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සුසන්තිකා ජයසිංහ සහ තවත් අය ඇසුරෙන්

      ඒ ගැන පළ කරන අදහසෙන් මෙයා ගැන හිතාගන්න පුළුවන් නේ. පව් ඉතින්, ඇනෝ තියෙන හින්ද හොඳයි. නැතිනං ඉතින් මේව කියලා ආපහු දේශපාලනේ කතා කරන්නයැ.

      Delete
  2. පැරා පරණ සිංදුව ආයේ පටන් අරගෙන වගේ. ගිය සැරේ කතා කලෙත් 'එන්න අපි සිවිල් සමාජය ශක්තිමත් කරමු, විධායකය නැති කරමු, ජනතාවට වැඩි බලයක් ලබාදෙමු' කියලා. ජනතා බලවේගයක් ගොඩ නැගෙනකොට පැරාලා ඇතුලු ඔය ඊනියා සමාජ ක්‍රියාකාරිකයින් ඒක හෙමින් සැරේ එ.ජා.පේ බලයට ගේන වි‍යාපෘතියකට හැරෙව්වා. දැන් කියනවා 'අපි රනිල්ට අවස්ථාවක් දුන්නලු'. ඊලඟ සැරේත් පැරාල ඔය විදිහටම මිනිස්සුන්ව අන්ඳලා රනිල්, වෙනුවට තවත් කාට හරි කඩේ යයි. ඊට පස්සේ මිනිස්සුන්ට බනියි දේශපාලකයෝ තරමට මිනිස්සුත් දූෂිතයි කියලා.

    පැරාගේ ඔය උඩ තියෙන දූෂිත ලිස්ට් එකට දාගන්න,
    'සිවිල් සමාජය බල ගැන්වීම' කියලත්. ඒකත් ඔය අනිත් ඒවා වගේම සිහින විකුණන එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. 'එන්න අපි සිවිල් සමාජය ශක්තිමත් කරමු, විධායකය නැති කරමු, ජනතාවට වැඩි බලයක් ලබාදෙමු' කියන ඒවා ඔබගේ හිතලු මිසක් මම කවදාවත් කියා ඇති දේ නො වේ.

      අනෙක මට නම් ඔය විධායක ජනාධිපතිකම අහෝසි කර දැමීම කියන එකත් ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. මම ලියලා තියෙන ඒවා පරීක්ෂා කරලා බලන්න. මම ඔය තැන්වල ඉඳලා නැහැ.

      මම වැඩ කරන්නේ සමාජවාදී අරමුණක් සහිතව. ඒ වෙනුවෙන් මං ඒකාධිපතිවාදය පරදවන්නත්, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් කරන්නත් වැඩ කරලා තිබෙනවා.

      එජාපය බලයට ගෙන ඒමට වැඩ කරන්නට වුණේ මේ මොහොතේ ලංකාවේ තිබෙන ඉදිරිගාමී වැඩපිළිවෙලක් තිබුණේ ඔවුන් අත පමණක් නිසායි. ඔය වාමාංශිකයන් ය කියන අයට රටට නායකත්වය දෙන්න පිළිගැනීමක්, බලයක් හෝ දැක්මක් නැහැ. එහෙම එකක් බිහි වෙනකල් මහින්දලා වගේ පසුගාමීන් බලයේ තියාගෙන රට කුණු වෙන්න දුන්නා ය කියලා වැඩකුත් නැහැ. උන් හිටියා ය කියලා එහෙම සමාජ ව්‍යාපාර බිහි වෙන්නේත් නැහැ.

      අපි තෝරා ගත්තේ අපට ඉන්න නායකයන් අතරින් අපේ අරමුණ වෙනුවෙන් යොදා ගත හැකි හොඳම බලවේගය. මං අහන්නේ වෙන කවුරුද ඉන්නේ? ඉන්නවා නම් කියන්න.

      එහෙම එකක් ගොඩනගන්න ඕනෑ ය කියන අදහසේ මමත් ඉන්නවා. ඒකට තමයි, නිර්දය ලෙස විවේචනය කරමින්, අගය කළ යුතු දේ අගය කරමින් මේ මැදිහත් වන්නේ.

      එක එක පාට හීන විකුණන්නෝ ඉන්නවා. ඒ අතරින් රතුපාට හීන විකුණන්නන් වඩා හොඳයි කියලා එකක් නැහැ.

      අපට බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඔයාලා වඩා ප්‍ර‍බුද්ධ අය නම්, නිකම් බ්ලොග්කාරයන් වන අපට ඔබ වෙනුවෙන් වැඩ කළ හැකි විදියට යමක් කරලා පෙන්නන්න.

      මං අහන්නේ කෝ වැඩ? කෝ වැඩකාරයෝ?

      Delete
    2. /*එජාපය බලයට ගෙන ඒමට වැඩ කරන්නට වුණේ මේ මොහොතේ ලංකාවේ තිබෙන ඉදිරිගාමී වැඩපිළිවෙලක් තිබුණේ ඔවුන් අත පමණක් නිසායි. */

      මේක තමයි බොරුව. එ.ජා.පයට කිසි වැඩ පිළිවෙලක් තිබ්බේ නෑ. දැනටත් නෑ. කට්ටියට ඕනේ උනේ කොහොම හරි මහින්දව එලවන්න.

      සමාජ ව්‍යාපර බිහිවෙන්න ඕනේ සමාජයට අවශ්‍යවෙලාවට, සමාජයට අවශ්‍ය විදිහට මිසක්, දේශපාලන පක්ෂවලට ඕනෙ විදිහට නෙවෙයි. ලංකාවේ පටන් ගන්න හැම සමාජ ව්‍යාපාරයක්ම මොකක් හරි දේශපාලන පක්ෂයක් විසින් නින්දිත විදිහට මංකොල්ල කනවා. කම්කරු සටනක් උනත්, ශිෂ්‍ය සටනක් උනත් අන්තිමට ඉවර වෙන්නේ ඒ විදිහට. දැන් තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යල විරොධී සටන, සුළු වෙලඳුන්ගේ වැට් විරෝධී සටන ආදියට ජනතාවගෙන පටන් ගන්න සටන්. දැනටම ඒවට කෙල හලන දේශපාලන පක්ෂ ඉන්නවා. මහ ලොකු සමාජ/දේශපාලන ක්‍රියාකරිකයෝ මැද ඉඳලා, 'අපිට නායකයෝ නෑ, ඉන්න කාගෙන් හරි වැඩේ කර ගන්න වෙනවා' වර්ගයේ ලොජික් දාලා, ඩීල් එක දාලා දෙන්න ට්‍රයි කරනවා.

      පැරාලා බලෙන් කෙහෙල් ඉදවන්න යන්නේ නැතුව ඉන්නවනම් 'වැඩකාරයෝ' ඒවා තුලින් බිහි වෙයි.

      Delete
    3. ඔය බලෙන් කෙහෙල් ඉදවනවා ය කියන එකට ඉස්සර මම ජවිපෙ සිට හිරු කණ්ඩායම හරහා පෙසප දක්වා ම විවිධ ආකාරවලින් එකට වැඩ කළා ය කියන එකත් මතක් කළ යුතුයි.

      “සමාජ ව්‍යාපර බිහිවෙන්න ඕනේ සමාජයට අවශ්‍යවෙලාවට, සමාජයට අවශ්‍ය විදිහට මිසක්, දේශපාලන පක්ෂවලට ඕනෙ විදිහට නෙවෙයි" කියන තර්කනය ඇතුළට 2015 ජනවාරි 8 ව්‍යාපාරයත් අයත් වෙනවා.

      සමාජ ව්‍යාපාර කවුරුහරි මංකොල්ල කන්නේ සමාජ නායකත්වයක් නැතිකම නිසායි. නායකත්වයක් තිබෙනවා නම්, ජනතාව අතර සංවාදය ශක්තිමත් කරලා, සමාජ ව්‍යාපාර සමාජ අරමුණු තුළ ම තබා ගන්න පුළුවන්.

      එජාප වගේ පක්ෂ තියෙන්නේ ඒකට නෙමෙයි. ඒ වුණාට ලංකාවේ ඉන්න වාමාංශිකයන් කියන්නේ යූඇන්පීකාරයන්ටත් වඩා තක්කඩි. එහෙම නැතිනම්, නැත්තේ කවුරුද කියන එක කියන්න.

      එජාපයට වැඩපිළිවෙලක් තිබුණත් නැතත්, ඔවුන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ කර තිබෙනවා. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් යමක් කරන්න සූදානමක් හෝ තිබෙන්නේ ඔවුන්ට විතරයි. ලංකාවේ දේශපාලන ප්‍ර‍ජාවන් ජාතිකවාදයේ සීමාවන්ගෙන් මුදවා පුළුල් දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීමට ඉවහල් වන ජාත්‍යන්තර ප්‍ර‍තිපත්ති යෝජනා තිබෙන්නේ ඔවුන්ටයි.

      දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් එදා මෙදා ඉතිහාසයේ නීතිමය ප්‍ර‍තිසංස්කරණයක් ගෙනාවේ එජාපය. ජවිපෙ/පෙසප කට්ටියත්, පැරණි වමේ පක්ෂත් මේ රටේ ආණ්ඩුවල ඉඳපු කාලවල් තිබුණා.

      සරළ උදාහරණයක් කියන්නම්. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමෙන් වෙන් වෙනවාද යන්න තීරණය කරන්නට පවත්වපු ජනමතවිචාරණය ගැන එජාපට මතයක්, කැම්පේන් එකක් තිබුණා. ඔය එක වාමාංශික පක්ෂයකටවත් ඒ ගැන මතයක් තිබුණ නම් කියන්න.

      ඔය වගේ පසිඳුරන් අකර්මන්‍ය වෙච්ච ව්‍යාපාරවලින් කරන්න පුළුවන් සමාජ වෙනසක් නැහැ. සමාජ වෙනස්කම් කරන්න ඕවා අවහ්‍ය නැහැ.

      ඔය වාමාංශික පක්ෂ එකකවත් දේශපාලන මණ්ඩලේක ගැහැනියක් නැහැ. සමලිංගිකයකුට කවදාවත් ඕවායේ නායකත්වයට එන්න බැහැ.

      යම් දෙයක වටිනාකම් පෙනෙන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් මිසක් අදහස්වලින් නෙමෙයි. වමට අදහස්වත් නැහැ.

      Delete
    4. පැරා උත්තර දෙන්නේ මම වාමාංශිකයෙක් කියලා හිතාගෙන. මා වාමාංශික දේශාපාලනයේ රසිකයෙක් නෙවෙයි. ඒක නිසා ඒ සම්බන්ධයෙන් මට ඔබ සමග විවාදයක් නැත.

      ඔබ කියන්වා ../*සමාජ ව්‍යාපාර කවුරුහරි මංකොල්ල කන්නේ සමාජ නායකත්වයක් නැතිකම නිසායි. නායකත්වයක් තිබෙනවා නම්, ජනතාව අතර සංවාදය ශක්තිමත් කරලා, සමාජ ව්‍යාපාර සමාජ අරමුණු තුළ ම තබා ගන්න පුළුවන්. */
      දැන් ඒක එහෙම වෙනවද ?- ජනවාරි 8 ව්‍යාපාරය පටන්ගත්තේ මොන අරමුණුවලින්ද කියලා පැරාට මතකද ?. ඒ අරමුණු වලින් කීයක් අද වෙනකොට සාක්ෂාත්කරගෙන තියෙනවද ? දැන් පැරාලට මොකද තියෙන විභවය පවතින ආණ්ඩුවත් එක්ක කෙවල් කරලා කිසියම් දෙයක් ලබාගන්න ?.

      කිසිම සමාජ ව්‍යාපාරක් අපිට දේශපාලන පක්ෂවලින් ස්වාධීනව ගෙනියන්න පුලුවන් වෙලා තියෙනවද?. ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය, කාන්තා අයිතිවාසිකම් පිලිබඳ සංවිධාන, මේ හැම එකක්ම දේශපාලන පක්ෂවල ගොදුරු නෙවෙයි ද?. වෙන එකක් තියා සමලිංගික අයිතීන් පිලිබඳ සටන පවා දේශපාලන පක්ෂයක බළල් අතක් නෙවෙයි ද ?.

      'ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්' වගේ සංවිධාන පවා දේශපාලන පක්ෂවල රූකඩ නෙවෙයි ද?
      මේවා දේශපාලනපක්ෂ වල ගොදුරු බවට පත්වීමෙන් වෙන්නේ, ඒවයේ ශක්තියත් කෙවල් කිරීමේ හැකියාවත් හීනවීම පමණයි. ඒ එක්කම ඒවා ගැන ජනතාවගේ විශ්වාසය නැතුව යනවා. ජනතවට ඇති විකල්ප මාර්ග ඔබලා විසින් වසා දමමින් සිටිනවා...

      Delete
    5. 100%ක් නැතත්, යම් යම් අරමුණු සාක්ෂාත් කරගෙන තියෙනවා. අපි නම් එහෙම 100%ක් බලාපොරොත්තු වෙන්න බැරි බව දැනගෙන තමයි කර ගැහුවේ.

      පුරවැසි බලවේගවලට කේවල් කරන්නට පුළුවන් ද බැරි ද කියන එක පෙන්නුම් කරන අවස්ථාවක් තමයි අර්ජුන් මහේන්ද්‍ර‍න් සිද්ධිය. මට නම් පෞද්ගලිකව කේවල් කරන්නට පුළුවන් මාධ්‍ය කැම්පේන් හරහා විතරයි. මං ඒක අතෑරලා නැහැ.

      දේශපාලන පක්ෂවල අතකොලුවක් බවට පත් නො වෙච්ච දේවල් තිබෙනවා. එකක් තමයි අපි කරන මේ කැම්පේන් එක. අනෙක එහෙම අතකොලු වෙන එක අපි ගැටලුවක් කර ගන්න ඕනැ නැහැ. වැදගත් වන්නේ අරමුණ වෙනුවෙන් බලවේග කළමනාකරණය කිරීමයි. අභිමතාර්ථ එකින් එක සාක්ෂාත් කර ගැනීමෙනුයි අරමුණ කරා යන්නට පුළුවන්.

      අරගල අනිවාර්යයෙන් ම ජය ගන්නේ නැහැ. ඕනැ තරම් පරදිනවා. ඒකට කරන්න දෙයක් නැහැ. වැදගත් වෙන්නේ තමන් අරගලය අතහැර දාන්නේ නැතිව ඉන්නවා ද කියන එකයි.

      ට්‍රාන්ස්පේරන්සි ඉන්ටරනැෂනල් වගේ සංවිධාන වැඩ කරන්නේ ව්‍යාපෘති මත. ඒක ඒ අයගේ රස්සාව. ව්‍යාපාරය. ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘත්තකභාවයේ සීමා ඇතුළේ කරන දෙයක් විතරයි. ඒවා දේශපාලන සංවිධාන නෙමෙයි.

      Delete
  3. මේ කියල තියෙන දේවල් ගැන කතාකරන්න තරම්වත් බුද්දිමත් මිනිස්සු ලංකාවෙ ඉන්නවද.කට්ටියක් පන්සල පස්සෙ කට්ටියක් පල්ලිය පස්සෙ,කට්ටියක් දේවාල පස්සෙ,ඉතිරි උන් වැඩි හරියක් යන්තර මන්තර කාරයො පස්සෙ,තමුන්ටයි කියල මතවාදයක් තියෙන මිනිස්සු කී දෙනාද ලංකාවෙ ඉන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා