සුන්දර ඉංගිරිසි: ටයි ටයි බොටයි මටයි මැච් එක ටයි

මැච් එක ටයි ටයි කරන්නට අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් ගැසූ Liam Plunkett
ඊයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වුණ එක් දින තරගය සම ලකුණු හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ නිසායි මේ සුන්දර ඉංගිරිසි සටහන ලියන්න හිතුණේ. මේක මම කාලයක් ජනරළ පත්තරේට කොලමක් ලෙස ලිව්වා. 

ලංකාවේ නූතන භාෂාවන්ට, සංස්කෘතියට වැඩියෙන් ම බලපාන බසක් තමයි ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව නිසා නිරතුරුව ම සිංහල, දෙමළ භාෂාවන්ට අලුත් වචන එකතු වෙනවා. 

ක්‍රිකට් තරගයක් සම ලකුණු නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණාම එය ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ Match tied කියා ය. 

එහෙත්, සිංහලෙන් මෙය තත්සමව යෙදෙන්නේ ටයි-ටයි කියා ය. ඒ වනාහි සම-සම යන අරුත දෙයි. මෙය ශාස්ත්‍රීය බසෙහි සමෝසම ලෙස ද යෙදේ. 

මෙසේ ඉංග්‍රීසියෙන් තත්සම වන වචන දෙකක් එකට යොදා නව විශේෂණ පදයක් සාදා ගැනීම ව්‍යවහාරික සිංහල භාෂාවේ අවස්ථා කීපයක ම දක්නට ලැබේ.

තිත් වැටුණු රෙද්දක් තිත්-තිත් හෙවත් ඩොට්-ඩොට් කියා ද, කොටු වැටුණු රෙද්දක් කොටු-කොටු හෝ චෙක්-චෙක් කියා ද කියනු ලැබේ. 

මෙසේ එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. පහත ඇත්තේ ජනප්‍රිය ගී දෙකකින් උපුටා ගත් උදාහරණ ය.

‘යමු යමු අයියේ - යමු යමු අයියේ
සිරි අයියා ළඟටා' 

‘එන්න එන්න මෙන්න අපේ සීනිබෝල හෝටලේ'

එහෙත් එය ක්‍රියා පදයක ධාතුව එක ළඟ දෙවරක් උච්චාරණය කරමින් සාදා ගන්නා මිශ්‍ර‍ ක්‍රියාවෙන් වෙනස් ය. උදාහරණයක් ලෙස ‘බේර බේර කඳුළු කැටී'  කියන විට එහි ඇත්තේ මිශ්‍ර‍ ක්‍රියාවකි. 

මෙසේ ක්‍රියා පදය දෙවරක් යෙදීම සිංහලෙන් ලාංකික ඉංග්‍රීසියට ද පිවිස තිබේ. 

Come! Come!
Sit! Sit!
Thank you! Thank you!
OK! OK! 
No! No!

ලාංකික ඉංගිරිසියේ ත්‍රිරෝද රථයට ටුක්-ටුක් (tuk-tuk) යන වදන යෙදේ. 

අපේ මාතෘකාවට යොදා තිබෙන ‘ටයි ටයි - බොටයි මටයි' යනු ළමයින්ගේ විහිළු කවි පදයකි. බෝල ගසද්දී මැච් එකක් ටයි ටයි වූ විට කොල්ලෝ මේ කවිය කියති. 

ටයි දාගෙන යන මිනිසුන්ට ද එසේ කියනු ලැබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය ටික මටත් හිතුන යහළුවෙක් එක්ක chat කරනකොට
    No කියල එකපාරක් කියල අතහරිනවට වඩා No No කියල දෙපාරක් දැම්මම ටිකක් කියන දේ මෘදු වෙනව වගේ හැගීමක් එනව. ටිකක් සැර බාල කරනව වගේ.

    No. Don't worry කියනවට වඩා

    No No. Don't worry

    කියන එක ටිකක් කාරුනික වගේ හැගීමක් එන නිසා වෙන්න ඇති ඒ විදියට පාවිච්චි වෙන්නෙ.

    ReplyDelete
  2. ටුක් ටුක් පටන් ගත්තේ ඉන්දියානු ඉංගිරිසියේ ය
    - සිතුමිණි රත්නමලල

    ReplyDelete
    Replies
    1. ටුක් ටුක් වලට ඉන්දියාවෙ සහ මඩකලපුවේ මිනිස්සු කියන්නෙ ආටා කියල. මං හිතන්නෙ ඔටෝරික්ෂෝ කියන වචනය කෙටි කරල හදා ගත්තු එකක්.

      Delete
  3. සුද්දොත් දන්නේ නැති ඉංගිරිසි අපේ අය ළඟ තියනවා.

    Today is Monday No?

    You are going home No?

    You can do it No

    දැන් මෙතැන නෝ කියන්නේ මොකක්ද? මේ යෙදුම ඉංග්‍රීසි භාෂා රීතියේ නැති දෙයක්. මේ කරන්නේ, සිංහලෙන් හිතා, ඉංග්‍රීසියෙන් කතා කිරීමයි. මේ යෙදුමෙන් අපේ අය අදහස් කරන්නේ;

    අද සඳුදා නේ?

    ඔයා ගෙදර යනවා නේ?

    ඔයාට ඒක කරන්න පුළුවන් නේ

    කියන එකයි.

    නමුත් මා ප්‍රායෝගිකවම දැක තිබෙනවා, අපේ අය මේ යෙදුම පාවිච්චි කල ගමන්, ඉංග්‍රීසි භාෂාව හොඳින් දන්නා විදේශිකයන්, අන්දුන් කුන්දුන් වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ පාවිච්චි කරන සුද්දො නොදන්න ඉංගිරිසි වචන ගොඩක් තියනවා.
      බැට්රි තියෙන්නෙ මොන රටේද? ලංකාවේ ලංකාවේ. බවුසර් තියෙන්නෙ මොන රටේද? ලංකාවේ ලංකාවේ.

      Delete
    2. I think this no wrong and there no thing to laufg also.

      Delete
  4. එතකොට ...
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා කියලා.. තුන් සැරයක් යෙදෙන කොට...
    ඒක කියන්නේ මෙහෙමයි
    සඳ හොරෙන් හොරෙන්
    ආයිත් සැරයක් හොරෙන් බලා
    වලා පෙලක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා
    ආයෙත් අසා සිටිනවා

    ReplyDelete
    Replies
    1. ආදරණීය නේරංජනා සිංදුව විචාරය කරන්න පුළුවන්ද?

      Delete
  5. මගේ යාලුවෙක් මැච් එක ඩ්රෝ වෙලා මලා

    ReplyDelete
    Replies
    1. මලා මලා දැන් තවත් යාලුවෝ ඉතුරු වෙලා ඉන්නවද?

      Delete
    2. යාළුවො ගොඩක් ඉන්නවනෙ. මගේ තව යාළුවෙක් ටයි එකක් දාන්න ගිහින් මළා.

      Delete
  6. Very goog English langwage lesan parakum sir. This is nomal English our cuntri. No wrong this. Thank lots Parakum sir.

    ReplyDelete
  7. අවුලක් නැහැ. සිරෙස් නුවන් ප්‍රදීප් ෙගන් ඔයිට වඩා ෙදයක් බලාෙපාෙරාත්තු ෙවන්න බැහැ.

    ReplyDelete
  8. පැරා ෙම්ක ෙම් විදිහටත් බලල ලියමුද 2005 - 2015 ෙකාච්චර රාජ්‍ය පාලනය දූෂීත කිව්වත් අපිට වාසනාව තිබුනා. දැං ඒ්කත් නැහැ. ර ෙෙට් පාලකයන් අැතුලතින් ෙකාච්චර දුෂිතද ඒ් රටට ලැබීමක් නැති බව ස්වාධීන විචාරයක් ෙවන ෙම් ක්‍රිකට් පැරුදුම් වලින්ම ෙප්නවාෙන්ද

    ReplyDelete
  9. නාම පදයක බහුවචනාර්ථය දීම සඳහා එම නාම පදය දෙවතාවක් කීම මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවල ලක්ෂණයකි. ඒ ලක්ෂණය තමා සිංහලයට පැමිණ ඇත්තේ.

    උදාහරණ: මල් මල් චීත්තය, කොටු කොටු සරම, තිත් තිත් කමිසය, බිංදු බිංදු වැස්ස, පාට පාට සරුංගලය

    ReplyDelete
  10. ඔය වාගේ වචන වලට මොකක් කියලද කියන්නේ Reduplication Wordsද?
    ජපන් භාෂාව තුළ ඔය ජාතියේ වචන බර තොගයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්, Reduplication.

      මෙතන තියනවා මැලේ භාෂාවේ ඒ පිළිබඳ පොඩි විස්තරයක්:

      Reduplication in Malay Language

      .

      Delete
  11. tuk-tuk" came from Thailand.

    ReplyDelete
  12. ලාංකීය ඉංගිරිසියක් ව්‍යුත්පන්න කර ගැනීමේ සාධනීය ශාස්ත්‍රීය කර්තව්‍යයක ව්‍යාවෘත භාෂා පර්යේෂකයෙකු සේ ම ඉංගිරිසි-සිංහල ද්විභාෂා විශාරදයෙකු ද වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් ටයි-ටයි වදන් යුගලය අලළා අවධානයට යොමු විය යුතු වියුණුසටහනක් පළ කරනු ලැබ ඇත.

    ටයි-ටයි යන්නට අනුරූප ව ඩොට්-ඩොට් යන්න ද චෙක් චෙක් යන්න ද පවතින බව ඔවුහු පවසති. ක්‍රිකට් ක්‍රීඩාවේ දෙපිලෙහි ම ලකුණු සම ව තරඟයක් නිම වීම හැදින්වීමට ඉංගිරිසියේ යෙදෙන tied යන්න ව්‍යවහාරික කථන භාෂණයේ දී පැවසෙන විධි කීපයකි. සිංහල පද අතර මැද ඉංගිරිසි පද යෙදීමට එතරම් කැමැත්තක් නැති අය “තරඟය ලකුණු සම වෙලා අවසන් වුණා” යැයි හෝ “තරඟයේ ලකුණු සම-සම වුණා” යැයි හෝ පවසති. බහුතරයක් වූ මිශ්‍ර බසක් අනුයන අය “මැච් එක ටයි වුණා” යැයි හෝ “ස්කෝර්ස් ටයි වුණා” යැයි හෝ “ස්කෝර්ස් ලෙවල් වුණා” යැයි හෝ “ මැච් එක ටයිඩ්” යැයි හෝ පවසති. ජයසිංහයන් පවසන ටයි-ටයි යන්න නම් එතරම් ඇසෙන්නක් නො වේ. ඇතැම් විට ටයි-ටයි යන්න ඇතැම් සමාජ ස්ථරයන්හි, ඇතැම් උපසංස්කෘතීන්හි ව්‍යවහාර වන්නට ඉඩ ඇත. එපිළිබඳ අපගේ විරෝධයක් නැත. තිත්-තිත් යන්නට අනුරූප ව ඩොට්-ඩොට් යන්නක් ද සුලභ ව ව්‍යවහාර වනු ඇසේ. එහෙත් කොටු-කොටු යන්නට අනුරූප ව චෙක්-චෙක් යන්නක් එතරම් ම සුලභ ව ව්‍යවහාර වනු නො ඇසේ. බොහෝ විට කමිස මසවාගෙන ඇඳි අපගේ තරුණ කාලයේ දී චෙක්ඩ් (හෝ චෙක් හෝ) මැටීරියල් පිළිබඳ විනා චෙක් වෙක් මැටීරියල් පිළිබඳ කතා වුණු බවක් හෝ නිමි ඇඳුම් බහුල ව අඳින වර්තමානයේ වුව චෙක්ඩ් (හෝ චෙක් හෝ) කමිස පිළිබඳ විනා චෙක්-චෙක් කමිස පිළිබඳ කතා වූ බවක් හෝ අපගේ මතකයේ නැත. ඇතැම් විට චෙක්-චෙක් යන්න ඇතැම් සමාජ ස්ථරයන්හි, ඇතැම් උපසංස්කෘතීන්හි ව්‍යවහාර වන්නට ඉඩ ඇත. එපිළිබඳ අපගේ විරෝධයක් නැත. අප වාසය කළ සහ වාසය කරන පැතිවල ටයි-ටයි හෝ චෙක්-චෙක් හෝ යන්න සුලභ ව්‍යවහාරයක් ව නො පැවතිය ද මතුගම පැත්තේ එසේ පැවතිය හැකි ය.

    “එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි” යැයි පවසන ජයසිංහයෝ එබව ස්ඵුථ කරන්නට මාහැඟි නිදර්ශනයන් දෙකක් ද සපයති. එම නිදර්ශනයන්හි ඇති “යමු යමු” හා “එන්න එන්න” යන ද්විත්ව ව යෙදි වචන “බේර බේර” යන මිශ්‍ර ක්‍රියාවට වඩා වෙනස් බව ජයසිංහයෝ පවසති. සත්‍යයකි; එකඟ ය. “යමු යමු” සහ “එන්න එන්න” වූ කලී ද්විත්ව ව යෙදුණු විධි ක්‍රියා ය. ජයසිංහයන් “යමු යමු” සහ “එන්න එන්න” යන විධි ක්‍රියා පද සහ “බේර බේර” යන මිශ්‍ර ක්‍රියා පද සසඳමින් මෙසේ පවසති (වරහන් තුළ ඇති අවධාරණයන් අප විසින් එක්කරන ලදී):

    “එහෙත් එය (එනම් යමු යමු හෝ එන්න එන්න හෝ) ක්‍රියා පදයක ධාතුව එක ළඟ දෙවරක් උච්චාරණය කරමින් සාදා ගන්නා මිශ්‍ර‍ ක්‍රියාවෙන් (එනම් බේර බේර යන්නෙන්) වෙනස් ය.

    මේ අනුව ජයසිංහයන් විශේෂණ පද හා විධි ක්‍රියා පද ද්විත්ව ව යෙදීම ම වෙසෙස් කර පවසන බවක් හැඟේ. එය අනවශ්‍ය වෙසෙස් කර දැක්වීමක් බව අපගේ හැඟීම ය. ජයසිංහයන් පෙර පැවසූ “එක වචනය එක ළඟ දෙවරක් කීම” යන්න වඩාත් අරුත්බර ය. විභක්තිවල වර නඟන ලද නාම ප්‍රත්‍ය ද සුලභ ව ද්විත්ව ව යෙදේ. එහෙත් අප අපගේ සාකච්ඡාව ජයසිංහයන් වෙසසන පද සඳහා පමණක් සීමා කරමු.

    අස්ථ්‍යර්ථාත්මක ව හෝ අවධාරණාත්මක ව හෝ පද හෙවත් වචන (විශේෂණ පද හෝ ක්‍රියා පද හෝ වෙනත් පද හෝ) ද්විත්ව ස්වරූපයෙන් යෙදී ම සිංහලයේ මෙන් ම ඉංගිරිසියේ ද සද්භාෂා ව්‍යවහාරයකි. මතුගම ජයසිංහයන් තරමට ම භාෂා ශාස්ත්‍රයේ කෙළ පැමිණි විශාරදයෙකු නො වුව ද ප්‍රමාණාත්මක භාෂා පාණ්ඩිත්‍යයක් තිබූ ෂඩ්භාෂාපරමේශ්වර තොටුගමුවේ ශ්‍රී රාහුලයෝ ගුත්තිලයේ මෙසේ පවසති:

    “ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
    සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නො දිටි මොක් පුර”

    මිශ්‍ර ක්‍රියා යොදා ඇති අයුරු මනහර නො වේ ද ජයසිංහයෙනි?

    සිංහලයේ මහා කාව්‍යය ද්විත්වයෙන් එකක් වන කාව්‍යශේඛරයේ ලා ශ්‍රී රාහුලයෝ ම මෙසේ පවසති:

    “‘මා වැනි බිලින්දා
    වර වර ළගට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරි‍ඳෝ වෙන කොයින්දා”

    විධි ක්‍රියා යොදා ඇති අයුරු මනහර නො වේ ද ජයසිංහයෙනි?

    යුරෝපා සාහිත්‍යයේ පූර්ව-වික්ටෝරියානු යුගයේ රොමෑන්ටික කාව්‍ය සම්ප්‍රදාය වර්ණවත් කළ රොබර්ට් බර්න්ස්හු තම A Red, Red Rose ගීයෙහි (කවියක් ලෙස ද සැලකේ) මෙසේ පවසති:

    “O my Luve's like a red, red rose
    That’s newly sprung in June;
    O my Luve's like the melodie
    That’s sweetly play'd in tune.”

    විශේෂණ පද ද්විත්ව කර යොදා ඇති අයුරු මනහර නො වේ ද ජයසිංහයෙනි?

    මෙලෙස “එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයක්” පමණක් නො වේ. මෙය නන් අයුරින් වර නඟා රමණීය ලෙස යෙදීම ඉංගිරිසියේ ද කිසිඳු බසකට නො දෙවෙනි ලෙස දැක ගත හැකි ය. එමෙන් ම වෙනත් පෙරාපරදිග භාෂා රාශියක ද එම ලක්ෂණය දැක ගත හැකි ය.

    Cont….

    ReplyDelete
  13. කිසියම් පදයක් හෝ එහි නාම ප්‍රකෘතිය හෝ එහි ක්‍රියා ධාතුව හෝ එලෙස ම හෝ කිසියම් වෙනසක් සහිත ව හෝ පුනර්කරණය කිරීම භාෂා අධ්‍යයනයේ දී reduplication (ප්‍රතිද්විගුණනය) ලෙස හැඳින් වේ. Doubling (ද්විත්වකරණය), Cloning (ක්ලෝනීකරණය), repetition (අනුප්‍රාසය) යන නාමයන් ද ඒ සඳහා පර්යාය ලෙස යෙදේ. ප්‍රතිද්විගුණනය වන ආකාර කීපයකි. මෙකී බොහෝ ආකාරයන් ව්‍යවහාර වන්නේ අවිධිමත් ප්‍රකෘශනයේ දී ය; නැත හොත් කථන භාෂණයේ දී ය.

    1. පදයක් ඒ ආකාරයෙන් ම ප්‍රතිද්විගුණනය වීම (Exact or Complete Reduplication):

    Bye-bye (සමුගැනීමේ ආචාර විධිය), night-night (සුභ රාත්‍රියක් යන ආචාර කිරීම), goody-goody (යහපත්), pooh-pooh (අවඥාව ප්‍රකාශ කිරීම), hush-hush (අතිශය රහස්‍ය) ඈ පද යුග්ම Exact/Complete Reduplication සඳහා නිදර්ශන ය. පුද්ගල භාෂා වර්ධනයේ මුල් අවධියේ දී (ළමා කල) බහුල ව යෙදෙන්නේ මෙම ආකාරයේ වදන් ය. උදාහරණ ලෙස din-din (රාත්‍රි ආහාරය), pee-pee (මුත්‍රා හෝ මුත්‍රා කිරීම), poo-poo (මලපහ), night-night (නිදා ගැනීම), bye-bye (නිදා ගැනීම) දැක්විය හැකි ය.

    සංසන්දනාත්මක භාෂා අධ්‍යයනයේ දී දැක ගත හැකි කරුණක් නම් ඇතැම් භාෂාවල බහු අර්ථ පද ව්‍යුත්පන්න කිරීමේ ක්‍රමයක් ලෙස ද Exact Reduplication යොදා ගන්නා බව ය. උදාහරණක් ලෙස මැලේ භාෂාවේ මල හැදින්වෙන්නේ bunga යන ශබ්ද සංඥාවෙනි. එහි බහු අර්ථ පදය එනම් මල් යන්න bunga-bunga ය. එලෙස ම මැලේ භාෂාවේ පුද්ගලයා යන්න orang වන අතර orang-orang යනු පුද්ගලයෝ යන බහු අර්ථ පදය ය. ජයසිංහයන් ක්‍රිකට් පිළිබඳ පවසා තිබූ නිසා ශූර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දේශයෙන් ද නිදර්ශනයක් සපයමු. ඔස්ට්‍රේලියාවේ ආදීවාසීන්ගේ භාෂාවල ද Exact Reduplication සුලභ ය. එරට නගර නාම රාශියක් ම එකී භාෂා විධික්‍රමයට සැකසී ඇත. උදාහරණ ලෙස crow යන අර්ථයෙන් wagga යන්න ද crows යන අර්ථයෙන් wagga-wagga යන්න ද යෙදේ. Wagga-Wagga යනු New South Wales ප්‍රාන්තයේ නගරයකි. මෙලෙස ම Queensland ප්‍රාන්තයේ Billa-Billa (pools of water) නගර නාමය ද ව්‍යවහාරයට පැමිණ ඇත.

    ආදරය, සෙනෙහස, ළෙන්ගතුකම පැවසීමට සුරතල් නම් පටබැඳීමේ දී ද Exact/Complete Reduplication යෙදේ (Name Reduplication). උදාහරණ: Yo-Yo, Chi-Chi, Jon-Jon, Jay-Jay, Mo-Mo (මුලින් ම පැවසූ සුරතල් නම් ඇති රජදරුවන් පිළිබඳ නම් ජයසිංහයන් අසා ඇති බවට අපට සැක නැත).

    සතුන්ගේ හෝ ස්වභාවධර්මයේ හෝ අවට පරිසරයේ හෝ ශබ්ද වලට අනුකාරක ව පද සාධනයේ දී ද Exact/Complete Reduplication යෙදේ (Onomatopoeic Reduplication) උදාහරණ: bow-bow (බල්ලාගේ බිරීම), buzz-buzz (මී මැසි ගුමු ගුමුව)

    ජයසිංහයන්ගේ වියුණුසටහනේ එන සදොස් තැනක් නිරාවරණය වන්නේ මෙ‍හි දී ය. ජයසිංහයෝ මතු දැක්වෙන ප්‍රකාශය සිංහ නාද කරති:

    “ලාංකික ඉංගිරිසියේ ත්‍රිරෝද රථයට ටුක්-ටුක් (tuk-tuk) යන වදන යෙදේ.”

    ටුක්-ටුක් යන්න ඊනියා ලාංකීය ඉංගිරිසියට ඈදෑ ගන්නට මුසාවාද දෙසන ජයසිංහයන්ගේ ශාස්ත්‍රීය වංචනිකත්වය හෝ දැනුමේ දිග පළල හෝ එම ප්‍රකාශයෙන් හෙළි වේ. ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ ආටා යනුවෙන් ද පසු කාලයේ දී ත්‍රී වීලර් සහ ත්‍රිරෝද රථ යනුවෙන් ද අප නම් අදටත් ට්‍රයිෂෝ යනුවෙන් ද වහරන වස්තුවෙන් නැඟෙන ශබ්දයට අනුකාරක ව ටුක්-ටුක් (tuk-tuk) යන්න Onomatopoeic Reduplication යන භාෂා විධික්‍රමයෙන් ව්‍යුත්පන්න විණ. එය සිදු වූයේ මේ කොදෙව්වේ හෝ ඉන්දියාවේ හෝ නො ව තායිලන්තයේ ය. Tuk-Tuk යන වචනය නිරුක්තික ව හිමි තායි භාෂාවට ය. අහෝ ජයසිංහයෙනි!

    ටුක්-ටුක් එංගලන්තයේ ද ඇත. මීට වසරකට පමණ පෙර දකුණු එංගලන්තයේ අවන්හලක් ඉදිරියේ එකී රියක් නවතා තිබෙනු අපි දුටුවෙමු. පසු ව දැනගන්නට ලැබුණේ එය ඉන්දියානුවෙකුට හිමි, එම අවන්හලේ ප්‍රදර්ශනාත්මක ව තබා තිබූ රියක් බව ය. බන්දුල ජයසේකර පසුගිය සමයේ යම් දිනක ටුක්-ටුක් වෙත පෙම් බැඳි ඉංගිරිසි තරුණියක සමඟ රූපවාහිනි සාකච්ඡාවක් පැවැත් වූ බව ජයසිංහයනට මතක ඇති බව සිතමු.

    Exact/Complete Reduplication භාවිතා වන තවත් වැදගත් තැනක් නම් Contrastive Focus Reduplication (Double Construction, Lexical Cloning) ය. මෙයින් අදහස් කෙරෙන්නේ යම් කිසි නාම පදයකින් හැඟවුම්කරණය වන ද්‍රව‍යමය හෝ සංකල්පීය හෝ ස්ථිතියේ මුලස්වරූපය (ප්‍රාග්දර්ශය) ය. වාග් විද්‍යා දර්ශනයේ පාරිභාෂික චචනයකින් පවසතොත් නාම පදයක ප්ලේටෝනියානු පරමාදර්ශය ය. නිදර්ශන කීපයක් සලකා බලමු.

    I). Although many have written a few rhyming lines to claim that they are poets, Gunadasa Amarasekara remains the POET-poet.

    මෙහි POET-poet යනු සෑබෑ ම (real) කවියා යන අර්ථය දෙන වදන් යුග්මය ය. එමඟින් කවියා යන නාම පදයට නිසි සෑබෑ ම ස්ථිතිය හෙවත් පරමාදර්ශය අමරසේකර බව හැඟ වේ. Poet යන වදන එ‍කී අර්ථය ගෙන දීමට ප්‍රතිද්විගුණනය වීම Contrastive Focus Reduplication නමි.

    Cont….

    ReplyDelete
  14. II). Perakum Jayesinghe was seen DRESSED-dressed at Ajith Dharma’s Nelum Yaya Blog Awards Ceremony.

    මෙහි DRESSED-dressed යනු ඉස්තරම් ම ලෙස ඇඳුමකින් සැරසී සිටි බව ය.

    III). Perakum Jayesinghe has been working as a freelance journalist for years. However, his WORK-work has been teaching.

    මෙහි WORK-work යනු ප්‍රාග්දර්ශීය අර්ථයෙන් රැකියාව යන්න ය. පැරණි සංකල්පයන් සහ ද්‍රව්‍යයන් වෙනුවට නව සංකල්පයන් සහ ද්‍රව්‍යයන් බිහි වීමේ දී එකී පැරණි සංකල්පයන් සහ ද්‍රව්‍යයන් වෙසෙසා හැඳින්වීමට ද Contrastive Focus Reduplication යෙදේ.

    IV). Perakum Jayesinghe claims that he has Das Kapital in his possession. I wonder whether it is a PDF or a BOOK-book.

    Das Kapital නම් පොතේ ප්‍රාග්දර්ශීය ආකාරය වෙසෙසා පැවසීමට BOOK-book යන්න යෙදේ.

    ඉහත POET-poet, DRESSED-dressed, WORK-work සහ BOOK-book යන පද යුග්මවල මහකුරු මඟින් දැක්වෙන පද අප විසින් පෙර පැවසුණු මූලස්වරූප (ප්‍රාග්දර්ශ) හෙවත් ප්ලේටෝනියානු පරමාදර්ශ නිරූපණය කෙරේ.

    Comparative Reduplication යනුවෙන් ද ප්‍රභේදයක් ඇති නමුත් එහි දී ප්‍රතිද්විගුණනය වන වදන් අතරට and යන්න පැමිණෙන නිසා (උදාහරණය: Jayesinghe’s face looked darker and darker). එය ජයසිංහයන් සාකච්ඡාවට බඳුන් කරන “එක වචනය එක ළඟ දෙවරක් කීම” යන මූලධර්මයට අදාළ නො වේ. එනිසා අපි Comparative Reduplication පිළිබඳ මෙහි දී විග්‍රහ නො කරමු.

    අපගේ සාකච්ඡාවේ පරිපූර්ණත්වය සඳහා ප්‍රතිද්විගුණනයේ අවශේෂ ආකාර කීපය පිළිබඳ නිදර්ශන කීපයක් සඳහන් කරන්නෙමු.

    2. පදයක එහි මුල් ස්වරූපයට චඩා වෙනස් ව එහෙත් තානමය ලෙස ප්‍රතිද්විගුණනය වීම (Rhyming Reduplication):

    Okey-dokey (හරි, එකඟයි, අනුමතයි යන අරුතින්), hokey-pokey (මායාව, රැවටීම, මුළාව, අයිස්ක්‍රීම්), super-duper (අනර්ඝ, සුපිරි), honey-bunny (ප්‍රියයා, ප්‍රේමණීය), slim-jim (ඉතා කෘශ), silly-billy (විකට පුද්ගලයා), itsy-bitsy (ඉතා කුඩා), lovey-dovey (අනුරාගී ලෙස ප්‍රේමණීය), hodge-podge (විෂමජාතීය සම්මිශ්‍රණය, “හත්මාළුව”), hocus-pocus (මායාව, රැවටීම, මුළාව,), humpty-dumpty (පිළියම් කළනො හැකි තරමට විනාශ වූ), hanky-panky (අසම්මත සබඳතාවය, ආචාරශීලී නො වූ චර්යාව), hurdy-gurdy (සංගීත භාණ්ඩයක්), hurly-burly (ව්‍යාකූලතාවය, කලබැගෑනිය), razzle-dazzle (හුදු අලංකාරවාදී, ප්‍රදර්ශනාත්මක, ජවසම්පන්න), namby-pamby (විචක්ෂණ නො වූ, විධිගත නො වූ, ජීවගුණයක් නැති), teenie-weenie (කුඩා, ක්ෂුද්‍ර), claptrap (ව්‍යාජ උත්තරීත්වය, සාටෝපවත් බව), hotch-potch (අවුල් ජාලය, විෂමජාතීය සම්මිශ්‍රණය), hob-nob (සමීප මිත්‍ර සන්ථවය), higgledy-piggledy (ව්‍යාකූල, අවිධිමත්)

    ගාමිණි විජේකෝන්, ලක්ෂ්මන් ගුණසේකර ඈ විශිෂ්ට භාෂණයකින් පිරිපුන් අගසකසුවන්ගේ මාහැඟි ලිපි කියවන පාඨකයනට නම් මෙවැනි යෙදුම් හුරුපුරුදු ය.

    3. පදයක අභ්‍යන්තර ප්‍රාණාක්ෂර පරිවර්තනය වන ලෙස හෙවත් අජ්විපරිණාමීය ව ප්‍රතිද්විගුණනය වීම (Ablaut Reduplication):

    Criss-cross (කතිර රටාව), zig-zag (අක්වක් රටාව හෝ රේඛාව හෝ), chit-chat (ප්‍රලාප, ඕපාදූප), pitter-patter (ශබ්ද නැඟෙන සේ පාද තබා ඇවිදීම, එක දිගට ක්ෂණික ව නැඟෙන ශබ්දය), sing-song (ඒකතානමය ගීය, නුපුහුණු ගී ගැයුම), knick-knack (නොවටිනා අරුමෝසම් දේ), splish-splash (ද්‍රවයක් කැලතෙන ශබ්දය), bric-a-brac (පෞරාණිකත්වය, අලංකරණය ඈ හේතු සඳහා එකතු කරන කුඩා ද්‍රව්‍ය), jibber-jabber (කලබල වී අපැහැදිලි ලෙස කතා කිරීම), tick-tock (ඔරලොසුවක මෙන් මාරුවෙන් මාරුවට නැඟෙන ශබ්දය), mish-mash (විෂමජාතීය සම්මිශ්‍රණය)

    Ablaut Reduplication ආකාරය ද Onomatopoeic ලෙස යෙදී ඇති අයුරු ඉහත ඇතැම් උදාහරණවලින් පැහැදිලි වේ.

    4. පදයකට පුර්ව ව Shm හෝ Schm හෝ සර්ග වීමෙන් ප්‍රතිද්විගුණනය වීම (Shm Reduplication):

    මෙහි දී සිදු වන්නේ පදයක ආරම්භයේ ඇති ගාත්‍රාක්ෂරය ලෝප වී එතැනට Shm හෝ Schm හෝ යන ප්‍රත්‍යය ආදේශ වීම ය. උපහාසාත්මක, උත්ප්‍රාසාත්මක සහ සංශයවාදාත්මක භාෂණයේ දී මේවා සුලභ ව යෙදේ. එවැනි පද යුග්මවල දෙවනු ව යෙදී ඇත්තේ එකී අරමුණ සඳහා වෙනස් කළ පදය ය.

    Rhyme-shmyme, money-shmoney, bagel-shmagel, fancy-schmancy, help-shmelp

    “මෙසේ එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයක්” පමණක් නො වන බව දැන් ජයසිංහයනට වැටහෙති යි හඟිමු.

    ජයසිංහයන්ගේ වියුණුසටහනේ එන හාස්‍යජනක ම කොටස ඇත්තේ අවසානයට ය. “මෙසේ ක්‍රියා පදය දෙවරක් යෙදීම සිංහලෙන් ලාංකික ඉංග්‍රීසියට ද පිවිස තිබේ” යැයි ඔජ වඩවා ජයසිංහයෝ මාහැඟි උදාහරණ කීපයක් සපයති. ඒවා මෙසේ ය:

    Come! Come!
    Sit! Sit!
    Thank you! Thank you!
    OK! OK!
    No! No!

    Cont….

    ReplyDelete
  15. මේ වූ කලී ඉංගිරිසියේ වෝටර් (water) යන්න ඉංගිරිසියට ගියේ සිංහලයේ “වතුර” අනුව යැයි පැවසීම වැනි රසවත් කතාවකි. ඉහත දක්වන ලද පද එක ළඟ කීප වරක් යෙදීම සිංහලයෙන් ඊනියා ලාංකීය ඉංගිරිසියට පිවිස තිබේ යැයි පවසන්නේ නම් මතු දැක්වෙන වැකි ලියුවෝ ලාංකීය ඉංගිරිසිය ඉගැනුමට ලංකාවේ මතුගමට පැමිණියෝ කවර දිනෙක ද? ඔවුනට ඊනියා ලාංකීය ඉංගිරිසිය ඉගැන්වූවෝ මතුමග මහා ප්‍රාඥයා වන අජිත් පැරකුම් ජයසිංහයෝ ද?

    ජයසිංහයන් දක්වන ඉහත නිදර්ශන ඔවුන්ගේ චෙක්-චෙක්, ඩොට්-ඩොට් ආකාර වදන් යුග්ම සැකසෙන ආකාරයේ භාෂා විධික්‍රමයක් නො වේ. Come! Come!, Sit! Sit!, Thank you! Thank you!, OK! OK!, No! No! ඈ පද සැකසුම්හී සිදු ව ඇත්තේ අදහස අවධාරණය සහ ප්‍රබලතර කරනු සඳහා ඒ ඒ පදය ස්වාධීන ව සහ අනන්තර ව අනුක්‍රමික සන්තතියක පිහිටුවීම ය. මෙය සිදුවන්නේ කතිකාමය සන්දර්භයක වාගලංකාරයක් ලෙස ය. මේවා භාෂා අධ්‍යයනයේ දී Epizeuxis ලෙස හැඳින්වේ.

    ශ්‍රේෂ්ඨ ඉංගිරිසි නාට්‍ය රචක කවීන්ද්‍ර විලියම් ශේක්ස්පියර්හු King Lear (Act 5, Scene 3) හි මෙසේ පවසති:

    “And my poor fool is hanged.—No, no, no life?
    Why should a dog, a horse, a rat have life,
    And thou no breath at all? Oh, thou'lt come no more,
    Never, never, never, never, never.—
    Pray you, undo this button. Thank you, sir.
    Do you see this? Look on her. Look, her lips.
    Look there, look there. O, O, O, O.”

    ශේක්ස්පියර් ම Cymbeline (Act 2, Scene 3) හි මෙසේ පවසයි:

    “Hark, hark! the lark at heaven's gate sings,
    And Phoebus 'gins arise,
    His steeds to water at those springs
    On chaliced flowers that lies;
    And winking Mary-buds begin
    To ope their golden eyes:
    With every thing that pretty is,
    My lady sweet, arise:
    Arise, arise.”

    සැමුවෙල් ටේලර් කෝල්රිජ් The Rime of the Ancient Mariner (Part The Fourth) හි මෙසේ පවස යි:

    “Alone, alone, all, all alone,
    Alone on a wide wide sea!
    And never a saint took pity on
    My soul in agony.”

    ශේක්ස්පියර්හු Macbeth (Act 5, Scene 5) හි මෙසේ පවසති:

    “Out, out, brief candle!
    Life’s but a walking shadow, a poor player
    That struts and frets his hour upon the stage
    And then is heard no more. It is a tale
    Told by an idiot, full of sound and fury,
    Signifying nothing.”

    අජිත් පැරකුම් ජයසිංහයෝ “සුන්දර ඉංගිරිසි: ටයි ටයි බොටයි මටයි මැච් එක ටයි” (11 වන ඡේදය) හි මෙසේ පවසති:

    “මෙසේ ක්‍රියා පදය දෙවරක් යෙදීම සිංහලෙන් ලාංකික ඉංග්‍රීසියට ද පිවිස තිබේ.”

    එපිළිබඳ අපට පවසන්නට වන්නේ ශෙක්ස්පියර් Macbeth හි පවසන පහත රුවන් වැකිය ය:

    “It is a tale
    Told by an idiot, full of sound and fury,
    Signifying nothing.”

    අවසාන වශයෙන් අප පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහයන් ලාංකීය ඉංගිරිසියක් සකසා ගැනීමට දරන වෑයම අප අගය කරන බව ය. එහෙත් එය කළ යුත්තේ ඉංගිරිසිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් තුළින් විනා සුවියත් ඉංගිරිසියට ගැරහීමෙන් නො වේ. සම්මත සිංහලයක් හෝ සම්මත ලාංකීය ඉංගිරිසියක් හෝ සකසා ගත හැකි වන්නේ එකී භාෂා මනා ලෙස හැදෑරීමෙන් ය. භාෂාවක් සමතික්‍රමණය කිරීමෙන් තොර ව හිතු ම‍තයට එය වෙනස් කරන්නට යාම බස නැසීමකි. අප විරුද්ධ වන්නේ ඉංගිරිසිය ලාංකීය කිරීමට හෝ බස ජනසතු කිරීමට හෝ නො ව එකී නාමයන්ට මුවා වී අවජාතක භාෂා ව්‍යවහාරයන් සුජාතකරණයට හොර උප්පැන්න සහතික ලිවීමට ය.

    ReplyDelete
  16. අපගේ සටහනේ ගාමිණි විජේකෝන් යනුවෙන් සඳහන් වන නම ගාමිණි වීරකෝන් විය යුතු ය. අප එහි දී සඳහන් කළේ සූර පුවත්පත්-සංස්කාරකය ගාමිණි වීරකෝනුන් පිළිබඳ ය. ගාමිණි එකල පුවත්පත් ලිපි ලියන්නන් සඳහා ලේඛන නාම සැකසීමේ ද සූරයෙකි. නම වරදවා ලියැවීමෙන් පැරණි මාධ්‍ය හිතෛෂියෙකු වූ ගාමිණිට අපහාසයක් නො වේවා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා