දේශපාලකයන් දූෂකයින් නම් නිලධාරීහු විදූෂකයෝ ද?

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-06-12

මේ කතාව කියවා බලන්න.

ඔන්න මේ කියන රටේ 2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට ඒ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.

අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. තවම පැකිං කඩලාවත් නැහැ.

ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ඒ රටේ තියෙන ගොන්ගල කියන කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.

පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතිය කොරිඩෝවක වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින් තිබුණා. කොහොමින් කොහොම හරි ඒක එතැනට අරගෙන ගියා ය කියමුකෝ. ඒක කුලුන උඩට උස්සන්නට අවශ්‍ය තාක්ෂණය අර කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු රජයේ ආයතනයට නැහැ. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා දොඹකරයක් කුලියට ගත්තා.

නිසි තාක්ෂණය පාවිච්චි නො කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රේඩාර් පද්ධතිය ඔසවද්දි දොඹකරය පෙරලුණා කියමුකෝ. එතකොට උස්සපු කෑලිවලට මොනවා වෙන්න ඇති ද? ඒවා කන්දෙන් පහළට රෝල් වෙන්නත් ඇති. දොඹකරයේ ක්‍රියාකරුවාගේ අත පයත් කැඩුණා. ඒ වුණාට ඒක කුලියට ගත්ත දොඹකරයක් නේ. ඒ නිසා ඒ වැඩේට සම්බන්ධ නිලධාරි ඒ ගැන කරදර වුණේ නැහැ.

දැන් ඉතින් මොකද කරන්නේ? කෑලි ටික අහුලලා එතන මුර කුටියකට දාලා වැහුවා. හොරුන්ගෙන් පරිස්සම් කරන්නට අර කොන්ත්‍රාත් කරපු රජයේ ආයතනය එතැනට මුරකරුවෙක් යෙදුවා. ඔහොම කාලය ගත වුණා. මුරකරුවාට වැටුප් ගෙව්වේ කොන්ත්‍රාත් කරපු ආයතනය. ඒගොල්ලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා දැන් කුලුන භාර ගන්න කියලා. ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුව ඒක කළේ නැහැ කියමුකෝ.

මේ රජයේ ආයතන දෙක අතර මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඊට පස්සෙ මුරකරුවා ඉවත් කළා. හොරු ඇවිදින් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතියේ කොටස් ගලවාගෙන ගියා.

මේ වෙනකොට මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට මහජන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැය කරලා ඉවරයි. ඊට පස්සෙ?

ඒ ආයතනය තීරණය කරනවා, එම උපකරණ අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් එකක් මිළ දී ගන්නා එක ලාභයි කියලා. අලුත් එකක වර්තමාන මිළ රු. මිලියන 600ක් විතර වෙනවා. ඒක පරීක්ෂා කරන්නට, මිළ දී ගන්නට එහෙම නිලධාරි පිටරට යන්නත් ඕනැ.

ඔය අතරෙ මේ රටේ තව තවත් ස්වාභාවික ආපදා රැසක් සිදු වෙනවා. ඒවායින් කලින් වගේම මිනිසුන් මිය යනවා. මේක මහා මෝඩ මිනිසුන් ඉන්න රටක් නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මේ කතාව මේ විදියට ම ලංකාවේ මහින්ද රාජපක්ෂ රජය යටතේ සිදු වුණා. ඊට කලිනුත් මේ වගේ දේවල් සිදු වෙන්න ඇති. දැනුත් වෙනවා ඇති. රජයේ සේවයේ සිටින අයට මෙවැනි උදාහරණ ඕනැ තරම් කියන්නට පුළුවන් ඇති.

මේ කියන සිද්ධියේදී රුපියල් බිලියන භාගයක් විතර නාස්ති වුණා. සාමාන්‍ය පුංචි කාර් එකක් අලුතෙන් මිළ දී ගන්නා කෙනෙක් රජයට රුපියල් මිලියනයක්වත් බදු ගෙවනවා. මේ මුදල එවැනි කාර් 500ක් මිළ දී ගත් අය ගෙවූ බදු මුදලට සමානයි.

ලංකාවේ පොදු ප්‍රවාහන සේවා ඉතා දුර්වල බව නො දන්නේ කවුරු ද? මේ මුදල්වලින් දුම්රිය සේවයට අලුතින් දුම්රිය මිළ දී ගන්නට තිබුණා.

දැන් මේ සිදු වූ අපරාධය සම්බන්ධයෙන් කවුරුද වග කියන්නේ? කවුරුත් තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න ක්‍රම සොයාගෙන ඇති. අවසානයේදී මෙහි වැරදිකරුවා දොඹකරය ක්‍රියා කරවූ රියදුරා ය කියා නිගමනය කරන්න වුණත් ඉඩ තියෙනවා. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විභාගයක් පිළිබඳවත් මෙවැනි කතාවක් තිබෙනවා.

පසුගිය දිනවල අරනායක පැත්තේ වැළලී ගිය මිනිසුන් කියන්නේ මේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය වෙනුවෙන් බදු ගෙවපු මිනිස්සු.

අපේ ප්‍රස්තුතය කාලගුණය නොවෙයි. රජයේ ආයතනවල මෙවැනි දේ සිදු වන්නේ ඇයි ද කියන එකයි. මේවා දේශපාලකයන්ගේ වැරදි ය කියලා තමයි සාමාන්‍යයෙන් ලංකාවේ කියවෙන්නේ. දේශපාලකයන් දූෂිතයි, ඔවුන් කොමිස් පසුපස යනවා, වංචා, දූෂණවල නියැලෙනවා කියන එක කාලයක් තිස්සේ මේ රටේ තිබුණු තත්වයක්. ඒ අතරවාරයේ දේශපාලකයන් මහජන මුදලින් දැවැන්ත වරප්‍රසාද ප්‍රමාණයකුත් ලබා ගන්නවා.

දේශපාලකයන්ට දොස් පවරන ජනතාව අතින් ගිලිහී යන පිරිසක් තමයි රජයේ නිලධාරීන්. ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් ද කොමිස් ගන්නවා. වංචා, දූෂණවල යෙදෙනවා. ඔවුන් ද දේශපාලකයන් වගේ ම මහජන මුදලින් වරප්‍රසාද රැසක් භුක්ති විඳිනවා. දේශපාලකයන් වගේ ම මහජන මුදලින් රට සවාරි යනවා. තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති වර්තමානයේ මේ බොහෝ විදේශ චාරිකා ආදිය අත්‍යවශ්‍ය නැහැ.

ගිය සතියේ ප්‍රමාද වී වැඩ තහනමට ලක් වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන අනුෂ පැල්පිට යනු විදුලි සංදේශන නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටිමින් කොමිෂමේ මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරී සිටින අයෙක්. පහළ මට්ටමේ රජයේ සේවකයකුට ණයක් ගෙවා ගන්නට බැරිව රිමාන්ඩ් වන්නට සිදු වුණත් වහා වැඩ තහනම් කරන රාජ්‍ය සේවා කොමිෂමට අනුෂ පැල්පිටව මගහැරෙනවා. සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා 3ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරී තිබුණු අනුෂ පැල්පිට වැටුප් ගනිමින් මාස හතකට වැඩි කාලයක් පරිපාලන සේවා සංචිතයේ නිකම් ඉන්නවා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සිට රජයේ නිලධාරීන් අති විශාල පිරිසක් මෙවැනි දූෂණ, වංචාවලට සම්බන්ධයි. රාජ්‍ය සේවය මෙතරම් දූෂණය වීම වළක්වා ගන්නේ කොහොම ද?

යෝජිත විගණන පනත මේ සඳහා එක් විසඳුමක්. රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරියකු වෙතොත් එම නිලධාරියා වෙතින් එම මුදල් අය කර ගැනීමේ බලය මෙම පනතින් විගණකාධිපතිවරයාට හිමි වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ කුමක් ද? අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් වැඩිදෙනා ද පරිපාලන නිලධාරීන්ගේ සංගමය ද මෙම පනතට විරුද්ධයි. ඒ නිසා දැන් විගණන පනත හමස් පෙට්ටියට ගිහින්.

ඒ විතරක් නෙමෙයි. මේ වන විට ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් තමන්ගේ වගකීම් මගහරින තත්වයක් නිර්මානය වෙලා. තමන්ට දූෂණ විමර්ශනවලට මුහුණ දෙන්නට සිදු වේවි යන කරුණ ඉදිරිපත් කරමින් ඇතැමෙක් තමන් විසින් ගත යුතු තීරණ, තීන්දු කල් දානවා. ඇතැමෙක් මෙය කරන්නේ සිතාමතා ම ජනතාව රජය කෙරෙහි කලකිරවන්නටයි.

මේ තත්වයට විසඳුම කුමක් ද? රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ යුතු ය කියන එක ඉතා සරළව කියන්න පුළුවන්. ඒත්, එය යථාර්ථයක් බවට පත් කිරීම එහෙම ලේසි නැහැ. අඩු තරමේ රාජ්‍ය ව්‍යවසායන් ටික හෝ ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි රජයට අයත් ව්‍යවසාය කළමනාකරණ සමාගමක් ඔස්සේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ අදහසක් රජයට තිබෙනවා. එහෙත්, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය පැත්තෙනුත් ලංකාවට තිබෙන්නේ කාලකන්නි අත්දැකීම් සමුදායක්. මිහින් ලංකා, ශ්‍රීලංකන් වැනි ගුවන් සේවාවන් උදාහරණ. ඒවායේ ඉහළ තනතුරුවලට පත් කරන ලද දේශපාලන හෙංචයියන් හා ඥාතීන් දැවැන්ත වැටුප් හා වරප්‍රසාද භුක්ති වින්දේ ඒ සමාගම්වල පාඩු මහජන මුදලින් පියවමිනුයි. රාජ්‍ය ව්‍යවසායන්ගේ තත්වය රජයේ සේවයටත් වඩා දූෂිතයි.

මෙම තත්වය තුළ ශක්තිමත් රාජ්‍ය අංශයක් ගොඩනැගීම කියන එක සමාජවාදී හෝ ජනතාවාදී හෝ අදහසක් නොවෙයි. මහින්ද රාජපක්ෂ සමය තුළ රජය ශ්‍රීලංකන්, ෂෙල් ගෑස් වැනි සමාගම් මිළ දී ගනිමින් දැවැන්ත සමාගමක් ලෙස වර්ධනය වුණා. ඒ සමාගමේ මූලික ලක්ෂණය වුණේ ඉහළ නිලධාරීන් වැටුප්, වරප්‍රසාද ආදී වශයෙන් විශාල මුදල් සම්භාරයක් ඒවායින් ලබා ගනිමින් පාඩු මහජනතාව පිට පැටවීමයි. රජය ව්‍යාපාරකරණයෙන් ඈත් වෙන එක මහජනයාට සහනයක් වන තත්වයක් නිර්මානය වන්නේ එහෙමයි.

රජයේ මැදිහත් වීම ප්‍රතිපත්ති සම්පාදනයට, නීති පැණවීම හා ක්‍රියාත්මක කිරීමට, ජාතික ආරක්ෂාව, සමාජාරක්ෂණය වැනි කාරණාවලට පමණක් සීමා කරමින් ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සංවිධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රාග්ධන මැදිහත්වීම් වැඩිපුර ශක්තිමත් කරන එකයි කළ යුතුව තිබෙන්නේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අමාත්‍යංශවල ලේඛම්වරු බොහෝ විට අදාල අමාත්‍යංශයේ විශය පථය ගැන දැනීමක් නැති අයයි. ඔව්න්ව ලේසියෙන් ගොනාට ඇන්දවීමට පහල සිටින නිලධාරීන් සමත් වන්නේ ඒනිසයි. පරිපාලනසේවයෙන් පරිබාහිරව අදාල විශය පථය පිළිබඳ දැනු ඇති විශේෂඥයින් අමාත්‍යංශලේඛම් තනතුරූවලට පත්කළ යුතුයි.

    ReplyDelete
  2. අපිට වැඩි වැටුප් ඕනෑ! සාලාව වින්දිතයින්ට, ගංවතුර අනාථයින්ට මේ රජයන් සහන දෙන්න ප්‍රමාදයි..!! බදු සහන අපි ඔක්කෝටම, හැම ලබ්බකටම ලබා දිය යුතුයි..!!! බදු අඩුකරන්න, මිල පහත හෙලන්න, සහනාධාර දෙන්න, වැටුප් වැඩි කරන්න රනිල්-මෛත්‍රි තමුන්ගෙ පඩියෙන් කරන්න ඕන. මහින්ද අපේ රජා නිසා එයාට ඒවා අදාළ නැහැ. නමුත් යහපාළනේ කියන්නෙ අපි කියන කියන දේ කරන, ඉල්ලන ඉල්ලන දේ දෙන යාන්ත්‍රණයක් වෙන්න ඕන. හොරු අල්ලන්න ඕන, ඒත් මහින්ද මහත්තයට අත තියනව නෙමෙයි ඔන්න..!!!
    අපි ශ්‍රී ලාංකිකයො..ඔන්න ඕකයි අපේ වෙනස. අපි ඒකට ගරු කරමුද?

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි, සහන ටක් ගාලා දෙන්න ඕනැ. බෝම්බ පුපුරනවා වගේ තියෙන්න ඕනැ. ඒ වුණාට අපි රජයෙ සේවකයො වුණාම අපට එච්චර ඉක්මණට වැඩ කරන්න බැහැ. තේ බොන්න තියෙනවා. දරුවො ඉස්කෝලෙන් අරගන්න තියෙනවා. කලින් යන්න ඔ්නැ.

      Delete
    2. ඔයා මේ කියන්නේ ලංකාවේ මිනිස්සු කම්මැලි ආත්මාර්ථකාමී රොත්තක් කියලද? අඩෝ!

      Delete
  3. Mata nam hitha ganna be minissu weradi weda karanna mechchara kemathi eyi kiyala.aduma ganane megollanta hardaya sakshiyak wath nedda

    ReplyDelete
  4. para' ada inna rajaye usas niladarin bahutaraya macos panaye kattiya.thanatura gaththa hatiye alut nilavahanayak,ac karapu karyalayak ,supiri vasikiliyak vage deval onvenva .apugaman kiyane issarahitiya aya kisisima diunuvakkaralanaha kiyala. mahajanathvata vadak karania sallinathi unata kantoru hadanta salli tiyenava.mada palathe adiyapanaye mahakantoruva niyamai.duppath demapiange daruvoena nagareta athin thiyana iskolavala godanagili garavatila salli naha. merate godak rajayeayathnavala thathvaya oki.vidhayaka niladarinta desapalanaya thanamunata un inne desapalakayange redda asse.okai me rate atth.

    ReplyDelete
  5. මහරගම පිළිකා රෝහලේ එක් ප්‍රධාන වෛද්‍යවරයෙක් මහරගම පිලිකා රෝහලට ලැබුණු කෝටි ගණනක ආධාර මුදල් සිය පුද්ගලික ගිණුමක තැන්පත් කරගත් කල බවට චෝදනා ආවා. දේශපාලකයන් මෙන්ම මෙම නිලධාරීන් ද දූෂිතයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා