පිරිමි අපි එකතු වෙලා සාහිත්‍ය මාසය වෙනුවෙන් ගෑනියෙක් මරමු ද?

ටිම්රාන් කීර්ති ලියූ චමත්කාරජනක කවියක් පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වයිරල් වුණා. 

ඒක මෙහෙමයි. 

අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අම්මා බන කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

- ටිම්රාන් කීර්ති


මේ කවිය සුන්දර නිර්මානයක්. එහෙත්, එය පිළිබඳ ෆේස්බුක්හි පළ වූ කමෙන්ට්වල තිබුණේ අර ගෑනු ළමයෙක් මල් පොකුරක පිංතූරයක් දාලා තියෙනවා දැක්කාම දාන කමෙන්ට් ම තමයි. නියමයි. මාරයි. එල. තැන්කියු. වැඩි ම වුණොත් තමන් කැමති කෑල්ල කොපි පේස්ට් කරලා තිබුණා. 


ඒ අතරෙ තිබුණෙ එක ම එක විචාරාත්මක අදහසයි. ඒක පළ කරලා තිබුණෙ තරංගා කුලරත්න කියා ගැහැනියක්. ඒ මේකයි: 

'පත්තිනි සළු වලත් ඇත් තුත්තිරි තිබුනා' (ටිම්රාන්ගෙ කවියෙ අවසාන පේලිය) - වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙවියනේ!... පත්තිනි අම්මගෙ රෙද්දෙත් තුත්තිරි! ...වැරදිද දන්නෙ නෑ.. මට දැනුනෙ "එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා දෙකක් කඩතොළු සදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා" වගේ අවුලක් කරගෙන කියලා. ඒ ගැහැණිය ( 'වේස' අම්මා ) 'බාරගන්නට' අනිත් ගැහැණුත් 'නරකයි' කීම? සුද්දවන්තයි කියලා උඹ හිතන/දන්න ගෑණුත් 'කැලේ පනිනවා/පැනලා තියෙනවා' (රෙද්දෙ තුත්තිරි) නංගි (හේතු කුමක් වුවත්)!? ආරම්භයේදී පොසිටිව්ලි මාව හොල්ලපු කවිය අන්තිමේදි නෙගටිව් විදිහට හෙල්ලුවා!

In between the lines කියවීම...... (අම්මා = ගැහැණිය)

(මේ නිර්මාණයට අනුව..)
* අම්මා වේසි තමයි නංගි .. ඒ වුනත් (දෙමලා වුනත් විරුවෙකු නම් ගරු කරනු = ඌ 'දෙමලා' තමයි! ඒ වුනත් ...)
* අම්මා වේසි තමයි නංගි .. ඒත් අම්මට වේසි වෙන්න වුනේ අපිව රැක බලාගන්න.. ඒ නිසා වැදපන් නංගි..(හේතුව වෙන දෙයක් වුනා නම් අම්මා වේසිද?)
* අම්මට සතා කියලා කියන උන් සේරම බෝසත්ද? (උන් බෝසත් වුනා නම් අම්මා වේසි වෙනවද? )
* ‘වේසකම‘ කියා දෙයක් ඇත. එය ගැහැණුන් විසින් පිරිමින්ට කරන දේකට යෙදෙන විශේෂණයයි
* වේසකම නරකය - ඒක හොද වෙන්නේ ඒ වැඩෙන් 'මට' (අපට) හොදක් වෙනවා නම්ය (නංගිටයි මටයි කන්න බොන්න දීලා උස් මහත් කරන එක)

සිතීමේ මේ සංස්කෘතික සීමාව පන්නගන්නට ලංකාවේ නිර්මාණකරුවන්ටත්, අපි කාටත් හැකිවේවා!

ටිම්රාන් අතින් කවි දහසක් ලියැවේවා!


ඉතින් මේ අදහසට මොකද වුණේ?

ආසන්න වශයෙන් මොකුත් වුණේ නැහැ කියන්න පුළුවන්. කවුරුවත් ඒක ගැන කතා කළේ නැහැ. ඒ ඇයි? කවිය ගැහැනියක් ගැන වුණාට ලිව්වේ පිරිමියෙක්. ඒ ගැන ප්‍ර‍ශ්න කළේ තවත් ගැහැනියක්. ඒකට දහස් ගණනින් ලයික් නැහැ. කවුරුවත් ඒ අදහස ගණන් ගන්න කැමති නැහැ. 

"ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

සුචරිත ගම්ලත් සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකතාව ගැන විචාරය කළේ අන්න එහෙමයි. එච්චරයි. ඊට වඩා මොකවත් නැහැ. ඉවරයි. මරු විචාර නේ ද?


“මගේ පැත්තේ වැඩ කොටස ඉවරයි. විචාරය කර ගැනීම ඒ අයට බාරයි. නමුත් මම හිතන ආකාරයට සංස්කෘතික වශයෙන් නොතකා හැරීමකට වඩා දේශපාලනමය බරක් ලෙස ගන්නා ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි. නමුත් ඒ කාරණයට මම මැදිහත් වෙන්නෙ නෑ."

එහෙම කියන්නේ සුරේඛා සමරසේනයි. ඇය ලියූ මේ කතාව නවකතාව ගැන කතා කළ යුතුයි. 2015 වසරේ ලියූ කෘති ගැන මේ දවස්වල නැවත මතක් කිරීම් කරනවා නේ. ඇයි සාහිත්‍ය සම්මාන දෙන්න ළඟයි නේ. ලංකාවේ තියෙන්නේ සම්මාන සාහිත්‍යයක්. සම්මාන වෙනුවෙන් කුමන්ත්‍රණ කරන සාහිත්‍ය මාෆියාවක්. 

ලංකාවෙ විචාර කලාව කියන්නෙ පිට කසා ගැනීමට තවත් වචනයක්. එයා මෙයාගෙ කසනවා. මෙයා එයාගෙ කසනවා. 

කවියටත් පැතිරුණ මේ පිට කසන සංස්කෘතිය නිරූපණය කරන කවියක් මෙන්න.

කවි අමෝරා නැගිට එන්නෙමි..!

යුගයේ කවිලොව වැජඹෙන
මහ මුදලිඳු වෙඩිවර්ධන,
(වැලිගම කවි සුරේන්ද්‍රයන්,
සෙට්ටි කුමර ආරච්චිල හැරුණු කල්හි..,)
යුගයට කවියෙන් හිනැහෙන
'ප්‍රනයිණි', මහමොහොට්ටාල,
යුගයේ නැග එන කිවිඳිය ප්‍රියකාන්ත,
යුගයම ඩෝසර් කරනා ප්‍රීතිමත්ම ඩෝසන් තෙම,
යුගයම ඇම්බුෂ් කරනට
කවි අවි ගත් ඇම්බ්‍රෝස් ද,
නීල නෙතඟ කවි වෑහෙන සමනලීද,
මගෙ කවියට 'ලයික්' දමයි
මා ගත සිත බියෙන් සැලෙයි..,

නුඹ වන් මහ කිවිඳුන් මැද
දුහුනෙකි මා කවි අමුණන

උඩඟුව සිය තෙද බල ගැන
මනු දන නිවහන වනසන
අවසඟ ක්‍රමයක අවසන
ලොවටම කෙළ වී යන සඳ,
නරයෙකි මා "හදැති සසල"
උරණව දිවි ඉරණම ගැන
කවියෙන් කැටපෝල විදින

එනමුදු මා දැන් නැගිටිමි!

නිවැරදි ලෙස අල්ලාගත් කුමක් වුවද අවියක් වෙයි
නෙග්‍රි-හාර්ඩ් පැවසූ ලෙස
නිවැරදි ලෙස අල්ලාගත් කවියක් වුව අවියක් වෙයි
ඉතිහාසය පැවසූ ලෙස

ඒ අවි ගෙන මා නැගිටිමි..!

මාංචු හා බෙලෙක් තහඩු
කර්ණ කටුක කාක නාද
තැටි රත්වන කොත්තු හඬද
බොකු කොරවෙන පරිප්පුවද
මහමග කිච වෙන ජීවිත
මේ කවි කුඹුරෙහි පැලවෙන වස්තු බීජ

ව්‍යාකරණ දඬු ඉණිවැට උදුරාලනු
මනහර මෘදු චාටු බසින් නොමග නොයනු
ආකෘතික කටුකම්බිද ඉරා දමනු
මහ දහවල ඉහින් කනින් දාඩිය වගුරා දිවයන
මේ කවියට උදළු නොදා
සුධීමතුනි පසෙකට වනු

ලොව යන්නේ දකුණට උව
මෙකවි නදිය වමට ගලන බව දැන ගනු

-සුමිත් චාමින්ද

මේ වාමාංශික කවියෝ මහ මුදළිඳු, මොහොට්ටාල වගේ වචන පාවිච්චි කරන එක හරිම උත්ප්‍රාසජනකයි. හැබැයි, ඒ සමාජ සම්බන්ධකම්වලට සහෝදරයා කියන වචනෙට වඩා මේ වචන ගැලපෙනවා.

ලංකාවේ විචාරකයන් විචාර ලියන්නේ මතු බලාපොරොත්තු ඇතුව නෙමෙයි නම්, අතීතයේ ලබපු ප්‍රමෝදයන් නිසායි. විචාරයට පාත්‍ර වන්නා තමන්ගෙ සාක්කුවෙ නැතිනම් අඩු ගානෙ තමන්ගෙ ටියුෂන් පංතියක හරි ඉන්න ඕනැ. නැතිනම් විචාරය කරන කෙනා ඉන්නෙ විචාරයට පාත්‍ර වන්නාගේ සාක්කුවෙ.

මේ කුප්ප වැඩේට ලයිසන් ගත්තා ය කියා හිතාගෙන ඉන්න පිරිසකුත් ලංකාවෙ ඉන්නවා. 

අපි ලියන්නෙ ඒ අය ලියනවා ය කියන විචාර නෙමෙයි. අපි ලියන්නෙ අපි විඳපු රසය ගැන. 

අපි වෘත්තීය පොත් කියවන්නො නෙමෙයි. අපි ඔය කියවනවා ය, ලියනවා ය කියා කියවන සමාජවලත් නැහැ. කවුරුවත් අපව කලාකරුවන් ලෙස පිළි ගන්නෙත් නැහැ. අපි ඔය දොරට වැඩුං ගනුදෙනු කරන්නෙත් නැහැ. ඔයාගෙ එකට මං එනවා. මගේ එකට ඔයා එන්න. මළ ගෙවල් වගේ. ඒවට ගැලපෙන කලාත්මක කමිසත් අප සතුව නැහැ. ඒත්, යම් කලා කෘතියක් සිතට දැනුනාම හෙවත් සිංහලෙන් කියනවා නම් ෆීල් වුණා ම ඒ ගැන ලියන එක අපි නවත්වන්නෙත් නැහැ. රසවින්දනයත් මිනිස් අයිතියක්.

මේ ටික ලිව්වෙ ලංකාවේ සාහිත්‍ය සමාජයේ නිරුවත පෙන්නන්න ම නෙමෙයි. පුරුෂ මූලික සාහිත්‍ය මාෆියාව ඇතුළෙ පහසුවෙන් අමතක කර දමන්නට පුළුවන් ස්ත්‍රියක විසින් ලියන ලද නවකතාවක් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්නයි. විනිශ්චය කරන එක සාහිත්‍ය නඩුකාරයන්ට භාරයි. අපි 2015 වසරේ ලියපු ඔක්කොම නවකතා කියවලා නැහැ. 

ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක කියවන්න හිතාගෙන බම්බලපිටියේ, කොටුවේ, මතුගම අරෙහ මෙහෙ පොත් කඩ ගණනාවක සොයා බැලුවා. ඒත් සොයා ගන්න බැරි වුණා. පොත් පළ කරන එක වගේ ම අලෙවියේත් ගැටලු තිබෙනවානේ.  

සුරේඛා සමරසේනගේ නවකතාව ගැන මගේ අදහස් ලියන්න කලින් මේ මූලාශ්‍ර කීපයත් කියවන්න. සුරේඛාගේ තිත්තම ඇත්ත ‘මේ කතාව' සෑම වර්ගයක ම සාහිත්‍ය, සංස්කෘතික විනිසුරුවරු හා වාමාංශිකයන් හා එවැනි වෛකල්පිකයන් අනිවාර්යයෙන් ම කියවිය යුතුයි. මගේ රසවින්දනය පසුවට. 

සුරේඛා සමරසේන සමග සම්මුඛ සාකච්ඡාවක් මෙතනින්

සුරේඛා සමරසේන මේ දිනවල විඳින අත්දැකීමක් කවියට නැගූ අවස්ථාවක් මෙතැනින්

මේ තියෙන්නේ සුරේඛාගේ තවත් කවියක් W3Lankaහි නැවත පළ වූ අවස්ථාවක්

ලංකාවේ පිරිමි දක්ෂතා ඇති ගැහැනුන්ට බිය ඇයි? (ජානකීගේ සිට ශිරානි දක්වා) කියන ලේඛනය කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොහොමත් කල්ලි හදාගන්න එක නම් අමු ලෙඩක්.. යාළුවා උනත් කක්කා ගොඩක් නම් ඒ ගැන කියන්න බය වෙන්න ඕන නෑ.. කක්කා ගොඩ කක්කා ගොඩක් කිව්වාම ඌ තරහා වෙනවා නම් ඌ යාළුවෙක් නෙමෙයි... දැන් ඔය හඳයාගේ සෙට් එකයි.. සේපාල්ගේ සෙට් එකයි අතරේ තියෙන්නෙත් එහෙම කේස් එකක්.. සෙපාල් නම් ටූ මච් යනවය කියලයි මට හිතෙන්නේ.. හැබයි හඳයා නිසා ලංකාවේ සිනමාවක් තියෙනවා කියන කතාව ආවා... මේ කවියත් එහෙමයි... ඕකේ ඉතින් මහ ළොකු විචාර ලියන්න ඕන නෑ.. ඕක මහාළොකුවට අගය කරපු උනුත්... මේ වගේ ගෑණු කෙනෙකුට වේසී කියලා තමයි කියන්නේ...

    ReplyDelete
  2. අහම්බකාරක ගන්න යන්න මරදානේ සුරස වෙත. මං ගත්තේ එතැනින්.

    ReplyDelete
  3. "අහම්බකාරක" තුල කතා වෙන්නේ අතීත,වත්මන් දේශපාලන කතාන්දරය.එක නම් හැමදාටම වලංගු කතාවක්.

    ReplyDelete
  4. සුනිශ්චිත සාහිත්‍යකලා විචාර ක්‍රමවේදයක් සම්ප්‍රදානය කළ සුචරිත ගම්ලත් සහෝදරයා පිළිබඳ වෘෂභරාජ පැරකුම් ජයසිංහ යළිත් නන්දොඩවන බව පෙනේ. හිරු කණ්ඩායම දෙමළ ජාතිවාදී, ස්ටැලින්වාදී ව්‍යාපාරයක් බවට පැරකුම් ජයසිංහ නන්දොඩවන විට අපි ඉවසා සිටියෙමු. එහෙත් ගම්ලත් සහෝදරයාට මඩ ගසන පැරකුම් ජයසිංහ මැට්ටාට අප විසින් පිළිතුරු ලබා දිය යුතු බව අපගේ පරම්පරාවේ සුධීමතුනගේ අදහස වී ඇත. පැරකුම් ජයසිංහ, ඔබ දන්නා සාහිත්‍යකලා විචාරයක් හෝ මාර්ක්ස්වාදයක් හෝ නොමැත.

    දේශපාලනය සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ස්ථාවරය ම බව ඔබ පසුගිය දිනෙක සෘජු ව ම ප්‍රකාශකර තිබුණු නිසා අපට දැන් ඔබ සමඟ සංවාදයක් නැත. එනිසා වම පිළිබඳ නො ලියා ඔබට අවැසි වෙනත් ඹ්නෑ ම දෙයක් ලියා ගන්නට ඔබට හැකි ය.

    සාහිත්‍යකලා හෝ එනමින් ඔබ හඳුනාගන්නා වෙනත් ඕනෑ ම පල් හෑල්ලක් හෝ පිළිබඳ ඔබ ඔබගේ ඊනියා රස වින්දන නන්දෙඩවිලි ලියා පළ කර ගත්තාට අපට ගැටලුවක් නැත. එහෙත් ඔබ ඔබගේ පථයෙන් අපගමනය වී සාහිත්‍යකලා විචාර අඹරේ සුදීප්තිමත් තාරකාවනට මඩ ගැසීම නවතා දැමිය යුතු ය. ගම්ලත් සහෝදරයා වැනි අතිදැවැන්තයෙකුගේ ප්‍රතිරූපයට ඔබ වැනි පිග්මියෙකුගේ ගොබ්බ ප්‍රකාශවලින් අංශු මාත්‍රයක හෝ හානියක් සිදු වන්නේ නැත. මැස්සා කෙතරම් උඩ ගිය ද මැස්සා ම ය. බහුශ්‍රැත, බහුපඨිත සුචරිත ගම්ලත් නම් ලාංකීය ප්ලෙකානොව් ඉදිරියේ ඔබ කෙතරම් අල්ප්‍රශ්‍රැත, අල්පපඨිත ගොබ්බයෙකු ද යන්න ඉදිරියේ දී සාධනය කර පෙන්වන තැනට වැඩ කටයුතු නො කර ගනු මැනවි.

    පැරකුම් ජයසිංහ වැනි සරලමතිකයෙකු වමෙන් පිටමං ව යාම වමේ වාසනාවක් බව අප මින් පෙර අපමණ වාර ගණනක් පවසා ඇත. දැන් අපට එයට තවත් දෙයක් ද එකතු කරන්නට සිදු ව තිබේ. අපි අකමැත්තෙන් වුව මෙසේ පවසමු:

    පැරකුම් ජයසිංහ ප්‍රමුඛ ධාරාවේ මාධ්‍යයෙන් පිටමං ව යාම ප්‍රමුඛ ධාරාවේ මාධ්‍යයේ වාසනාවකි.

    එම කාරණය පිළිබඳ අපගේ අවධානය යොමුකර වූ අපගේ පැරණි විදග්ධ මාධ්‍ය සහෝදරයාට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ ආයෙ එන්නෑ ආයිබොවං කියල ගියා නේද සැරයක්. මම හිතුවෙ දැං උඹ වෙන කොහේහරි ලියනව ඇති මේක බලන්නෙවත් නැතුව ඇති කියල​.
      බලපං බලපං කොමෙන්ටුත් දාපං හැබැයි ලොකු එක පෙන්නන්න ඕන නෑ. ඒව බලන්න ඕන වුනාම අපි ලොකු පොත් අරං කියවන්නම්.

      Delete
  5. සාහිත්‍යකලා විචාර අඹරේ සුදීප්තිමත් තාරකාව මෙවැනි පුරුෂෝත්තමවාදී ගොබ්බ ප්‍රකාශයක් කළේ ඇයි ද යන්න ඔබට කියා ගියා නම් මෙහි සටහන් කරන්න. "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

    පැරකුම් ජයසිංහ පිටමං කරන්නට හිරු කණ්ඩායම උත්සාහ කළේ වමෙන්, මාධ්‍යයෙන් පමණක් නො වන බව ද, ආණ්ඩුව ලවා ජීවිතයෙන් ද පිටමං කරන්නට උත්සාහ කළ බව ද ඒකට දැන් නම් සෑහෙන්න කල් යනු ඇති බව ද ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි.

    ධනේශ්වර ව්‍යාපාරිකයන් සමග සන්ධානගත වෙමින් පත්තරයක පිටුවකින් මා පිටමං කරන්නට හිරු කණ්ඩායම 2007දී කළ කුමන්ත්‍රණය ඔබ ඔය කියන ව්‍යාපෘතියේ කොටසක් විය හැකි ය.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයත් එජාප නායකත්වයේ ස්ථාවරයත් එක සමාන බව අපි කීවෙමු. ඉතින් එසේ සමාන වෙන එකෙහි ඇති වරද කුමක් ද? ඔබ එය විකෘති කර දක්වන්නේ “දේශපාලනය සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ස්ථාවරය ම බව ඔබ පසුගිය දිනෙක සෘජු ව ම ප්‍රකාශකර තිබුණා" කියා ය. ඔබගේ දේශපාලන කුහකත්වයට ඊට වඩා සාක්ෂි කුමට ද?

    මම මැස්සෙකි. ගොබ්බයෙකි. එහෙත්, මට නම් කීමෙන් ඔබට ඔබේ ප්ලෙකානොව් තබා ඔබ හෝ ආරක්ෂා කර ගත නො හැකි ය. එය කළ හැක්කේ ඇනොනිමස්කමට මුවා වීමෙනි.

    ඔබ කැමති ඕනෑම තැනකදී ඕනෑම විවෘත සංවාදයකට එන්න. ඔබේ හිස්කම පෙන්වා දෙන්නට අපි මහත් කැමැත්තෙමු.

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් කිව යුතු ය. අප දේශපාලනය කරන්නේ ඔබ ඔය කියන දෙය වෙනුවෙනි. එනම්, මැස්සන්, ගොබ්බයන් කියා සදා පිටමං කර සිටින මිනිසුන්ට කතා කරන්නට ඇති බිය නැති කිරීම වෙනුවෙනි.

      මැස්සන් හා ගොබ්බයන් පෝස්ටර් ගසාගෙන, මිනී මරාගෙන ඉන්නා තාක් කල් ඔබ වැනි අයට ප්‍ර‍ශ්නයක් නැත. ප්‍ර‍ශ්නය ඇති වන්නේ මැස්සන් හා ගොබ්බයන් තීරණ ගැනීමේ බලය ඉල්ලූ කල ය.

      විකල්පයට ධනේශ්වර ආකල්ප වැදගත් නැත. ආචාර්ය, මහාචාර්ය, හාමුදුරු, පාදිලිකං වාමාංශික දේශපාලනයට අදාළ නැත. කම්කරුවකු වූ කේ.පී. සිල්වා කොමියුනිස්ට් පක්ෂ නායකයා වූයේ දැන් බිඳ වැටී තිබෙන ඒ වාම සංස්කෘතිය තුළිනි.

      වීරයන් ප්‍ර‍බන්ධ කිරීම හෝ මළවුන් වන්දනා කිරීම වැනි අභිචාරවලින් වාම දේශපාලනය මුදා ගත යුතු ය. වීරයන් ලෙස පෙනී සිටින හොරුන්, තක්කඩින්, බුද්ධිමතුන්, සෑම ආකාරයක ම පීඩිතයන් ආදී සියල්ලන් එක පොළවකට ගෙන එන සමාජවාදී දේශපාලන භාවිතාවක් වෙනුවෙන් අප කරන මෙම අරගලය අප නවත්වන්නේ ද නැත.

      එසේම, අප එය කරන්නේ පැහැදිලි තෝරා ගැනීමකින් බව ද, මුද්දර එකතු කරන්නා සේ විනෝදාංශයක් ලෙස සම්බන්ධකම් එකතු කිරීම අප නවත්වා ඇති බව ද කියන්නෙමු.

      අපට කාගේවත් සම්මාන, ගරුසරුකම් වැඩක් නැත. පුද්ගලයන් ලෙස අපගේ කිසිදු වැදගත්කමක් නැත. වැදගත්කම ඇත්තේ ක්‍රියාවලිය තුළ පමණි.

      හිරු කණ්ඩායම නෙමෙයි, ඕනැ කෙනෙක් එක්ක එළිපිට සංවාද කරන්න අපි බය නැහැ. අපි පොත්වලට බය නැහැ. අපි හිතන මිනිස්සු. අපි ගරු කරන්නෙ නිර්මානශීලිත්වයට විතරයි.

      Delete
  6. අම්මගෙන් ගේම ඉල්ලන්නේ නැතුව කාමරයක් ඉල්ලුවානම් හරිනේ

    ReplyDelete
  7. "සාහිත්‍යකලා විචාර අඹරේ සුදීප්තිමත් තාරකාව මෙවැනි පුරුෂෝත්තමවාදී ගොබ්බ ප්‍රකාශයක් කළේ ඇයි ද යන්න ඔබට කියා ගියා නම් මෙහි සටහන් කරන්න." යැයි පැරකුම් ජයසිංහ අපගෙන් ඉල්ලා සිටී. මෙකී ප්‍රකාශය පිළිබඳ කෙසේ වෙතත් සමස්ත ස්ත්‍රී වර්ගයා කෙරෙහි තමන් තුළ වූ ගෞරවය ගම්ලත්හු මහනුවර ගත කළ සමයේ ද හෝමාගම ගත කළ සමයේ ද නිතොර පැවසූහ.

    "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

    පූර්වෝක්ත (කථන භාෂිත) ප්‍රකාශය තුළ පවතින පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදය කුමක් ද? එම ප්‍රකාශයේ කිසිඳු පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයක් ගැබ් ව නැත. ජයසිංහගේ අර්ථකථනය වූ කලී කීර්තිශේෂභාවෝපගත සුචරිත ගම්ලතුන්ගේ කිතු සිරුරට කලල් පතනය කිරීමේ දුෂ්ට අභිලාෂයෙන් ඔහු විසින් තම මනසේ නිර්මාණය කර ගනු ලබන විඥානවාදී අර්ථකථනයකි. එම අර්ථකථනය තුළ පැරකුම් ජයසිංහ විඥානවාදී බර්ක්ලියානු අවතාරයක් බවට පත් වේ.

    ගම්ලතුන්ගේ පූර්වෝක්ත ප්‍රකාශය වූ කලී සමකාලීන ලාංකීය නවකතාවේ ඛේදනීය තත්ත්වය පිළිබඳ කෙරුණු සාර ප්‍රකාශයකි. සමකාලීන ලාංකීය නවකතාව සාහිත්‍යාත්මක ව ද භාෂාත්මක ව ද ඉතා අවියත් අගාධයක වැටී ඇති බව පැරකුම් ජයසිංහ නො දන්නා නමුත් ශාස්ත්‍රවන්තයෝ නම් මැනවින් දනිති. සුචරිත ගම්ලතුන් ඒ බව දැඩි විවේචනාත්මක බසකින් පවසා ඇත. ගම්ලතුන් කර ඇති විවේචනය එකී කෘතිවල නිසරු අන්තර්ගතය සහ අවියත් බස පිළිබඳ විවේචනයක් විනා එකී කෘතිවල කර්තෘත්වය ස්ත්‍රීන්ගේ වීම පිළිබඳ විවේචනයක් නො වේ. සෙන්ටිමීටරයක තරම් හෝ මස්තිෂ්ක බාහිකයක් ඇති පුද්ගලයෙකුට ඒ බව වැටහෙනු ඇත. සුචරිත ගම්ලතුන් ජීවිතයේ කවර කලෙකවත් පුරුෂෝත්තමවාදියෙකු නො වූ බව දන්නෝ දනිති; පැරකුම් ජයසිංහයෝ නො දනිති.

    අසූව දශකයේ අග දී සුනේත්‍රාගේ සඳුන්ගිර ගිනි ගනියි කෘතිය පිළිබඳ ගම්ලත්හු සාධනීය විචාරයක් කළහ. සුනේත්‍රා දක්ෂ ලේඛිකාවක වූ බව අපි පිළිගනිමු. පශ්චාත් කාලීන ව යෝගාවචර වූ සුනේත්‍රා වත්මනෙහි ලියන දෑ තුළ අප එකල දැන සිටි සුනේත්‍රාගේ ලියවිලිවල තිබූ ප්‍රභාව විද්‍යාමාන නො වේ. මේවා සුනේත්‍රාගේ කෘති අලළා කෙරෙන සාහිත්‍යකලා නිගමන විනා ඇයගේ ස්ත්‍රීත්වයට එරෙහි වන නිගමන නො වේ. කලා කෘතියක් විචාරයේ දී අපට කර්තෘගේ ස්ත්‍රී-පුරුෂභාවය හෝ ගිහි-පැවිදිභාවය හෝ රැකි-රක්ෂාව හෝ වැදගත් නැත. ඇගයීමට මෙන් ම විවේචනයට ද එකී සාධක අවිෂය ය. සුමිත්‍රාගේ බුමුතුරුණු පිළිබඳ දශක ගණනකට පෙර යම් ඇගයීමක් කරන කල ද ඇගේ විකාරරූපී මෑත කාලීන කෘති පිළිබඳ යම් විවේචනයක් කරන කල ද සුමිත්‍රාගේ ස්ත්‍රීත්වය අපට වැදගත් වන්නේ නැත. ශාන්ති දිසානායක උතුරු මැද පළාතේ ගෘහිණියක ව සිට වරාමල් ලියූ පමණින් වරාමල් විශිෂ්ට කෘතියකි යි පවසන්නය අපට හෝ සමන් වික්‍රමාරච්චිට හෝ පිස්සුවක් තිබුණේ නැත.

    ස්ත්‍රී වර්ගයාගේ ඒකායන ගැලවුම්කරුවා තමා යයි හඟවන පැරකුම් ජයසිංහ ස්ත්‍රීත්වය පිළිබඳ අනුයන අස්ථානය ස්ත්‍රීවාදී කතිකාවට සාකල්‍යයෙන් ම ප්‍රතිවිරුද්ධ ය. ස්ත්‍රීහු නම් පැරකුම් ජයසිංහ වැනි මෝඝ පුරුෂයන්ගේ ව්‍යාජ ලෙස ගිනිගෙන දැවෙන ළයමඬ‍ලේ සානුකම්පිත ළසෝ ගීයෙන් සැනසෙන්නට බලා සිටින දුර්වල පෞරුෂත්වයක් ඇති පිරිසක් නො වෙති. ස්ත්‍රීවාදී කතිකාව බිහි වන්නේ ම පුරුෂයන්ගේ සානුකම්පාවට එරෙහි ව ස්ත්‍රී හිමිකාරීත්වය පිළිබඳ කතිකාවෙනි. පළමු රැල්ලේ ස්ත්‍රීවාදී කතිකාවේ පුරෝගාමී ඉංගිරිසි ප්‍රකාශිකාව වූ මේරි වොල්ස්ටෝන්ක්‍රාෆ්ට්ගේ ද පුරෝගාමි ඇමෙරිකානූ ප්‍රකාශිකාව වූ මාග්‍රට් ෆුලර්ගේ ද සිට ශ්‍රී ලංකාවේ සුනිලා අබේසේකර දක්වා කිසිඳු ස්ත්‍රීවාදිනියක පැරකුම් ජයසිංහ වැනි පුරුෂයන්ගේ ව්‍යාජ සානුකම්පාව බලාපොරොත්තු වූයේ නැත. සුනිලා ජීවත්ව සිටියා නම් " ඔය ජයසිංහලාගේ අනුකම්පාවෙන් අපට වැඩක් නැත" යැයි පවසනු ඇත. ස්ත්‍රීනට විමුක්තිය ලබා දීම ඩබ්ලිව් තුන ලංකා හරහා තම සානුකම්පාව මත ම සිදු විය යුතු යැයි පැරකුම් ජයසිංහ සිතීම ම පරම පුරුෂෝත්තමවාදී ආකල්පයකි. මේ වූ කලී දෙමළ ජනතාවට විමුක්තිය ලබා දීම සිංහල මහා ජාතියේ සානුකම්පාව මත ම සිදු විය යුතු යැයි සිතීම වැනි අතිශය ප්‍රතිගාමී ආකල්පයකි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සිංහල මහා ජාතියේ සානුකම්පාව නො ව තම හිමිකම් බව සිංහල මහා ජාතිය වටහා නො ගන්නා සේ ම, ස්ත්‍රී වර්ගයාට අවශ්‍ය වන්නේ පුරුෂ වර්ගයාගේ සානුකම්පාව නො ව තම හිමිකම් බව ද පැරකුම් ජයසිංහ වටහා නො ගනී.

    Cont...

    ReplyDelete
  8. නිර්මල මාර්ක්වාදියෙකු වූ සුචරිත ගම්ලතුනට කලල් පතනය කරනා රිසියෙන් පුරුෂෝත්තමවාදී අපනාම බඳවන පැරකුම් ජයසිංහ නමැත්තා එකී අසාධු ව්‍යායාමයෙන් තමන්ගේ අඥ බව ම ප්‍රකට කරවයි. සාහිත්‍යකලා විචාර ක්ෂේත්‍රයේ අන්‍යතර සුධීමතුන් පවා හුදු පිග්මීන් බවට පත් කළ අසම සම දැවැන්තයෙකු වූ සුචරිත ගම්ලතුන් "ළඳුන් වෙත සතතා - කරව් බුහුමන් අමිතා" යන සාර අධ්‍යාශයෙන් කටයුතු කළ ප්‍රාඥයෙකු බව පැරකුම් ජයසිංහ නො දනී. සුචරිත ගම්ලතුන් එවකට මෙරට පැවති "කාන්තා විමුක්ති" ව්‍යාපාරයේ න්‍යායාත්මක ලුහු තැන් කීපයක් පෙන්වා දුන් කල, අතීතයේ යම් දිනෙක මොනිකා රුවන්පතිරණ සිරිමතිය "සුචරිත කාන්තා විමුක්තියට එරෙහි පුරුෂෝත්තමවාදියෙකි" යි පැවසුවා ය. "කාන්තා" යන්න සියලු ස්ත්‍රීන් අරබයා ව්‍යවහාර කිරීම ම පරම පුරුෂෝත්තමවාදී අස්ථානයක් බව පෙන්වා දෙමින් ද මොනිකා උත්සුක විය යුත්තේ "ස්ත්‍රී විමුක්තිය" සඳහා බව පෙන්වා දෙමින් ද ගම්ලතුන් ලියූ විශිෂ්ට ලිපි පෙළ තුළ ඔවුන් ස්ත්‍රී වර්ගයා කෙරෙහි පෑ ගෞරවනීය ආකල්පය මනා ව පිළිබිඹු විණ.

    පැරකුම් ජයසිංහ මේවා නො දනී. පැරකුම් ජයසිංහ දන්නා එක ම දෙය නම් ධනපති පංතියේ වසුරු බුදිමින් වාමාංශිකයනටත් ශාස්ත්‍රෝන්නතිකාමී සුධීමතුනටත් මඩ ගැසීම ය. අප විරුද්ධ වන්නේ පැරකුම් ජයසිංහ යන කාබනික සංස්ථිතියේ පැවැත්මට නො ව පැරකුම් ජයසිංහගේ අවසන් වශයෙන් සඳහන් කළ අසාධු චර්යාවට ය.

    (2016 මැයි මස 30 වැනි දිනෙන් පසු අප ඩබ්ලිව් තුන ලංකාහි ආලෝචනා තැබුවේ අද ය. ඇනොනිමස් වීම පිළිබඳ පැහැදිලි කිරීමක් අප විසින් ජුනි මස මුල දී පැරකුම් වෙත ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් යවන ලදී.)

    ReplyDelete
  9. ස්ත්‍රී වර්ගයාගේ ඒකායන ගැලවුම්කරුවා තමා යයි මා හඟවන්නේ ය වැනි මම කිසිදු කලෙක සිහිනෙන්වත් නො සිතන ඔබ මෙහි සඳහන් කරන කරුණු බොහොයක් මා සාමාන්‍ය සිරුරට කලල් පතනය කිරීමේ දුෂ්ට අභිලාෂයෙන් ඔබ විසින් තම මනසේ නිර්මාණය කර ගනු ලබන විඥානවාදී අර්ථකථනයන් වන හෙයින් මට ඒ ගැන ඔබ සමග කතා කිරීමේ කිසිම උවමනාවක් නැත.

    ඔබ කියන ශාස්ත්‍රොන්නතිකාමී සුධීමතුන් සමග අපට කිසිදු ගැටලුවක් නැත. ඔවුන්ගේ භූමිකාව ගැන අපට ඉතා හොඳ ඇගයීමක් ද ඇත. එහෙත්, එහෙම අය ය කියා වන්දනා මාන කිරීමට අපට අවශ්‍යතාවක් නැත. කිසිවෙක් සෑම කල්හි ම එක ම ආකාරයෙන් කටයුතු කරන්නේ නැත. අප සුචරිත ගම්ලත් ගැන සඳහන් කළේ කිසියම් නිශ්චිත කාරණාවකට අදාළව ය. ඔහු සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා සම්බන්ධයෙන් කළේ ඔය කියන ආකාරයේ කලල් පතනයක් මිස විචාරයක් නො වේ. පොදු පුරුෂයා නවකතාව විචාරය කිරීමට ඔහු යොදා ගත්තේ භාෂාව හඩු ය යන පෞද්ගලික නිර්නායකයකි. එහි අන්තර්ගතය ගැන ඔහු ගැඹුරු අදහසක් පළ කළ බවක් අප අසා නැත. එහෙත්, පොදු පුරුෂයා යනු එසේ කුණපයක් සේ බැහැර කළ හැකි අන්තර්ගතයක් ඇති කෘතියක් නො වේ. එහි පුරුෂ චරිතය එක්තරා ආකාරයකට වාමාංශික / එන්ජීඕ පොදු පුරුෂයකු වීම බොහෝ වාමාංශිකයන්ට ඩෝං යන්නට හේතුව බව පෙනේ.

    අනෙක මෙම ලිපියේ අරමුණ සුචරිත ගම්ලත් ගැන විමසීම නො වේ. ඔබට කැමති ප්‍ර‍තිරූපයක් ඔබ වන්දනා කර ගත්තාට අපට කමක් නැත. එහෙත්, අප ප්‍ර‍තිරූප වන්දනා නො කරනවා පමණක් නොව, අප කරන්නේ කුමක් ද යන්න ද ඉතා පැහැදිලිව කියා ඇත.

    ඇනොනිමස් වීම ගැන ඔබ අප වෙත ඉලෙක්ට්‍රොනික් තැපෑලෙන් එව්වා ය කියන මළ ඉලව්වක් අපට නම් ලැබී නැත. අඩු තරමේ ස්පෑම් එකක් ලෙස හෝ ලැබී නැත. ඔබ කලින් කලට ඔබේ ආලෝචනා කැපුවා ය, ඊමේල් එව්වා ය අරවා මේවා කියමින් නාහෙන් අඬන්නට ඕනෑ නැත.

    අපි විවෘත සංවාදයකට කැමති ය. අපේ හැංගි හොරා නැත. අප නමින් පෙනී සිටින්නේ ද අපේ දේශපාලනයේ ම කොටසක් ලෙස ය. අප එසේ විවෘතව පෙනී සිටිමින් බොහෝ අනතුරු දරා ගත්තේ ද එම පදනමින් ම ය.

    අප කරන දේ ගැන ඔබට විවේචන තිබේ නම් ඒවා ඔබට කළ හැකි ය. ඒවායින් අපගේ පාඨකයෝ දැනුමක් ලබා ගන්නවා ඇත.

    මා මැස්සකු, ගොබ්බයකු බව ඔප්පු කරන්නට කාලය වැය නො කර ඔබගේ ඔය නිර්මල මාක්ස්වාදයෙන් මිනිස් සමාජයට කළ හැකි යමක් තිබේ නම් කරන්න.

    මැස්සන් උන්ගේ වැඩේ කරනු ඇත. මැස්සා ලාඩම් ගසන විට අස්සයා කකුල උස්සන්නට යාම මළ විකාරයකි.

    ReplyDelete
  10. Dear Perakum,

    The email keeps on bouncing back. Shall I post it here so that you could read it and discard? You may take it as a private posting since it was originally an email. I assure you that there isn't any harangues within the content. You may choose not to authorise it for public reading as you may wish. Shall I?

    ReplyDelete
  11. වත්තේ නැන්දගේ රෙද්දේ තුත්තිරි සිත්ත පත්තිනි දෙවියනේ තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිතතමයි බොළ දෙවියනේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා