මුසම්මිල්ට පස්සෙ රංජිත් සෝමවංශට එම චෝදනාව ම

වමේ සිට දෙවැන්නා රංජිත් සෝමවංශ ය
පොදු දේපල අපහරණය අපේ රටේ ඉතා සාමාන්‍ය ක්‍රියාවකි. ඒවා කරන්නේ දේශපාලකයන් පමණක් නො වන බව ද, වැඩිපුර ම පොදු දේපල අපහරණය කරන්නේ රජයේ සේවකයන් බව ද අමතක නො කළ යුතු ය. මූලිකව ම මහජන මුදලින් වැටුප් ලබමින් තමන් කළ යුතු රාජකාරි නො කර ජනතාව රස්තියාදු කිරීම පැහැදලිව ම මහජන මුදල් අවභාවිතාවකි. රජයේ මුදල් යනු පොදු දේපලකි. අප දේශපාලකයන්ගේ පොදු දේපල අවභාවිතාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවා තනි තනි පුද්ගලයන් ලෙස ගත් කල දැවැන්ත නිසා ය. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල වැඩි ම පොදු දේපල අවභාවිතාවක් කරන්නේ රජයේ නිලධාරීහු ය.

මුසම්මිල් රිමාන්ඩ් කර ඇත්තේ අතිශය බරපතල වංචාවක් සම්බන්ධ විමර්ශනකට ය. ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ගෝලයන් සුවිශේෂ සොර පිරිසකි. ඔවුන් වනාහි අති පිරිසිදු යයි කියන ජවිපෙ දේශපාලනයේ සිට ඔවුන් ධනපති පක්ෂ යයි කියන දේශපාලනයට පැමිණි පිරිසකි. විමල්ගේ සිට පහළ ඇච්චන් බැච්චන් දක්වා සොරකම් කරගෙන කරගෙන ගියේ දිගු කලක් බඩගින්නේ සිටි බඩගිනිකාර බල්ලන් පිරිසක් අහු වුණ ඕනෑම කෑම ගොඩක් කාගෙන, කාගෙන යන පරිද්දෙනි.

එහෙත්, නීතිය ක්‍රියාත්මක වන්නේ සර්ව සාධාරණ අන්දමින් නො වන බව පැහැදිලි ය. එහි ඇති වරණයන්ට හේතු විග්‍රහ කිරීම දුෂ්කර ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය පළ කර ඇති ඇතැම් දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන තත්වයක් හෝ නීතිය පමා වන තත්වයක් දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස, මුසම්මිල්ට එල්ල වී ඇති චෝදනාව හා සමාන ම වාහන අවභාවිතයක් පිළිබඳ චෝදනාවක් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශට එරෙහිව තිබේ.

රංජිත් සෝමවංශ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී, 2015දී අමාත්‍යංශය සතු XX 8773 දරණ ජීප් රථය කුලියට වාහන සපයන පෞද්ගලික ආයතනයකට කුලී පදනම මත රියදුරෙක්ද සමඟ ලබා දී රු. 145,750ක් හා රු. 129,200ක් ලබාගෙන ඇති බවට අමාත්‍යවරයාගේ පෞද්ගලික රියදුරන් ලෙස කටයුතු කරන ලද ඩබ්ලිව්. චන්දන, කේ.වී. සුජිත් සමන්කුමාර හා එම්.ඒ.ඩී.ඩී.ජී. ගුණතිලක යන තිදෙනා විස්තරාත්මක පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිවක් සිදු වී නැත. හැබැයි, මුසම්මිල්ගේ සිද්ධිය ඊට කලින් සිදු වූ එකක් නිසා පිළිවෙලට බඩු එනවා වෙන්නත් පුළුවන. හැබැයි, විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ වැනි සැලකිය යුතු පිරිසකට එරෙහිව තවම ක්‍රියාමාර්ග ගෙන නැති අතර, මහින්ද රාජපක්ෂ රට රටවල් ගානේ පවා ගොසින් තමන් හොරකම් කළා නම් ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන්නට පවා එඩිතර හෝ මෝඩ වී ඇත.

උදය ගම්මන්පිලගේ සිද්ධිය ද සොරකම් චෝදනාවක් වන අතර, ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ ප්‍රමාද වෙලා ය.

මෙම අත්අඩංගුවට ගැනීම් පළිගැනීම් ලෙස හඳුන්වන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන අංශවල ආවේණික අකාර්යක්ෂමතාව හා ප්‍රමාදය නිසා ය. මේ යන අනුපිළිවෙල අනුව මේ රජයේ සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනෙනු ඇත්තේ පමා වෙලා ය. එතකල් පක්ෂග්‍රාහිත්වය ගැන නීතිය ක්‍රියාත්මක කරන අංශවලට චෝදනා කරන්නට ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව තිබේ. කාටත් එක හැන්දෙන් බෙදන එක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමකි. නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන අතපෙවීම් සාපේක්ෂව අවම බව අධ්‍යයනය කර බැලුවොත් පෙනෙනු ඇත. මේ අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ ද නීතියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ය. ඒවා දේශපාලන මෙහෙයවීම මත සිදු වන බව සාමාන්‍ය නිරීක්ෂණයක් පමණි.

දැන් ඒකාබද්ධ විපක්ෂයේ අයගේ අඳෝනාව පලිගන්නවා ය කියා ය. එහෙත්, ඔවුන් කර ඇති වැරදි බරපතල ය. මෙතෙක් කල් සිදු වී ඇත්තේ දේශපාලන හයිය භාවිතා කරමින් ඒවා යට ගසා ගන්නා එක ය.

දැන් ඉතින් මේ පලිගැනීමේ කතා වැඩක් නැත. නීතියට මුහුණ දිය යුතු ය. ඒ අතර ඔවුන් සටන් කළ යුතුව තිබෙන්නේ කාටත් සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරවා ගන්නට ය. උදාහරණයක් ලෙස මුසම්මිල්ට එරෙහිව ඇති චෝදනාව වැනි ම චෝදනාවක් වෙනුවෙන් රංජිත් සෝමවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන්නේ මන්ද යන්න ප්‍රශ්න කළ යුතු ය.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය තම දේශපාලන බලය මගින් මගින් නීතිය යටපත් කර ගත හැකි යුගයක් නැවත නිර්මානය කර ගන්නට ය. 

ඒ වෙනුවෙන් ඔවුන් උත්සාහ කරන්නේ වත්මන් පාලකයන් දේශපාලන බලය පාවිච්චි කර ඔවුන්ට එරෙහිව නීතිය උසිගන්වනවා ය කියන්නට ය. 

එහෙත්, නිවැරදි දේශපාලනය වන්නේ නීතිය දේශපාලනයට ඉහළින් පිහිටුවීම වෙනුවෙන් අරගල කිරීමයි. මේ රටේ පුරවැසියන් අරගල කරන්නේ ඒ වෙනුවෙනි. 

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රජයේ මුදල්වලින් සුපිරිතට්ටු නිවාස සාදා තම නෑදෑ හිතවතුන්ට බෙදාදුන් මුසාමිල්ගේ බොස් වහන්සේ යහතින් සිටින්නේ කොහොමද ?.

    ReplyDelete
  2. මුසාමිල්ගේ චෝදනාව මට තේරුන විදිහ නම් මෙහෙමයි. ජානිපෙ මුක්කුවෙන් පසු ජනාධිපති ගේ වාහන 1000 න් එකක් මුසාමිල් ගේ පරිහරණයට දී තිබී ඇත. පසුව ඔහු යම්කිසි රාජ්‍ය ආයතනයකට අධ්‍යක්ශක වරයෙකු ලෙස පත්වී ඇත. එහිදී ඔහු ජානාධිපති සංචිතයේ වාහනයේ අංකයටම පෞද්ගලික වාහනයක් පරිහරනය කරන බව දන්වා ලක්ෂ 60 ක දීමනා ලබාගෙන ඔහුගේ බිරිඳගේ ගිණුමේ තැන්පත් කර ඇත.

    පැරා කියන රංජිත් සෝමසිරිගේ වරදත් මෙයට සමාන වුවත් ඔහු කර ඇත්තේ තමන්ට ලැබුණු පහසුකමක් පාවිච්චි නොකර එක මුදල් කරගැනීමක්. මුසාමිල් ගේ වරද වෙනස් වන්නේ ඔහු අයථා ලෙස මුදල් ලබා ගෙන තිබුණේ රාජ්‍ය ආයතනයකින් වීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා