කොටින්ට යළි නැගිටින්නට පුළුවන් ද?

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ - 2016-05-15

අපගේ නිරීක්ෂණ අනුව, කොටි සංවිධානය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ හොට බිම ඇනගෙන ඇති බවක් පෙනේ. 

සිද්ධිය හෙළිදරව් වීමේ සුලමුල පවුල් ආරාවුලක් විය හැක. චාවාකච්චේරියේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය අත්අඩංගුවට පත් වී ඇත්තේ සැමියා ගංජා විකුණන බවට බිරිය දුන් තොරතුරක් අනුව සොයා බලද්දී බව වාර්තා වේ. 

එම පුද්ගලයාගේ ගිනුමට ලක්ෂ ගණනින් මුදල් දැමූ අය හා ඔහුට දුරකථන ඇමතුම් දුන් අය පිළිබඳ විමර්ශන ඔස්සේ තවත් පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

චාවාකච්චේරි පොරට ඇමතුම් දුන් විදෙස් දුරකථන අංකවලින් ලංකාවේ තවත් කොටි පොරවල්වලට ඇමතුම් ලැබී තිබේ. ඒ පොරවල් වනාහි කොටි සංවිධානයේ සිට, පසුව හමුදාව සමග බිල්ලන් ලෙස වැඩ කර, හමුදාව විසින් නිදහස් කරන ලද රාම්, නගුලන්, ප්‍රභා වැනි අයයි. සිද්ධිය පිළිබඳ විමර්ශන කරමින් තිබේ. 

මීට පෙර 2014 අප්‍රේල් මාසයේදී ද කොටි සංවිධානය යළි පණ ගන්වන්නට උත්සාහ කළ ගෝපි, අප්පන්, තේවියන් නම් තිදෙනෙකු රජය විසින් මරා දමන ලදී. ඔවුන් මරා දමනු ලැබුවේ නැදුන්කර්නි වනයේදී 3000ක් පමණ හමුදා භට පිරිස් විසින් කරන ලද මෙහෙයුමකිනි.

මෙම සිදුවීම් දෙකේදී ම දක්නට ලැබුණු දෙයක් වන්නේ මෙම පුද්ගලයන් මෙහෙයවීම සිදු කර ඇත්තේ විදෙස්ගතව සිටින බලවේග විසින් වීමයි. ඔවුන්ට ඇති තරම් මුදල් ලැබී තිබේ. එසේම, දේශීයව ද ඔවුන්ට සහයෝගය දක්වන ප්‍රජාවක් සිටිය හ. ඔවුන්ගෙන් ඇතැමෙක් රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධ අයයි. වසරක් පමණ අත්අඩංගුවේ සිට ඇප පිට මුදා හරින ලද ජෙයකුමාරි එක් අයෙකි. ගෝපි මුල්වරට පළා යන්නේ ජෙයකුමාරිගේ නිවසේ සිට බව හමුදාව පවසයි.

ජෙයකුමාරිත්, ඇගේ බාල වයස්කාර දියණියත් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත්, ඇයට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට පොලිසිය තවමත් සමත් වූයේ නැත. දකුණේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය කණ්ඩායම් හා වාම සංවිධාන ඇය වෙනුවෙන් පෙනී සිටි අතර, ඇය වීරවරියක බවට පත් කරන ලදී.

චෝදනා ඔප්පු කරනතුරු සෑම සැකකරුවෙකු ම නිවැරදිකරුවකු ලෙස සැලකේ. එහෙත්, චෝදනා ඔප්පු වී නැතත්, මහින්ද රාජපක්ෂ මහජන මුදල් සොරකම් කළ අයෙකු බවට පැහැදිලි තොරතුරු ඇත. 

ජෙයකුමාරිටත් නීතියේ සාධාරණත්වය ඉටු විය යුතු ය. එහෙත්, ඇය වීරවරියක කරන ලද වාම, මාධ්‍ය හා එන්ජීඕ මෙහෙයුම ගැන නැවත සිතා බැලිය යුතු ය. 

කොටි සංවිධානයට නැගිටින්නට උපකාර කළ බවට චෝදනා ලබන ජෙයකුමාරි කුමන අන්දමේ කෙනෙක් ද යන්න සොයා බැලිය යුතු ය.  ඇගේ සැමියා වසර ගණනකට පෙර රෝගාතුරව මිය ගොස්ය. ඉන්පසු ඇගේ 22 හැවිරිදි වැඩිමහල් පුතු 
බාලේන්ද්‍රන් යොහාන් 2006 වසරේදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය. 2009 මැයි මාසයේදී රජයේ පාලන ප‍්‍රදේශයට එමින් සිටියදී ආරක්ෂිත ප‍්‍රදේශයකදී ඇගේ දෙවැනි පුතු බාලේන්ද්‍රන් කජීවන් ද ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඔහු ය. ඇගේ බාල පුතු බාලේන්ද්‍රන් මහින්දන් 2008දී එල්ටීටීඊ සංවිධානයට බැඳී සිටියේ ය. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වෙමින් සිටි බව කියන ඔහු ද අතුරුදහන් ය. 

දකුණේ ඇතැම් සිංහල මාධ්‍ය විසින් ඇය නූතන පටාචාරාවක් ලෙස හැඳන්වීම එක අතකට වැරදි නැත. එහෙත්, එම තත්වයට වගකිව යුතු වන්නේ කවුරු ද? රජය, සිංහල ජනතාව මෙන් ම කොටි සංවිධානය ද එයට වග කිව යුතු ය. ඇය ප්‍ර‍තිචාර දක්වන අන්දම ඇයට සාපේක්ෂව සාධාරණ විය හැකි ය. එහෙත්, ඇය ගැන සානුකම්පිත වන පමණින් දකුණේ මාධ්‍ය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා වාම දේශපාලන බලවේග ද ඇය සිතන ආකාරයෙන් ම සිතීම සාධාරණ ද? ප්‍රජාවක හෝ පුද්ගලයකුගේ ප්‍ර‍තිචාර දෙස විචාරාත්මකව බැලීමේ පුළුල් දෘෂ්ටියක් සවිඥානක පුරවැසියන්ට තිබිය යුතු ය. 

සන්නද්ධ කොටි සංවිධානය සක්‍රියව අරගල කරමින් පැවති අවධියේ අප එයට ප්‍ර‍තිචාර දැක්වූ ආකාරය හා යුදමය පරාජයෙන් පසුව එයට ප්‍ර‍තිචාර දැක්විය යුතු ආකාරයේ වෙනසක් තිබිය යුතු ය. දෙමළ ජනතාව හා සමස්ත ශ්‍රී ලංකාව ම මුහුණ දී සිටින වර්තමාන තත්වයට වගකිවයුතු ප්‍ර‍බල පාර්ශ්ව අතර කොටි සංවිධානය ද එකකි. 

කොටි සංවිධානය යනු නිකම් ම සංවිධානයක් නො ව, ගැඹුරු සළකුණක් තබා ඇති විනාශකාරී දේශපාලනයකි. කොටි ත්‍ර‍ස්තවාදය ද නාසිවාදය, ස්ටාලින්වාදය වැනි කොන්දේසි විරහිතව යළි හිස එසවීමට ඉඩ නො තැබිය යුතු දෙයකි. 

ආණ්ඩුවට එරෙහිව විවිධ අරමුණු මත සටන් කරන අය මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණාවක් තිබේ. විදේශගතව හිඳිමින්, සිය දැවැන්ත ආර්ථික ශක්තිය භාවිතා කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි සංවිධානය පැළ කරන්නට උත්සාහ කරන අයට දැනුවත්ව හෝ නො දැනුවත්ව හසු නො වී සිටීමේ වගකීමක් සියලු දේශපාලන බලවේගවලට තිබේ. දේශපාලනික වශයෙන් අවදානම් සහගත තත්වයක සිටින දේශපාලකයන් මෙන් ම, ආර්ථික වශයෙන් අවදානම් සහගත තත්වයක සිටි ක්‍රියාධරයන් ද මේ පිළිබඳ විශේෂ අවදියකින් යුක්ත විය යුතු ය.

රාජ්‍ය හෝ වෙනත් ආකාරයක ත්‍ර‍ස්තවාදයෙන් තොර ලංකාවක් යනු කෙතරම් නිදහස් අවකාශයක් ද යන්න 2015 ජනවාරි 8න් පසු මෙරට ජනතාවට තේරුම් ගත හැකි විය. දේශපාලන ගැටලු තිබුණත්, ඒවාට විසඳුම් සෙවීම සඳහා කුමන අන්දමකින් හෝ ත්‍ර‍ස්තවාදය යොදා ගැනීමට ඉඩ නො තැබිය යුුතු ය. ඒ වෙනුවට ප්‍ර‍ජාතාන්ත්‍රික කතිකාවට වැඩි අවස්ථාවක් ලබා දිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // දේශපාලනික වශයෙන් අවදානම් සහගත තත්වයක සිටින දේශපාලකයන් මෙන් ම, ආර්ථික වශයෙන් අවදානම් සහගත තත්වයක සිටි ක්‍රියාධරයන් ද මේ පිළිබඳ විශේෂ අවදියකින් යුක්ත විය යුතු ය. //

    කඩේ යයිද?

    ReplyDelete
    Replies
    1. දැනටත් කඩේ යන එවුන් ඉන්නවා.

      Delete
    2. ඔව් ඔව් දැනටමත් නඩයක් කඩේ යනවා ..

      Delete
    3. ඔව් ඔව් දැනටමත් නඩයක් කඩේ යනවා ..

      Delete
  2. මේ පාළණය කොතරම් දුර්වලද කියනවා නම්... කොටි ආයෙත් බෝමබ පිපිරෙව්වත් පුදුම වෙන්න දෙයක් නෑ... ඕන් ආයේ කොළබ පුරාම පැය 24 ම චෙක් පොයින්ට්..

    ReplyDelete
    Replies
    1. ඒ වෙන එකකට බං....!

      Delete
    2. ඔව් චෙෆ් , ඒ මාවයි මාතලන්වයි අල්ලන්න. මාතේ පරිස්සමෙන්. උඹ මාට්ටු උනොත් මාව කුත්තු කරන්න එපා. බඩු ටික මන් ළඟ.

      Delete
    3. මේ දවස්වල සුද්දෝ එනවා අඩුයි වැහි කාලේ පටන් ගත්තු නිසා. මාතලන්ට ගානක් කපා ගන්න චාන්ස් එකක් ගන්න අගෝස්තු වෙනකල් ඉන්න වෙනවා. පෙරහැරට සුද්දෝ එන්න පටන් ගත්තහම ඊළඟ අප්‍රේල් වෙනකල් මාතලන් "ඔන් ටුවර්".

      Delete
  3. ඔය කඳුළු හලන ngo කාරයෝ ගැන ඔබ පෙර ලිපියකින් ඔබේ අත් දැකීම් කියලා තිබුනා. ඔවුන්ගේ මානව දයාව තියෙන්නේ අතට ගානක් ලැබෙනවා නම් විතරයි . නැත්නම් ඉතින් අනිත් ජාතිවාදී සංවිධාන වගේම තමයි. තවත් අප් සාකච්ඡාවට ගත යුතු දෙයක් තමයි විදෙස් දෙමල ජාතිකයින් මෙච්චර දඟලන්නෙ මේ ලොකේ මෙතරම් දෙමළ ජාතිකයන් සිටියාට වෙනම දෙමළ රටක් නෑ. ඒක ඉන්දියාවෙන් ඉල්ලන්න ගියොත් බඩු හම්බවෙන හින්දා ලංකාවෙන් ගන්න බලනවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි, ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාධාරණ අන්දමින් බලය බෙදා දී ඔවුන් ප්‍රජාතාන්ත්‍රික පාලනයකට සම්බන්ධ කරගෙන මිස විදෙස්ගත දෙමළ ජාතිවාදීන්ට ලංකාවේ පීඩිත දෙමළ ජනයා රැවටීමේ හැකියාව නැති කරන්නට අමාරුයි.

      Delete
    2. දෙමළ මිනිස්සුන්ට දැන් තියෙන බලය මදිද ජීවත් වෙන්න? තව බලය අරන් ඒ ගොල්ල බලා පොරොත්තු වෙන්නෙ මොනවාද? වැඩි බලයක අවශ්‍ය තාව පැහැදිලි කරන්න දෙමළ මිනිස්සුන් ඉල්ලන.

      Delete
  4. පැරා සිළුමිණට ලිව්වට කමක් නෑ හැබැයි තවත් සී.ඒ.චන්ද්‍රප්‍රේම කෙනෙක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මොකේ ලිව්වත් මං ලියන්නෙ මං විශ්වාස කරන දේවල් විතරයි.

      Delete
    2. "මොකේ ලිව්වත් මං ලියන්නෙ මං විශ්වාස කරන දෙවල් විතරයි."

      යන්න,

      "මොකේ ලිව්වත් මං ලියන්නෙ අපිට ලියන්න කියලා තියෙන දේවල් විතරයි." යනුවෙන් නිවැරදි විය යුතු වෙයි.

      අජිත් පැරකුම් ජයසිංහ එට්කා ගිවිසුම ට පක්ෂ වෙද්දී, අජිත් පැරකුම් ජයසිංහ පදනම් වුනේ, ලක්සම්බර්ග්, ප්‍යාතකෝව්, ආදී ස්ව්‍යංනිර්ණ සංකල්පය ට එරෙහි වූ මාර්ක්ස්වාදීන් ඉදිරිපත් කළ, ජාතික හැඟීම යනු තාවකාලික හැඟීමක්, ඒ නිසා ජාතික හැඟීම යනු මාර්ක්ස්වාදීන් උනන්දුවිය යුතු දෙයක් නොවෙයි, එය බාධාවක් වන දෙයක් ය, යන අදහස මතයි.

      එහෙත් ඉහත ලංකාවේ දෙමළ ජාතිකයන් ට සාධාරණ අන්දමින් බලය බෙදා දීමට පක්ෂ වෙද්දී, අජිත් පැරකුම් ජයසිංහ පදනම් වන්නේ, ලෙනින් අදී ස්ව්‍යංනිර්ණ සංකල්පයට පක්ෂ වූ මාර්ක්ස්වාදීන් ගේ ස්ථාවරය මතයි.

      අජිත් පැරකුම් ජයසිංහ ලියන්නේ තම විශ්වාසයන් අනුව, තම හෘද සාක්ෂිය අනුව නොව, තමන් ට වැටුප් ගෙවන තම ස්වාමිවරුන් කියන දේ අනුව ය යන්න පැහැදිලි වන්නේ මෙසේ පරස්පර ස්ථාවරයන් මත පදනම්ව ලියන නිසයි.

      (මේ පරස්පරයන් විසඳන්න උත්සාහ කළොත් නම් ඇත්තටම චූ යන්න ඉඩ තිබෙනවා.)

      Delete
    3. කාගේවත් ස්ථාවර මට වැදගත් නැත. මා ලියන්නේ මගේ ස්ථාවරය මත ය. මට ඒ පිළිබඳ කිසිදු අවුලක් නැත. ඒ ගැන මා ඒ ඒ කාරණා ගැන ලියූ ලිපිවල කියා ඇත.

      මට වැටුප් ගෙවන ස්වාමිවරුන් කියන දේ ද මම ලියමි. එහෙත්, ඒවා ද මගේ අදහස් සමග පරස්පරයක් නැති ඒවා ය. එහෙත්, මට වැටුප් ගෙවන්නේ යයි ඔබ සිතන අය සමග මගේ කිසිම සම්බන්ධයක් නැති වෙන්නට පුළුවන.

      අනුන් ගැන තමන්ගේ හිතලු මත මෙවැනි දේ නාමිකව හෝ නිර්නාමිකව ලියන ඔබ වැනි කැණහිලුන් පසුගිය නව වසරක් තිස්සේ මේ බ්ලොගයේ ඕවා ලියා ඇත. එහෙත් බල්ලන් බිරුවාට කඳු පංත් වන්නේ නැත.

      Delete
    4. කඳු පංත් වන්නේ නැත.//// ඔව් ඔය කඳු දන්නෙම නැතිව නාය ත් යනවාය ....

      Delete
    5. පරස්පර ස්ථාවරයන් වල ඉඳලා ලියන්න, කොහෙන් හරි ධෛර්‍‍යය හොයා ගත්තයි කියමුකෝ.

      ඒත් පරස්පර ස්ථාවරයන් වල ඉඳලා ලියලා, එක එක අය නැට්ටෙන් අල්ලලා පොළවේ ගහන්නයි, තව තව අය සවිබල ගන්වන්නයි, පුළුවන් කියලා හිතන එක නෙ වැඩේ.

      Delete
  5. කොටි සංවිධානය පරාජය වීමෙන් පසු ගුණදාස අමරසේකර ඒ ගැන සතුටු විය.

    එහෙත් කොටි සංවිධානය පරාජය වීමෙන් පසු බොහෝ වාම ක්‍රියාධරයෝ ඒ ගැන දුක් වූහ.

    දැන් පෙනෙන්නේ කොටි සංවිධානය පරාජය වීමෙන් පසු අජිත් පැරකුම් ජයසිංහ ඒ ගැන දුක් නොවී ඇති බව පමණක් නොව ඒ ගැන සතුටු වී ද ඇති බවයි.

    දේශපාලනය යනු මිනිස්කමට අයත් ක්ෂේත්‍රයකි. තමන්ගේ එකා කව්දැයි නොහඳුනන එකාට, තමන්ගේ එකා ගැන හැඟීමක් නැති එකාට, කළ හැකි දේශපාලනයක් නොමැති වෙයි. අප ට කළ හැකි භයානක ම දෙයක් නම්, දේශපාලනය නරුමයන් අතට පත් වීමට ඉඩ හැරීමයි. නරුමයා ට සතුරන් මිතුරන් පිළිබඳ භේදයක් නොමැති වෙයි. නරුමයාට "අපි හැමෝම එක්ක යාළු වෙන්න ඕනෙ" ආදී බැලූ බැලමට ආකර්ෂණීය සටන් පාඨ තිබෙනවා විය හැක. එහෙත් නරුමයා කිසිදු ජයග්‍රහණයක් අත්පත්කර නොදෙයි.

    ඇතැම් සත්ව ප්‍රජාවන් දෙස බැලීමෙන් පෙනෙන්නේ සතුන්ටත් තම සතුරන් මිතුරන් කව්ද යන්න හඳුනා ගැනීමේ හැකියාවක් ඇති බවයි. එය පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

    ReplyDelete
    Replies
    1. කොටි සංවිධානය පරාජය වීමෙන් සතුටු වුනේ ගුනදාස අමරසේකර පමනක් නොවේ,. මේ රටේ සියළුම දෙනා සතුටු වූහ. දුක් වුනේ කොටින් සමග ආර්ථික සම්බන්ධකම් තිබූ සුළු පිරිසකි.
      මෙවැනි සමූලඝාතක ත්‍රස්තවාදීන් ගේ පරාජය හමුවේ වාම ක්‍රියාධාරීන් දුක් වන්නේනම් එම වාම ක්‍රියාධාරීන් සමාජයේ වෛරයට හා හෙළා දැකීමට ලක් විය යුතුය,
      ඇත්තටම ලංකාවේ වාම ව්‍යාපාරයක් නොවීය. තිබුනේ ඇරියස් ව්‍යාපාරයකි. සමාජයට වෛරකරන කීප දෙනෙක් අපට බැරි දේ කොටි කරනව කියා සතුටු වූහ.
      මිනීමරු ජාතිවාදීන් සමග එකට සිට ගැනීමෙන් ඊනියා වමේ න්‍යායාත්මක දරිද්‍රතාව පෙනේ.

      Delete
    2. කොටි සංවිධානය පරාජය වීම, මහින්ද රාජපක්ෂ පරාජය වීම, 1989 කැරැල්ල පරාජය වීම වැනි මේ කිසිවක් සතුටු වන්නට හෝ කණගාටු වන්නට කාරණා නො වේ. පරාජය වූයේ බල දේශපාලන ව්‍යාපෘති ය. පුළුල් ඉතිහාසය තුළ අතීතය කියන්නේ ම බල දේශපාලන ව්‍යාපෘතීන්ගේ ජයග්‍රහණ හා පරාජයන් ය.

      පුළුල්ව බලන කෙනෙකුට ඉතිහාසය යනු හඬ නගා සිනාසීමට හෝ හඬා වැළපීමට හෝ කාරණයක් නොව, උපේක්ෂාවෙන් බැලීමට සිදු වන යථාර්ථයකි.

      වඩා වැදගත් වන්නේ ඔබ විශ්වාස කරන දෙය වෙනුවෙන් ඔබ ඔබට කළ හැකි උපරිම මැදිහත් වීම කළා ද යන්න ය. දෙමළ ජාතික විමුක්ති අරගලය විනාශයෙන් කෙළවර නො වන්නට අප අපට කළ හැකි මැදිහත්වීම කළෙමු. එහෙත්, ඉතිහාසය තෝරා ගත්තේ කොටි සංවිධානයේ විනාශයයි. එය අපට ප්‍රතික්ෂේප කළ නො හැකි ය. අපි එය භාර ගනිමු.

      අප නම් කණගාටු වූයේ බල දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් ජීවිතයෙන් මිළ ගෙවන්නට සිදු වූ මිනිසුන් ගැන පමණි.

      මිනිස්කම යනු තමන්ගේ එකා යයි විග්‍රහ කර ගන්නා එකෙකු වෙනුවෙන් පමණක් දැක්විය යුතු නරුම ගෝත්‍රවාදයක් නො වේ.

      Delete
    3. පැරාට "මිනිස්කම" තියනවා කියලා ෂුවර් ද?
      කොමෙන්ට් කපන්නේ "මිනිස්කම" ප්‍රගුණ කිරීමට ද?

      Delete
    4. පවතින දේශපාලන වාතාවරණය හමුවේ අප ගේ කරුණු දැක්වීම සීමා කිරීමට සිදු වේ. වෙන කරන්න වැඩක් නැති වෙලාවට w3lanka බැලුවාට, w3lanka යනු අපේ අරගල භූමිය නොවේ. w3lanka හී වාද කිරීම කිසිදු වැඩක් ඇති වැඩක් ද නොවේ. ඒ වෙනුවෙන් අපේ නිදහස හෝ වෙනත් යමක් හෝ කැප කිරීමේ අරුතක් ද නැත. ජනවාරි 8 විප්ලවයක් සිදු වුනායැයි සිතන විකාරකාරයන් ට වත්මන් දේශපාලන වාතාවරණය ගැටළුකාරී නොවනවා විය හැක. එහෙත් සැමටම එය එසේ නොවේ.

      වැල්වටාරම් නැතිව, කෙලින් ම මුල් ප්‍රශ්නයට බහිනවා නම්, දෙමළ සන්නද්ධ අරගලය කොටි ත්‍රස්තවාදයක් ලෙස විස්තර කිරීම සැමට ම කළ හැක්කක් නොවේ. දෙමළ සන්නද්ධ අරගලය කොටි ත්‍රස්තවාදයක් ලෙස දකින අය සමග සංවාදීභිමුඛ විය හැකි පොදු ලක්ෂ්‍යයක් ඉතිරි වන්නේ ද නැත. ප්‍රතිවිප්ලවයට එරෙහිව, රුසියානු විප්ලවය රැක ගැනීමට කැපවූ යකඩ ෆීලික්ස් ව මහා භීෂකයකු ලෙස ඇතමුන් ට පෙනේ. ඔහු ව, w3lanka ට පෙනෙන්නේ, හිට්ලර් ව w3lanka ට පෙනෙන ආකාරයට ම ද යන්න අපි නොදනිමු. එය දැන ගත්තා කියා ඇති වැඩක් ද නැත. කොටි ත්‍රස්තවාදය යන වචනය මේ රටේ වැඩියෙන්ම භාවිතා කර ඇත්තේ කව්ද, කුමන පිරිසක් ද, යන්න සොයා බැලීමේ උනන්දුව ඇති කෙනෙකුට, w3lanka හී ද එම වචනය ඇත්තේ ඇයිද යන්න තේරුම් ගැනීම අසීරු නොවන නිසා අප ඒ වෙනුවෙන් කාලය නාස්ති කළ යුතු නොවේ.

      මානව ඉතිහාසය ඉදිරියට ගොස් ඇත්තේ ප්‍රචන්ඩත්වය හරහා ය. එහෙත් එපමණකින් "අර ත්‍රස්තවාදය", "මේ ත්‍රස්තවාදය" යනුවෙන් ඉතිහාසය මග දිගට, ලේබල් ඇලවීමක්, w3lanka විසින් කරනවාද යන්න අපි නොදනිමු. ඉතිහාසයේ විකෘතීන්, ඉතිහාසයේ තෝරා ගැනීම් ලෙස වරදවා බාර ගන්නා අයට, ඉතිහාසයේ ප්‍රගමනය ට සැපයිය හැකි දායකත්වය අල්පය. සර්පිලයේ වටවංගු යනු සර්පිලයේ දිශාව නොවේ. ඉතිහාසයේ සර්පිලය එහි නියම දිශාව ගන්නේ තව වට වංගු කිහිපයකින් විය හැක. විකෘතිය මොකක්දැයි, වට වංගුව මොකක්දැයි, වචනයෙන් ලිවීමේ උවමනාවක් අපට නැත. w3lanka බලන පාඨකයන් ට යමක් ඉගැන්වීමේ චේතනාවක් ද අපට නැත. w3lanka තුල හෝ w3lanka සමග හෝ සටන් කිරීමේ වැදගත්කමක් ද අපට නැත.

      Delete
  6. දකුණු අප්‍රිකාවේ ගැටලුව පැවති ආකාරය හා විසඳුනු ආකාරය,සුලු ජාතික සුදු ජනතාව හා බහු ජාතික කලු ජනතාව අතර බලය බෙදීමක් වැනි දෙයකින් තොරව නොවේද? ඉන්දියාවේ කාලිස්ථාන් ප්‍රශ්නය විසඳා ගත් ආකාරය බලය බෙදීමක් වැනි දෙයකින් තොරව නොවේද? සිංගප්පූරුවේ පවතින ක්‍රමය, බෞද්ධ රටක් ලෙස බුදු දහමේ කියැවෙන සමානාත්මතාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තත්වයක් මඟින් ගැටලු විසඳාගත නොහැකි වේවිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා