අනෝමා ජනාදරී හා අශෝක හඳගම අතර නො කෙරෙන සංවාදය

අනෝමා ජනාදරී අශෝක හඳගමට විවේචන රැසක් එල්ල කරයි. ඒ පිළිබඳ හඳගම මුළුමනින් ම නිහඬ ය. එම සම්මුඛ සාකච්ඡාව මෙතැනින් කියවිය හැකි ය.

එය ඉතා කුහක නිහඬකමකි. එයට හේතුව අනෝමා විිසින් එල්ල කරනු ලබන චෝදනා ඉතා දේශපාලනික කාරණා වීම ය.

හඳගම බොහෝ දුරට පෙනී සිටින්නේ වාමවාදී හෝ සමාජවාදී හෝ සිනමාකරුවකු ලෙසයි. අනෝමා විිසින්  හඳගම වෙත එල්ල කරනු ලබන විවේචන සමාජවාදය විෂයෙහි වැදගත් නිසා ඒ පිළිබඳ සංවාදයක් අවශ්‍ය ය. එහිදී හඳගම මැදිහත් වීම අත්‍යවශ්‍ය ය.

සමාජවාදය වෙනුවෙන් අරගල කිරීමත් අවංක මිතුරු ඇසුරත් අතර පැහැදිලි වෙනසක් තිබේ. අපි මෙම බ්ලොගය හරහා ඇතැම් පුද්ගලයන්ට දරුණු විවේචන කර තිබේ. ඒ බොහෝ අය ඒවා ගන්නේ පෞද්ගලික ප්‍රහාර ලෙසයි. නැත. අප කරන්නේ දේශපාලන කාර්යයකි. අප හාරා අවුස්සන්නේ දේශපාලනයේ තෘණ මූල මට්ටමයි. ඔබට ඒ සංවාදය මගහැර කිසි දිනෙක සමාජවාදය ගොඩනැගිය නො හැකි ය. 

අනෝමා ජනාදරීගේ අභියෝගය තුළ තිබෙන නිශේධනාත්මක කාරණා අත්හැර, ඇය කියන මූලික දේශපාලන කාරණා ගැන කතා කිරීම අත්‍යවශ්‍ය ය. ඇය මතු කරන්නේ ඉතා මූලික ප්‍රශ්න කීපයකි. ඒවා පවුල් සබඳතාවලට, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට, පොදු මිනිස් ලක්ෂණවලට අදාළ ය. 

හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ හඳගමගේ එක් පුරෝහිතයෙකි. නැතිනම් ඔහු සතුටු කරන්නට විචාර ලියන්නෙකි. හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය වෙනුවෙන් අපි හිරු කණ්ඩායම ලෙස මහවැලි කේන්ද්‍රයේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළෙමු. එහි මූලිකත්වය ගත්තේ නෙවිල් උදිත වීරසිංහ සහෝදරයා ය.

එකල හිරු පුවත්පත පළ වුණේ මාසිකව ය. සම්මන්ත්‍රණය දිනයේ විකිණීම සඳහා හිරු පුවත්පතේ අලුත් කලාපයක් නිකුත් කිරීමට අපි අදහස් කළෙමු. එවකට හිරු පුවත්පතේ කර්තෘවරයා වූ රෝහිත භාෂණ පුවත්පත මුද්‍රණයට දීම හැකි තරම් පමා කළේ ය. අවසානයේ පුවත්පත සම්මන්ත්‍රණය දිනයේ එළිදැක්විය නො හැකි විය.

එපමණක් නොව, සම්මන්ත්‍රණයේ අප දේශපාලන කණ්ඩායමේ ප්‍රධාන කථිකයා වූයේ රෝහිත භාෂණ ය. ඔහු පන්නිපිටියේ නිවසට වී පුවත්පතේ වැඩ කරන මුවාවෙන් සම්මන්ත්‍රණය මගහැරියේ ය. ඔහුගේ කතාව වෙනුවට අපි කොළයක් බෙදුවෙමු.

රෝහිත භාෂණගේ මේ හැසිරීමට හේතුව, මා වටහා ගත් පරිදි, නෙවිල් උදිත වීරසිංහ සංස්කෘතික ක්‍රියාකාරිකයකු ලෙස නැගී ඒම ඉවසා ගත නො හැකි වීමයි. එය ඊර්ෂ්‍යාව හා තවත් අයකුගේ මතු වීම දරා ගත නො හැකි කුහකකම මුසු වූ මනෝභාවයකින් සිදු වූවකි. තමන්ගේ දේශපාලන කණ්ඩායම විසින් පොදුවේ තීරණ ගෙන සංවිධානය කරන ලද වැඩක් කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමකි. 

අනෝමා ජනාදරී විසින් අශෝක හඳගමට එල්ල කරනු ලබන ප්‍රධාන චෝදනාව වන්නේ ද ඇගේ ස්වාධීන නැගී ඒම ඔහුට ඉවසන්නට බැරි වූ බවයි. අශෝක හඳගම අනෝමාට මුදල් නො ගෙව්වා සේ ම රෝහිත භාෂණ ද උදිත කඩේ යැව්වේ ය. උදිතට මාස දෙක තුනක් ඉතා සුළු වැටුපක් ගෙවූ අතර, ඔහු විවාහ වූ පසු එම වැටුප කිසියම් නිශ්චිත දිනයක ගෙවිය හැකිදැයි ඇසීම මේ දේශපාලන කණ්ඩායමේ නායකත්වය විසින් සලකනු ලැබුවේ දේවාපහාසයක් ලෙසයි. හඳගම අනෝමාව වංචනික ලෙස කැමරාව ඉදිරියේ නිරුවත් කළ බව ඇය කියයි. රෝහිත භාෂණ සිය කණ්ඩායමේ සාමාජිකයන් නිරුවත් කළේ රාජ්‍ය මර්දනය වෙත ය.

අපි හිරු කණ්ඩායම සම්බන්ධයෙන් දේශපාලන හා සංස්කෘතික විවේචනයක් ගෙන එන්නෙමු. හිරු කණ්ඩායම ඒ පිළිබඳව අනුගමනය කරන උපායමාර්ගය වන්නේ නිහඬතාව තුළින් විනාශ කර දැමීමයි. එය දේශපාලනික කුහකකමකි. අප අවධාරණය කරන්නේ අප විසින් මෙම දේශපාලන තලය ස්පර්ශ කළ යුතුව තිබෙන බවයි. සමාජවාදය පිළිබඳ සංවාදය න්‍යායික තලයෙන් ජීවිතය වෙත ගෙන ආ යුතු ය. එහි තිබෙන්නේ න්‍යාය පිළිබඳ ගැටලුවකට වඩා මිනිස් ස්වභාවයන් සමග අරගලයකි. සමාජවාදය ජීවන විලාසයක් කර නො ගනිමින් න්‍යාය ටොන් ගණනක් වැමෑරුවත් වැඩක් නැත. සමාජවාදී පක්ෂ හා කණ්ඩායම් පරමාණුකරණය වී යන්නේ එම සංදර්භය තුළයි.

අනෝමාගේ නඩුව සම්බන්ධයෙන් හඳගමගේ ප්‍රතිචාරය ද හිරු කණ්ඩායමේ දේශපාලන උපායමාර්ගය ම වේ. අක්ෂරයේදී ඔහුට බල පෑ දීප්ති කුමාර ගුනරත්න මීට වඩා වෙනස් ය. දීප්ති සිය කණ්ඩායමෙන් බිඳී ගිය කණ්ඩායමේ විවේචනය සමග සක්‍රියව සම්බන්ධ වන්නෙකි. බැන අඬ ගසා ගැනීම පවා නිහඬව සිටීමට වඩා දේශපාලනික ය. දීප්ති අපට බැන වදින්නේ වාමාංශික පෝලෝ සීයා කියමින් ය. මගේ මුහුණ කැත බව ද ඔහු මට කියයි. මේ වනාහි වාමාංශිකයන්ගේ කැත ස්වෝත්තමවාදය හෙළිදරව් කරන කවුළුවකි. ජාතීන් අතර, ස්ත්‍රීන් පුරුෂයන් අතර සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින බව කිය ඔවුහු මිනිසුන් ලස්සන, කැත කියා බෙදන්නට උත්සාහ කරයි.

ලස්සන තිබෙන්නේ බලන්නාගේ ඇසෙහි ය යන පිරුළ නො දත් අනෝමා ද අශෝක හඳගමගේ රුව ගැන අපහාස මුඛයෙන් කතා කරන්නේ දීප්තිගේ ස්වරයෙනි.

එහෙත්, ඇගේ විවේචනයේ දේශපාලන යටිතලය ස්පර්ශ කිරීමට මේ කිසිවක් බාධාවක් කර නො ගත යුතු ය. ඇය මතු කරන ඉතා වැදගත් කාරණා කීපයක් තිබේ.

අනෝමා හඳගමගේ බිරිඳ වූ පළියට ඇගෙන් මුදල් නො ගෙවා රංගන සේවාවක් ලබා ගැනීමට ඔහුට ඇති හිමිකම කුමක් ද? චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම යනු පවුල් ජීවිතය නො වේ. ඇගේ අභියෝගය හඳගමගේ නො ගැඹුරු සිනමා වියමන්වලට වඩා ජීවිතය විනිවිද යන එකකි. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය වෙනුවෙන් හඳගම මූලික අධ්‍යයන කටයුතු පවා කර නැත. ස්ත්‍රී පුරුෂ සමලිංගික ඇසුරට පසුබිම් වන මනෝභාවයන් පිළිබඳ ඔහුට අංශු මාත්‍රයක අවබෝධයක් නැත. ඔහුගේ දෘෂ්ටිය ඔහුගේ සිනමා කෘතියට පසුබිම් වූ ලංකාදීප පුවත්පතේ පළ වන අනේ අපොයි පන්නයේ වාර්තා ලියන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ දෘෂ්ටිය ඉක්මවා නො යයි. මේ චිත්‍රපටය කෙතරම් බොළඳ ද යත්, ස්ත්‍රී සම ලිංගික විවාහයක් එමගින් අර්ථකථනය කරන්නේ ලී කෑල්ලක් උපයෝගී කරගෙන කරන රැවටීමක් ලෙසයි. ඒ සම ලිංගික සම්බන්ධතාවේ ගැඹුර විනිවිද දකින්නට ඔහු කිසිදු උත්සාහයක් නො දරයි. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය ගැන අප සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී ආචාර්ය නලින් සුවාරිස් මේ කරුණ මතු කළේ ය.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයට වටිනාකමක් එකතු වන්නේ එහි අවසාන දර්ශනය හේතුවෙනි. චිත්‍රපටය ගැන වැදගත් සංවාද විෂයක් නිර්මානය වන තැන එයයි. පුරුෂ මූලික සමාජයට තහවුරු කර ගන්නට අවශ්‍ය වූ ස්ත්‍රී නිමිත්ත අනෝමා නිරුවත් කර පෙන්වූවා ය. දැන් ඇය කරමින් සිටින්නේ ද එයයි. ඇය ස්ත්‍රියක ලෙස නැගී සිටිමින් සමස්ත පිරිමි සමාජයට ම අභියෝග කරන්නී ය. ඇය අභියෝග කරන්නේ පිරිමින්ගේ දේශපාලනයටයි. පිරිමින් නායකත්වය දෙන පෙරටුගාමී හෙවත් වැන්ගාඩ් පක්ෂයටයි.

හඳගම තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයේදී ද ඇත්ත ප්‍රශ්නයෙන් කට්ටි පැන්නේ ය. ඔහු දැන් කරන්නේ ද එයයි.

ඔහු පමණක් නොව සියලු වාමාංශිකයන් කරන්නේ එයයි. රෝහිත භාෂණ සහෝදරයා විසින් නිතර භාවිතා කරන ලද ආප්තෝපදේශයක් භාවිතා කරමින් මෙය පැහැදිලි කළ හැකි ය. ඔවුන් නැති වුණ ඉදිකටුව සොයන්නේ පහන් කණුව යට ය. මන්ද, එතැන එළිය තිබෙන නිසා ය. එහෙත්, ඉදිකටුව නැති වුණේ එතැන නො වේ.

සමාජවාදය නැති වී තිබෙන්නේ රජ්‍ය දේශපාලනයේ නො ව අපගේ ජීවිත තුළයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. මෙතනදි හඳය නිහඬව ඉන්නෙ පැරා,ඔය සේරටම වඩා ඌට උගේ දරුව ලොකුයි.
    හඳය ලඟ හැදෙන දුවගෙ අම්ම අනෝම. ඒක හඳයත් දන්නව අනෝමත් දන්නව දුවත් දන්නව. ඒ නිසා අනෝම මෝඩ කමට මොනව කලත් හඳය නිහඬව ඉන්න එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, හඳයා මෙතෙන්දි පරිනත තාත්තා කෙනෙක්. දරුවගෙ.මෝඩ අම්මත් එක්ක හැමිනෙන්න යන්නෙනෑ.

      Delete
    2. Your comment suggests that a woman should not criticize the husband or the man from whom she bares a child. This itself shows the pathetic state of a woman in this society. I admire her for speaking up against her husband than any other man because those blows hit the prevalent issues in so many levels.

      Delete
    3. මලක් නම් එය මලක් වුව මැන.......

      Delete
    4. මලක් උනේ ඇයි නුඹ මට.....

      Delete
  2. කරුණු කිහිපයක්.

    1. "බිරිඳට මුදල් නොගෙවීම" කියන එක දේශපාලනික ප්‍රශ්නයක්වත් පුද්ගලික ප්‍රශ්නයක් වත් නෙවෙයි. ව්‍යාපාරික ප්‍රශ්නයක්. චිත්‍රපටයකට දායක වූ පමණින් මුදල් ගෙවන්නේ නැහැ. ඊට නිෂ්පාදකයා හා සම්පත්දායකයා අතර ගිවිසුමක් තිබිය යුතුයි. එහෙම ගිවිසුම් ඇතිකර ගන්න ඒ කාලයේ අනෝමා උත්සුක නොවුණා නම් එය ඇගේ වරද මිස වෙන කාගේවත් වරද නෙවෙයි. ඒ වගේම මේ මුදල ගෙවිය යුතු චිත්‍රපට වල නිෂ්පාදකයා මිස අධ්‍යක්ෂක නෙවෙයි. ඉතින් හඳගමට මෙතැන භූමිකාවක් නැහැ. නිෂ්පාදකයකු ලෙස උපුල් ශාන්ත සන්නගල මීට පෙර ඇයට පිළිතුරු දීලා තිබුණා.

    2. අනෝමාගේ 'ස්ත්‍රී වාදය' හුඟාක් තාවකාලික දෙයක්. ඔය විදිහට ස්ත්‍රී වාදී වෙන්න පුළුවන් ලෙස්බියන්ලාට. අනෝමා ලෙස්බියන් කෙනෙක් නොවන නිසා (එහෙම හිතනවා) කවදා හරි ආපහු බැන්ද දවසට හරි අඩු ගාණේ ප්‍රසිද්ධියේ ලිවින් ටුගෙදර් එකක් පටන් ගත්ත දවසෙදි ඔය ස්ත්‍රී වාදය අත අරින්න වෙනවා. ඉතින් කවුරුත් ඕක වෙන කවුරුවත් සල්ලි දීලා ගන්න එකේ තේරුමක් නැහැ.

    3. මේ ඇරුණාම අනෝමා හඳගමට අභියෝග කරන්නේ අර 'අභිමාන්' චිත්‍රපටයේ කියැවුණා වගේ ඉතාම සරල කාරණාවක් ගැන. නිළියක් හැටියට ඇය දක්ෂ වෙන්න පුළුවන්. තවත් එහෙම දක්ෂ අය ඕනැ තරම් ඉන්නවා. නමුත් රෝයි ද සිල්වා නැත්නම් සුමනා අමරසිංහ කෙනෙක් ඉන්න බැරිවුණා වගේම හඳගම නැත්නම් අනෝමා කෙනෙකුත් නැහැ. ඔය පොඩි දේවල් අත ඇරලා දැම්මාම ඉවරයි. අනෙක පෞද්ගලික වෛරයකින් ඉන්න කෙනෙක් එක්ක මොන දේශපාලන සාකච්ඡාද?

    4. අනෝමාගේ ස්ත්‍රීවාදය හුදෙක් තමන් කේන්ද්‍ර කර ගත්ත එකක්. අනෝමාගේ ස්ත්‍රිය = අනෝමා. එතනින් එහාට ලාංකීය ස්ත්‍රිය මුහුණ දෙන එක ගැටළුවක් වත් එයා කතා කරනවා මා දැක නැහැ. මේක තමන්ගේ පුද්ගලික ප්‍රශ්න සමාජයට එක්ස්ට්‍රාපොලේට් කරන එකක් මිස වෙන දෙයක් නෙවෙයි. ඔන්න අනෝමා ජනාදරී වෙනුවට අනෝමා ෆොන්සේකා වත් ගේමට බැස්සා නම් අපිත් එකතු වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. “අනෝමාගේ ස්ත්‍රිය = අනෝමා. එතනින් එහාට ලාංකීය ස්ත්‍රිය මුහුණ දෙන එක ගැටළුවක් වත් එයා කතා කරනවා මා දැක නැහැ.“ මේ ප්‍රකාශයේ අනෝමා කියන තැනට බට්ටි හෝ වෙනත් ඕනෑම ගැහැනියකගේ නම ආදේශ කර බලන්න.

      ඒත්, අපි බට්ටි වෙනුවෙන් පෙනී ඉන්නවා නේ ද?

      තනි පුද්ගලයන්ගේ අරගල තමයි අන්තිමේදී මහා අරගලය බවට පත් වන්නේ.

      ඔබ මේ දේශපාලනික වදන් භාවිතා කරමින්, මාක්ස්වාදී මුහුණුවරකින් කරන ප්‍රකාශය ඉතා සාහසික පුරුෂෝත්තමවාදයකින් පැන නගින එකක්. මෙය ගතානුගතික මාක්ස්වාදීන්ගේ මූලික ලක්ෂණයක්.

      “රෝයි ද සිල්වා නැත්නම් සුමනා අමරසිංහ කෙනෙක් ඉන්න බැරිවුණා වගේම හඳගම නැත්නම් අනෝමා කෙනෙකුත් නැහැ.“ කියන කාරණය අනෙක් පැත්තට වුණත් අදාළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනෝමා ජනාදරී නැතිනම් අශෝක හඳගම කෙනෙක් නැහැ ය කියන්නත් පුළුවන්. එහෙම කිව්වා ම කවුරුත් තක්බීර් වෙනවා. හේතුව අශෝක හඳගම පිරිමියෙක් වීම.

      තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ අනෝමාගේ රඟපෑම පසුබිමේ තිබෙන අධ්‍යයනය චිත්‍රපටයේ ප්‍රස්තුතය සම්බන්ධයෙන් හඳගම කරලා නැහැ නේ ද? ඔහු එහෙම නො කරන්නේ ඇයි? ඔහු වැනි ගතානුගතික ආසියානු ගැමි වාමාංශිකයන් සමලිංගිකයන්ව දැඩි ලෙස පිළිකුල් කරනවා. නිදසුනක් ලෙස ඔහුගේ ගුරුවරයකු වන දීප්ති කුමාර ගුනරත්නගේ වාක්කෝෂයේ නිරතුරුව තිබෙන වදනක් තමයි පොන්නයා කියන එක.

      මේ චිත්‍රපටය පදනම් වන්නේ ඒ ප්‍රතිගාමී පුරුෂ මූලික ආස්ථානය මතයි. සමලිංගිකත්වය ගැන හදාරන්න තමන්ගේ හිත ඇතුළට එබෙන්න පුළුවන්කම බොහෝ වාමාංශිකයන්ට නැහැ.

      බොහෝ වාමාංශිකයෝ වීරත්වයෙන් කතා කරන්නේ තමන්ට කපන්න ඇවිත් ඇන ගත්ත පොන්නයන් ගැනයි.

      ජීවිතය ඇතුළට කිඳා නො බැස අපට සමාජවාදය සොයන්න බැහැ.

      අනෝමාගේ අදහස් ගැන අපි සංවාදයක් ඇති කරන්නේ අනෝමා ස්ත්‍රීවාදිනියක් ය කියන විශ්වාසයකින් නොවෙයි. ඇය පීිඩිත ගැහැනියක් නිසා.

      Delete
    2. /*"බිරිඳට මුදල් නොගෙවීම" කියන එක දේශපාලනික ප්‍රශ්නයක්වත් පුද්ගලික ප්‍රශ්නයක් වත් නෙවෙයි.**/

      You are wrong. I think it is a political issue. Participating your wife in your film and not paying her is in the same pedestal of not recognizing reproductive labor.

      Delete
    3. පැරා තමාගේ නර්ස් නෝනාට සතර සංග්‍රහ වස්තුවෙන් සලකන බව අසල්වැසියන් පවසයි.

      Delete
    4. /“අනෝමාගේ ස්ත්‍රිය = අනෝමා. එතනින් එහාට ලාංකීය ස්ත්‍රිය මුහුණ දෙන එක ගැටළුවක් වත් එයා කතා කරනවා මා දැක නැහැ.“ මේ ප්‍රකාශයේ අනෝමා කියන තැනට බට්ටි හෝ වෙනත් ඕනෑම ගැහැනියකගේ නම ආදේශ කර බලන්න.

      ඒත්, අපි බට්ටි වෙනුවෙන් පෙනී ඉන්නවා නේ ද?/

      ඇත්තම කියනවා නම් පැරා කවුරුවත් බට්ටි වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. අප හැම දෙනාම පෙනී ඉන්නෙ අප වෙනුවෙන් විතරමයි. ඒකෙදි බට්ටි අපට ගැළපෙන දාම් ඉත්තෙක්. ඉතින් අපි බට්ටිට තල්ලුවක් දෙනවා. අනෝමාට එහෙම තල්ලුවක් දෙන්න නම් අනෝමාත් පෙන්නන්න ඕනෑ එයාගෙන් අපට වැඩක් තියෙනවා කියලා. එහෙම නැතිනම් එයා තනියම. අපි ඔක්කෝම ඔය "පෙනී ඉන්නවා" කියලා කරන්නෙ අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම විතරයි. ඒක පැරාටත් එකයි, මටත් එකයි. දැන් ළඟකදි කාන්තාවකගෙ කකුල කපා වෙන්කළා ඇගේ සහෝදරයා. ඇගේ අයිතිවාසිකම් ගැන කතා කළ එක්කෙනෙක් කියන්න බලන්න.

      Delete
    5. /You are wrong. I think it is a political issue. Participating your wife in your film and not paying her is in the same pedestal of not recognizing reproductive labor./

      We all do favors for our friends, our lovers, our partners, our children and our parents. I guess that was a favour Anoma did for her husband. So why talk about it now? If she was exploited she could have talked then. She could have rejected the roles after the first film. Did she do that? If not why this rant now?

      Delete
    6. මේ ගැන දැන් කතා කිරීමේ ඇති වරද කුමක් ද? මෙතැන කතා කරන්නේ නීතියක් ගැන නෙමෙයි නේ. ඇය දැන් සිතනවා නම් ඇය සූරාකෑමකට ලක් වුණා කියලා දැන් ඒක කියන එකේ වරද මොකක් ද?

      ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරද්දී එයට සහයෝගය දක්වපු නිලමෙවරු පසුව තමන් රැවටුණු බව තේරිලා කැරලි ගැහුවා. මේ තර්කය අනුව ඒකත් වැරදි වෙන්න ඕනැ.

      Delete
    7. //දැන් ළඟකදි කාන්තාවකගෙ කකුල කපා වෙන්කළා ඇගේ සහෝදරයා. ඇගේ අයිතිවාසිකම් ගැන කතා කළ එක්කෙනෙක් කියන්න බලන්න.//

      මේ ක්‍රියාව සාධාරණීකරණය කළ එක්කෙනෙක්වත් ඉන්නවා ද කියන්න බලන්න. ඒ කියන්නේ මුළු සමාජය ම ඒ ක්‍රියාව හෙළා දුටු බව හා පොලිසිය ගත් ක්‍රියාමාර්ගය නිවැරදි බව පිළි ගත් එක නේ ද?

      ඔබ එම ක්‍රියාව අනුමත කරනවා නම්, මුලින් එය කියන්න. එවිට අපි ඇගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නම්.

      Delete
    8. මෙතැන කතා කරන්නේ නොලැබුණු මුදල් වෙනුවෙන් නේද? එතකොට ඒක නීතිය සම්බන්ධ කාරණාවක් නොවෙන්නේ කොහොමද පැහදිළි කළ හැකිද?

      Delete
    9. මගේ ලිපියේ තේමාව පවුල තුළ ස්ත්‍රිය සූරාකෑමට ලක් වීම, පක්ෂය තුළ ක්‍රියාකාරිකයා සූරාකෑමට ලක් වීම හා සමාජවාදයයි.

      Delete
    10. දැන් මෙහෙම කියන පැරා පවුල තුළ ස්ත්‍රිය සූරා කෑම ගැන කතා කරන්නට අනෝමා-හඳගම සිද්ධිය හැරුණු විට වෙන කිසිම උදාහරණයක් උපයෝගී කොට නොගනියි. එසේම දේශපාලන පක්ෂය තුළ සූරා කෑම ගැන කතා කරන්නටද හිරු කණ්ඩායම හැරුණු විට වෙනෙකක් ඔහුගේ හිතට නො එයි. මේ දෙපාර්ශ්වය සම්නන්ධයෙන්ම පැරාට පුද්ගලික ඇරියස් තිබේ. මෙතැන වන්නේ වෙනත් ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේ තමන්ගේ පුද්ගලික ඇරියස් කවර් කර ගන්නට එය භාවිතා කිරීමයි. වෙන් හා ෆේස්බුක් අවකාශයේ මෙසේ හැසිරෙන එකම පුද්ගලයා පැරා නොවේ. කුමාර ලියනගේ, ඉසුරු ප්‍රසංග, අතුල සිරිවර්ධන වැන්නවුන්ගේද ක්‍රියා කලාපය මීට සමානය. මේ මනසින් පුංචි මිනිස්සුය. මේවා අඩුම ගණනේ විමල් වීරවංශවත් නොදක්වන අන්දමේ නොමේරූ හැසිරීම්ය. අප ප්‍රශ්න කළ යුත්තේ එයයි. එසේ නැතිව අනෝමාට හා හඳගමට මේ බ්ලොග් පෝස්ට් නැතුව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකිය.

      Delete
  3. පෑරා ලොක්ක මම මෙ දන්නෙ නෑති නිසා අහන්නෙ....දීප්ති කතා කරන්නෙ මෙ ලොකෙ තියන ඔක්කොම දෙවල් එයා දන්නව වගේ....ඈත්තටම පොර ඔය කියන තරම් දෙවල් දන්නවද...? පොර නිතරම කියන්නෙ එකම වචන ටික නෙද,,,,

    ReplyDelete
    Replies
    1. උකුණාට ඔලුව සක්වළකි.

      Delete
    2. W3Lanka සක්වළ
      ⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
      ජවිපෙ,
      හිරු,
      මරුටී ,
      “තෙත්“ කලාපය,
      දීප්තී,
      භාෂණ,
      ඇල්ටො සමාජවාදය ,‍
      පෙරටුගාමීන්,
      ඉංග්‍රිසි රෙපයාර් කිරිම.

      Delete
    3. ඉතින් බලන්න මගේ සක්වළ කොච්චර ලොකු එකක් ද, ඈ?

      Delete
    4. ෆෑන්ටසි , කෑපලිසම්, නිර්වචනය, දනවාදය, සබුද්දිකයො, ද්‍රශ්ටිවාදය, වම, පශ්චත් නුතන, මක්ස්වාදය, ආපතිතතව, පුර්වකතනය, 19 වන සියවස, චින්තන ප්‍රවර්ගය, සමජ ආර්තික පෙරලිය, විචාරය, හිස්ටීරියාව, පන්තිය, ...............

      Delete
    5. prasad sameera November 6, 2014 at 8:16 AM .
      පොර නිතරම කියන්නෙ එකම වචන ටික නේද,,


      1 2 3 4 5 6 7 8 9 0 හැමදා....ම එකම ඉලක්කං ටික නේ......ද ?


      prasad sameeraNovember 6, 2014 at 11:21 AM .
      ෆෑන්ටසි , කෑපලිසම්, නිර්වචනය, දනවාදය, සබුද්දිකයො, ද්‍රශ්ටිවාදය, වම, පශ්චත් නුතන, මක්ස්වාදය, ආපතිතතව, පුර්වකතනය, 19 වන සියවස, චින්තන ප්‍රවර්ගය, සමජ ආර්තික පෙරලිය, විචාරය, හිස්ටීරියාව, පන්තිය, .....

      නෝකෝල්,සැම්පු, ටියුබ්8,නස්නාරං,මිරියබැද්ද,මුත්‍රාශය,ෆෙඩරල්,වල්ලපට්ටා....

      මීට වඩා වචන දන්න අය තව කොච්චර නං ඇති ද... ...ඉතින්.. අපිට පුකද අයියා කරන්ට කියන්නේ ?

      Delete
  4. පැරා මම එකක් කියන්නද, ආත්මාර්ථකාමීකම කම්කරුවන්, සමාජවාදීන් යන ඔව්නොවුන් අතර බහුලයි, ධනවාදීන් අතරට වඩා...

    ReplyDelete
  5. "ජිනීවා ප්‍රශ්නයට මුහුණ දෙන්න රාජපක්ෂවරු ඇරෙන්න වෙන කවුරුත් සුදුසු නැහැ."
    - අනෝමා
    මෙයින් කියවෙන එකමදේ තමයි, මේ නහින දෙහින කාලෙ කසාදයක් ගැන හිතුවට වැඩකුත් නෑ.
    කට මැත දෙඩෙව්වට කවුරුත් ෆිල්ම් එකකට ගන්නෙත් නෑ.
    එහෙනම් පොඩි මස් කටුවක් වත් ලැබුණොත්??

    ReplyDelete
  6. සමාජවාදි අති උත්තම මතුගම අ.පැ ජයසිංහයන් , තමන් වහන්සේගේ බොග වේලෙන කාලේදි අනුන්ගේ කක්කුස්සී කැඩීම නැවතත් ආරම්භකල වගයී ෴

    ReplyDelete
  7. අනෝමා අදත් එක එක විච්චූරන කරනවා එයා තාම ඉන්නවා කියලා අපිට පෙන්නන්න. ආයෙත් නිරුවතින් උනත් ඉන්න පුළුවන් කියලත් කියනවා. එතකොට අනෝමා කියන චරිතය නෙමෙයි බැබලිලා තියෙන්නේ. අනෝමාගේ නිරුවත. අනෝමාගේ නිරුවත් අපිට පෙන්නුවේ අනෝමා නෙමෙයි හඳයා. ඒ වෙලාවේ අනෝමා හඳයගෙ වහලියක්. ඒක තේරුම් අරගෙන අනෝමා හඳයගෙ ගෙදරින් එලියට එනවා. අනෝමට මාකට් එකක් තියෙනවා. අනෝමා එන්නේ තනියමත් නෙමෙයි.. මේ දේම ස්වර්ණටත් වෙනවා.. ඒත් එතන වලියක් නෑ.. අවබෝධය නිසා කියලා කෙනෙක් කියන්න පුළුවන්.. ඇත්ත ඒක නෙමෙයි.. ඒ කාළේ මෙහෙම දේවල් මාකට් කරන්න බෑ.. ස්වර්ණා ඒ දේ කරන්න ගියා නම්, ස්වර්ණා අනාථ වෙනවා. ඒ එදා. ඒ කාළේ ගොඩාක් නිලියන්ට එහෙම උනා. අදත් වෙනවා. ඒත් අනෝමා එහෙම වෙන්නේ නෑ. එයා පොත් ලියනවා. බටහිර නිලියෝ වගේ. පුරහඳ වගේ උන්න හඳ අමාවක වගේ කොර වෙනවා. අනෝමාට තර්ජන එනවා. වක්‍රාකාරයෙනුත් සෘජුවත්. මේ යහපත් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන හඳයමයි. එතකොට මොකක්ද මේ බොරුව. දෙන්නට දෙන්නා රැවටිලා. මාකටින් අවුල් වෙලා. අන්තීමට ඔක්කෝම හිස් ටින්.. බලන් ඉන්න අපි ලාමක් ටින් ටින්..

    ReplyDelete
  8. අජිත්, කුහකකම දේශපාලනිකද?

    ටිකක් විතර කන්ෆියුස්ඩ්. කුහකකම කියන්නේ සලෙල කම, සුරාසොඬ කම, නිර්මාංශබව වගේ තවත් එක් මනුශ්‍ය ගති සොබාවයක් විතරක් නෙමෙයිද? සුරාසොඬෙකුට සමාජවාදියෙක් වෙන්න බැරිද? ඇත්ත.. නායකයෙකුගේ ක්‍රියාකලාපය ව්‍යාපාරයට හානි වේනම් හෝ ආපස්සට හරවයි නම්, ප්‍රශ්නයක් ම තමයි. එහෙම නායකයෙක් නම් ඔහුව හෝ ඇයව පිටුදැකීමට ව්‍යාපාරයට හැකි විය යුතුයි. ඒක ටිකක් ප්‍රැක්ටිකල් නෑ වගේ නම් තමයි.

    රෝහිත භාශන ව්‍යාපාරයට කුහකයෙක් වීම සහ යුද්ධ කාලෙ යුධවිරෝධියෙක් වීම කියන්නෙ දෙකක්. ඒ අවංකවමද නැද්ද වගේ ප්‍රශ්න එන්න පුලුවන්. කවදාවත් ඒ වගේ දේකට උත්තර හොයන්නත් බැරි වෙයි.

    අනෝමා සහ ඇගේ රයිට්ස් ගැන කියන ඔබේ අදහසට එකඟයි.

    අනික් අතට වෙන කෙනෙක් නැගුව ලෙසට, ඇයට මහින්ද රාජපක්ශට කඩේ යාම නොයාම ඇගේ තීරනයක්, මීට සම්බන්ධ නැහැ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. තිස් වසරක පමණ මගේ දේශපාලන අත්දැකීම් තුළ මම දැක්කේ පක්ෂය සුණු විසුණු වී පරමාණුකරණය වෙන එක. ඒකට මූලික හේතුව මේ කුහකත්වය තමයි. කැඩී බිඳී වෙන් වී යන මිනිසුන්ට පක්ෂයේ ඉතිරි වූ අය ගැන ඇති ප්‍රධාන විවේචනය ඔවුන් කුහකයන් බවයි. එකක් කියා තවෙකක් කරන බවයි. මෙය ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි තත්වයක්. ඒ වගේම පොදු මිනිස් ස්වභාවයක් කියන එකත් ඇත්ත. මේ ලියන මා තුළත් ඒ ලක්ෂණය තිබෙනවා.

      ඒත්, අපි එයට එරෙහිව අරගලයක් කළ යුතුයි. සුරාසොඬෙකුට සමාජවාදියෙක් වෙන්න පුළුවන් වුණත්, සමාජවාදය වෙනුවෙන් ඔහුට කළ හැකි අරගලය සුරාව නිසා මගහැරෙනවා. උදාහරණයකට ඇතැම් සමාජවාදීන් අද වන විට අරක්කු වෙනුවෙන් කරන දේ නිරීක්ෂණය කර බලන්න. සුරාසොඬාට සමාජවාදයට වඩා වැදගත් සුරාවයි.

      සමාජවාදය පරමාදර්ශයක් වගේ ම අව්‍යාජත්වය සමාජවාදී ජීවිතයේ පරමාදර්ශයක් කර ගත යුතුයි.

      Delete
    2. කිසිම සිද්දාන්තයක් හෝ පුදගලයකු පරමාදර්ශීවත්, අව්‍යාජවත් නෑ පැරා..

      Delete
    3. මාතලන් වැරදියි.

      1. අපේ මාරයා අයියා (චතුෂ තුෂර කුමාර මහතා) පරමාදර්ශීයි.
      2. අපේ මාරයා අයියා (චතුෂ තුෂර කුමාර මහතා) අව්‍යාජ්‍යයි.

      Delete
  9. හඳගම සිනමාව, පෞද්ගලික ජිවන සබදතාවන් පිලිබඳ අජිත් ගේ විවේචනයට පාදක වන්නේ , අනෝමා ජනාදරී පැවසුවා යයි ,gossip අඩවියක පල වූ කතාය. web අඩවියේ නම ම Gossip ය. මෙහි කිසිම credibility එකෙක් තිබේද ?
    මෙවැනි ලිපියක් කතාවක් පාදක කරගෙන, කෙනෙකුගේ දේශපාලනය, ජිවන චර්යාව විවේචනය කිරීම් පුදුම සහගතය.
    අජිත්ගේ විග්ර්හයට අනුව..., “අනෝමා විිසින් එල්ල කරනු ලබන චෝදනා ඉතා දේශපාලනික කාරණා ය...........හඳගම වෙත එල්ල කරනු ලබන විවේචන සමාජවාදය විෂයෙහි වැදගත් නිසා ඒ පිළිබඳ සංවාදයක් අවශ්යස ය. එහිදී හඳගම මැදිහත් වීම අත්යාවශ්‍යය........... ඇය මතු කරන ඉතා වැදගත් කාරණා කීපයක් තිබේ.”
    credibility ප්රශ්නය පසෙකින් තැබුවත්, එම සාක්ච්ච්ච්චාවේ කරුණු අනුව, මෙවැනි නිගමනයකට එලභිය හැක්කේ අජිත් වැනිම “සමාජවාදියෙකුට” පමණක් වියය යුතු ය. සිහි මොලයක් ඇති, common sense ඇති කෙනෙකුට , එවැනි දේශපාලනික කාරනා මේ gossip පිටුවේ සාකච්චාවේ පෙනේද ?
    රෝහිත භාෂණ නම් , කලින් එකට වැඩකළ පුද්ගලයෙකු ගේ යම් අවස්තාවක පුද්ගලික හැසිරීමක් සම්බන්ද අජිත් ගේ “ දේශපාලන “ විවේචනය ද පුදුම සහගතය. පුද්ගලික ප්රිශ්න /විවේචන ඇත්නම් ඒ වෙලාවේ එම පුද්ගලයා කතාබහ කරගතයුතු පැහැදිලි කරගතයුතු දේවල් නොවේද ? ඒක පාර්ශ්විකව චෝදනා නගමින් මාගල් ගණන් blog පිටු ලිවීමට තරම් දේවල් ද ? එහි දේශපාලන පොදු සාධකයක් තිබේද ? පාඨකයෙකුට මේවා කියවීමෙන් ඇති පලය කුමක්ද ?

    ඊලගට “තනි තටුවෙන් පියාබන්න” සිනමා නිර්මාණය ගැන.......(, මූලික අධ්යයන කටයුතු පවා කර නැත. මනෝභාවයන් පිළිබඳ ඔහුට අංශු මාත්රරයක අවබෝධයක් නැත ) ද අජිත් ගේ තදබල විවේචනයක් වේ. මෙය ...කොහෙද යන්නේ , මල්ලේ පොල් ...ජාතියේ කතාවක් නොවේද ? අජිත් ගේ මාතෘකාවට, ප්ර්ස්තුතයට මෙම විවේචනය අදාල වන්නේ කෙසේද ? කිසිදු පැහැදිලි කිරීමක් සධාකයක් නැති මෙවැනි නිගමන පාඨකයෙකු පිලි ගත යුත්තේ ඇයි /?

    අජිත් ගේ ගැටලුව කුමක් ද ? යන්න මෙම අවසාන නිගමනයෙන් පෙනෙයි
    .............“ඔහු පමණක් නොව සියලු වාමාංශිකයන් කරන්නේ එයයි” .

    මෙය සමාජ / දේශපාලනික විග්රහයක්ද ? සියලු වාමාංශිකයන් සමග පෞද්ගලික කෝන්තරයක් ද ?

    ReplyDelete
    Replies
    1. මෙම සම්මුඛ සාකච්ඡාව මුලින් පළ වූයේ ගොසිප් වෙබ් අඩවියේ නො වේ. මව්බිම පුවත්පතේ යං අතිරේකයේයි. ගොසිප් වෙබ් අඩවිය එය නැවත පළ කළා. අප එයට ලින්ක් එක දුන්නේ මව්බිම පිටුවට වඩා පහසුවෙන් එය කියවිය හැකි නිසායි. මුල් සම්මුඛ සාකච්ඡාව http://www.mawbima.lk/82-71632-news-detail.html ඔස්සේ කියවිය හැකියි. ඒ නිසා විශ්වසනීයත්වය පිළිබඳ ඔබගේ ගැටලුව විසඳා ගත හැකියි. තව දුරටත් අවශ්‍ය නම් ෆේස්බුක් ඔස්සේ අනෝමා ජනාදරීගෙන් මේ පිළිබඳ විමසිය හැකියි.

      ඔබ දේශපාලනය කියා සිතා සිටින්නේ කුමක්දැයි මම නො දනිමි. එහෙත්, පවුල් සම්බන්ධය පාවිච්චි කරමින් ශ්‍රමයට මුදල් නො ගෙවා නිළියක චිත්‍රපටයකට සම්බන්ධ කර ගැනීම පිළිබඳ අනෝමා කියන ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බව ලෝක බැංකුව වුව ද පිළි ගනු ඇත. මන්ද ශ්‍රමය වෙනුවෙන් වැටුප් ගෙවිය යුතු බව සරළ ආර්ථික විද්‍යාත්මක කාරණයක් වන බැවිනි. මොලයක් ඇති, common sense ඇති කෙනෙකුට එය තේරුම් ගත හැකි ය.

      හිරු කණ්ඩායම යනු ලංකාවේ වාම දේශපාලනයේ සලකුණක් තැබූ දේශපාලන කණ්ඩායමකි. එය ගැන නො දන්නා අය ලංකාවේ වාම දේශපාලනය ගැන දන්නේ අල්පයකි. නො දන්නාකමට විසඳුම හැදෑරීමයි. තමන් නො දන්නා සියලු දෙය නො පවතී යයි මොලයක් ඇති, common sense ඇති කෙනෙකු නො සිතයි.

      තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය මෙම ප්‍රස්තුතයට අදාළ වන්නේ අනෝමා ජනාදරීට සම්මාන ලැබුණු, ඇය නිරුවත් කළ චිත්‍රපටය එය වීම නිසා ය. එම චිත්‍රපටය ගැන අප කියන කාරණා විමසා බැලිය යුත්තේ චිත්‍රපටය බලමින් ය.

      සෑම පංතියක ම ළමයකුට ම හෝඩියේ සිට උගන්වන ක්‍රමයක් නැත. අපගේ බ්ලොග් අඩවියේ බොහෝ පාඨකයෝ ලංකාවේ වාම දේශපාලනය ගැන හා කලාව ගැන යම් අවබෝධයක් ඇති අයයි. ඒ නිසා මෙහි සඳහන් වන සියලු දේ ගැන මුල සිට විස්තර කිරීම ඔවුන්ට කරන අසාධාරණයකි. නො දන්නා මොලයක් ඇති, common sense ඇති අය අපට බනිනවා වෙනුවට කරන්නේ ඒ පිළිබඳ අසා දැන ගැනීම හා අධ්‍යයනය කිරීමයි.

      අපගේ පාඨකයකු ලෙස අපි ඔබට ආදරය කරන මුත්, හැම විට ම ඔබ කැමති දේ ම පමණක් දෙන්නට අපට බැරි වීම තේරුම් ගන්න.

      කිසිදු මිනිසකු දූපතක් නො වේ යයි කියමනක් ඇත. මෙහි සියලු ලිපි ද තනි, තනි හුදකලා ඒවා නො වේ. අපි මෙය වසර පහක සිට සමාජවාදය පිළිබඳ සංවාදයක් වෙනුවෙන් කරන්නකි. එහි අක්මුල් තිබේ. ගාල්ලේ සිට කොළඹට යන බසයට පානදුරෙන් නැග්ග මගියා අම්බලන්ගොඩදී බස් එකේ රෝදයක හුළං බැස්ස බව දන්නේ නැත.

      හැබැයි, නැවතත් කියන්නට තිබෙන්නේ තමන් නො දන්නා සියලු දේ නො පවතින්නේ යයි මොලයක් ඇති, common sense ඇති අය නො සිතති.

      Delete
    2. අපිව ඔච්චරම හිනා ගස්සන්න එපා පැරා. ශ්‍රමටය මුදල් ලැබිය යුතු වුවත් චිත්‍රපටයකදී රංගන ශිල්පියකුට මුදල් ගෙවිය යුතු අධ්‍යක්ෂක කියලා කොහේද කියලා තියෙන්නෙ පැරා? ශිල්පීන්ට මුදල් ගෙවන්නේ නිෂ්පාදක. අධ්‍යක්ෂක කියන්නෙ තමන්ගෙ ශ්‍රමයට මුදල් ලබන තවත් ශිල්පියෙක් විතරයි. දන්නෙ නැත්නම් අදවත් ඉගෙන ගන්න.

      හැබැයි පැරා මේක නොදන්නවා වුණාට අනෝමා නම් දන්නවා කියලා පෙණුනා. එයා මුලින් මුදල් ඉල්ලලා තග දැම්මේ සන්නස්ගලට. සන්නා අනෙක් පැත්තට ඇට්ටි හැලෙන්න දුන්නා. දැන් තමයි ඔය හඳගම බ්ලැක් මේල් කරන උත්සාහය පටන් අරන් තියෙන්නේ. පැරාලත් ඒ බ්ලැක් මේල් වලට කුලියට කහින්න යනවා.

      Delete
    3. අනෝමාව චිත්‍රපට හා නාට්‍යවලට සම්බන්ධ කර ගන්නේ හඳගම නෙමෙයි ද? ඇයගේ ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වගකීමක් ඔහුට ඇත්තේ ම නැද්ද?

      මේ ගැන වාද කරන්නට මට අවශ්‍ය නැත. එය අනෝමා, හඳගම හා සන්නස්ගල කර ගනු ඇත.

      මා මතු කරන්නේ මෙහි තිබෙන මූලික ප්‍රශ්නයකි. එය වනාහි පවුල් සම්බන්ධතා තුළ මෙවැනි ගනුදෙනු සිදු වන ආකාරය තුළ සිදු වන සූරාකෑම ගැනයි. දේශපාලන පක්ෂ විසින් සිය සාමාජිකයන්ගේ ශ්‍රමය සූරා කෑම ද මේ හා සමාන බව අපි පෙන්වා දුන්නෙමු. අපට අවශ්‍ය ඒ ගැන සංවාද කිරීමට මිස කාගේවත් සල්ලි ගැන කතා කිරීමට නො වේ.

      Delete
    4. @පැරා,

      ඇයි මේ පුංචි ළමයෙක් වගේ මෝඩ කතාම කියන්නෙ? අනෝමා හා හඳගම අතර දික්කසාද නඩුවක් තිබුණා. ඒක දැන් ඉවරයි. මා ඒ ගැන වැඩි විස්තර දන්නෙත් නැහැ. හොයන්න යන්නෙත් නැහැ. නමුත් මට මේ දේවල් කියන්න පුළුවන්.

      1. දික්කසාද නඩුවකදී එක් පාර්ශ්වයක් නිසා අනෙක ලාභයක් ලැබුවා නම් ඒ ලාභය වෙනුවෙන් වන්දියක් ඉල්ලා ගත හැකියි. අනෝමාටත් මේ අවස්ථාව තිබුණා. ඇය එය භාවිතා කර, මේ අද කියන කාරණා කියා, සෑහෙන වන්දියක් ගන්නත් ඇති. එසේ නොගත්තා නම් එයත් ඇගේ වරද මිසක් හඳගමගේ වරද නෙවෙයි.

      2. විවාහ වී සිටි පාර්ශ්ව දෙකක් අතර සියළු ගනුදෙනු දික්කසාද නඩුවකදී කෙළවර වෙනවා. ඊට පසු ඒ ගැන කතා කිරීම අසාදාචාරාත්මකයි. දැන් පැරා කරන්නේත් ඒ අසාදාචාරාත්මක කාර්යය.

      අමතරව;

      1. ධර්මසිරි බණ්ඩාරනායක ඔහුගේ 'හංස විලක්' වෙනුවෙන් අධ්‍යක්ෂක ලෙස සතයක් වත් ආදායමක් ලැබුවේ නැහැ. එය ඔහු හා නිෂ්පාදක අතර පැවැති අලිඛිත ගිවිසුමක්. ධර්මසිරිට අවශ්‍ය වුණේ අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න. ඔහු ඒ වෙනුවෙන් පරිත්‍යාගයක් කළා. අද ඔහු නිෂ්පාදක ගෙන් තමන්ගේ කොටස ඉල්ලනවා නම් ඒක සාධාරණද?

      Delete
    5. ඔබගේ අදහස් වැදගත් ය. එහෙත්, මේ ලිපියෙන් සංවාද කරන්නේ නීතිමය කාරණාවලට වඩා පවුල් සම්බන්ධතාවල ඇති දේශපාලන කාරණා පිළිබඳවයි.

      අලිඛිත ගිවිසුම් තිබිය හැකිවා වගේම පසුව ඒ ගැන ප්‍රශ්නත් මතු විය හැකියි.

      හැබැයි, මෙතැනදී මතු වන ප්‍රශ්නය අනෝමා ඒ කාරණය දිගින් දිගටම මතු කිරීමයි. එතුළින් ප්‍රකාශ වන දෙය නීතිමය රාමුව ඉක්මවා ගිය පීඩිතභාවයේ ප්‍රකාශනයක්.

      සිංහල ජනයා දෙමළ ජනයාට ප්‍රශ්නයක් නැති බව සාක්ෂි සහිතව කියනවා. ඒත්, දෙමළ ජනයා තමන්ට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් තිබෙන බව කියනවා. සිංහල ජනයා එහෙම එකක් නැති ය කී පළියට දෙමළ ජනයා කියන දෙය ප්‍රතික්ෂේප වන්නේ නැහැ නේ. දෙමළ ජනයා එහෙම කියන එක ම ප්‍රශ්නයක්.

      ස්ත්‍රියක් තමන් සූරාකෑමට ලක් වූ බව කියන විට ඇයි ඔබ ඇනොනිමස් ඇවිත් විනිසුරු භූමිකාව කරන්න හදන්නේ?

      Delete
    6. /ස්ත්‍රියක් තමන් සූරාකෑමට ලක් වූ බව කියන විට ඇයි ඔබ ඇනොනිමස් ඇවිත් විනිසුරු භූමිකාව කරන්න හදන්නේ?/

      ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඇය ස්ත්‍රියක් වීම නිසාවත්, තමන් පීඩිතයෙක් කියා පුන පුනා කීම නිසාවත්, අපේ අනුකම්පාව දිනා ගැනීමට තැත් කරන නිසාවත් අනිවාර්යයෙන්ම ඇය නිවැරදිය කියැවෙන්නේ නැහැ. ඇයට අසාධරණයක් වී තිබේ නම්, සාක්ෂි ඇත්නම් දැනට ලංකාවේ වලංගු නීතිය යටතේ නඩු කියා වන්දි ලබා ගත හැකියි.

      බට්ටිගේ කේස් එක මීට වඩා වෙනස්. ඇයට පහර දෙනු අප දකිනවා. පහර දීම ගැන කිසිම වාදයක් නැහැ. නමුත් මේ සිද්ධියේ අප කතාකරන්නේ සිද්ධිය ගැන කාරණා වැඩිහරියක් නොදැන එක පාර්ශ්වයක චෝදනා පමණක් සැලකිල්ලට ගැනීමෙන්.

      Delete
    7. /හැබැයි, මෙතැනදී මතු වන ප්‍රශ්නය අනෝමා ඒ කාරණය දිගින් දිගටම මතු කිරීමයි./

      ඒ කියන්නේ එක බොරුවක් දහ සැරයක් කිව්වාම ඇත්ත වෙන බවද?

      Delete
    8. එය බොරුවක් බව ඔබ දන්නේ කොහොමද?

      Delete
    9. //නමුත් මේ සිද්ධියේ අප කතාකරන්නේ සිද්ධිය ගැන කාරණා වැඩිහරියක් නොදැන එක පාර්ශ්වයක චෝදනා පමණක් සැලකිල්ලට ගැනීමෙන්. //

      ලිපියේ මාතෘකාව කියවා විසඳුම හොයාගන්න.

      Delete
    10. ඒ කියන්නෙ අශෝක හඳගමට වගේම ඔබටත් අවශ්‍ය සංවාදයක් නොව අනෙකා ඔබේ මතය ප්‍රශ්න නොනඟා පිළිගැනීමක් විතරයි මේද? මේ පොර-මේනියාව ඔබේන් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්. ඔබ කැමැති ඔබේ මතය එසේම සමාජය පිළි ගන්නවා දකින්නයි. කෙනෙක් ඔබේ මතය ප්‍රශ්න කිරීම පිළි ගන්න පුළුවන් තරම් ඔබ මෝරා නැහැ. එහෙම නේද?

      Delete
    11. @ Ajith Perakum Jayasinghe - November 6, 2014 at 7:08 PM

      ඔබ සඳහන් කර ඇති කරුණු මත, සම්මුඛ සාකච්චාවේ credibility එක පිලි ගනිමි. credibility ප්රශ්නය නැගුවේ, ඔබේ ලිපියේ link එකෙහි සඳහන් web අඩවිය ගැනය.

      ජනාදරී - හඳගමට චෝදනා කරන කාරණය, ශ්‍රමය වෙනුවෙන් වැටුප් ගෙවීම පිලිබද ප්රශ්නයකට වඩා වෙනස් ආකාරයේ පෞද්ගලික ප්‍රශ්නයක් බවට , මා මෙන්ම මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත. ඒ වෙනුවෙන් ඔබේ පිළිතුරු කියක් ද ? , ඔබේ පිළිතුරු වලට ප්‍රති තර්ක ද බොහෝ ගණනක් ඇත.

      \\ අපගේ බ්ලොග් අඩවියේ බොහෝ පාඨකයෝ ලංකාවේ වාම දේශපාලනය ගැන හා කලාව ගැන යම් අවබෝධයක් ඇති අයයි. // යනුවෙන් ද ඔබ දක්වා ඇත.
      එසේ නම් ,මේ කාරණය සම්බන්දයේ දී common sense ඇති අය කොයි පැත්තේ ද යන්න පැහැදිලි යයි සිතමි.

      රෝහිත භාෂණ සිද්ධිය ගැන ගැන මගේ අදහස, යම් අවස්තාවක යම් සිධියක ඔබේ සගයෙකුගේ ක්‍රියා කලාපය ඔබ දකින අකාරය පිලිබඳ පෞද්ගලික ප්ර ශ්නයක් , සමස්ත වාමාංශික ව්යාතපාරය පිලිභිබු වන දේශපාලන ප්රශ්නයක් ලෙස, කරන ඔබේ අර්ථ දැක්වීමට පටහැනිවය. මේ කරුණ දැක්වීමට හිරු කණ්ඩායම හෝ ඔවුන්ගේ දේශපාලනය ගැන ලොකු දැනුමක් අවශ්ය නොවෙයි.

      \\පානදුරෙන් නැග්ග මගියා අම්බලන්ගොඩදී බස් එකේ රෝදයක හුළං බැස්ස බව දන්නේ නැත......... අපි මෙය වසර පහක සිට සමාජවාදය පිළිබඳ සංවාදයක් වෙනුවෙන් කරන්නකි. //
      මේ සඳහන , මා comment කරන්නට පටන් ගත්තේ ඊයේ පෙරේදා නිසා විය යුතුය. . ඔබගේ blog ලිපි මුල් කාලයේ පටන්ම කියවා ඇත. ඔබගේ සමස්ත දැක්ම පිලිබඳ සාමාන්ය අවබෝධක් ඇත. comment කරන්නට පටන්ගත්තේම , ඔබගේ දේශපාලනික සවින්ඝානික අදහස් පිලිබඳ ( Ano ඕපාදුප අපහාස උපහාස මිස ) බොහෝ විට හරවත් සංවාදයක් නැති බව පෙනුණු හෙයිනි. ඇති කිරීමේ අරමුණිනි. යම් දුරකට සාර්ථක වී ඇති බව ද පෙනේ.

      ඔබගේ, තනි පුද්ගල සමාජවාදී ජිවන විලාසිතාව... , සියලු වාමාංශිකයෝ කුහකයෝය...වැනි අදහස් ගැන නම් ඇත්තේ බලවත් කුතුහලයකි. ඉදිරියේ දී සාකච්චා කරමු.

      [වැඩි දුරටත් ........රාවයට ලියන කාලයේ , අන්‍යොන්‍ය මිත්‍රයෙකු සමග ඔබ හමු වී කතාබස් කර ද ඇත්තෙමි . ඔබ සඳහන් කර ඇති නෙවිල් වීරසිංහ පෞද්ගලිකව හදුනමි]

      Delete
    12. /////ඔබගේ, තනි පුද්ගල සමාජවාදී ජිවන විලාසිතාව... , සියලු වාමාංශිකයෝ කුහකයෝය...වැනි අදහස් ගැන නම් ඇත්තේ බලවත් කුතුහලයකි. ඉදිරියේ දී සාකච්චා කරමු. ///////

      @ ප්‍රින්ස්..... මම උපුටා දක්වපු තැන ...පැරා කොහෙද එහෙම කියලා තියෙන්නේ. එහෙම එකක් බලනවා..අහුවුනේ නැහැ. හැබැයි ඒක එහෙම පැරා කියනවානම්, මම තදින් විරෝධය පලකරනවා. නැහැ එහෙම නැති මිනිසුන් ඉන්නවා. මගේ පියා වයස 80යි. ඔහු සැබෑ මිනිහෙක්. ඔහු බොරු වාමාංශිකයෙක් නෙමේ. එදත්, අදත්, හෙට මැරෙන තුරාත් ඔහු ප්‍රතිපත්ති ගරුක මිනිහෙක්. එවැනි මිනිසුන් තවත් ඉන්නවා. පැරා එහෙම කිව්වාද.....එහෙම කිව්වා නම් ඒක බරපතල වැරැද්දක්. නිවැරදි කරන්න.

      Delete
    13. නඩු කථාවක් කියා උඩ කමෙන්ට් දමා තිබෙන්නේ මේ දවස් වල සිලුමිණට විද්‍යාවේ දර්ශනය ගැන නොදන්නා මගුලක් ලියන්න ගිහින් කිච වෙලා ඉන්න චානුක වත්තේගමය. පැරකුම් මතු කරන දේශපාලන ප්‍රශ්නය මුන්දෑට තේරිලා නෑ. දික්කසාද නඩුවෙන් වන්දි ගන්න අනෝමාට තිබුණා වගේ ගොබ්බ කථාවක් කියන්නේ ඒ හන්දා. මේ උන්නැහෙගෙ මොලේ තරම ඒකෙන්ම පේනවා.

      Delete
    14. සියලු වාමාංශිකයෝ කුහකයෝ ය කියා මම නො කියමි. වඩා නිවැරදි වන්නේ බොහෝ වාමාංශිකයෝ කුහකයෝ ය යන්නයි. වාමාංශික නායකයන් සම්බන්ධයෙන් නම් සියලු යන පදය බොහෝ දුරට ගැලපෙයි.

      Delete
    15. //ඒ කියන්නෙ අශෝක හඳගමට වගේම ඔබටත් අවශ්‍ය සංවාදයක් නොව අනෙකා ඔබේ මතය ප්‍රශ්න නොනඟා පිළිගැනීමක් විතරයි මේද? මේ පොර-මේනියාව ඔබේන් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්. ඔබ කැමැති ඔබේ මතය එසේම සමාජය පිළි ගන්නවා දකින්නයි. කෙනෙක් ඔබේ මතය ප්‍රශ්න කිරීම පිළි ගන්න පුළුවන් තරම් ඔබ මෝරා නැහැ. එහෙම නේද? //

      මතවාදී අරගල කරන ඕනෑම කෙනෙක් එහෙම තමයි. දැන් ඔබටත් අවශ්‍ය එය නේ ද?

      හැබැයි කරුණු සහිතව යම් දෙයක් ඉදිරිපත් කරනවා නම් පිළි ගන්න බැරිකමක් නැහැ.

      ඔබ මේ කමෙන්ටුව වෙනත් තැනකත් දැම්මා නේ. එතන අදහසක් පළ කර තිබෙද්දී මෙතනත් දමන්නේ ඔබට දිනන්න ඕනැ නිසා නේ. දිනුම ඔබ අරගෙන යන්න.

      ඒත්, මේ ලිපියේ මතු කළ මූලික අදහස ඔබ සංවාදයට පැටලුණ වන්දි නඩුව නෙමෙයි. නැවතත් කියනවා නම්, අපි කතා කළේ පවුල තුළ ස්ත්‍රිය සූරාකෑමට ලක් වීම, පක්ෂය තුළ සාමාජිකයා සූරාකෑමට ලක් වීම හා සමාජවාදය ගැනයි. මෙය මගේ පවුල තුළත්, ඔබේ පක්ෂය තුළත් සිදු වන දෙයක්.

      මම කළත්, කවුරු කළත් එය වැරදියි. එහෙම එකක් නැහැ කියන එක හෝ ඒක හරි කියන එක නෙමෙයි වැඩේ. ප්‍රශ්නයට විසඳුම් සොයන්න නම්, ප්‍රශ්නයක් ඇති බව හඳුනා ගන්න ඕනැ.

      සිංහලයන්ට ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැරි වෙලා තිබෙන්නෙත් ප්‍රශ්නය හඳුනා නො ගත් නිසායි. පිරිමින්ට ස්ත්‍රීන්ගේ ප්‍රශ්නය හඳුනා ගන්නත් බැහැ. බොහෝ විට ස්ත්‍රීන්ටත් බැහැ. හැබැයි ප්‍රගතිශීලීන් උත්සාහ කළ යුතුයි එය හඳුනා ගන්න.

      Delete
    16. බොහොම ස්තූතියි පැරා. ඔව් නායකයින් ගැන නම් විවේචන තියෙනවා. ඒක ඩොක්ටර් වික්‍රමසිංහගේ ඉඳන් KG දක්වා.

      Delete
    17. මෙතැන තියෙන්නෙ වාදයක් හෝ ජය ගැනීම ගැන ප්‍රශ්නයක් නොවේ. වාදය හෝ ජය ගැනීම අදාළ වන්නේ පැරාට මතයක් තිබුණේ නම්ය. මේ සම්බන්ධයෙන් පැරාට එක මතයක් නොතිබුණු බවද ඔහු වරින් වර තමන්ගේ මතය වෙනස් කරන හැටිද ඉහත ඔහුගේ කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට පැහැදිළි වේ. ඔහුගේ අවශ්‍යතාවය සත්‍යය සෙවීම වත් අසාධාරණයට එරෙහිව සටන් කිරීම වත් නොවේ.

      මෙහිදී පැරාට තිබුණේ එකම අවශ්‍යතාවයක් පමණය එනම් තමන්ගේ සතුරා වූ දීප්තිගේ ගෝලයා බව ඔහුම කියන හඳගමට මඩ ගැසීමය. එය ඉටු කර ගත් පසු පැරාට තවත් මාතෘකාවේ එල්ලී සිටීමෙන් පලක් නොවේ. ඔහු හැකි ඉක්මණින පළා යන්නට තැත් කරන්නේ එනිසාය. එනම් පැරා මෙතැනදී අල්ලා ගන්න තැත් කරන්නේ තනිකරම පුද්ගලික ඇරියස් එකකි. එය කළාට කමක් නැත. නමුත් ඊට මහා සමාජවාදී තර්ක ගෙනෙන එක නම් කුජීත වැඩකි.

      Delete
  10. අපි ලග නැති සමාජවාදය සමාජයෙන් කෙසේ සොයම්ද....? ඔබ හරි.....

    ReplyDelete
  11. අනෝමා...අනෝමා...ම්හු...ඔය කියන්නෙ අර..... ආ ආ මතක් උනා ...අනේ ඔය නෝනාටයි මහත්තයට්යි තම තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න දෙන්න මෙයා... ඔයිට වැඩිය කතා කරන්න ඕන දේවල් කොතෙක් තියේද?

    ReplyDelete
    Replies
    1. " දීප්ති අපට බැන වදින්නේ වාමාංශික පෝලෝ සීයා කියමින් ය."

      අහිංසක චූචී පැරකුම්ලට එහෙම කියන්න එපා හොදේ . අනේ පවු !

      Delete
  12. @පැරා, මේකට පිළිතුරක් දෙන්න. පැරාගේ බිරිඳ පැරාගේ කටයුතු වලට උදව් කරනවා නම් (ඇගේ බිරිඳගේ භූමිකාවෙන් බැහැරව) පැරා ඇයට මුදල් වලින් ගෙවීමක් කරනවාද?

    ReplyDelete
    Replies
    1. බිරිඳගේ භූමිකාවෙන් බැහැර කටයුත්තක් මම ඇය සමග නො කරමි. නිදසුනක් ලෙස මම ඇය යොදා තුන්වන පාර්ශ්වයක් සමග චිත්‍රපට හෝ නාට්‍ය වැනි දේ කර නැත. අප යෙදෙන අපේ කටයුතු හෙවත් පවුලේ කටයුතු වෙනුවෙන් අපි වැටුප් ගන්නේ නැත.

      Delete
    2. @පැරා,

      යම් කාර්යයක් බිරිඳගේ භූමිකාවට අයත්ද නැද්ද කියලා ඔබ වෙන් කර ගන්නේ කොහොමද? උදාහරණයක් හැටියට ඔබේ බිරිඳ හෙදියක් නිසා (සාමාන්‍යයෙන් වෙනත් බිරින්දෑවරුන් නොකරන) ඔබේ හා දරුවන්ගේ සුළු සෞඛ්‍ය ප්‍රශ්නයන්ට මැදිහත් වීම වැනි දෙයක් ඇය කරතැයි සිතනවා. (මේ සරල උදාහරණය ගත්තේ ඔබ හා ඔබේ බිරිඳ අතර වෙන දේවල් මා නොදන්නා නිසා. මා ඒ ගැන දන්නවා නම් මීට වඩා හොඳ උදාහරණයක් දෙන්න තිබුණා.) මේ කටයුතු වලට ඇය වැය කරන්නේ ඇගෙ වෘත්තීය දැනුම. එතකොට ඔබ ඒ සේවාවන් ලබන්නේ නොමිලයේ. එතකොට ඔබ ඒ වෙනුවෙන් ඇයට ගෙවීමක් කිරීම සාධාරණ නොවේද? එසේ නොකිරීමෙන් ඔබ ඇය සූරා කනවා නේද?

      Delete
    3. නැත. මම ඇයට ද එවැනි ප්‍රති උපකාර කරන්නෙමි. උදාහරණයක් ලෙස මම ගුරුවරයකු වන නිසා ඇයට අවශ්‍ය අවස්ථාවලදී මම ද උපකාර කරමි. නො කළත්, අප අතර තිබෙන ආදර සම්බන්ධය නිසා එහි ප්‍රශ්නයක් මතු වී නැත. අනෙක, මෙතන තුන්වන පාර්ශ්වයක් නැත. එසේම, මගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ චෝදනාවක් ද කර නැත. එහෙම චෝදනාවක් ඇති වුවහොත්, අපි මේ ගැන සංවාද කරමු.

      ඔබ පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ සැමියා විසින් බිරිඳ සූරාකෑම සාමාන්‍ය තත්වයක් ය කියා ද? එතැනදී මට කියන්නට තිබෙන්නේ මා කළත්, එය වැරදි බවයි. ආදරය හා සූරාකෑම යනු එකක් නො වේ. දෙකකි.ආදරය මුවාවෙන් කළත් සූරාකෑම වැරදි ය.

      Delete
    4. 1. පැරා බිරිඳට ප්‍රති උපකාර කළා වාගේම හඳගමත් බිරිඳට ප්‍රති උපකාර කළාද නැද්ද පැරා හරිහැටිම දන්නෙ කොහොමද?

      2. (අද නැතුවත්) ඒ යුගයේ අනෝමා හා හඳගම අතර පැවතියේ (ඔබත් ඔබේ බිරිඳත් අතර පවතිනවාක් මෙන්) ආදරයක්ද නැද්ද ඔබ දන්නේ කොහොමද?

      3. අනෝමා හා හඳගම අතරද (ඔබ හා ඔබේ බිරිඳ අතර මෙන්ම ) එදා ප්‍රශ්නයක් තිබුණේ නෑ නේද? අනෝමා එදා පුවත්පත්වලට කීවේ හඳයා හරිම සංවේදී මිනිහෙක්. ඔහුගේ නිර්මාණ වලට සහභාගි වෙන්න ලැබීම මා ලද භාග්‍යයක් වගේ දේවල් නේද? ඔබ කියන්නේ එහෙම දේවල් කිව්වෙ නෑ කියලාද?

      4. ඕනෑම සම්බන්ධයක් (විවාහයක් පමණක් නොව, රැකියාවක් වගේ දෙයක් වුවත්) අවසාන වූ පසු එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය තමන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කීම, නිතර සිදුවන, සාමාන්‍ය දෙයක් නේද?

      5. කෙනෙක් පීඩිතද නැද්ද තීරණය කීමට කම්ප්ලේන් කරන කල් ඉන්න ඕනෑද? බට්ටි කම්ප්ලේන් කළාද?

      6. ඔබේ බිරිඳ කම්ප්ලේන් නොකරන්නේ ඔබේ පුරුෂාධිපත්‍යයට බයෙන්ද නැද්ද අප දන්නේ කොහොමද?

      සැමියා විසින් බිරිඳ සූරාකෑම කොතැනවත් සාධාරණීකරණය කොට නැත. හඳගම එසේ කරන්නට ඇත්ද නැද්ද මම නොදමිනි. (ඔවුන් දෙදෙනා අතර සියළු කටයුතු මා නොදන්නා නිසාය.) හැබැයි මේ කේස් එකේදී වී ඇත්තේ සූරාකෑමක් වුණා නම් සිය කැමැත්තෙන්ම සූරාකෑමට ලක් වූ බිරිඳ එසේ වීමේදී කිසිවක් නොකොට, දැන් අවස්ථාව පසු වූ පසු පෙර සැමියා බ්ලැක් මේල් කිරීමක් බව නම් හොඳින්ම පෙනේ.

      Delete
    5. //හැබැයි මේ කේස් එකේදී වී ඇත්තේ සූරාකෑමක් වුණා නම් සිය කැමැත්තෙන්ම සූරාකෑමට ලක් වූ බිරිඳ එසේ වීමේදී කිසිවක් නොකොට, දැන් අවස්ථාව පසු වූ පසු පෙර සැමියා බ්ලැක් මේල් කිරීමක් බව නම් හොඳින්ම පෙනේ. //

      අවස්ථාව පසු වුණා කියන්නේ මොකක් ද? අවස්ථාව කියන්නේ නීතිමය කාරණයක් නම් ඒක මට අදාළ නැහැ. මම කතා කරන්නේ නීතිය ගැන නෙමෙයි. බ්ලැක් මේල් කිරීම කියන්නේ මොකක් ද? හඳගමව බිය ගන්වා මුදල් ගැනීම නම්, දැන් හඳගම බිය වෙනවා ද?

      මේ ප්‍රශ්නය ඇසුවාට අමනාප වෙන්න එපා. ඔබ හඳගම ද? නැතිනම් ඇයි ඇනොනිමස්?

      Delete
    6. මට ප්‍රශ්න නඟන්නට පෙර මගේ ඉහත ප්‍රශ්න හතට පැරාගේ උත්තර දැන ගන්න කැමැතියි.

      Delete
    7. 1. ඒ ගැන අනෝමා කියා නැත. හඳගම ද කියා නැත.
      2. හඳගමත් අනෝමාත් අතර ආදරයක් නො තිබුණු බවක් මා කියා නැත.
      3. මම එහෙම නො කියමි.
      4. ඔව්. ඒ වගේ ම එහෙම දේ වෙන බවත් ඇත්තයි. හැබැයි ඉතින් එහෙම වුණා නම් කියන එක වරදක් නෙමෙයි.
      5. නැහැ. කරුණු තිබෙනවා නම් පැමිණිලි කරන්න ඕනැ නැහැ.
      6. ඔබ නො දන්නේ ඔබ නො දන්නා නිසා ය.

      ප්‍රශ්න තිබෙන්නේ හයකි. හතක් නැත. (මෙය ප්‍රශ්නෝත්තර වැඩසටහනක් නො වුණත්, මම ඔබට පිළිතුරු දුන්නෙමි.) ඔබ ඇනොනිමස් එන්නේ ඇයිද යන්නට මට පිළිතුරු අවශ්‍ය නැත. මට තේරුම් ගත හැකි ය.
      5.

      Delete
    8. 1. හරි කියා නැත්නම් ඔබ දන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

      2. ඔබ කියා තිබෙනවා. ඒක තමයි ඔබ චෝදනා කරන්නේ ඔහු ඇය සූරා කෑ බව. ආදරයක් තියෙනවා නම් සූරා කන්නේ කොහොමද?

      3. එසේ නම් එදා ඔවුන් අතර ප්‍රශ්නයක් නොතිබුණු බවත් ප්‍රශ්නය ඇත්තේ අද බවත් ඔබ පිළිගන්නවාද?

      4. පිළි ගැනීම ගැන ස්තූතියි.

      5, 6. එතකොට ඔබේ බිරිඳ කම්ප්ලේන් නොකළ පමණින් ඇය සූරාකෑමට ලක් නොවන බව අප දන්නේ නැහැ නේද?

      Delete
    9. මේ විවාදයට සම්බන්ධ වීම ගැන ස්තුතියි. ඒත්, මෙය ප්‍රශ්නෝත්තර වැඩසටහනක් හෝ උසාවියක් නො වන බව කරුණාවෙන් සලකන්න. මේ අනෝමාගේ වන්දි නඩුව නො වේ.

      මගේ ලිපියේ තේමාව පවුල තුළ ස්ත්‍රිය සූරාකෑමට ලක් වීම, පක්ෂය තුළ ක්‍රියාකාරිකයා සූරාකෑමට ලක් වීම හා සමාජවාදයයි.

      Delete
    10. ඒ කියන්නෙ අශෝක හඳගමට වගේම ඔබටත් අවශ්‍ය සංවාදයක් නොව අනෙකා ඔබේ මතය ප්‍රශ්න නොනඟා පිළිගැනීමක් විතරයි මේද? මේ පොර-මේනියාව ඔබේන් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්. ඔබ කැමැති ඔබේ මතය එසේම සමාජය පිළි ගන්නවා දකින්නයි. කෙනෙක් ඔබේ මතය ප්‍රශ්න කිරීම පිළි ගන්න පුළුවන් තරම් ඔබ මෝරා නැහැ. එහෙම නේද?

      Delete
    11. අඩෝ පැරාව කොර කරන කොමෙන්ට් දාන්න තහනං හරිද
      කතා කරන්න දෙයක් නැත්තං අපිට අමුමිරිස් ගිල්ලවලා සල්ලි ටික ගිල්ල බහිරවයෝ ගැන කතා කරමු

      Delete
    12. //ඒ කියන්නෙ අශෝක හඳගමට වගේම ඔබටත් අවශ්‍ය සංවාදයක් නොව අනෙකා ඔබේ මතය ප්‍රශ්න නොනඟා පිළිගැනීමක් විතරයි මේද? මේ පොර-මේනියාව ඔබේන් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්. ඔබ කැමැති ඔබේ මතය එසේම සමාජය පිළි ගන්නවා දකින්නයි. කෙනෙක් ඔබේ මතය ප්‍රශ්න කිරීම පිළි ගන්න පුළුවන් තරම් ඔබ මෝරා නැහැ. එහෙම නේද? //

      මේ ප්‍රශ්න කරන්නේ මතවාදය ගැන නෙමෙයි නේ ද?

      ඔබට අවශ්‍ය දිනුම නම් එය ඔබම තබා ගන්න. මම පරාජය පිළි ගන්නම්.

      Delete
    13. අයියෝ සල්ලි.පැරාගේ

      Delete
    14. පැරා මේ පාරත් කෙහෙල් ගහට කොටලා නේද?

      Delete
    15. පැරා, මේ මාතෘකාව ගෙනාවේ මා නෙවෙයි ඔබයි. ඔබ යම් මාතෘකාවක් ගැන කතා කරන්නේ ඒ ගැන උනන්දුවක් ඇති නිසා කියා හිතනවා. ඒ නිසා ඔබට යුතුකමක් තියෙනවා ඒ මාතෘකාව ගැන ප්‍රශ්න නැඟෙන කොට ඒවාට පිළිතුරු දෙන්න. ඊට අමතරව ඔබ මේ ලිපියේ මාතෘකාවෙන් පවා කතා කරන්නේ සංවාදයක් නැති වීම ගැනයි. ඉතින් ඔබ සංවාදය මෙසේ මඟ දමා පැණයාමේදී ඔබේ දේශනාවේ හා ක්‍රියාවේ පරස්පරයක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

      Delete
    16. මම මට කියන්නට ඇති සියල්ල කියා තිබේ. දැන් ඔබ සංවාදය ඉදිරියට ගෙන යන්න.

      බුරන හැම බල්ලෙකුටම පයින් ගහන්නට නැවතුණොත් ගමන යන්නට වෙන්නේ නැත.

      ඒවා සංවාද නො වේ.

      සංවාදය යනු හැම ප්‍රශ්නයට ම උත්තර දීම නො වේ.

      Delete
    17. මුලින්ම ඔබේ මතය සංයමයකින් යුතුව, කුණුහරුප නොකියා, පුද්ගලික අපහාස නොකර, ඔබට ප්‍රතිචාර දක්වන්න ඉඩක් දීලා ප්‍රශ්න කරන කෙනෙක්ව "බුරන බල්ලෙක්" හැටියට ඔබට පෙනීම ගැන කණගාටුයි. සාමාන්‍යයෙන් නම් අපි බුරන බල්ලන් කියන්නෙ ඉහත දේවල් කරන අයයි. නමුත් ඔබ කියන දෙයම හරි ලෝකයේ හැම දෙනාම ඒක පිළි ගත යුතුයි කියන පොර මේනියාවේ සිටින ඔබ වැනි මනසින් පුංචි මිනිසකුට තමන්ගේ මතයට එරෙහි පොඩි දෙයක් වුණත් බාර ගන්න බැරි බව අපට වටහා ගත හැකියි. ඔබට පෞද්ගලික වෛරයක් මත යමකුට මඩ ගහන්න ඕනෑ වුණා. ඔබ ඒක කළා. දැන් ඔබේ අරමුණ හැකි ඉක්මණින් අත හෝදා ගෙන මාරු වීම. මේවා ඔබ අයත් වන කුලකයේ මනසින් පුංචි මිනිසුන්ගේ සමාන්‍ය උපාය මාර්ග. අප මේවා නොදන්නවා නෙවෙයි. වඩා ශිෂ්ට වඩා මේරූ පුද්ගලයෙක් නම් තමන්ගේ මතය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා. නමුත් ඔබට ඒ හැදියාව හෝ ඕනෑකම නැහැ. මොකද ඔබේ කුහක මඩ ගැසීමේ අරමුණ ඔබ ඉටු කරගෙන හමාරයි.

      ඔබේ මේ සටහන හඳගම හෝ අනෝමා ගැන නම් අළුත් දෙයක් කියන්නේ නැහැ. නමුත් අජිත් පැරකුම් ජයසිංහ නම් මනසින් පුංචි මිනිසා ගැන නම් බොහෝ දේවල් කියනවා. වෙන මොනවා කියන්නද?

      Delete
    18. අජිත් පැරකුම් ජයසිංහ කුමන තරාතිරමක අයෙක් වුව ද ඔහු නමක් ගමක් ඇති තමන්ගේ මතය වෙනුවෙන් නමින් පෙනී සිටින්නෙකි. ඔබ වැනි කෙළින් නමින් පෙනී සිටින්නට බැරි අය ගණන් ගන්නේ කවුරුද?

      Delete
    19. මගේ මතයට පහර දෙන්නට නොහැකි වූ කල්හි ඔවුහු මට අතින් පයින් පහර දුන්නෝය.

      පැරා, මෙහෙම කිව්වෙ සරච්චන්ද්‍ර. අපි ශිෂ්ට ලෙස මතවාදී ගැටුමක නිරත වෙමුද? ඒකට පුද්ගලිකත්වයන් ඕනැ නැහැ නේද?

      Delete
    20. මම සන්වාදයට සම්බන්ධ උන ඇනෝ නෙවෙයි, පැරා ගැන යම් පැහැදීමක් තිබූ නමුත් පැරාගෙ මෙවන් හැසිර්‍රීම් මගින් එය වෙනස් වන්නට ඉඩ තිබේ, අප වැනි අයට දේශපාලන කාරණා සම්බන්ධව පුලුල් වූ අවබෝධයක් නොමැති හෙයින් දැනුම ලබා ගන්නට මෙවන් මාධ්‍යන් අප විසින් භාවිතා කරමු. එසේ දීර්ඝ කාලයක් W3lanka පරිශීලනය කලා. මට හැගෙන එක් කාරනයක් වන්නේ ඔබ ඔබගේ ලිපියකින් යමක් කියා ඒ සම්බන්ධව නැගෙන ප්‍රශන වලට පිලිතුරු දීමට ඔබ මැළි කමක් දකවන බවයි. මා කියන්නෙ සියලු ප්‍රශ්න වලට පිලිතුරු දිය යුතුයි කියා නෙවෙයි.
      /*අජිත් පැරකුම් ජයසිංහ කුමන තරාතිරමක අයෙක් වුව ද ඔහු නමක් ගමක් ඇති තමන්ගේ මතය වෙනුවෙන් නමින් පෙනී සිටින්නෙකි. ඔබ වැනි කෙළින් නමින් පෙනී සිටින්නට බැරි අය ගණන් ගන්නේ කවුරුද? */
      මා සිතන පරිදි මෙම ප්‍රකාශය ඉතා මුග්ද වූත් කුහක වූත් ප්‍රකාශයක්. සමාජවාදය හෑල්ලුවට ලක් කරන්න එපා පැරා. ඔබ සියලු දේ දන්නේ යැයි ඔබ සිතන්නේ නම් ඔබ කල යුත්තෙ දැන් ඔබ කරන දේ නෙවෙයි.

      Delete
    21. හරියටම කියනව නම් පැරාට තියෙන්නෙ ලොකු ඇරියස් ගොඩක්. එයා ඒව කවර් කරමින් අනිත් උන්ට බන කියන්න එනව.

      Delete
    22. ඇරියස් තිබුණත් කමක් නැහැ, ඇරියස් කවර් කර ගත්තත් කමක් නැහැ. අපි හැමෝම මනුස්සයො. ඔය සංවාද කියලා අපි හැමෝම කරන්නෙ ඒකයි. හැබැයි කාට හරි ගැහුව නම් එතැන ඉඳලා ප්‍රතිචාර වලට මුහුණ දෙන එක නම්බුයි. පැරා කරන්නෙ පස්සෙන් ඇවිල්ල හගලා දුවනවා වගේ කුජීත වැඩක්.

      Delete
  13. /////////අනෝමා ජනාදරී හා අශෝක හඳගම අතර නො කෙරෙන සංවාදය/////////

    නොකෙරෙන සංවාදයද එහෙම නැත්නම් සංවාසයද මන්දා... මොනවා වුනත් ඒ දෙකම වෙන්නේ නැහැනේ... සංවාදය තුලින් මිනිසා දැණුවත්වේ. සංවාසය තුලින් මිනිසා ප්‍රීතිමත්වේ.

    ReplyDelete
  14. Saakachcha Mandapayen Awasarai.Mahthuni APITANAM Okun dennama Rupiyalak tharamwth watinnene.okunge Film balanna Balana tikadenek ethi(Ara wikrama bahuge patiyawage).Ewata Smbawya kiyala unma nam karagannawa.Okunta Jathyanthara sinamawata lanwennawathbe (PARATA STHUHi Mekathawa sakachcha kalata)

    ReplyDelete
  15. හයියෝ පැරා ! මොකෝ මේ දවස් වල හැමදාම නා ගන්නේ ? ශනි මාරුව පැරාට නරකටම පිහිටලා වගේ. ශනි මෘත්යුන් ජය යන්ත්‍රයක් දාගෙනම බ්ලොගේ වැඩ ආයි පටන් ගත්තොත් නරකද ? :P

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්වා වගේ පැරාගේ ලග්නය කුම්භ වෙන්න ඇති මේ තරමටම නා ගන්න.

      Delete
  16. ස්ත්‍රිය පිඩාවට පත් කරන ක්‍රමයට නොබැන හඳගමට බැනීම අසාධාරන නොවේද? කාන්තවකට ඉදිරියට ඒමට පුරුශයෙකුගේ සහයක් ලබා ගැනීමට (ඒ වෙනුවෙන් වන්දියක් ගෙවා )සිදුවීම ඒ කේවල පුරුශයාගේ වරදක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා