ආණ්ඩුව වෙනුෂා ඉමන්දිගේ චෝදනාවට ලක් වූ විදුහල්පති ආරක්ෂා කරන්නේ ඇයි?

මෙන්න සමාජයට වල් ය කියා පෙනෙන ඡායාරූපය
ලංකාවේ පාසල් යනු ළමා මනස විකෘති කරන මර්දනයේ තෝතැන්නක් බව අපි මීට කළින් ද කීවෙමු.

එහි සිදු වන්නේ අනාගතය සඳහා අවශ්‍ය ගුණගරුක, බුද්ධිමත්, කුසලතා පූර්ණ පරම්පරාවක් නිර්මානය කිරීම නො වේ.

පාසල් අධ්‍යාපනය හැඩගස්වා තිබෙන්නේ සීමිත සුදු කරපටි රැකියා ටිකට පොරකන්නට ය. ඒ වෙනුවෙන් පහේ ශිෂ්‍යත්වයෙන් පටන් ගෙන අ.පො.ස. (උසස් පෙළ) දක්වා වියරුවෙන් මෙන් කට පාඩම් කරමින් විභාග සමත් වන්නට ය. ලබා ගත් දැනුමක් ඇතත්, නැතත්, විභාගවලින් හැකි තරම් අධි සම්මාන ලබා ගන්නට ය.

සමබර පෞරුෂයන් නිර්මානය කිරීමට ඉවහල් වන විෂය සමගාමී හා විෂය බා‍හිර කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ ආකල්ප හොඳ තත්වයක නැත. නිදසුනක් ලෙස පාසල්වල මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා උත්සව ගැන අපි සලකා බලමු. මේවායේදී බොහෝ විට කෙරෙන්නේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා එහි සංදර්ශනවලින් ඇහැ ගිනි කණ වැට්ටවීම මිස සැබෑ ක්‍රීඩා සංවර්ධනයක් නො වේ.

පසුගිය දිනෙක මා පාසලකදී ඇසූ විදුහල්පති කතාවෙන් සිදු කෙරු‍ෙණේ රවීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ ගෝරා නවකතාව පාවිච්චි කරමින් පාසලේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් තමන්ගේ පහත් ජන්මය ගැන දැනගෙන සිටිය යුතු ය යන කරුණ අවධාරණය කිරීමයි.

අද වන විට විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ගුරු අධ්‍යාපනය අතිශය දුර්වල ය. විදුහල්පතිවරුන්ට නම් විධිමත් පුහුණුවක් ඇත්තේ ම නැත. ගුරු විදුහල්වල ලබා දෙන දැනුමේ අඩුලුහුඬු හේතුවෙන් පාසලට එන්නේ දුර්වල පෞරුෂයකින් යුත් ගුරුවරයෙකි. කිසිදු පූර්ව පුහුණුවකින් තොරව පාසල්වලට පත් කරනු ලබන උපාධිධාරීන්ගේ තත්වය භයානක ය. පාසල්වල ප්‍රායෝගික තත්වය තුළ ඔවුන්ගේ ප්‍රමිතිය තවත් පිරිහීමට ලක් වේ. ගුරු අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සඳහා තිබෙන වැඩසටහන් ද අතිශය දුර්වල ය. විශේෂයෙන් ගුරු උපදේශක සේවාව ගන්න ම දෙයක් නැත. විෂය අධ්‍යක්ෂවරුන් ආදීහු බුරුතු පිටින් සිටියත් ඔවුන්ගෙන් අධ්‍යාපනයට සිදු වන සේවාව අවම ය.

මෙම පසුබිම තුළ විදුහල්පතිවරු හා ගුරුවරු තමන්ගේ කාර්යය කුමක්දැයි නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන බවක් නො පෙනේ. ඇතැම් විදුහල්පතිවරු හා ගුරුවරු සිතා සිටින්නේ දරුවන් ශික්ෂණය කිරීම යනු හිංසනය ය කියා ය. මෙම තත්වය උග්‍ර වන්නට මෑත සිට විදුහල්පතිවරුන්ට සපයන මිලිටරි පුහුණුව ද හේතු වී තිබේ.

සමස්ත සමාජයේ ම කොන්ද බිඳ දමා තිබෙන අද දවසේ ළමා අයිතිවාසිකම් ගැන කතා කරන්නට කිසිවෙක් නැති තරම් ය.

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා 11 ශ්‍රේණියේ දැරියකට වේසි කියා අමතා ඇය මානසික හිංසනයකට ලක් කළ බවට ද ඉන් පසු ඇය ‍සිය දිවි නසාගෙන ඇති බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. එහෙත් පරීක්ෂණයක් නැත.

බලධාරීන් විදුහල්පතිවරයා ආරක්ෂා කිරීමට පෙළඹී තිබෙන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුුතු ය‍. තත්වය පිළිබඳ අවබෝධයක් වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර කරන ප්‍රකාශය ඔස්සේ ලබා ගත හැකි ය. මේ ඔහුගේ ප්‍රකාශයකි.

“ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ. තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. අපිට ඒ කාලයේ හොඳට ගැහැව්වා.මම හොඳට පොඩි කාලේ ගුටි කාලා තියනවා.එත්  අපේ අම්මා කවදාවත් ඇවිත් විදුහල්පතිගෙන් ඇහෙව්වේ නෑ ඇයි මගේ පුතාට ගැහැව්වේ කියලා. මගේ අම්මත් ගුරුවරියක්. අම්මා ඇවිත් මම වැරදි කළාම විදුහල්පතිට ගිහින් මාව  බාර දෙනවා.  එහෙම හැදුන නිසා තමයි මට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒකයි මම ඔබතුමාලට කියන්නේ කරුණාකරලා තමන්ගේ දරුවෝ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. නැත්නම් ජීවිතයේ ලොකු අවධානමකට ලක් වෙනවා.ඒ අම්මයි තාත්තයි  දෙන්නා මගේ  ලඟට ඊයේ ආවා. මට ඒ වේදනාව තේරෙනවා. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි. 

"ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේක එක දවසක සිදුවීමක් නෙමේ. මෙතන විදුහල්පතිගෙත් දරුවාගේත් දෙදෙනාගේම වැරදි තියනවා. මේ සිදුවීම වෙච්ච පාසැල ළමයි හාරදහසක් විතර ඉගෙන ගන්න කීර්තිමත් පාසැලක්. එහෙම පාසැලකට කැළලක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම මේ ගැන මම පුළුල් පරීක්ෂණයක් කරනවා. ඒක ඉවර වුණාම වයඹ පළාතේ ඉදිරියේ දී මේ වගේ සිදුවීමක් නොවන තැනට තීන්දුවක් ගන්නවා. වැරදිකරුට දඬුවම් දෙන්න මම පැකිලෙන්නේ නෑ."

දැන් මේ ඇමතිවරයා කියන ආකාරයට මෙම දැරිය සිය ෆේස්බුක් ගිනුම වැරදි ආකාරයකට භාවිතා කර තිබේ. එහෙත්, එවැනි සාක්කි කිසිවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි. මෙම දැරිය වල් එකියකැයි පෙන්වීම සඳහා අන්තර්ජාලය හරහා බෙදා හරින ඡායාරූපයේ තිබෙන්නේ කුමක් ද? එය තවත් පිරිමි ළමයකු සමග ගත් ඉතා සාමාන්‍ය ඡායාරූපයක් පමණි. එවැනි ඡායාරූපයක් ගන්නට පෙම් සබඳතාවක් තිබිය යුතු ම නැත. නව ‍යොවුන් වියේ දැරියක එවැනි පෙමක් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් මිස ඇයි වේසියක් වන අවස්ථාවක් නො වේ. විදුහල්පතිගේත්, දරුවාගේත් දෙදෙනාගේ ම වැරදි ඇති බව කියන මහ ඇමතිවරයාට පෙන්වා දිය හැකි දරුවාගේ වැරදි මොනවා ද? අනෙක් පැත්තෙන්, බාල වයස්කාර දැරියකගේත් අලි විදුහල්පතිවරයකුගේත් වැරදි එක මිනුම් දණ්ඩෙන් මනින පදනම කුමක් ද?

මෙම දේශපාලනඥයා මේ අන්දමින් විදුහල්පතිවරයා ආරක්ෂා කරන්නේ ඇත්තෙන් ම දේශපාලකයන් ගුරුවරුන්ට ඇති විශේෂ භක්තියක් නිසා නො වේ. මෙතැන තිබෙන්නේ සමාජ ගැටලුවකි. ඒ වනාහි නරක ආරක්ෂා කිරීමට සමස්ත සමාජයේ ම ඇති පෙළඹුමකි. මෙය සමස්ත සමාජයේ ම පටු ආකල්පවල ප්‍රතිඵලයකි. නවීනත්වය කෙරෙහි විරෝධාකල්ප සහිතව සීමාන්තික අන්දමින් පරිභෝජනවාදයේ ගිලීමේ ප්‍රතිඵලයකි. මේ පිළිබඳව අප ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඒක නෙමේ පැරා,
    රජයේ සේවකයෙක් උන ආරක්ෂක ලේකම් ,ගම්මන්පිලගේ මැතිවරණ වේදිකාවට නැගීම ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  2. අපි මේවා ගැන කතා කළේ 2010 තරම් ඈත සිට. ඇනොනිමස් නෙමෙයි, නමින්.

    කියවන්න

    ReplyDelete
  3. මෙතැන තිබෙන්නේ සමාජ ගැටලුවකි. ඒ වනාහි නරක ආරක්ෂා කිරීමට සමස්ත සමාජයේ ම ඇති පෙළඹුමකි. මෙය සමස්ත සමාජයේ ම පටු ආකල්පවල ප්‍රතිඵලයකි.

    This sums it all. Thanks Para.

    ReplyDelete
    Replies
    1. මේ නරක් කියන්නේ ලිංගික කුහකත්වය මිස අන් කිසිවක් නොවේ.

      Delete
  4. රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන පෙලේ තනතුරු සඳහා දේශපාලුවන්ගේ නිර්දේශය තුලින් තමයි පත්වීම් දෙන්නේ. විදුහල්පති වරුන්ගෙන් බහුතරය මැතිවරණ වලදී සන්ධානයේ කවුරුන් හෝ දේශපාලුවෙකුට දර දිය ඇද්ද අය. මතකද කලකට ඉහතදී කුරුණෑගල විදුහල්පති බැලයෝ පිරිසක් උයාපිහා සන්ධාන දේශපාලුවන්ට කන්න දුන්න හැටි. හිටපු මහ ඇමති, දැන් ඉන්න මහ ඇමති කියලා වෙනසක් නැහැ විදුහල්පති පත්වීම් වලදී. කුරුණෑගල ඉන්න අපි දන්නවා එව්වා හොඳට.

    1990 දශකයේ අග භාගයේදී මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට මසකට වරක් යුද හමුදාව නියෝජනය කරමින් සහභාගී වුනා. ඈත ගම්බද පාසල්වල තියන ප්‍රශ්න අපි දන්නා තරම්වත් කලාප/කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන් දන්නේ නැහැ.

    ReplyDelete
  5. මෙයට මුල අධ්‍යාපනයට අරක්ගෙන තියෙන ලිංගික කුහකත්වයයි මේ ගැන දීර්ඝ ලිපියක් මමත් එක්කළා. එයත් හැකිනම් බලන්න
    http://sabalingikanidhahasa.blogspot.com/2014/02/blog-post_14.html

    ReplyDelete
  6. සිය දිවි නසා ගැනීම වීරත්වයට නංවන මාධ්‍ය ගැනත් කතා කරමු ද?

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය හැමවිට බලන්නේ කෙසේ හෝ ජනප්‍රිය වෙන්න. එතනදි සමහර මාධ්‍ය වගකීමක් ඇතුව නෙවෙයි හැසිරෙන්නේ.

      Delete
  7. අන්තවාදීත්වය....
    එහෙන් ITN එක පැත්තකට අදිනවා.. මෙහෙන් හිතට එන දේ අකුරු කොරනවා :v අනේ කේ නන්නානේ කිව්වළු ....

    ඔබතුමා දැක්කේ නැද්ද දන්ගකාරිගේ වැඩ.. තව සුට්ටක් හොයල බලන්න.. එක photo එකක් අල්ලාගෙන තේරුමක් නැහැනේ -_-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා