අපි බටහිර ගැති විය යුත්තේ ඇයි?

මාතෘකාව දුටු හැටියේ කේන්තියෙන් පුපුර, පුපුරා මෙහි ආ අයට කිව යුත්තේ ඒ මාතෘකාව යොදා තිබෙන්නේ ඔබ මෙහි ගෙන්වා ගැනීමේ අරමුණින් ම බවයි. දැන් ලිපිය සාවධානව කියවා බලා අදහස් දක්වන්න

මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ ගෙලට දමා තිබෙන තොණ්ඩුව තව පොඩ්ඩක් හිර කරන්නට සැලසුම් කර තිබේ. 

බටහිර ජාතීන් හා ඉන්දියාව විසින් ලංකාවේ පාලකයින් පාලනය කිරීමේ ක්‍රමවේදය ලෙස යුද අපරාධ චෝදනා භාවිතා කිරීම දිගින් දිගටම සිදු කරන බව නියත ය.

එය සිදු වන්නේ ‍‍නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවත්, චීනයත් අතර සම්බන්ධතාවන්ට ගැටලුවක් ඇති වී තිබෙන සංදර්භය තුළ ය. නොරොච්චෝලේ යනු චීන ජාතික ධනවාදයේ ස්වරූපය නිරූපණය කරන කැඩපතක් ලෙස සැලකිය හැකි ය. 

චීනය රටවල් සූරා කන්නේ ගිනි පොළිය, කොන්ත්‍රාත් ආදිය හරහා පමණක් නො වේ. බාල භාණ්ඩ හා ‍සේවා සම්පාදනය චීනයේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයකි. එය පදනම් වන්නේ තනිකරම දූෂණය මත ය. සිය බාල භාණ්ඩ හා සේවාවන් ඔවුන් සංවර්ධනය වෙමින් තිබෙන රටවලට බස්සා ගන්නේ මහා පරිමාණ කොමිස් ජාවාරමක් ඔස්සේ ය. 

චීනයේ ආර්ථික උපාය මාර්ග හේතුවෙන් තුන්වන ලෝකයේ රටවල පාලකයන් දූෂණයට පොළඹවනු ලැබේ. එම දූෂිත පාලකයන් සිය පැවැත්ම තහවුරු කර ගන්නේ ප්‍රජාන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග හරහා ය. 

චීනය කරන තවත් දෙයක් වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන් ආරක්ෂා කරන බව පෙන්නා එම පාලකයන් ඇන්දීමයි. චීන රැකවරණය ගැන විශ්වාසය තබමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ යමින් බටහිර සමග අර ගත් ඇතැම් පාලකයන් ඇන ගන්නා විට චීනය නො දැක්කා සේ අහක බලා ගත්තේ ය. 

බටහිර ධනවාදයත්, චීන ධනවාදයත් යන දෙක ම එකම කෝදුවෙන් මැන අධිරාජ්‍යවාදයන් ලෙස බැහැර කළ නො හැක්කේ ඒ නිසා ය. චීන ධනවාදය තුළ ඇත්තේ ලාභ ලැබීමේ උවමනාව පමණි. එහි ආචාර ධර්ම පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. 

බටහිර ධනවාදය නියාමනය කරන දෘෂ්ටිවාදය වැදගත් ය. එමගින්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය වැනි යහපත් ධර්මතා පරමාදර්ශ බවට පත් කර ප්‍රවර්ධනය කරනු ලැබේ.

මෙහිදී එකක් මතක තබා ගත යුතු ය. පරමාදර්ශ යනු හැම විට ම භෞතික තත්වයන් වන්නේ නැත. එහෙත්, භෞතික තත්වයන් නියාමනය කිරීමට පරමාදර්ශයන් ඉවහල් වේ. 

මෙය උදාහරණයකින් විමසා බලමු. දැන් බෞද්ධයන්ගේ ජීවිතය නියාමනය කරන පන්සිල්වල පළමු සිල් පදය වන්නේ සතුන් මැරීමෙන් වැළකීමයි. එහෙත්, මදුරුවකු, කූඹියකු හෝ පලිබෝධ හෝ නො මරා පැවතිය හැකි මිනිස්සු වෙත් ද? එහෙත්, සතුන් නො මැරීම පිළිබඳ පරමාදර්ශය නරක දෙයක් නො වේ. එමගින් අපගේ ජීවිත පාලනය වේ. 

බටහිර ජාතීන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය වැනි යහපත් ධර්මතා විසින් නියාමනය වේ. අඩු තරමේ තමන්ගේ රටේ පුරවැසියන් විෂයෙහි හෝ ඔවුහු ඒවා සුරකිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන ඔස්සේ එම ධර්මතා ලොව පුරා ප්‍රවර්ධනය කරනු ලැබේ. ඒ නිසා එම ධර්මතා සුරැකීමේ බැඳීමක් ලෝකයේ අධිපති ජාතීන්ට තිබේ. 

එහෙත්, එය එහෙමම නො වූ අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒවා ප්‍රශ්න කළ යුතු ය. ලෝකය තුළ ඒ ප්‍රශ්න කිරීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙම තත්වයන් ප්‍රශ්න කරන්නේ "බොලාට මානව හිමිකම් කඩ කරන්නට පුළුවන් නම්, අපට බැරි මොකද?" යන පදනමිනි. මෙවැනි ප්‍රශ්න කිරීමකට ආණ්ඩුව යොමු කරන්නේ ආණ්ඩුවට රිංගා සිටින ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී, පසුගාමී බලවේග විසිනි.

මේ ප්‍රශ්න කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පමණක් නොව, ආචාර ධාර්මිකව ද වැරදි ය. සමාජ විරෝධී ය. ප්‍රතිගාමී ය.

ආණ්ඩුව මෙම ප්‍රශ්නය හමුවේ ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ලංකාව ම අමාරුවේ වැටෙයි. ලංකාව යනු මේ රටේ ජනතාවයි. ආණ්ඩුව පමණක් නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙම තත්වයන් ප්‍රශ්න කරන්නේ "බොලාට මානව හිමිකම් කඩ කරන්නට පුළුවන් නම්, අපට බැරි මොකද?" යන පදනමිනි. මෙවැනි ප්‍රශ්න කිරීමකට ආණ්ඩුව යොමු කරන්නේ ආණ්ඩුවට රිංගා සිටින ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී, පසුගාමී බලවේග විසිනි.//

    මෙවැනි ප්‍රශ්න කිරීමකට ආණ්ඩුව යොමු කරන්නේ ......????? (ආන්ඩුව බබා!!!!) මේ නිරීක්ශනය නම් නිවැරදි නැහැ. යුධ ජයග්‍රහනය 'හිස්' මුදුනින් පිලිගන්නා සියලුම ලංකිකයන්ගේ (සංධානයට චන්දය දෙන සියල්ලෝමත්, යූඇන්පියේ අති බහුතරයකුත් දරන ) ස්ථාවරය මෙයම -බොලාට පුළුවන් නම්, අපට බැරි මොකද?- නොවේද?

    - Dimithri

    ReplyDelete
  2. පැරා... අද මේවගේ ලිපියක් ලියුවෙ වාහනේ සර්විස් එකවත් කිට්ටුද?

    ReplyDelete
  3. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීම් නම් බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට විරුද්ධව කිසිවක්‌ නොකියන්නේ ඇයි? ෆොන්සේකාට ප්‍රභාකරන් මහින්ද රාජපක්‌ෂ මහතාට වඩා හොඳ ය. බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුදුකොඩි කතාවක්‌ ඇද ගත්තේ ද ෆොන්සේකා ය. බටහිරයන්ට ඉතිහාසයේ කිසි දිනෙක මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක්‌ නො වී ය. පසුගිය දා බ්ලෙයාර්ට හා ඇමරිකන් ජනාධිපතිට එරෙහිව ඉරාක යුද්ධය සම්බන්ධ වාර්තාව පළකිරීම නවත්වා ඇති එංගලන්ත අගමැති කැමරන් ය......
    read
    http://www.divaina.com/2014/02/02/nalin.html

    ReplyDelete
    Replies
    1. දිවයින පත්තරයේ ( වෙල්ගමගේ වේල්ල හැලිය) දමන්නේ අරලිය ගහ මුඩුක්කුවේ චන්ඩියා වන ඇමරිකානු පුරවැසි බීප් බීප් ට අවශ්‍ය අතේ පත්තු පුවත් වන අතර එහි මුලින්ම සිටින්නේ මලලසේකර ශබ්දකෝෂය ඇසුරෙන් ලිපිලියන ව්මල්ගේ 'c news ' වෙබ් කඩමල්ලේ උපදේශක කිර්ති වර්ණකුලසූරිය (මොහු මඩකරි හේමන්ත වර්ණකුලසූරිය ගේ ලේ නෑයකු නොවන අතර කරන වැඩ අනුව දෙදෙනාම සහෝදරයන්ය ),මනෝජ් අබේදීර , ගූ +ටාස් වෝ ලියු චන්ද්‍රපේම (තඩි ප්‍රියන්ත ) යන ලැප් ටොප් සහ වාහන පර්මිට් ගෙන කුලියටලියන ලියන්නන් මිස ස්වාදීන ජනමද්‍ය කරුවන් නොවේ එනිසා මෙම ලිපි ගැන කලබල විය යුතු නොවේ

      Delete
  4. මේ ආන්ඩුවේ අන් සියළු ක්ෂේශ්ත්‍රයන්හි මෙන්ම විදේශ සේවයද නාගෙන වනකර ගෙන අවසානය. අද බ්‍රෝකර වැඩ කටයුතුවලට යන්නේ ජනාධිපති ලේඛම් තුමාය. ඔහු දේශපාළඥයකු නොවේ. නමුත් නිහතමානි පුදගලයෙකි. ජාත්‍යන්තර සංවිධාන හා රාජතාන්ත්‍රිකයන් අතර අප්පිරිය, හිස උදුමවා ගත් චරිතයක් ලෙස ප්‍රසිද්ධ විදේශ ඇමතියකු පත්කර රට ජාත්‍යන්තර වශයෙන් අගාදයකට ගෙන ගොස් අවසානය. අද උතුරු පලාත් සභාව රටට විරුද්ධව ජිනීවා වෙත යාමට පියවර ගෙන අවසානය. චීනාද, ඇමරිකාව ගෙන එන යෝජනාවලට සද්දේ වසා ගත් දවසට අපේ මරි මෝඩ දේශපාලුවන්ගේ ඇස් ඇරෙනු ඇත.

    බටහිර අවම වශයෙන් යුක්තිය පසිඳලන අධිකරණක්‍රමයක් හෝ පවති. අප රට සාමාන්‍ය මිනිසා බුක්ති විඳිනා සියළිම ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන්, බටහිර පාලනය තුල අප ලද දේවල් පමණි. සිඳුව ඇත්තේ එහි දියුණුවක් නොව. ලබා දුන් අයිතිවාසිකම්ද නැවත උදුරා ගැනීමකි.

    ReplyDelete
  5. පැරා එක එක විදිහට ජත්යන්තර විමර්ශනයකට පක්ශව අදහස් ප්‍රකශ කරනවා... මම මොහෙම දෙයක් කියන්නම්කො..

    ඔන්න පැරගෙ ගෙදර මොකක් හරි පවුල් ප්‍රශ්නයක් වෙනවා..ඔක විසඳන්න කියලා "අපක්ශපති", බාහිර පුද්ගලයෙක් එනවා.. මෙ පුද්ගලයා තමයි පැරගෙ ප්‍රදේශයෙ ඉන්නා වලත්ත දෙශපාලකයා..

    මොකද කියන්නෙ.. කැමතිද ?

    ReplyDelete
    Replies
    1. ane thooo wage booruwek......

      Delete
    2. ඔය මහත්මයා කන්නාඩිය ලඟට යන්න එපා..එතකොට එහෙම හිතෙන එකක් නැහැ..

      Delete
  6. ඉන්ටර්නැෂනල් ප්‍රෝසෙස් නොදන්න ගොං බයියොන්ට තියෙන්නේ අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට අතදානවා වගේ ගමේ තේ කඩෙන් එහාට නොගිය විශ්ලේෂන. වැඩේ රෙජීමයේ උපදේශකයොයි, ස්පෝක්ස්පර්සන් ලයි ත් ඒ වගේම බයියෝ. චෙක්ස් ඇන්ඩ් බැලන්සස් නොදන්න උන් කමෙන්ට් නොදා ඉන්නවා නම් උන්ගෙ බයි කම නොපෙනී තියෙන්න පුලුවන්.
    කොටින්ම ඇයි මේ ඉෂූ එක අවුරුදු ගානක් තිස්සේ කතා කරන්නේ, ටයිම් ෆ්‍රේම් දෙන්නෙ, කියන එකවත් තේරෙනවද? කැපිටලිස්ට් ඩිමොක්‍රසි එක තහවුරු කරන්න හදන එක තමයි මේ රටවල් කරන්න හදන්නෙ. කොළඹ ඉඩම් අල්ලගන්න රෙජීමයේ අය කරන තක්කඩිකම් වලට වඩා ඒක ක්‍රමවත් නිසා බටහිර රටවල් මේච්චර නරක නෑඅ.

    ReplyDelete
    Replies
    1. "කැපිටලිස්ට් ඩිමොක්‍රසි එක තහවුරු කරන්න හදන එක තමයි මේ රටවල් කරන්න හදන්නෙ"

      ඇත්තාටම මෙ විදිහට මෑතකාලෙ ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කරපු රටවල් තියෙනවද? කොහොමද පිලිගන්නෙ. මෙච්චර කලක් යුද්දෙ ඇදගෙන ගිය කට්ටියමනෙ මෙ එන්නෙ.. (මට මහින්ද ගැන කැක්කුමක් නැහැ... ඔහෙ මහින්ද ඉඩම් අල්ලන හින්දද මෙකට කමති?)

      Delete
    2. මම නම් බයියෙක් තමයි.."ඉන්ටර්නැෂනල් ප්‍රෝසෙස්" ගැන දැනගන්න ඔනෙ නම් Confessions of an Economic Hit Man කියන පොත කියවන්න මම කියන දෙවල් එතකොට තෙරෙයි..(මම හිතනව පැරා කියවලා ඇති කියලා)

      Delete
  7. "චීන රැකවරණය ගැන විශ්වාසය තබමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ යමින් බටහිර සමග අර ගත් ඇතැම් පාලකයන් ඇන ගන්නා විට චීනය නො දැක්කා සේ අහක බලා ගත්තේ ය." - උදාහරණයක් දෙකක් දෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ. ලිපියේ අනෙක් කාරණා සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. ලිබියාව,

      Delete
    2. සුඩානෙත් මෙහෙ වගෙම පාරවල්, එයාර්පෝට් හැදුව. ඒත් අන්න දැන් ඒ ජනපතිත් එකේ සමූලඝාතක ලිට් එකෙන් දඬුවම් දීල කිසිම බටහිර රට්කත යන්න බෑ.

      කෙන්යාව්ත් එහෙමයි. මේ දවස්වල අගමැති ජනපති දෙන්නටම එකේ නඩු

      ලිබියාවටත් වඩා චීනෙ උදව් කරපු ඊජිප්තුවෙ ලොක්ක උස්සල ගිහින් හිරෙ දාන්කොට් චීන ආවෙනෑ බේර ගන්න.

      පකිස්තානෙ මුෂරෆ්ට උනත් කරේ ඒකම තමයි. මෙහෙයි කියල කොහෙ වෙනස් වෙන්නද?

      Delete

    3. //ජනපතිත් ICC එකේ සමූලඝාතක ලිස්ට් එකෙන් //

      //දෙන්නටම ICC එකේ නඩු//

      ICC = International Criminal Court ( not cricket council :D )

      Delete
  8. indeed actualy atrociius our `s ..................?

    ReplyDelete
  9. අපට චීනයේවත් බටහිරවත් ඉත්තෝ වෙන්න අවශ්‍ය නෑ. චීනය ගැන භීතිකාවක් ඇතිකරගෙන බටහිරට ඔලුව පාත්කරන මෝඩකම අපි කරන්න ඕනෑ කියන්නේ මොන පදනමකින්ද?

    ReplyDelete
    Replies
    1. very objective over all comment......
      Good question...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා