ලංකාවේ පිරිමි දක්ෂතා ඇති ගැහැනුන්ට බිය ඇයි? (ජානකීගේ සිට ශිරානි දක්වා)
මා මෙහි පහත යළි පළ කරන්නේ 2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි. මට එය නැවත පළ කරන්නට සිතුණේ ජානකී සූරියආරච්චි පිළිබඳ ලියන ලද පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර කියවීමේදී ය. ජානකී සූරියආරච්චි පමණක් නොව සුනේත්‍රා රාජකරුණානායක වැනි ලේඛිකාවන් ද ලංකාවේ විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිමින්ගේ නිර්දය ප්‍රහාරයට ලක් වූහ. ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය. අමරසේකර දන්නා යථාර්ථවාදයේ අග්‍ර ඵලය ඔහුගේ ගමනක මුල, මැද, අග නම් තුන් ඈදුතු නවකතාවයි. මට නම් එය නවකතාවක ව්‍යාජයෙන් ලියන ලද වංශ කතාවකි. සුචරිත ගම්ලත් නම් කීවේ මෙවැනි දේ ය: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව