මේ සිංහල අපගෙ රටයි



මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

මව්බිම වෙනුවෙන් පොර - දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

1965දී මා ඉපදෙන්නත් පෙර තිරගත වූ සාරවිට චිත්‍රපටයේ එන මහගම සේකරයන් රචනා කළ, අමරදේවයන් සංගීතවත් කළ, නන්දා මාලිනී ගයන මේ ගීය මා කුඩා කාලයේ සිට ඇලුම් කළ එකකි. පසුකලෙක ජාතිවාදයට විරුද්ධ ව්‍යාපාරවල වැඩකරද්දී බොහෝදෙනෙක් මේ ගීය හෙළා දකින තැනක සිටියත් මම නම් එදා තරමටම ඒකාලයේත් මේ ගීයට ආදරය කළෙමි.

බොහෝ වාමාංශිකයන්ට සිංහල යන වදනම පිළිකුළ දනවන දෙයක් විය. ඇතැම් අන්තවාදීන් එහි කෙතරම් කෙළවරට ගියේද යත් තමන් සිංහලයන් නොවන බව පෙන්නුම් කරන්නටද උත්සාහ කළහ. විශේෂයෙන්ම සාම රාජ්‍ය නොවන සංවිධානවලට ගොඩක් මුදල් ලැබුණු සමයේ ඇතැම් සිංහල ඒන්.ජී.ඕ. නෝනලා අතර නේ කරාබු දැමීම වැනි දෙමළ විලාසිතා ජනප්‍රිය විය.

වම ආරම්භ විය යුත්තේ තමන් පයගසා සිටින පොළවෙන් බව අපි එදාත් තර්ක කළෙමු. ඒ හේතුවෙන් එකල ඇතැමෙක් දෙමළ සමාජයට අප හඳුන්වා දුන්නේ සිංහල ජාතිවාදීන් ලෙසයි. ජාතික අනන්‍යතාවන් මූලික වූ සංදර්භයක සිංහලයකුට සිය සිංහලකම පිළිනොගෙන සමාජවාදී ජාත්‍යන්තරවාදියකු වන්නට බැරි බව අපේ තර්කය විය. සිංහල වාමාංශිකයන් සිංහලකම ගැන ඇති කරගත් හීනමානය අවසන සිදුවූයේ ඔවුන් තිරශ්චීන දෙමළ ජාතිවාදයකට බැලමෙහෙ කළ, එහෙත් දෙමළ සමාජයටද වැද්ද නොගත් ගන්ධබ්බයන් පිරිසක් බවට පත් වී දේශපාලන වශයෙන් දිය වී යාමයි.

තවත් ඇතැමුන්ගේ තර්කය වූයේ වාමාංශිකයන්ට අදාළ කාරණය වන්නේ පංති අරගලය බවයි. ජාතීන්ගේ ප්‍රශ්නය පංති ප්‍රශ්නයට ද්විතීයක විය යුතු බව මෙහි තිබුණු තර්කයයි. එහෙත්, පවත්න යථාර්ථය එය නොවේ. ජාතීන්ගේ ප්‍රශ්නය ඉතා පැහැදිලිවම පංති ප්‍රශ්නයට වඩා මුල් තැනක් ගෙන තිබේ. වාමාංශිකයන් පංති අරගලයට මුල් තැන දිය යුතු යයි තර්ක කිරීම බත් ගැන කතා නොකර හොදි ගැන පමණත් කතා කිරීම වැනි දෙයකි.

මේ ගීය ජාතිවාදී ගීයක් නොවේ. මේ සිංහල අපගෙ රට බව ඇත්තය. මේ ගීයේ කොතැනක හෝ මේ රට සිංහලයන්ගේ පමණක්ය යන අදහස කිසි සේත්ම මතු කෙරෙන්නේ නැත. ලංකාව සිංහලයන්ගේ මෙන්ම වෙනත් ජන කණ්ඩායම්වලද රටයි. සිංහලයන්ට මෙන්ම සෙසු ජනවර්ගවලටද සිය උරුමය ගැන ආඩම්බරවීමේ හිමිකම තිබේ. 

වත්මන් ශ්‍රී ලංකාව වනාහි ජාතික සමානාත්මතාව තහවුරු නොකළ සිංහල මූලික රාජ්‍යයක් බව ඇත්තය. එහෙත් සිංහලයන්ගේ අතීත උරුමය එසේ වෙනත් ජාතීන් බැහැර කළ නාසි දේශයක් නොවේ. එය වනාහි පුළුල් ජනවිවිධත්වයක උරුමයකි. ඒ උරුමය නොවේ නම් අද මහා සිංහල ජාතිවාදීන් බිහි කර තිබෙන කරාව, සලාගම වැනි කුලවලට අයත් මිනිසුන්ගේ ආදි මුතුන් මිත්තන්ට ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මේ රටේ වැසියන් බවට පත්වන්නට ලැබෙන්නේ නැත. එදා සිංහල උරුමය ලෝකයට විවෘත එකකි. 

අද සිංහල ජාතිවාදීහු ලංකාව ලෝකයෙන් වසා තබන්නටත්, ජන විවිධත්වය හෙළා දකිමින් සමජාතීය නාසි දේශයක් බවට පත් කරන්නටත් උත්සාහ කරමින් සිටිති.  සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් බැහැර කරනු ලබන ජන කණ්ඩායම් අතරට දෙමළ, මුස්ලිම් ජාතීන් පමණක් නොව සිංහල ක්‍රිස්තියානින් හා ගොවිගම නොවන කුලවල අයද ඇතුළත් වන දමස වැඩි ඈතක . දෙමළ අරගලේදී සිංහලයන්ට පක්ෂව කටයුතු කළ මුස්ලිම් ජාතිකයන් විෂයෙහි සිංහල ෞද්ධ අන්තවාදීන් කටයුතු කරන ආකාරය හැදෑරීමෙන් සිංහල ක්‍රිස්තියානි, කරාව හා සලාගම වැනි ජන කණ්ඩායම්වලට තත්වය පසක් කරගත හැකි වනු ත. මේ වනාහි ඉතා පැහැදිලිවම උමතුවකි. එය සිංහල උරුමයක් නොවේ.

අද නිදහස් දිනයේ මම සිංහ කොඩිය ඔසවන්නේ නැත. මන්ද, එය ජාතික පීඩනයේ සංකේතයක් වී ඇති බැවිනි. මම ශ්‍රී ලංකා මාතා ගීය ගයන්නේ නැත. මන්ද ශ්‍රී ලංකා යනු ජාතික සමනාත්මතාව තහවුරු නොකළ, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බැවිනි. එහෙත් මම ආනන්ද සමරකෝන් නිර්මානය කළ 'නමෝ නමෝ මාතා' ගීය වෙනුවෙන් සීරුවෙන් සිටිමි. නමෝ නමෝ මාතා, ශ්‍රී ලංකා මාතා වීම තුළ ඇති ආධිපත්‍යවාදී දේශපාලනය මම හෙළා දකිමි. මම සිංහලයෙක්මි. ජාතිවාදය නොවන මගේ සැබෑ උරුමය ගැන මම ආඩම්බර වෙමි. අපි එය සොයා යා යුතු වෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. එකඟයි... මේ ගීතය මමත් ජාතිවාදී ගීයක් ලෙස දකින්නේ නෑ.. මහගමසේකර කියන්නේ ජාතිවාදියෙක් නෙවෙයි... ඒ වගේම තමන්ගේ ජාතියට ගෞරව නොකරන්නාට, වෙනත් ජාතියකට ගරු කරන්නට බැහැ කියන එකයි මගේ අදහසත්... ජාතිය සහ ආගම කැටිවුන සංස්කෘතිය තුලයි අපි බිහිවෙන්නේ... නන්දා මාලිනියම කියනව වගේ අපේ චින්තනය සකස් වෙන්නේ ජාතිය ආගම අනුව... නමුත් අප අපේ ජාති ආගම් වලට ගරු කල යුත්තේ අන්‍යයන්ටද ඒ හා සමානවම ඔවුන්ගේ ආගම ජාතියට ගරු කිරීමට අවශ්‍යතාවය, නිදහස, අයිතිය පිළිගනිමින්... නැතුව තමන්ගේ ජාතිය වඩා උතුම් යන මුග්ධ මානසිකත්වයක් බදා ගැනීමට නොවේ..

    ReplyDelete
  2. දෙන්නෙක්ගෙ අදහස් වෙනස් කියල කියන්න ඕන නෑනෙ. ඒක අනිවාර්යයෙන් එහෙමයි. මේ සිංහල අපගෙ රටයි කිව්වම මට හිතට එක පාරටම එන්නෙ මේ රට අනික් කාටවත් අයිති නෑ කියල කියවෙනව කියලයි. ඒ මම මේ ගීතය දිහා බලන හැටියෙ වැරැද්දක් වෙන්නත් පුලුවන්.

    සේකර ජාතිවාදියෙක් නොවුනට ඔය ගීතය ලියවුනු 1965 කියන්නෙ චෙල්වනායගම්ල ෆෙඩරල් සංකල්පය ඉදිරියට ගෙනාපු ආරම්භක අවදිය.ඒ නිසා එතුමා ඕක ලිව්වෙ මේ රටේ අයිතිය තියෙන්නෙ සිංහලයින් වන අපටයි කියල කියන්න හිතල වෙන්න පුළුවන්. කොච්චර මානව හිතවාදියෙක් උනත් ඒ වගෙ ජාතිවාදී ස්වෝත්තම වාදී හැඟීම් එක වෙලාවක එළියට එන්න පුළුවන්.

    / මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ /

    මේ කොටස කලින් කිව්වෙ නම් ඔහොම නෙවෙයි මම දන්න විදිහට.

    මව්බිම වෙනුවෙන් පොරණේ දිවිදුන් හෙළ විරුවන්නේ...

    එක පාරට හෙළ විරුවො විරු දරුවො උනා....

    ඒ වගෙ හෙට අනිද්ද මේ සිංහල අපගෙ රටයි කියන එකත් මේ ලාංකික අපගෙ රටයි කියල වෙනස් වෙන්නත් බැරි නෑ මට හිතෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. මේ සිංහල අපගේ රටයි කියන එකෙන් කියැවෙන්නේ නැහැ මේක සිංහලයන්ට විතරක් අයිති එකක්ය, වෙන කාටවත් අයිති නැති එකක්ය කියලා. ඒකෙන් කියැවෙන්නේ මේක සිංහලයනටත් අයිතියි කියන එක. මා ගිය විද්‍යාලයට යම් තැනක මා කීවොත්, මේක මගේ පාසල කියලා, එයින් කියැවෙන්නේ නැහැ ඒක මට විතරක් අයිති එකක් කියන එක.

      Delete
  3. 'නමෝ නමෝ මාතා' ගීය වෙනුවෙන් සීරුවෙන් සිටිමි. නමෝ නමෝ මාතා, ශ්‍රී ලංකා මාතා වීම තුළ ඇති ආධිපත්‍යවාදී දේශපාලනය මම හෙළා දකිමි. මම සිංහලයෙක්මි. ජාතිවාදය නොවන මගේ සැබෑ උරුමය ගැන මම ආඩම්බර වෙමි. අපි එය සොයා යා යුතු වෙමු. මේ වචන ටික මම කොෆි කර ගන්නවා කමක් නැ නේද?
    ඔබට මම හිස නමා ආචාර කරමි.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කැමතිනම් ගත්ත තැන කියන්න

      Delete
    2. agree with you ..great article

      Delete
  4. කොහොම උනත් අද අපිට අනිත් ඒවා කෙසේ වෙතත් //අපෙ හද මර බිය දැනෙන රටයි// ගයමින් ඉන්න තියෙන්නෙ.

    ReplyDelete
  5. අපි එහෙම හිතුවට, සම හරක් සිංහලයන් මෙන්ම, දෙමළ ප්‍රජාව හා මුස්ලිම් ප්‍රජාවත් එසේ නොසිතන එකයි වැරද්ද. තම ජාතියට ආදරය කරන මිනිසා අන් ජාතීන්ටද ආදරය කරයි. එහෙත් මොනම ආකාරයකවත් තලෙටිබාන් කරනයකට ඉඩ නොතබමු. අප ජීවීත කාලයෙන් අඩකඩත් වඩා වැඩි කාලයක් වින්දාවූ වේදනා නැවත කිසිවකුටත් අත්වීමට ඉඩ නොතබමු. ඒ වෙනුවෙන් අප යුතුකම ඉටුකරමු පැරා...

    ReplyDelete
  6. මම මේ සිංදුවට ආසා ඇත්තටම මේ රට සිංහලයන්ගේ ම වන්නේ නම් ඒකට සතුටු නිසා.ඒත් මම හොදින්ම දන්නව ඒක කවදාවත් ම සිද්ධවෙන්නේ නෑ කියල.ඒක ෆැන්ටසියක් විතරයි. ඒත් ඒ ෆැන්ටසියට මම ආසයි.ඒ ෆැන්ටසිය තුල ජීවත්වෙන්න මම ආසයි.

    ReplyDelete
    Replies
    1. මෙතන බොරු හලන්න එපා ජයශ්‍රී.ඔබ අන්වර්ගේ බ්ලොග් එකේ ලියන්නේ වෙන දේවල්නේ.

      Delete
    2. මොකක්? මම ඔය බ්ලොගයේ කිසිදිනෙක කොමෙන්ට් කර නැත.

      Delete
    3. මෙතන වුන අවුල මම කියන්නම් .අන්වර්ගෙ බ්ලොග් එකේ ජයශ්‍රී කියල කොමෙන්ට් කළේ මම.මම දනගෙන හිටියෙ නෑ ජයශ්‍රී කියල තව කෙනෙක් ඉන්නව කියල.ඒ ජයශ්‍රී මට වඩා පරන බ්ලොග් කාරයෙක් කියල පස්සෙ දැනගත්තා.ජයශ්‍රී වගෙ නමකට පේටන්ට් ගන්න කාටවත් බැරි වුනත් මෙතන අවුලක් පැටලිල්ලක් වෙන නිසා මම ඒ නමෙන් කොමෙන්ට් කරන එක දැනට මාස ගනනකට පෙර නතර කළා.ඒ විතරක් නොවෙයි ජයශ්‍රී කියල කරගෙන ගිය මගෙ බ්ලොග් එක වහල දැම්මා

      Delete
  7. namuth kisi dinaka sri lankikayan unu paliyata sinhala baudha janathawata ati aithiya gena hellu nokala yuthui.sinhala jatiya editharai kawalam jatiya wala kapai. edath adath hetath me rata sinhala baudhayan sathui. mechchara kal siyaluma agam samagiyen hitiye maha jatiya sinhala nisa noweda ?

    ReplyDelete
  8. මිහිරි ගීතයක් නම් තමයි ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මට නම් හිතෙන්නෙ මුල් පදටික නම් හරිම ග්‍රාම්‍යයි සහ අසත්‍යයි. නම් ටික (සේකර, අමරදේව.. ) අමතක කරලා, බලන්න..

    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි: රවි කියනවා වගේ අනික් කාටවත් අයිති නෑ කියල කියවෙනව කියලයි මටත් නම් හිතෙන්නෙ. අප ඉපදෙන මැරෙන රටයි! භූමියට ඇටෑච් උන සාමාන්‍ය ගැමියෙකුට නම් ඒ යෙදුම ගැලපෙනවා.

    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි; මේක තමයි නරකම පද පේලිය. මේක හෙනම මුග්ධ අදහසක්නේ. අමූලික බොරුවක්නේ. කොහොමද මුලු ලොවම ලංකාවට යට වෙන්නේ. මොන අංශයකින්ද? තනිකරම හීනමාන මෙන්ටලිටියට ලියලා තියෙන්නෙ. සේකර නෙමෙයි කවුරු උනත්... ඔය හීනමානය සහ මුග්ධකම නෙමෙයිද වීරවංශලා අද අතට අරං තියෙන්නෙ?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව සිරිල් මැතිව් තමන්ගෙ ජාතිවාදි ව්‍යාපාරෙට යොදාගත්තා. නන්දා මාලනි 88-89 ජවිපෙ වෙනුවෙන් ගායනා කරපු තව ගීතයක් පස්සෙ කාලෙක හමුදාවට සෙබළු බඳවාගන්න රේඩියෝ ඇඩ් එකක පාවිච්චිකලා මතකයි.
      -Vipul

      Delete
  9. "බොහෝ වාමාංශිකයන්ට සිංහල යන වදනම පිළිකුළ දනවන දෙයක් විය. ඇතැම් අන්තවාදීන් එහි කෙතරම් කෙළවරට ගියේද යත් තමන් සිංහලයන් නොවන බව පෙන්නුම් කරන්නටද උත්සාහ කළහ."

    ඒ කතාව නම් ඇත්ත පැරකුම් ජයසිංහල මහත්තයෝ! එක පොරක් කවියකුත් ලියලා තිබුනා සිංහල කමෙන් ඉල්ලා අස්වෙනවායි කියලා. අම්මපා මුං වගේ අවස්ථාවාදියෝ නේද පැරකුම් මහත්තයෝ. වදින්න යන නඩයටම එක්වුනාට සුබපැතුම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා