ගොයම් කපන්නට ඉන්දියාවෙන් එන කම්කරුවන් පොලිසියට අල්ලා දෙමින් ලංකාවේ කම්කරුවන් යුරෝපයට යාම ගැන

ලංකාවේ උතුරු, නැගෙනහිර, උතුරුමැද ආදී පළාත්වල මේ දිනවල ගොයම් කැපීම ආරම්භ වී තිබේ. මේ කාලයට මේ ප්‍රදේශවල දැඩි ශ්‍රම හිඟයක් ඇති වේ. ශ්‍රම හිඟය කෙතරම්ද යත් දකුණු ඉන්දියාවෙන් පවා ශ්‍රමිකයෝ මේ කාලයට ලංකාවට එති. 

ඒ එන්නේ සංචාරක වීසා රැගෙනයි. නැව් සේවාව තිබුණානම් ඔවුන්ට අඩු වියදමකින් එයින් එන්නට තිබිණි. නමුත්, ලොකු සද්දයක් දා තූත්තුකුඩිය හා කොළඹ අතර දියත් කළ නැව් සේවාව නැවතී දැන් බොහෝ කල්ය. සමාන්‍ය ඉන්දීය හා ලාංකික මිනිසුන්ට මේ නැව් සේවාව අවශ්‍ය වන්නේ තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතරය. කෙසේ වෙතත්, ඒ නිසා දැන් ඔවුන් එන්නේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටවලින් ගුවන් මගිනි. මේ කාර්යයට ඔවුන්ට උදව් කරන ලාංකිකයෝ සිටිති.

මේ මිනිස්සු අතරින් සමහරු මුස්ලිම් ජාතිකයෝය. සරොං අඳින, ලාංකික පෙනුමැති මේ මිනිස්සු දෙමළ කතා කරති. ඔවුන් වැඩිපුර යොමුවන්නේ දෙමළ කතා කරන මුස්ලිම් මිනිසුන් වෙසෙන නැගෙනහිර පළාතටයි. මීට වසර ගණනාවකට ඉහතදී දෑකැත්ත මල්ලේ දමාගෙන මේ මිනිස්සු රැකියාව පිණිස තැනින් තැනට යන ආකාරය මේ ලියන්නා (writer) දැක තිබේ.

මේ මිනිස්සු හොඳ ශ්‍රමිකයෝය. ලංකාවේ සිටින මුළු කාලය තුළම අවම පහසුකම් ඇතිව ලැගුම් ගනිමින්, අධික‍ ලෙස වෙහෙස වී වැඩ කර සිය ගුවන් ටිකට්පත් ගාස්තුවද ආවරණය කරගෙන සැලකිය යුතු මුදලක් ගෙදර ගෙන යාම ඔවුන්ගේ අරමුණයි.ඔවුහු එයින් තම රටදී උපයන්නට හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයති.

දැන් පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් ඔවුන් අල්ලා මිරිහානේ ආගමන විගමන වැරදිකරුවන්ගේ මධ්‍යස්ථානයේ රඳවා පසුව ආණ්ඩුවේ වියදමින් කන්න බොන්න දී ගෙදර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ඔවුන් ඇල්ලීමෙන් සිදුවන එකම දෙය ගොයම් කැපීම පමාවීම පමණි. මන්ද, ලංකාවේ මේ වනවිට මෙවැනි වෙහෙසකර ශ්‍රම කාර්යයන් සඳහා අධික ශ්‍රම හිඟයක් තිබේ. මෙය වී ගොවිතැනට පමණක් නොව, තේ, රබර්, පොල් ආදී වැවිලිවලටද සෙසු බොහෝ කර්මාන්තවලටද පොදු තත්වයකි. සරළව කිව්ොත් ඔේ වත්ොල් ගහෙන් ගෙඩි ටික කඩාගැනීමට මිනිහෙක් ොයාගැනීම වෙනත් ශ්‍රම කාර්යයක් ඔබ බලාොත්තු වන පරිදි කරගැනීමට ශ්‍රමිකයෙකු ොයාගැනීම පහසු නැත. අනෙක් පැත්තෙන් ේ කම්කරුවන් අතරින් බෙොමයක් දෙනා ඔබ වැනි සාමාන්‍ය පංතිේ මිනිසුන් හමුේ වංචනිලෙස හැසිරෙන්නට උත්සාහ කරති.

දැන් මේ ඉන්දීය ශ්‍රමිකයන්'ප්‍රශ්නය' දෙස බලන්නට පුළුවන් දෘෂ්ටි කෝණ කීපයක් තිබේ. එකක්, නීතිමය දෘෂ්ටි කෝණයයි. ඒ අනුව, මේ මිනිසුන් නීතියෙන් වැරදිකරුවන් නිසා ඔවුන් පිටුවහල් කිරීම සාධාරණ යයි කියන්නට පුළුවන. 

එහිදී ජාතික රාජ්‍ය සීමාවන් හා කම්කරු පංතික අවශ්‍යතා පිළිබඳ සංවාද විෂයක් හමු වේ. ධනපතීන්ට ජාතික රාජ්‍ය සීමා විනිවිදිමින් සිය ප්‍රාග්ධනය රටින් රටට ගෙන යන්නට සලසා තිබෙන පහසුකම් කම්කරුවන්ට ශ්‍රමය වෙනුවෙන්ද ලබාදෙන්නැයි ඉල්ලා සිටීම සාධාරණ අරගලයකි. ශ්‍රමය බහුලව තිබෙන තැන සිට හිඟ තැනට වැඩ සොයා යන්නට කම්කරුවන්ට සාධාරණ හිමිකමක් තිබේ. එහිදී කම්කරු ව්‍යාපාර විසින් සැලකිය යුතුව තිබෙන දෙය වන්නේ ජාතික සීමාවන් නොවේ. එවැනි සංක්‍රමණයන් නිසා සමස්තයක් ලෙස කම්කරු පංතියේ සේවා තත්වයන් හා වැටුප් තවත් පහත වැටෙනවා ඉහළ යනවාද යන්න පමණි.

නිදසුනක් ලෙස ලාංකික කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා සිදුවන ශ්‍රම සංක්‍රමණ තුළ ලංකාවේ විදෙස්ගත කාන්තා ශ්‍රමිකයන්ගේ සේවා තත්වය ඉහළ ගොස් නැති බව අපට පෙනේ.

මෙහිදී කම්කරු පංතිය ජාතිවාදී වීම නින්දිතය. ගොයම් කැපීමට ලංකාවට එන ඉන්දීය කම්කරුවන් පොලිසියට අල්ලාදීමට ලංකාවේ පීඩිතයන් කටයුතු කිරීම සාධාරණනම් ඉතාලිය වැනි යුරෝපා රටවලට වැඩි වැටුපට වැඩ සොයා හොරෙන් පැන යන ලාංකිකයන් එරට වැසියන් විසින් අල්ලා දීමද සාධරණ යයි තර්ක කළ හැකිය. 

ලංකාවේ ශාරීරික ශ්‍රම වෙළඳපොළේ උග්‍ර රැකියා වියුක්තියක් පවතිද්දී ලාංකිකයන් වැඩි ආදායම් සොයා බෝට්ටුවලින් අනතුරුදායක ලෙස ඕස්ට්‍රේලියාවට, යුරෝපයට යන්නට පෙළඹෙන්නේ ඇයිද යන්නද විමසා බැලීම වැදගත්ය. 

මෙහිදී ලංකාවේ කම්කරුවන්ට බලපා තිබෙන්නේ ඉක්මනින් සල්ලි සොයාගෙන ප්‍රාග්ධන හිමියන් හෝ සැප සම්පත් පරිභෝජනයකරන්නන් බවට පත්වීමේ ධනේශ්වර උන්නතිකාමී අකල්පයි. 

කම්කරුවන්ගේ විමුක්තිය ඇත්තේ ප්‍රාග්ධන හිමියන් වීම තුළ නොවේ. කම්කරුවන් ලෙසම තම සේවා තත්වය ඉහළ නංවාගැනීම තුළයි. කම්කරුවන් තම අභිමානය ගොඩනඟාගත යුත්තේ කම්කරුවන් ලෙසමයි. ඒ සඳහා ඔවුහු ශ්‍රම ඵලදායිත්වය ඉහළ නංවාගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විවේකය ඵලදායී ලෙස ගතකරන වඩා සංස්කෘතිකගත වූ ජීවිතයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අධ්‍යාපනයට යොමු විය යුතුය. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන කෑදර පරිභෝජනවාදී ජීවන රටාව වෙනුවට විකල්ප හිතකර ජීවන රටාවක් ගොඩනඟාගත යුතුය.

කම්කරු පංතියේ අරගලය අප දකින ආකාරයටනම් තිබෙන්නේ එතැනය. කම්කරු පංතියට දේශපාලන බලය ලබාගැනීමට හැකි වන්නේද මෙවැනි ප්‍රබුද්ධ පංතියක් බවට පත්වීමෙන් මිස ධනවාදී කෑදරකමින්ම දේශපාලන බලය පසුපස හඹා යාමෙන් නොවේ.

අපි සමාජවාදය සඳහා අරගලය යයි කියන්නේ එයටයි. කරුණාකර ගතානුගතික මාක්ස්වාදීන් සමග අප පටලවා නොගන්න.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. සුද්දා අපේ ඉඩම් කොල්ලකාල, ඒ ඉඩම් වල තේ වගාවට ඔහොම ගෙන්නපු අය තමයි දැන් විසඳගන්න බැරි ප්‍රශ්නයක් වෙලා කන්ද උඩරට ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවුන් සම්බන්ද විසඳා ගත නොහැකි ප්‍රශ්නය කුමක්ද? අපේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ඔවුන් හෙලු දහදිය කඳුළු වල වටිනාකමක් නොමැතිද?

      Delete
    2. උඩරට ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය, කඳුකර වනාන්තර විනාශ වීම නිසා ඇතිවූ පරිසර ප්‍රශ්න, රටට තවත් ආගන්තුක ජනකොටසක් නඩත්තු කරන්නට සිදුවීම, ඡන්ද බලය ද දීම නිසා ආණ්ඩු පිහිටුවීමේදී මේ අයට කප්පම් ගෙවන්නට සිදුවීම.ඉහත සියල්ල නිසා රටේ ඓතිහාසික උරුමය සහිත සිංහලයන් පීඩාවට පත්වීම.
      මේ ජනතාවත්,ඔවුන්ගේ දහදිය කඳුලු සියල්ලත්, තේ වගාවත් මේරටෙන් ඉවත්ව තිබුණ නම් මීට වඩා හුඟක් හොදයි. ඒ දහදිය කඳුලු ඉන්දියාවේ ආර්ථිකය දියුණු කරන්නට යෙදවේවි.අපේ රටේ කඳුකර ජනතාව තමන් ගේ ඉඩම් වල (සාපේක්ෂව) හොදින් ජීවත් වේවි. රටේ පරිපරය සුරැකී තියේවි.

      Delete
    3. ඔබේ කතාවේ ඇත්තක් තිබේ

      Delete
    4. ඉතිහාසයේ සිදු වූ දේ සිදු වී හමාරය. ඒවා එසේ නො‍වී මෙසේ වූවානම් හොඳ යයි තර්ක කිරීම මුග්ධකමකි.

      Delete
    5. විදේශ ශ්‍රමිකයින්ගෙන් එන අදායම අද එයේ ප්‍රමුඛ වීමට පෙර රටේ ප්‍රධාන අදායම වුයේ තේ රබර් පොල් නේද? අරහෙම වෙන්නේ නැතිව මෙහෙම උනා නම් හොඳයි යනුවෙන් තර්ක ගොඩනැගීම මානසික ප්‍රශ්නයකි. ඉතිහාසය යනු විකල්ප අවසාන ඔප්ෂන් එක තියන DVD එකක් නොව ඇත්තටම සිදුවී අවසන් වී ඇති දෙයකි. මම කිව්වොත් එහෙනම සුද්දෝ ආවේ නැත්නම් තාමත් උඩරටට යන්න පාරවල් දුම්රියත් නැහැ කියල එකත් ඇත්ත වෙන්න ඕන මේ තර්කයට අනුව.
      සුද්දගෙන් ලැබුන නරක වගේම හොඳ දේවලුත් තියනවා.
      මේ ලිපියේ පැරකුම් කියන කතාව ඇත්ත නිදහස් ලෙස ශ්‍රමය ගලායන්න දෙන්න ඕනෑ. අපේ ශ්‍රමිකයන්ට වඩා ඉන්දියානු ශ්‍රමිකයන් නිසශ්පාදනයට වඩා ලාභදායි නම් ඒක වුනාවේ එතකොට තමයි අපිට ලෝක වෙළඳපොලේ තරඟකාරී මිලට දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්.

      Delete
  2. ඊයේ ටයිම්ස් පත්තරේ මුල පිටුවෙම දාල තිබ්බ මස හයේ වර්ක් වීස දීල ඉන්දීය කම්කරුවො කුඹුරු වැඩට සහ තවත් එවැනි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හිඟ රාජකාරි වලට ගේන්න ආන්ඩුව සිතා බලමින් ඉන්නව කියල. හැබැයි ඔය එන්නෙ කස විතරයි. මොකද ඉස්සරහට රියදුරෝ, ගෘහ සේවකයො, මාළු බාන්නො වගේ නොයෙක් අයත් එක්ක දොස්තරල සුව සේවකයොත් එන පුළුවන් නිසා!

    ReplyDelete
    Replies
    1. අපි සටන් කළ යුත්තේ අපටත් ඉන්දියාවට හෝ වෙන කොහ් හරි වැඩි වැටුපට වැඩ කරන්න පුළුවන් තැනකට එහෙම යන්න නිදහස ඉල්ලලායි. එහෙම නැතිව ශ්‍රමිකයන් ශ්‍රමය හිඟ තැන්වලට සංක්‍රමණය වීම වළක්වන්න නොවෙයි. අපි දේශීය ශ්‍රමිකයන් විධියට වඩා හොඳ සේවා සපයනවානම් අපට පිටරටින් එන ශ්‍රමිකයන් ප්‍රශ්නයක් නොවෙයි.

      Delete
    2. ඊන්දික උපශාන්ත, උඹලට ගැට්ට කහන්නේ දුප්පත් එකෙක් ඇවිල්ලා තුට්ටු දෙකක් හම්බ කරගන්නකොට විතරයි නේද, ඉන්දියාවෙන් ආපු කම්කරුවන්ගෙන් හුරා කාපු අතිරික්ත ශ්‍රමයෙන් තමයි යකෝ නිදහස් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වාගේ රජයේ සුබදසාධන කටයුතු පවත්වාගෙන ගියෙත්, යන්නෙත්. මේ වතු කම්කරුවන්ගේ ලමයි මන්දපෝෂණෙන් දුක්විදිමින් තේ ගස් යට මැරිලා යද්දි තොපි උන්ගේ ‍උන්ගේ ශ්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය ලබලා ජාතිවාදය පතුරවනවා. ඇයි උඹලා ඉන්දියාවට සම්පූර් දෙනකොට කට ඇරියේ නැත්තේ. ඇයි තොපි ඉන්දියාවෙන් පයිලට්ලා ගෙන්නලා මේ රටේ ඉපදිච්ච දෙමල මිනිසුසුන්ට බොම්බ දාම්මවනකොට කට ඇරියේ නැත්තේ. රටේ සම්පත් ඉන්දියන් කොම්පැණි කාරයෝනට පවරනකොට සද්ද නැත්තේ. තොපි වාගේ හිගන හැත්තක් . පෑගෙන එකාවම තමයි පාගන්න බලන්නේ.

      Delete
  3. කම්කරු පන්තිය දේශිය වශයෙන් වර්ගවාදී සහ ජාත්‍යන්තර වශයෙන් ජාතිවාදී බවට සාධක ඕනෑතරම් සොයා ගන්න පුළුවනි.

    ReplyDelete
  4. Lankava aithi laankikayanta vitharai..pataratin ena ayava pannala daanna one.

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් ලංකාවේ මිනිසුන් ගිහින් ජීවත් වෙන, රස්සා කරන රටක මිනිස්සු මෙහෙම හිතුවොත් කොහොම වෙයිද?

      Delete
    2. Eva pohosath rataval. Lankava eheme naha. mehe inna kattiyatama jeevathvenna amaarui..eka tharum ganna.

      Delete
    3. Madushan අපිට තේරුම් ගන්න බැරි මාර දේවල් ඔයාට තේරෙනවා නේ. ඔයාගෙත් මොලේ තමයි මොලේ

      Delete
    4. මචන් මදුෂාන් උඹට දැන් වයස කියක් විතර ඇද්ද? මේ දවස්ස්වල වයස 16-18 හැම එකම වගේ අර "බොක බර සේනාවේ" කොඩියමයි උස්සන්න හදන්නේ!

      Delete
    5. Mangena karadara venna epa. mama hema sathiyanma daham pasala yanawa..ogollan vage nikan inne naha.Api thamai me rata venas karanna one. eka hithe thiyaganna.

      Delete
  5. පොඩිමිනිහට ලොකුමිනිහා ගහනවට වැඩියෙන් ගහන්නේ පොඩිමිනිහමයි. ප්‍රේමදාස මැරුණ වෙලාවේ කුරුඳුවත්තේ රතිඤ්ඤා පත්තු කලේ නෑ.. සොයා බලන්න ඕන ඇයි මෙහෙම එන්න හේතුව කියලා. දකුණෙ මිනිහා කැති නෑ උතුරෙ මිනිහගේ ගොයම් ටික කපලා දෙන්න. මම දැකලා තියෙනවා උතුරේ ඉන්දියානු රියදුරන් පවා. මේ හැම එකකටම් වැරදි දේශපාලකයා.

    ReplyDelete
    Replies
    1. මේකනේ මචන් මාතලන් ගහගැනිල්ලේදී මෙහෙමයි නේ
      පොඩිමිනිහ පොඩිමිනිහට ගහපන් -නීතිය ක්‍රියාත්මක නොවේ ඕනනං මරගනින්
      පොඩිමිනිහ ලොකුමිනිහෙක්ට ගහපන් - නිතිය වහා ක්‍රියාත්මක වේ ලංකාවේ නිතිය පොලිසිය ඇත්තේම මෙය වැලැක්වීම සඳහා පමණි
      ලොකුමිනිහෙක් ලොකුමිනිහෙක්ට ගහපන්- නිතිය මැදිහත් නොවේ දෙපැත්ත ශේප් වේ.බේබිල සෙල්ලම් කරලා එක්කෝ තමන් තමන්ටම ගහගෙන
      පොඩි මිනිහට පුලුවන්ද ටෙලිකොම් එකේ CEO විදේශිකයෙක් වුනොත් ඒක නවත්තන්න? ගොයම් කපන එකෙක් දැක්කම තමයි දුවන්න දෙන්න පුළුවන්.

      Delete
  6. ගොයම් කැපීමට ලංකාවට එන ඉන්දීය කම්කරුවන් පොලිසියට අල්ලාදීමට ලංකාවේ පීඩිතයන් කටයුතු කිරීම සාධාරණනම් ඉතාලිය වැනි යුරෝපා රටවලට වැඩි වැටුපට වැඩ සොයා හොරෙන් පැන යන ලාංකිකයන් එරට වැසියන් විසින් අල්ලා දීමද සාධරණ යයි තර්ක කළ හැකිය.

    ඔව් ඒක සාධාරණයි. හා නැත්ද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා