හදවතින් ම ශ්‍රී ලාංකික සුසන්තිකා

ඇතීනා
සුසන්තිකා ගමෙන් බිහි වූ දිරිය කාන්තාවකි. ඇගේ ධෛර්යය නිසා අපට කෙසේ හෝ ඔලිම්පික් පදක්කමක් ගැන ආඩම්බර වන්නට හැකි විය.

දරු පවුල ජීවත් කිරීම සඳහා ඒ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා පවසා තිබේ.

සුසන්තිකාට වුණේ මොකක් ද?

සුසන්තිකාට නිකම් සිට මහජන මුදලින් පඩි ගන්නට ක්‍රීඩා අමාත්‍යාංශය මහජන මුදලින් රු. 60,000ක මාසික මුදලක් ගෙවනු ලැබේ. සුසන්තිකාට ඒ මදි බව පෙනේ.

මහින්දගේ කාලේ සුසන්තිකාට රු. 80,000ක වැටුපක් සමග වාහනයක් ද දී තිබිණි. එක අතකට එහෙම දුන්නාට කමක් නැත. ඔය අතන, මෙතන ක්‍රීඩාවේ නමින් පවත්වන සංදර්ශනවලට ජනාධිපති උපදේශක කෙනෙකු ලෙස සහභාගි වන්නට ඇයට එයින් හැකි විය.

සුසන්තිකා පෙන්නන්නට හදන්නේ ලංකාව සුසන්තිකාට ණයයි වගේ වුණාට, සුසන්තිකා ලංකාවේ රජයට ණය ය. තහනම් උත්තේජක සිද්ධිය වෙලාවේ ලංකාවේ රජය ඇය වෙනුවෙන් පෙනී සිටි දැඩි ස්වරූපය හා රජයක් එසේ කරන විට එයට සවන් නො දී සිටින්නට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට නො හැකි වීම නිසා නො වේ නම් සුසන්තිකා ඔලිම්පික් දුවලා හමාර ය. හමුදාවෙන් පළා ගිය චෝදනාවකට ද සුසන්තිකාට සමාව දුන් බවට මතකයක් තිබේ.

මේ කතාව මුත්තයියා මුරලිදරන්ට ද අදාළ ය. ශ්‍රී ලංකා රජය හා එවකට නායක අර්ජුන රණතුංග ඔහු වෙනුවෙන් පෙනී සිටි පෙනී සිටීම නො වී නම් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නකු ලෙස පමණක් ඉතිහාසගත වන්නට ඉඩ තිබිණි.

ලංකාවේ ක්‍රීඩා බලධාරීන් විසින් ක්‍රීඩාවට කර තිබෙන්නේ ඔන්න ඔය වගේ වැඩ මිසක, ලංකාවේ කිසිම ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමක නැත. ක්‍රිකට් වුණත් වෙනත් රටවල් නො ගහන තාක් කල් තමා ය.

ලංකාවේ ක්‍රීඩාවේ විනාශය පටන් ගන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනි. පාසල් ක්‍රීඩා යනු දෙකයි පනහේ සංදර්ශනයි. ඒවායේ ක්‍රීඩාවලට වඩා ඇත්තේ වැඩකට නැති සෝබන ය. උදාහරණයක් ලෙස ගම්වල පාසල් හා කලාප ස්පෝට්මීට් නම් උත්සවවල සංකේතාත්මකව පවත්වන ධාවන තරගවලටවත් බොහෝ විට සියලු නිවාසවලින් සහභාගි වන්නේ නැත. දුවන ළමයින්ට හරියට ඇඳුමක්වත් නැත. ඇතැම් ගැහැණු ළමයින් දුවන්නේ නැටුම් ඇඳුම් ඇඳලා ය. බොහෝ විට, ආරම්භය, අවසානය, යෂ්ටි මාරුව වැනි මූලික තාක්ෂණයන් පවා හරියට ප්‍ර‍දර්ශනය වන්නේ නැත. 

ඒ වුණාට මේවායේ මාර වැදගත්කමක් දෙන්න පට්ට ජෝක් ජවනිකාවක් තිබේ. ඒ ඇතීනා දෙව්දුව වැඩමවීම නම් ජවනිකාවයි. ටිකක් ලස්සන ගැහැනු ළමයකුට ඇතීනා ලෙස කොටහළු මඟුල්වලට අන්දන විදියේ දිග සිලික් ගවුමක් අන්දා, තව ගැහැණු ළමයින් ටිකක් පිරිවර සේ ඒ අයුරින් ම අන්දා, උන් සේර ම වස කැත වන සේ මේකප් තලි තලි උලා පිට්ටනියට ගොළුබෙලි ගමනින් වඩම්මන මේ ජවනිකාව පාසල් ක්‍රීඩාවල ක්‍රීඩාවලට වඩා වැදගත් වී තිබේ.

මේ ළඟදී දවසක මා දුටු කලාප ස්පෝට්මීට් එකක ඇතීනා වඩම්මන විට පසුබිමින් වාදනය කළේ ‘අනෝතත්ත විල නෙළුම නෙළාලා - පීරා වරලස මල් ගවසාලා - නාග ලොවින් බැස නාලිය ගමනින් - වරඟන පිරිවරිනා - එරන්දතිය එනවා' කියා ය.

ග්‍රීක මිථ්‍යා සාහිත්‍යය අනුව ඇතීනා යුද්ධෝපාය විශේෂඥභාවය හා කුසලතා වැනි කරුණු පිළිබඳ විශේෂ වන දෙවඟනකි. ඇය ලංකාවේ පාසල් ක්‍රීඩාවලට පැමිණ ඇත්තේ අන්ධානුකරණයෙනි. තමන් කරන්නේ කුමක්ද කියාවත් මේ සංකර ක්‍රීඩා නිලධාරියෝ නො දනිති.

මෙවැනි ස්පෝට්මීට් මිස ලංකාවේ බොහෝ රජයේ පාසල්වල එහෙමට ක්‍රීඩාවක් නැත. 

ජනාධිපති උපදේශක වුණා ය කියා මෙවැනි විසුළුසහගත තත්වයන් වෙනස් කරන්නට උපදෙස් දෙන්නට තරම් දැක්මක්, බුද්ධියක් සුසන්තිකාට නැත.

සුසන්තිකාට රජය මහජන මුදලින් දුන් දේවල් සුසන්තිකාට දැන් මතකත් නැත. ඇයට දුන් නිවස ඇය සිය සැමියාට ලියා දී ඇති බව ගිය අවුරුද්දේ ඇගේ සැමියා ඇයට පහර දී රෝහල්ගතව සිටියදී ඇය කීවා ය. ඒ දවස්වල ඇයට මෝටර් රථයක් පවා දුන් බව මතක ය.

සුසන්තිකා විදේශ රටකට ගොස් හොඳ පුහුණුවක් ලබා ගත්තා නම් ඇයට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාරියක වන්නට තිබිණි. එහෙත්, ඇයට අවශ්‍ය වුණේ එය නො වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිනියක වන්නට ය. එතනිනුත් නතර නො වී දේශපාලනයට ගොස් ක්‍රීඩා ඇමති වන්නට ය. ඒවා වැරදි යයි අපි නො කියමු. එහෙත්, ඔලිම්පික් දිනූ ඇය එහිදී අසාර්ථක ය. ඇයට ලැබුණු වරප්‍ර‍සාද පාවිච්චි කර හෝ ඇය කළ දෙයක් නැත.

රටට කීර්තියක් අත් කර දුන් අය පමණක් නො ව, ඔය ටෙලි නාට්‍යයක, චිත්‍ර‍ටයක රඟ පෑ අය පවා රජයෙන් ගෙවල්, වැඩ නො කර පඩි ගත හැකි තනතුරු, විශ්‍රාම වැටුප් ආදිය බලාපොරොත්තු වන අරුම පුදුම රටකි මේ සිරි ලංකාව.

තමන්ට පුළුවන් කාලේ හරිහම්බ කරන සල්ලිවලින් කා, බී, ජොලි කර, අඩු ගානේ සෞඛ්‍යය ගැනවත් නො සිතා කටයුතු කරන ජාතික වස්තු නඩත්තු කරන එක හැර වෙන වැඩ මේ රටේ මහජනතාවට තිබෙනවා ය.

ජාතික වස්තුවක මූලික ලක්ෂණය විය යුත්තේ වයසට යන විට රටට බරක් නො වන එක ය.

දැන් මෙය කියූ විට මෙහි පැමිණ දේශපාලකයන් ලබන වරප්‍ර‍සාද ගැන තර්ක කරන අයට අපට කීමට ඇත්තේ ඒවා ද අහෝසි කළ යුතු බවයි. සමස්තයක් ලෙස ම දේශපාලකයන් හා ආණ්ඩුව දුර්වල කළ යුතු ය. රජය විශාල නො කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය. කළ යුතු වන්නේ රජය කාර්යක්ෂම කිරීමයි. රජය කාර්යක්ෂම වන තරමට දේශපාලකයන්ගේ වැදගත්කම වෙනස් වේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පරම්පරා ගැම්ම තියෙන නිසා දෝ අර්ජුනයා නම් වැඩේ හරියට කර ගත්තා!

    හැබැයි ඔය සුසන්තිකා තාමත් කෑ ගහන්නේ ම.රා. ඡන්දේ පැරදුණු වේදනාවට. අර පොහොට්ටුව ද මොකක් ද එක දිනුවොත් ආපහු කල්ල මරේ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ගල් මූසලයා පටන් ගත්තා උගේ ගොන් දේශපලනේ

      Delete
    2. නෑ ගොනෝ, ඌ අත්තක් කීවේ.

      ඇත්ත කියන එවුන් තොපිට 'ගල්මුසලයෝ' නේද?

      Delete
    3. ම.රා.වාදියෙකුට ටිකක් විතර රිදිලා!

      Delete
  2. agreed 100%..
    Lalith Perera.

    ReplyDelete
  3. Copied.........

    ඔලිම්පික් පදක්කම දින්නට පස්සේ ආණ්ඩුවෙන් කෝටියක් තෑගී විදියට ලැබුණු... තවත් ලක්ෂ ගානක පුද්ගලික තෑගී ලැබුණු... මේ වන තෙක් රජයෙන් රුපියල් 60000 ක පඩියක් ගන්න සුසන්තිකා ජිවත් වෙන්න විදියක් නෑ කියල ආණ්ඩුවෙන් තව දීමනා ඉල්ලනවා... නැත්තන් පදක්කම විකුනනවලු.... ෆිල්ම් සියගානක් හදල පෙන්නලා කෝටි ගණන් හම්බ කරපු ලෙස්ටර් මහත්තයා ඉන්න තැනක් නෑ කියල රජයෙන් ගෙයක් ඉල්ලනවා... කෝටි ගණන් හම්බ කරන බිස්නස් තියෙන යාලුවෝ අම්බානෙකට ඉන්න වෙඩිසිංහ රජයෙන් සල්ලි ඉල්ලනවා හප්පුනාම... මාර කෙළියක්නේ බන් මේක...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, පුදුම හිගන හැත්තක් මේ රටේ ඉන්නේ

      Delete
    2. ලෙස්ටර්ගෙ එකනම් නිවරදි වෙන්න ඕන. ෆිල්ම් සිය ගානක් කළේ නෑ. කරපුවත් එච්චර දිව්වෙ නැ. කෝටි ගාණක් හම්බ කරන්න නැතුව ඇති. ඒත් මහජන මුදල් දෙන්න තරම් ඒක හේතුවක් නොවේ.

      Delete
  4. මේ අමුතු ඇටේ මිනිස්සු හිතන්නේ‍ මෙහෙම තමා. නාට්‍යක හරි චිත්‍රපටියක හරි රඟපාලා නැත්නම් ඒවා කරලා කලාකාරයෙක් වෙනවා. නැත්නම් ක්‍රීඩකයෙක්, ඒත් නැත්නම් මොකක් හරි ක්ෂේත්‍රයක ටිකක් කෑපී පෙනෙන කෙනෙක් නම් පුළුවන් කාලේ හම්බ කරලා, කාලා බීලා ජොලි කරලා, වයසට ගියාම රජයෙන් මහජනතාවගේ සල්ලි දෙන්න ඕනේ කියලා හිතනවා.

    එතකොට ඔය කලාකාරයෝ පුළුවන් කාලේ චිත්‍රපටි නාට්‍ය කළේ නැත්නම් ගීත කිව්වේ නොමිලේද. නෑ. අපි සල්ලි දීලා ඒව බැලුවා. සින්දු ඇහුවා. අන්තිමට උන් නාකි උනාම ජිවත් වෙන්නත් අපි සල්ලි දෙන්න ඕනේ.

    ඔය ක්‍රීඩකයින්ටත් එහෙමයි. මම දන්න විදිහට සුසන්තිකාට, ඔලිම්පික් දින්න වෙලාවේ, ලක්ෂ පණහක්, ගෙයක්, වාහණයක් හම්බවුනා. ඊට අමතරව පෞද්ගලික ධනවතුන්ගෙනුත් සල්ලි හම්බ වුනා. සුසන්තිකාම තැන තැන ඒ ගැන කියලා තියෙනවා. එයා පත්තරේක ඉන්ටර්වීව් එකක් දීල තිබුණා එයා හදපු ගෙයක් ගැනත්. වීඅයිපී විසිටර්ස් රූම් එකක් එක්ක ගෙයක් හැදුවා කිව්වා.
    ඒවට මොකද වුනේ.

    ReplyDelete
  5. සහන් කසිරත් ලස්සනට ලියල තිබ්බ.. සුසන්තිකා මේවා කියවනවානම් එක්කෝ හැදෙයි එක්කෝ දිවි නහගනියි.. :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද, පාරේ හම්බුනොත් උස්සල පෙන්නයි.

      Delete
  6. සුසන්තිකා හරි කුහකයි.
    මං උන්දැගෙන් දැකල තියෙන්නෙ එච්චරයි
    වැඩිය වචන නාස්ති කරල වැඩක් නැති කතාවක්

    ReplyDelete
  7. තව ලියන්න තිබුනා ලියපු ටික ලස්සනයි

    ReplyDelete
  8. ඔන්න ඔය ගෑනිට ඉල්ලන දෙකක් දීලා දාපල්ල බං. කට නම් අව්ල් තමයි.

    ReplyDelete
    Replies
    1. ජෝන් බාස්June 6, 2017 at 8:20 AM

      මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ දේසප්පේමීන් සුසන්තිකා ගැන මීට වඩා සිතිය යුතුයි.ඇය තම සතු ධනය මහින්දගෙ දේසපාලන වැඩ වලට වියදම් කරලයි ආච්චිට හාල් ගැරවිල තියෙන්නේ.
      මහින්ද කරුනාකරලා කෝටී10-15 දීලා ඇයට සුළු උදවුවක් කරන්න.පැරා කෝඩිනේට් කරයි.

      Delete
  9. ඇතීනා කේස් එකනම් මම මේ ඇහුවාමයි. මන් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම එකක් දැකල නෑනෙ

    ReplyDelete
  10. https://www.facebook.com/sahankaseera/posts/10211777679134675

    ReplyDelete
  11. සුසන්තිකා ජයසිංහ වෙත ආදරයෙන් ලියමි,
    2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ගෙන එන්නේ ඔබ ය. ඒ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඩන්කන් වයිට් දිනූ රිදී පදක්කමට පසුව අප රටට හිමි වූ පළමු සහ එකම ඔලිම්පික් පදක්කම ලෙසිනි. ඔබගේ හැකියාව සහ කුසලතාව පැසසිය යුතුම වන අතර මීටර 200 වැනි අතිශය තරගකාරී ඉසව්වක නොකඩවා රැඳී සිටීමම ප්‍රශංසා සහගත කරුණකි. මේ ලියන්නේ ඔබ ගේ පදක්කම වෙන්දේසි කිරීමට සිදු වන බවත් , ඔබට රජයෙන් ලැබෙන දීමනාව අහිමි කර ඇති බවටත් පුවත්පතකට ලබා දුන් සාකච්ඡාව සම්බන්ධයෙනි. ඔබ අදටත් කතා කරන්නේ ඔබ රටට ගෙනා ගෞරවයට සරිලන ඇගයීමක් හෝ පිළිගැනීමක් නොලැබෙන බවකි. ලංකාවේ මළල ක්‍රීඩාවට ඔබගෙන් නිසි උපදේශනයක් හෝ සේවාවක් ලබා නොගන්නා බව පවසන ඔබ අද වන විට ඔබව නොසලකා හැර ඇති බවත් එනිසා පදක්කම විකුණා හෝ ජීවත් වන්නට සිදු වී ඇති බවත් පවසයි. ඔබ දිනූ ඔලිම්පික් පදක්කම එක්තරා පදක්කමක් නොව මේ කුඩා කොදෙව්වටම හිමි වූ අභිමානනීය පදක්කමකි.
    ආදරණීය සුසන්තිකා , මේ මතක් කරන්නේ සිදුවීම් කිහිපයක් පමණය.
    1994 හිරෝෂිමා ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රිදී පදක්කම ඔබට හිමි වන විට දමයන්ති දර්ශාට හිමි වූයේ ලෝකඩ පදක්කමය. 1994 වසරේදි මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට සහ දර්ශා ට නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයේ "C" කාණ්ඩයේ ගෙවල් දෙකක් හිමිවන අතර දමයන්ති දර්ශා හිඟ මුදල ගෙවා "C" කාණ්ඩයේ නිවෙස වෙනුවට "B" කාණ්ඩයේ නිවසක් ලබා ගන්නීය. ආදරණීය සුසන්තිකා, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ඉන්නට හිටින්නට වහලක් නොමැති, තවමත් දියුණු වෙමින් පවතින රටක ඔබට නාරාහේන්පිට නිවාසයක් ලැබෙන්නේ ආසියානු මට්ටමේ රිදී පදක්කමකට ය. ඔබ කිසි දිනෙක ඒ නිවෙස ගැන ස්තුති පූර්වකව කතා කර තිබේ ද ?
    හිතාදර සුසන්තිකා , 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනූ නුමුදු ඔබ 2004 ඇතන්ස් ඔලිම්පික් මීටර 200 ඉසව්වේ පරිසාධන මට්ටම ට සුදුසුකම් ලබන්නේ නැත. මතකය නිවැරදි නම් ඔබගේ ක්‍රීඩා දිවිය ඒ කාලයේ අඩාලව තිබුණේ දරු ප්‍රසූතිය හේතුවෙනි. නමුත් ඇතන්ස් වෙත යන ඔබ තරග වැදීම ප්‍රතික්ෂේප කළ අතර එවකට මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඔබව මුණ ගැසී තරග වදින්නට ඇරියුම් කළේය. නමුත් ඔබ තරග වැදුණේ නැත. ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් නොතබන ක්‍රීඩා බලධාරීන් පවසන්නේ සුසන්තිකා ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ "ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකාව ලෙස" සමාරම්භක උළෙලේ ධජය දැරීමට බවය. එම තර්කයට අනුව නම් 1952 හෙල්සින්කි උළෙලේ සිට 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල දක්වා ලංකා ධජය රැගෙන යා යුත්තේ ඩන්කන් වයිට් විසිනි. නමුත් මේ සියලුම කාරණා නිහඬ කරවීමට සමත් වූයේ අද ඔබ වෙන්දේසි කරන බව පවසන පදක්කමේ ආනුභාවය ය.
    ප්‍රවීණ ක්‍රීඩිකා සුසන්තිකා , 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට සහභාගී වී තරග නොවැදීම හරහා ඔබ ගේ ඔලිම්පික් පදක්කමේ ගෞරවය රැකිණිද ? ඔබ එදා අහිමි කළේ ලංකාවේ වෙනත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට ලැබෙන්නට තිබූ වයිල්ඩ් කාර්ඩ් අවස්ථාව බව ඔබට අමතකද? ඔලිම්පික් පදක්කමට මුවා වී අනෙක් ක්‍රීඩකයින් හට ලැබෙන්නට තිබුණු අවස්ථාව සිත් පිත් නොමැතිව උදුරාගත් ඔබ අද චෝදනා කරන්නේ නව පරපුරට ඔබගේ දැනුම ලබා නොදෙන බවයි. ඔබ නව පරපුරට ලබා දෙන්නට යන්නේ මෙබඳු දැනුමක් නම් එය ලබා නොදීමම අගනේයැයි ආදරයෙන් සිහිපත් කරමි.

    ReplyDelete
  12. ඔලිම්පික් ක්‍රීඩිකාවක ලෙස ලංකාවේ මළල ක්‍රීඩාවට සේවය සැලසිය යුතු බව ඔබට මේ හදිසියේ සිහිපත් වී ඇත. 2011 වසරේ සාන්ත කිට්ස් දූපතේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගෙන ඒමේ අසාර්ථක වන්දනා නඩයේ එක් ගෞරවනීය සාමාජිකාවක් වන්නේ ඔබ ය. අජිත් නිවාඩ් කබ්රාල් , නාමල් රාජපක්ෂ ,අනර්කලී ආකර්ෂා සහ අනර්කලීගේ මව ඇතුළු ක්‍රීඩාවට අත්‍යන්තයෙන්ම අදාල විශාල සේනාවක් සමග එදා නාස්ති කරනු ලැබුවේ ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කළ යුතු මුදල් බව ඔබට සිහිපත් නොවිණිද ? ඔලිම්පික් පදක්කම් ලාභිනිය ලෙස ආරධනා කරන ඕනෑම දිල්ලියකට ගොස් ජොලි කර පැමිණීම හැරෙන්නට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද ?
    ආදරණීය සුසන්තිකා , කැමති පක්ෂයකින් දේශපාලනයට පිවිසීම හෝ දේශපාලන ලෝකයේ දියබුං ගැසීම ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. නමුත් ඔබට දේශපාලනයට පිවිසීමට තිබුණු සුදුසුකම කුමක්දැයි ඔබ හෘද සාක්ෂිය අමතා විමසා බැලුවේ නම් ඔබගේ ඔලිම්පික් පදක්කම මුලින්ම වෙන්දේසි කළේ කවදා ද යන පැණයට ඔබට පිළිතුරු ලැබෙනු ඇත. ගම , වෙල , ඉපනැල්ල , කොස් , පොළොස් ම මාර්කට් කළ ඔබ දේශපාලනික වේදිකා මත හිඳ යශෝධරා දේවිය කණවැන්දුම් වූවා වැනි අඳබාල කතා පවසා වෙන්දේසි කළේ මේ ඔලිම්පික් පදක්කමේ ගෞරවයම නොවේද ?
    හිතවත් සුසන්තිකා, ඔබ ක්‍රීඩාවට සේවය කරන ආකාරය සහ ක්‍රීඩාව වෙනුවෙන් හඬ නගන ආකාරය පසු ගිය දසක ගණනාවක් තිස්සේ අප බලා සිටියෙමු. 2015 වසරේ චීනයේ හුවෑන් නුවර ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් නිමාලි සූරියාරච්චි ලංකාවට පැමිණ පදක්කමද රැගෙන හම්බන්තොට සූරියවැවට යන්නේ බස් රථයෙනි. ඇයට පෙර ඒ ඉසව්ව ආසියානු මට්ටමෙන් ජය ලබා තිබූ (1993 මැනිලා - ලෝකඩ ) ශ්‍රියානි ධම්මිකා මැණිකේ හෝ ඔලිම්පික් පදක්කම්ලාභී ඔබ නිමාලි වෙනුවෙන් කිසිඳු හඬක් නගන්නේ නැත. නමුත් නිමාලි 2016 වසරේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදි අදාල ඉසව්වේ ජාතික වාර්තාව පිහිටුවන්නීය. අතින් ක්‍රියාකරන කාල ගණක යන්ත්‍රයකින් විනිශ්චය ලබාදුන් නිසා නිමාලිගේ ජාතික වාර්තාව පිළිගැනීමට නොහැකි බව පවසමින් ධම්මිකා මැණිකේ සමග එක්ව මළල ක්‍රීඩා සංගමයට එරෙහිව අරගල කළේ සුසන්තිකා ජයසිංහ වන ඔබය. ඔලිම්පික් පදක්කම් ලාභිනියක් යැයි පුන පුනා සඳහන් කළ ද ඔබ අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන් සහ නියමයන් පිළිබඳ දන්නේ නැත. නමුත් දන්නවාක් මෙන් කෑ ගසන්නට දන්නේය. ඔබගේ ක්‍රීඩා උපදේශනය යනු නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයෙන් සහ මාධ්‍ය මගින් ලැබෙන අවධානය නවත්වන්නට පමණක් ඉදිරිපත් වීම නම් මසකට රුපියල් 60,000/- ක් ඒ සඳහා ඕනෑවටත් වඩා වැඩි නැතිද ?
    මැතිනිය සුසන්තිකා , වසර 5 ට පමණ පෙර තරුණි පත්තරයක මැද පිටුවේ ඔබගේ බොරලැස්ගමුවේ වැව් ඉවුරක් ආසන්නව නිමකළ විශාල නිවසක් ගැන වරුනණාවක් පල වූ බව ඔබට මතක්ද ? තේක්ක වලින් සෑදූ ටීපෝ සහ පුතා වෙනුවෙන් වත්තේ වැවූ ඖෂධ වගාවන් මෙන්ම වැවේ බෝට්ටු පැදීමේ පහසුකම ගැන පවා ඔබ කතා කළා මතකද ? ඔබ පැවසූ පරිදි එනිවසේ තබා ඇත්තේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් ත්‍යාග කළ විශාල බුදු පිළිමයකි. සාමාන්‍ය අමුත්තන්ට සහ වී.අයි.පී අමුත්තන්ට වෙන් කළ විසිත්ත කාමර දෙකකි. එලෙස සකසන්නේ ඔබ හමුවට එන වී.අයි.පී අමුත්තන්ට බාධා නොවන පිණිසය. හිතවත් සුසන්තිකා , මගේ මතකයේ අවුලක් නිසාදෝ එම ලිපියේ කොතැනකවත් ඔබගේ සේවයට නිසි තැන නොලැබීමක් හෝ පදක්කම් වෙන්දේසියක් ගැන කිසිම සඳහනක් තිබූ බව මතක නැත.
    හිතවත් සුසන්තිකා , එදා අප මල් මාලා දමා, තොරණ ගසා උත්සව තබා පිළිගත්තේ, ඕපන් ට්‍රක් එකකින් රැගෙන පාර දෙපස හිඳ අත් වනා පිළිගත්තේ ඔබව ය. පළමුව ලෝකඩ පදක්කමක් දිනා පසුව එය රිදී පදක්කම බවට පත් වූ සුසන්තිකා ජයසිංහවය. නමුත් මේ යනාකාරයට කණගාටුවෙන් වුවද මෙසේ පවසමි.
    එදා අපට පිළිගන්නට තිබ්බේ ඔබව නොව 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 රන් පදක්කම දිනූ බහාමාස් ක්‍රීඩිකාව ය. එදා පෝලින් ඩේවිස් තොම්ප්සන් රන් පදක්කම නොදින්නා නම් ලංකාවෙන් බාගයක්ම ඔබේ නමට ලියා දෙන්නට වෙන බවට සැක නැත. එදා ඔබ රන් පදක්කම දින්නා නම් අද සාග් මට්ටමෙන් දුවන්නට දෙවැනි පෙළක් වත් ඉතිරි වන්නේ නැත.
    මන්ද යත් , ඔබගේ රිදී පදක්කම හිඟන්නාගේ තුවාලයක් වී ඇති බැවිනි.
    - සහන් කසීර වික්‍රමසිංහ -

    ReplyDelete
    Replies
    1. Thank you මචං, ඉස්තරම්ම කොමෙන්ටුවට.

      නියමෙට කියල තියෙනවා!

      Delete
  13. samahara Pasal kreeda uthsawa wala ara greeka yuwathiyan handunwane greeka kanyawiyan kiyala. Maha wihiluwak eka kisima wili lajjawak nathuwa loudspeaker dagena me podi kellan kanyawiyan washayen prasiddiye moradenawa.guru mahathwaru mese kireema hari jugupsajanakai matanam.matath loku gataluwak thamai ai api bebadu kakakaruwan saha kreedakayan nadaththu karanne kiyana eka. Mewath ekkama deshapalakayanta wishrama watup geweemath nathara kakayuthui.ehema kamathi aya kreeda karadden, kalawata edden, deshapalanya karapuden. Un enne nathnam ehema interview karala rakiyawak lesa owun path karagamu. Awama wasara 20 k sewaya kalama wishrama gewamu !!

    ReplyDelete
  14. ක්‍රීඩකයන් පමනක් නොවෙයි කලාකරුවනුත් සිතන්න සමාජය ඔවුන්ට ණයයි කියල. අති විශේශ සැලකිලි බලාපොරොත්තුවෙනවා. මෙසේ සිතීමම වැඩවසම්.

    ReplyDelete
  15. සුසන්තිකා ඔලිම්පික් පදක්කම අරන් ආවට පස්සේ එයාගේ එතෙක් හිටි පුහුණුකරු එළවලා තමාගේ සැමියා (හෝ ආදරවන්තයා ) එම තනතුරට පත්කර ගත්තා.
    මොකද, ඒ යකාටත් එතකොට සුසන්තිකා ටර යනකොට නිකම්ම යන්න පුළුවන් නිසා. එතැනින්ම එයාගේ පුහුණුවීම අදාළ වුනා.
    ඊට පස්සේ පිටරට තරඟාවලි වලට ගිහින් අන්තිම මොහොතේ ඒවාට සහභාගී වුනේ නැහැ, වෙන අයගේ චාන්ස් කෑවා.

    ReplyDelete
  16. ක්‍රිඩා බලධාරීන්ගෙ අවධානය පිනිසයි!
    ආධුනික මලල ක්‍රිඩක ක්‍රිඩීකාවන්ට ප්‍ර‍භල හානියක් සිදුවන බැවින්,මෙම වෛරසය මලල ක්‍රිඩා ක්ෂේත්‍රයෙන් වහා ඉවත්කරන්න.

    ReplyDelete
  17. එයැයිට ඕනේ නම් වෙන්දේසි කරගත්තාවේ. අපිට නම් ඔය ලබ්බ කවුරු ගාව තිබ්බත් නැතත් පස්නයක් නැත

    ReplyDelete
    Replies
    1. ඔය 'පදක්කම විකුණන' කතාව එතරම් ගණන් ගන්න දෙයක් නොවෙයි.

      මොකද කියනවනම්, ලංකාවේ විතරක් නොවෙයි, ලෝකෙ කොහෙත් ජීවත් වෙන්න හරිහමන් ආදායමක් නැති බොහොමයක් ස්ත්‍රීන් ජීවත් වෙන්නෙ තමන්ගෙ 'පදක්කම' විකුණලා තමයි.

      අනික ඉතිං, එයාගෙ පදක්කම වික්ක තියා මොන බඩකඩුත්තුවක් කලත් අපිට පාන්ද?

      Delete
  18. කලාකරුවන් හා ක්‍රීඩකයන් යනු ලංකාවට අලුතෙන්ම බෝවී ඇති කැළණි හිගන්නන් පිරිසකි

    ReplyDelete
    Replies
    1. කොච්චර කෑවත් මදි ..මටම කරපං කියන, සම්මාන ගත්ත කලාකාරයොයි, පදක්කම් ගත්ත ක්‍රිඩකයොයි, පාර්ලිමේන්තු කාලකන්නියි මුරුසියට එලවමු,
      හා..ද

      Delete
  19. මිනිස්සු මොන අතින් වුනත් ඉහලට යනකොට සමාජපරිණත භාවයක් ලබාගන්න හිතන්න ඕනේ. සුසී ඔලිම්පික් දිනුවට පස්සෙවත් තමුන් තරම් ලොක්කෙක් නැතෙයි කියල හිතපු නිසා ලැබුණු අලුත් ඉහල සමාජ තත්වය කළමනාකරණය කරගන්න දැන උගත් වැඩිහිටි කෙනෙකුගෙන් ඉගෙනගත්තේ නෑ. ක්‍රීඩා අමාත්යන්ශේ මේසේ උඩින් ගිහින් වාඩි වුන එක සුසී කලේ ඒ වෙනුවට. හැබැයි දර්ශලා කුලවංශලා තිලකරත්නලා ඒක ඉගෙනගත්ත. ඒ නිසා තමයි ඒ උදවියගෙන් සුසීගෙන් වගේ කරච්චලයක් නැත්තේ. සුසී ඔය පාරම්බෑවට දැන් එයා වැඩකරන විදියට නම් ඕස්ට්‍රේලියාවේතියා බලුකිස්තානේවත් එයාව තියාගන්නේ නෑ. ඉස්සර අපේ යාලුවෙකුගේත් ඔයවගේ නැන්දා කෙනෙක් හිටියා. හැමතිස්සෙම එයා සල්ලි ඕනේ වුනහම කියන්නේ මහගෙදර ඉඩම් එයාගේ කොටස විකුනනවා කියල. ඒක ඉවරවෙන කෙලියක් නෙවේ.

    සුසී එක්ක බලද්දී අතින් සල්ලි ගෙවාගෙන ඇවිත් පීනන අබේසිංහගේ ඇමරිකන් කොල්ලෝ තුන්දෙනා කොච්චර හොඳද ?

    ReplyDelete
    Replies
    1. //සුසී එක්ක බලද්දී අතින් සල්ලි ගෙවාගෙන ඇවිත් පීනන අබේසිංහගේ ඇමරිකන් කොල්ලෝ තුන්දෙනා කොච්චර හොඳද ?//

      උන් ලංකාවේ නම ගහගෙන පීනන්නේ මේකට තියෙන ආදරයකටවත් වෙන පුකකටවත් නෙවෙයි. ඇමරිකන් ලෙවල් එකට ලං කරන්නවත් බැරි නිසයි. උන් ලංකාව නියෝජනය කරන්නේ ඇමරිකාවේ තැනක් නැති නිසා. නරක නෑ. ඒකෙන් ලංකාවට වෙන්නේ හොඳක්. හැබැයි ඇත්ත ඕකයි.

      Delete
  20. සුසන්තිකා ගැන කතා කිරීම පලක් නැති දෙයක්. ඇතීනාගේ කේස් එකනම් ලඟදි ආපු එකක් වෙන්න ඕනේ. මම ඔහොම දෙයක් ඇහුවමයි.

    ReplyDelete
  21. පැරා හා සහන් කසීර සමඟ 100%ක් එකඟයි මේ කාරණයේදි

    ReplyDelete
  22. Mama kiyanna oni ewwa serama umbala kiwwane.mewa susanthikatay.eth putho dayasiri udyanna ona na.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා