2016-06-27

ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-26

පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, දූෂණ විරෝධී පෙරමුණ ආදී විවිධ නම්වලින් ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ දේශපාලනය 2015 ජනවාරි 8 විපර්යාසය වෙනුවෙන් මෙන් ම අද දවසේ ද ලංකාවේ දේශපාලනය කෙරෙහි සාධනීය බලපෑමක් කරමින් සිටින බවට විවාදයක් නැත.

එම දේශපාලනය විසින් අරමුණු කරනු ලබන්නේ පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවදි වන ආකාරයෙන් පොදු මහජන කටයුතු පිළිබඳ සංවාදය ශක්තිමත් කිරීමයි. දේශපාලන පක්ෂ හා දේශපාලන කාඩර්වරුන් ගොඩනැගීමේ අදහසක් හෝ ජනතාව අතර ජනප්‍රිය පදනම් ගොඩනගා ගැනීමේ උවමනාවක් එම ව්‍යාපාරවලට ඇති බවක් නො පෙනේ.

පුරවැසි දේශපාලනය ලෙස අප හඳුන්වන මෙම සිවිල් සමාජ දේශපාලනයේ සාධනීය මෙන් ම නිෂේධනීය සීමාවන් ද සලකුණු වන්නේ එතැන ය.

ලංකාවේ පක්ෂ දේශපාලනය මේ වන විට අන්තයට ම පිරිහී තිබේ. ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලන පක්ෂ ගොනුවීම් වන එජාප, ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍ර‍සය, ජනතා විමුක්ති පෙරමුණ වැනි සියලු පක්ෂ මේ වන විට එක් නිශ්චිත ස්වරූපයක් අත් කරගෙන තිබේ. ඒවා දේශපාලනයේ යෙදෙන්නේ මැතිවරණවලදී සිය බලය ගොඩනගා ගැනීම එකම අරමුණ කරගෙන ය. ඔවුන් ජනතාව වෙත සමීප වීම, සංවාද ගොඩනැගීම,ජනතාව අතර සංවිධාන කටයුතුවල නියැලීම හා බලමුළුගැන්වීම සිදු වන්නේ එකී අරමුණ වෙනුවෙන් පමණි. මෙම පක්ෂ කිසිවකට මනා ලෙස නඩත්තු කරනු ලබන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයක් නැත. තිබෙන යාන්ත්‍ර‍ණයන් ද බිම් මට්ටම දක්වා විහිදීමක් සිදු වන්නේ නැත. යහපත් දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමේ උවමනාවක් කිසිවෙකු තුළ නැත.

ජනසන්නිවේදනයේ දියුණුවත් සමග දේශපාලන පක්ෂ ද වැඩි වැඩියෙන් ජනමාධ්‍ය වෙත ඇදී ගියේ ය. අද වන විට ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවල මූලික ම කාර්යය වී තිබෙන්නේ මාධ්‍ය සමග අන්තර්ක්‍රියාකාරිත්වයයි. සරළව කිවහොත්, දේශපාලනය වී තිබෙන්නේ මාධ්‍යවලට ප්‍ර‍කාශ නිකුත් කිරීම, සංවාද, විවාද ආදියයි. මෙම සංදර්භය තුළ මාධ්‍යවල බලය අධික ලෙස වර්ධනය වී තිබේ. රටේ දේශපාලනය තීරණය වන්නේ මාධ්‍යවල අවශ්‍යතාව අනුව ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. එක්තරා පුවත්පත් ආයතනයක් චම්පික රණවක පිළිබඳ වාර්තා නො කරන ප්‍ර‍තිපත්තියක් අනුගමනය කරයි. එම පුවත්පත් චම්පික රණවකගේ මෝටර් රථය හා සම්බන්ධ සිද්ධිය වාර්තා කරද්දී ඔහුගේ පාර්ශ්වයේ පැහැදිලි කිරීම් හිතාමතා ම මගහරිමින් ඔහුට විරුද්ධව අදහස් පළ කරන අයට සෑහෙන ප්‍ර‍සිද්ධියක් ලබා දුන්නේ ය.

මාධ්‍යවලට ලැබී තිබෙන මෙම අසීමිත බලය හමුවේ මාධ්‍ය විසින් දේශපාලකයන් නටවන ආකාරය දකින විට සිහි වන්නේ වලිගය විසින් බල්ලා නැටවීම ගැන ප්‍ර‍කට උපහැරණයයි. දේශපාලකයන් ජනතාව පසුපස යන්නේ අවුරුදු පහකට පමණ වරක් එළඹෙන මැතිවරණවලදී පමණි. 2015 අගෝස්තු මාසයේදී පැවැති මහ මැතිවරණය සමයේ මනාප හිඟමින් ජනතාව වෙත පැමිණි දේශපාලකයෝ දැන් කොහි ද?

මාධ්‍ය මත යැපීමේ ව්‍යාධිය පුරවැසි දේශපාලනය තුළ ද ඔඩු දුවා තිබේ. සිවිල් සමාජ නායකයන් දකින්නට ද හැක්කේ ජනමාධ්‍ය ඔස්සේ පමණි. ක්‍රියාකාරකම් ද බොහෝ දුරට අගනුවරට සීමා වී තිබේ. දේශපාලකයන්ට නම් අඩු තරමේ බලය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව හෝ තිබේ. එහෙත්, සිවිල් සමාජ නායකයන් මාධ්‍ය ආවරණය වැනි සරළ දේවලින් තෘප්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට දේශපාලනික බිම් මට්ටමක් නැත. ඇත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වන දේශපාලන ඉහළ තලයක් හා බිම් මට්ටම දක්වා විහිදුණු රජයකි. රාජ්‍ය යාන්ත්‍ර‍ණය ඉතා ශක්තිමත් එකකි. එය ගමේ ග්‍ර‍ාමසේවා නිලධාරියා දක්වා ද, ආරක්ෂක කමිටු, ගොවි සංවිධාන ආදී ප්‍ර‍ජා සංවිධාන හරහා ඉන් පහළට ද විහිදේ. බිම් මට්ටමේදී රජයේ කටයුතු සුපුරුදු ඕලාරික ස්වභාවයෙන් සිදු වෙයි. රාජ්‍ය අංශය ඉතා අකාර්යක්ෂම ය. මහජන ප්‍ර‍ශ්නවලට විසඳුම් ලබා ගැනීම අතිශය දුෂ්කර තත්වයක පවතී. රජයේ සේවකයන්ට ලබා දුන් දැවැන්ත වැටුප් වැඩි කිරීමත් සමග රජය දැඩි ආර්ථික පීඩනයකට ද මුහුණ දී සිටියි. එහෙත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍ර‍යකින් හෝ ඉහළ ගොස් ඇති බවට සාධක දැකිය නො හැකි ය.

දේශපාලනය බිම් මට්ටම දක්වා ගෙන යාම යනු දේශපාලන නායකයන් බිම් මට්ටම දක්වා හැම දෙයකට ම ඇඟිලි ගැසීම නො වේ. එහෙත්, බිම් මට්ටමේ දේශපාලනය ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම බලපායි. විශේෂයෙන් ම රාජ්‍ය අංශය කෙරෙහි එහි ඇති බලපෑම අති මහත් ය. දැවැන්ත රාජ්‍ය අංශයක් හා දුර්වල ආර්ථිකයක් ඇති ලංකාවේ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා බිම් මට්ටමේ බලමුළුගැන්වීම් ඉතා වැදගත් වේ.

එහෙත්, අද වන විට ප්‍ර‍ධාන, අප්‍ර‍ධාන දේශපාලන පක්ෂ සියල්ල බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම් අතහැර දමා තිබේ. පුරවැසි ව්‍යාපාර සම්බන්ධයෙන් ද තත්වය එයයි. සරළව කිවහොත්, දේශපාලනිකව සවිඥානක ජනතාවට වුව බිම් මට්ටමේදී යමක් කරන්නට තිබෙන අවස්ථාව ඉතා සීමිත ය. හේතුව, ඒ වෙනුවෙන් වගකීම් භාර ගන්නා නායකත්වයක් නැතිකමයි.

රජය කෙතරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ සිදු කළත්, බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම්වලින් තොරව ඒවායේ ප්‍ර‍තිඵල අත් කර ගත නො හැකි ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටු දැකීමේ පනත ලංකාවේ බලාත්මක කර දැන් වසර 10කට වැඩි ය. එහෙත්, ලංකාවේ දැනට සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව පවා ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වී රෝහල් ගත වෙයි. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි නීති ඇති බව ලංකාවේ පවුල් වෙත සන්නිවේදනය වී තිබේ ද? ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීමේ මහජන ප්‍ර‍යත්නයක් පවුල් මට්ටමෙන් තිබේ ද? නැත. හේතුව එකී කාරණය සම්බන්ධයෙන් ද මහජන බලමුළුගැන්වීමක් නැති වීමයි.

තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත වැනි අතිශය ඉදිරිගාමී පනත් සම්මත කර ගත්තත්, ඒවායින් පල නෙළා ගත හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් මාධ්‍යවලට සීමා වී පවතින අතර මහජනතාව අතර බිම් මට්ටමේ සක්‍රිය වී තිබෙන්නේ කුමන බලවේග ද? මෙම ලැයිස්තුවට ඔබගේ අත්දැකීම් මත තවත් බොහෝ දේ එකතු කර ගත හැකි වනු ඇත.


  • සෙසු ආගම් හා ජාතීන් කෙරෙහි වෛරය ප්‍ර‍වර්ධනය කරන නොගැඹුරු ආගමික දර්ශන හා ක්‍රියාකාරකම්
  • ජ්‍යෝතිෂය හා කට්ටඩිකම්
  • ටියුෂන් අධ්‍යාපනය
  • ලෙඩුන් ගසා කන සුදුසුකම් ලත් හා නොලත් වෙද්දු
  • ගිනි පොළීකාරයෝ
  • ක්ෂණික සල්ලි ගැන සිහින විකුණන පිරමිඩ් ජාවාරම්කාරයෝ


මහජන තලයේ ඇති දුෂ්ට, ප්‍ර‍තිගාමී බලවේගවලට එරෙහිව සටන් වදින්නට ජනතාව බලමුළුගන්වන දේශපාලනයක දැඩි අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.