2016-05-31

බිම් මට්ටමට විහිදෙන ආණ්ඩුකරණයක් ඇති කරන්නේ කෙසේ ද?

Reuters Photo
බිම් මට්ටම දක්වා විහිදෙන ආණ්ඩුකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක නො වන බව පෙන්වා දුන් අවස්ථාවක් වන්නේ පසුගිය ගංවතුර ආපදා තත්වයයි. ආපදා මුල් අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිත්වයන් අවම මට්ටමක තිබිණි. බොහෝ සහන මෙහෙයුම්වලට මුල පිරුවේ ස්වේච්ඡා කණ්ඩායම් විසිනි. මෙහිදී සමාජ ජාල වෙබ් අඩවි ජනතාව බලමුළුගැන්වීම සඳහා පුළුල් අන්දමින් උපයෝගී කර ගන්නා ආකාරය දක්නට ලැබිණි.

රජය පිළිබඳ සාමාන්‍යයෙන් නැගෙන චෝදනාව සම්බන්ධ වන්නේ අකාර්යක්ෂමතාව සමගයි. එය වනාහි දීර්ඝ ඉතිහාසයක් සහිත තත්වයකි. එයට පිළියම් යෙදීම ද එවැනි ම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත්, ඒ වෙනුවෙන් තීරණාත්මක මුලපිරීම් අවශ්‍ය වී තිබේ.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පැත්තෙන් පැහැදිලි වෙනස්කම් සිදු වෙමින් තිබේ. රජය තුළ ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරය ශක්තිමත් කරනවා වෙනුවට ආයතන ශක්තිමත් කරමින් තිබේ. සරළව කියනවා නම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනත් යුගවලට සාපේක්ෂව බොහෝ දුරට අඩු ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ව්‍යූහය පිරිහී තිබෙන තරමේ මට්ටම අනුව එය ගොඩ ගැනීම පහසු නැත. රජයේ සේවයේ පුරුද්ද වී තිබෙන්නේ ම දේශපාලන බලාධිකාරය අතින් නැටවීම මිස ස්වාධීනව කටයුතු කිරීම නො වේ.

වර්තමානයේදී අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මෙම ආයතන දූෂිත දේශපාලකයන් ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමීව ය.

තවත් ඇතැම් නිලධාරීහු ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් දේශපාලන අධිකාරියේ අවසරය පසුපස යති. එසේම, තීරණ නො ගෙන කල් මරති. විවිධ හේතු දක්වමින් ක්‍රියාවලි පමා කරති.

මේ පිළිබඳව අපගේ සමාජ ජාල පාඨකයකු විසින් දක්වන ලද අදහස මෙසේ ය:

“රාජ්‍ය ආයතන කාටවත් වග කියන්නැති තත්වයක් තියෙන්නේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ට ඕනෑනම් පමණයි. එක රාජ්‍ය ආයතනයක ප්‍රමාදයක් නිසා තවත් රාජ්‍ය ආයතනයකින් කරගතයුතු වැඩක් ගැන ජනතාව පැමිණිලි කළොත් එම ආයතනය කරන්නේ අර දෙවැනි ආයතනයට සිහිකැඳවීමක් යැවීමයි. මෙවැනි සිහිකැඳවීම් හරියට බීරි අලියට වීණා ගායනා කරනවා වගේ. මෙයට උදාහරන විදියට අධිකරණ, රජයේ රසපරීක්‍ෂක, නීතිපති වැනි දෙපාර්තමේන්තු දැක්විය හැකියි."

අප සිතන අන්දමින් මෙම ලැයිස්තුව තවත් බොහෝ දිග ය. අප වෙත කරුණු දැක්වූ බස්නාහිර පළාතේ එක් පාසල් ගුරුවරියක පැවසුවේ ඇගේ මාසික වැටුප කිසිදු පැහැදිලි හේතුවක් නො දක්වමින් මාස හතරක් තිස්සේ අත්හිටුවා ඇති බවයි. මේ පිළිබඳව පැමිණිලි කිරීමට ඇය පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවා හමු වී තිබේ. ඇගේ ඉදිරියේ ම පළාත් ලේකම්වරයා අදාළ කලාප අධ්‍යක්ෂවරියට දුරකථනයෙන් අමතා වැටුප් ගෙවන ලෙස දැන්වුවත් එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සිය වැටුප නො ගෙවූ බවයි. රජයේ සේවයේ තිබෙන මෙම කණගාටුදායක තත්වය ආණ්ඩුව හරි හැටි වටහාගෙන තිබේ ද යන්න අපැහැදිලි ය.

මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.

මේ රජයේ නිලධාරීන් පවා කියන කරුණකක් වන්නේ 'මහින්දගේ කාලෙ ඔහොම නැහැ' යන්න ය. එයින් අදහස් වන්නේ 'ඒ කාලෙ නම් අපි දේශපාලකයන්ට බයේ වැඩ කළා' ය කියන එකයි. දැන් හිමි වී තිබෙන සාපේක්ෂ ස්වාධීනත්වය තුළ සිදු වී තිබෙන්නේ වැඩ නො කෙරෙන තැනට කටයුතු යෙදීමයි.

මේ පිළිබඳ තවත් පාඨකයකු සමාජ ජාල හරහා දැක්වූ අදහසක් මෙසේයි: "රජයේ ආයතනවල වැඩ ගැන පසුවිපරමක් වෙන බවක් පෙනෙන්නට නෑ. යම් කිසි කාරණාවක් සම්භන්ධව පසු විපරම මහජනයාගේම පෙළඹවීම මත පමණියි සිදුවන්නේ. අදාල නිලධාරීන්ට තමාගේ වගකීම තේරුම්ගන්න බැරිනම්, ආයතනික මට්ටමෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ නිදහසට කරුණු විමසීමක් සිදු වෙනවා ඉතාම අල්පයි. එසේ වෙනවා නම් වන්නේ දේශාපාලන හයියක් ඇත්තවුන්ගේ බල පෑමක් මත පමණයි."

මෙහි ඇති ගැටුම වන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය අතර තුලනයක් නැතිකමයි. පහළ මට්ටමේදී රජය ශක්තිමත් වන අතර ආණ්ඩුකරණය දුර්වල ය. ආණ්ඩුකරණය පහළට විහිදෙන නිල මාර්ග වන්නේ පළාත් සභා හා පළාත් පාලන ආයතනයි. මේ වන විට පළාත් සභා හතක පාලනය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍ර‍මුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අත ය. ශ්‍රීලනිපය තුළ ඇති පාර්ශ්ව අතර ගැටුම පළාත් සභා තුළින් ද ප්‍ර‍කාශයට පත් වේ.

පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ කල් දමා තිබේ. තිබුණු පළාත් පාලන ආයතන ව්‍යූහය අසාර්ථක බව ඇත්තකි. එය වෙනස් කිරීමේ අවශ්‍යතාව කලක සිට සෑම අංශයකින් ම මතු කරමින් තිබේ.

ඒකමතිකව සංශෝධනය කරන ලද 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත හා 2012 අංක 22 දරන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත 2013 ජනවාරි 01 දින රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කර තිබේ. කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වූ නව මැතිවරණ ක්‍රමය මඟින් පළාත් පාලන බල ප්‍රදේශය කොට්ඨාසවලට බෙදා තිබේ. ඒ ඒ කොට්ඨාස නියෝජනය කිරීම සඳහා තම නියෝජිතයා ලෙස පත්කර යැවීමේ හැකියාව ජනතාව වෙත ලබා දී ඇත. පළාත් පාලන ආයතන නියෝජනයෙන් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීමට ආණ්ඩුව නීති සම්පාදනය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නුදුරු අනාගතයේදී පවත්වන බවක් ප්‍ර‍කාශයට පත් කර තිබියදීත්, ආපදා අවස්ථාවකදීවත්, පහළ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයක් දක්නට නො ලැබීම ද විමසා බැලිය යුතු තත්වයකි. මෙයට හේතුව ලෙස අප නම් දකින්නේ දේශපාලන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයන්ගේ දුර්වලකමයි.

2016-05-29 සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.