2016-05-28

මඩවල මදීනා සිට කුරුඳුවත්ත රාජකීය දක්වා ගෝත්‍රවාදී, ආගම්වාදී, ජාතිවාදී, ලිංගික, යටත් විජිතවාදී පාසල් වෙනස් කළ යුතු ය

මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් අභිවෘද්ධි සංගමය නම් නිල නො වන සංවිධානයක් විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යවා තිබෙන අත්සනක් නැති ලියුමක් හා එහි සිංහල ගුරුවරුන්ට එල්ල කළ බව කියන කුණු බිත්තර ප්‍රහාරයක් ය කියන වීඩියෝවක් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබේ.

මුස්ලිම් පාසලක පාසල් සංවර්ධන සමිතිය සිය පාසලට මුස්ලිම් ගුරුවරු පමණක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම තුළ ඉන් එහාට ගිය කාරණයක් ද ඇත. ඔවුන් මඩවල මුස්ලිම් අය වෙනුවෙන් වැඩි අවස්ථාවක් ඉල්ලා තිබේ.

ඒ අතින් බැලූ කල එය ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව ප්‍රාදේශීයවාදී ඉල්ලීමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට පටහැණි ය. එමගින් කියවෙන්නේ කිිසිදු පුද්ගලයකු වර්ගය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතූන් මත වෙනස් කොට නොසැලකිය යුතු බවයි.

ගම්පොළ සහිරා විදුහලේ ද මේ හා සමාන ප්‍රශ්නයක් තිබේ.

මෙවැනි දේ සිංහල බෞද්ධ ආධිපත්‍යය සහිත පාසල්වල ද සිදු වේ. මා අවසන් වරට සේවය කළ කතෝලික කමක් ඇති සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුත් පාසලේ විදුහල්පතිනිය පාප්තුමා පැමිණි දිනයේ රටේ ම පාසල්වලට නිවාඩු දී තිබියදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරගය පැවැත්වූවා ය. ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ මව්පියන් වෙනුවෙන් ලංකා ගුරු සංගමය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ මුත්, අවසානයේදී අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ එය වරදක් නො වන බවයි. කතෝලික සිසුන්ට පාප්තුමාගේ දේවමෙහෙයට සහභාගි වීම සඳහා එදින නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළේ ද එකී නිලධාරීන් ම විසිනි. පැමිණිල්ල කළේ ලංකා ගුරු සංගමය නිසා අවසානයේදී සිදු වුණේ එහි ප්‍රාදේශීය නායකයා වූ මා පළි ගැනීමට ලක් වීමයි. කතෝලික ගුරු සංගමයේ නියෝජිතවරිය ද තමන්ට එයින් ප්‍රශ්නයක් ඇති නො වූ බවට සාක්කි දුන්නා ය.

මඩවල මදීනා විදුහල සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරි තබා ඇති සටහනක ගතානුගතික වාමාංශික ආකල්පය කැටි කර දක්වා තිබේ.

මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතිය කලායැයි කියන ඉල්ලීමක් හා නැගෙනහිර මහ ඇමති පිළිබද සිද්ධිය නිසා මුස්ලිම් අන්තවාදය පිළිබද තේමාව නැවතත් කරළියට පැමිණ ඇත. මේ පිළිබදව කල්පනා කරන විට මගේ දේශපාලන ජීවිතය තීරණාත්මක ලෙස වෙනස් කළ අවස්ථාවක් මට සිහිවේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකුව සිටි දයා පතිරණ මට මුලින්ම හමුවූ අවස්ථාවයි. ඔහු තමාට සුපුරුදු පරිදි "උතුරේ ප්‍රශ්නය" ගැන මා කුමක් සිතන්නේදැයි විමසීය. මා කියූ දේහී හරය වූයේ උතුරේ ඇත්තේ දෙමළ "ජාතිවාදී" ව්‍යාපාරයක් බවයි. එවිට ඔහු පීඩිත ජාතියේ "ජාතිවාදය" හා පීඩක ජාතියේ "ජාතිවාදය" එක හා සමානව නොසලකන ලෙස මට පැවැසීය. මේ ප්‍රකාශය දේශපාලන වශයෙන් තරමක රළු සහ පැතලි එකක් ලෙස වර්තමානයේ පෙනී යන්නේ වුවත් ඒ හරහා මා ඉහත දක්වා ඇති අවස්ථා දෙක පිළීබදව අදහසක් ප්‍රකාශ කිරීමට පුළුවන.

එනම් කිසියම් සමාජ-දේශපාලන සැකැස්මක ආධිපත්‍යය හොබවන අනන්‍යාතා කණ්ඩායම තුළ ස්වොත්තමවාදී (Chauvinist) ප්‍රවණතා ශක්තිමත් වීමට සමාන්තරව අධිපති ව්‍යුහයන්ගෙන් බැහැර කෙරෙන අනන්‍යතා කණ්ඩායම් තුළ වැඩි වැඩියෙන් එවැනි ප්‍රවණතා ශක්තිමත් වීමේ නැඹුරුව ඇති වීමයි. මෙය විශම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන් නැගෙනහිර මහ ඇමති පිළිබද සිද්ධිය සිංහල-බෞද්ධ දේශපාලනය මගින් වාර්ගීකකරණය කර ඇති මට්ටම දෙස බැලූ විට නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාව අනුමත නොකරන මුස්ලිම් පිරිස් පවා සිංහල-බෞද්ධ ප්‍රතිචාරය දෙස සැක මුසුව සහ එය හුදෙක් නැගෙනහිර මහ ඇමතිට එරෙහි ව්‍යාපාරයක් පමණක් නොව තමන්ට එරෙහි ව්‍යාපාරයක් ලෙස සංජානනය කිරීමේ නැඹුරුවක් ඇති වීම නොවැලැක්විය හැකිය. මක්නිසාද යත් මීට සමාන්තර ක්‍රියා සිංහල දේශපාලකයින් විසින් සිදුකරනු ලබන විට ඊට එරෙහිව මේ ආකාරයේ ප්‍රතික්‍රියා නොපැමි‍‍ෙණන බැවිණි.

මෙම ස්ථාවරය සම්බන්ධයෙන් මට නම් කියන්නට තිබෙන්නේ ඉතිහාසය තුළ මෙය ජාතිවාදයට එරෙහිව සටන් කිරීමේ අභියෝගය මගහැර යන්නට කැමති අයට ආරක්ෂිතව නිකම් සිටීම සඳහා පාවිච්චි වී තිබෙන මූලධාර්මික ස්ථාවරයක් පමණක් බවයි. එයින් අවසානයේදී සිදු වන්නේ සුළුතර මෙන් ම බහුතර ජාතිවාදයන් ද ශක්තිමත් වීමයි. වාමාංශිකයන් කළ යුතුව ඇත්තේ පුරුෂෝත්තමවාදය ද ඇතුළුව සියලු ස්වෝත්තමවාදයන්ට එරෙහිව අනම්‍ය ලෙස සටන් කිරීමයි. සමාජ අනන්‍යතාවන් පුළුල් වෙමින් යල්පැනගිය දේශපාලන ප්‍රජාවන් අහෝසි වී යන්නේ ඒ ඔස්සේ ය. 

ජාතිවාදය, ආගම්වාදය හමුවේ පරාජය වුවත්, ලංකා ගුරු සංගමය ඉහත උදාහරණයේදී කළ අරගලය මීට වඩා ප්‍රායෝගික ය. යථාර්ථවාදී ය. එය පරාජය වූයේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූවන් නියෝජනය කළ යුතු කතෝලික ගුරු සංගමය එය පාවා දීම නිසා ය. එසේ කර ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නයකි. මම නම් සිතන්නේ කතෝලික නමින් ගුරු සංගමයක් පිහිටුවා ගැනීම පවා වැරදි ය කියා ය. 

වාමාංශිකයන් අරගල කළ යුත්තේ සුළුතර ජාතිවාදය සාධාරණීකරණය කරන්නට නො වේ. සුළුතර වුවත්, බහුතර වුවත්, ජාතිවාදය නම් ජාතිවාදය ම තමා ය. ජාති, කුල, ආගම්, පාසල්, ගම් ආදී සියලු ස්වෝත්තමවාදයන් එක මිටින් ගෙන බැහැර කළ යුතු ය. 

ලංකාවේ ඇතැම් පාසල්වල තවමත් කුල ආධිපත්‍යයන් තිබේ. යම් යම් කුලවල අය හැර වෙනත් අයට ඒවායේ විදුහල්පතිකම් දැරිය නො හැකි ය. 

ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ පදනම්වලින් පිහිටුවා ඇති පාසල්වලට එරෙහි විය යුතු ය. සියලු ආගමික හා ජාතික අනන්‍යතාවන් පාසල්වලින් ඉවත් කළ යුතු ය. බෞද්ධ පාසල්, කතෝලික පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, බාලිකා පාසල්, පිරිමි පාසල් පමණක් නොව රාජකීය වැනි රදළ, පසුගාමී නම් ද අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ යුතු ය. 

එසේම, මේ ප්‍රජාතාන්ත්‍රික 21වන සියවසේදී මොන රෙද්දෙ රාජකීය විද්‍යාල ද? ඒවා කොහේ සිටින රජ පැටවුන්ට ද? ඕනෑනම් ජනාධිපති විද්‍යාලය, ජනරජ විද්‍යාලය හෝ ප්‍රජාතාන්ත්‍රික විද්‍යාලය වැනි නමක් පාවිච්චි කළාට කමක් නැත. මේවා පවත්වාගෙන යන්නේ එංගලන්තේ මහ රැජිනගේ මුදලින් නොව ලංකාවේ මහජනතාවගේ බදු මුදලෙනි.

නිර්මාල් රංජිත් දේවසිරිගේ පාසල යයි මා සිතන මොරටුවේ ගාලු පාර අද්දර පිට්ටනියක් සමග ඇති අධිරාජ්‍යවාදී වේල්ස් කුමාරයා නමින් නම් කළ පාසල නිර්මාල් රංජිත් විද්‍යාලය ලෙස වෙනස් කළ යුතු යයි මම යෝජනා කරමි. නිර්මාල්ට කැමති නම් එය මාදුළුවාවේ සෝභිත හිමි විද්‍යාලය ලෙස යෝජනා කරන්නට පුළුවන. (අතීත කතාව දැන ගැනීමට මෙම ලිපිය බලන්න.) යෝජනා කරන්නට ඕනෑ කෙනෙකුට පුළුවන. 

අනාගත සමාජවාදී රජයක් යටතේ සියලු රජයේ පාසල්වල රදළ, යටත් විජිතවාදී, ගෝත්‍රික, ලිංගික නම් ඉවත් කළ යුතු ය. හැකි සෑම පාසලක ම ප්‍රධාන භාෂා මාධ්‍ය තුනෙන් ම ඉගැන්විය යුතු අතර, ඕනෑම ජාතියක, ආගමක, ලිංගයක සිසුන්ට ඉගෙනීමට හැකි විය යුතු ය. 

වාමාංශිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ද ජාතික සාධකවලට වඩා භූගෝලීය සාධක මතු කරමින් බව මගේ ස්ථාවරයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.